වත්මන් අර්බුදයට යෝග්‍ය ආකාරයේ අධ්‍යාපනයක් …

ශාමලා කුමාර්

හරියටම වචන මතක නැති  නමුත් මට හැඟීම මතකය: අපගේ අධ්‍යාපනය පිළිබඳ කිසිවෙකු සතුටු නැත. අධ්‍යාපනය යහපත් ලෝකයක්, රටක් සහ අනාගතයක් පරිකල්පනය කිරීම සඳහා විය යුතුය. අපගේ අධ්‍යාපනය ඒ කිසිවක් සිදු නොකරයි. එය නිර්මාණය කර ඇත්තේ අන්ධ ලෙස සහ අවිචාරාත්මකව පද්ධතිය පවත්වාගෙන යාමටය.

අනුෂ්කා කහඳගම මෙම අදහස ප්‍රකාශ කරන විට, මෙම තීරුවට දායක වන කුප්පි සාමූහිකය, කොවිඩ්19 මුල් අවධියේදී නිර්මාණය වෙමින් පැවතුනි. ඊළඟ මාසවලදී, එවැනි පරිකල්පනයක් සහ චින්තනයක් පෝෂණය කරන්නේ කුමන ආකාරයේ අධ්‍යාපනයක් දැයි පැහැදිලි කිරීමට අපි උත්සාහ කළෙමු.

එදත් අදත් අප අයත් වූ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය එකක් නොවේ. කොවිඩ්19 කාල සීමාවේ අගුලු දැමීමට විසඳුම වූයේ මාර්ගගත ක්‍රමයට මාරුවීමයි. එහිදී ප්‍රවේශවීමේ ගැටළු, මූල්‍ය හා මානසික සෞඛ්‍ය අරගල හේතුවෙන් අපගේ පන්ති කාමරවලින් අතුරුදහන් වූ සිසුන් පිළිබඳ වැඩි කතිකාවක් නොවීය. අප වටා තිබූ වියවුල කෙසේ වෙතත්, අපි එකම අන්තර්ගතය දිගටම ඉගැන්වීමු. යථාර්ථයෙන් මෙසේ ඉවත්වීම අප සිදුකරන්නේ හරියට විශ්වවිද්‍යාල, අපගේ රැකියා සහ අධ්‍යාපනය රික්තකයක ක්‍රියාත්මක වන්නාක් මෙනි. පසුගිය සතියේ කුප්පි සාමූහිකයේ තවත් සාමාජිකයෙකු වන සුදේශ් මන්තිලක කලකිරීමෙන් ප්‍රකාශ කළේ, “අපි අවට ලෝකය කඩා හැලෙද්දී පවා අපි සුපුරුදු පරිදි වැඩ කරමු” යනුවෙනි.

ශිෂ්‍යයන්ගෙන්, සමාජයෙන් සහ අපගෙන්ම පවා අපි හුදෙකලා වී ඇති තත්වයක් තුළ, මෙම වර්තමාන මොහොත පිළිබඳව මම මෙනෙහි කරමි.

විශ්වවිද්‍යාලය සහ වර්තමාන මොහොත

විශ්වවිද්‍යාල ප්‍රජාවක් ලෙස අපි මෙම වත්මන් අර්බුදය තුළ ස්ථානගත වීමට ප්‍රමාද වූවෙමු. විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණ සහ සාකච්ඡා නොමැතිකම පිළිබඳව මෑතකදී මාගේ දෙපාර්තමේන්තුව තුළ කතිකාවක් ඇතිවිය. අයෙක් ඊට ප්‍රතිචාර දැක්වූයේ, “අපි කරන්නේ පරිපාලනයම පමණයි. හිතන්න වෙලාවක් නැත” ලෙසයි. අපි නොවැදගත් වැඩ සිදුකරන්නන්ගේ ආයතනයක් බවට පත්ව ඇත. මතභේදයට තුඩු දෙන, විවාදාපන්න මාතෘකා වලට කුමක් සිදුවීද?

සුදේශ් ඔහුගේ කලකිරීම් පිළිබඳ සාකච්ඡා කළ දිනයේ මට අපගේ සිසුන් මුණගැසුණු අතර, ඔවුන් වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබුණි. ඔවුන් තම පවුල් නඩත්තු කිරීම සඳහා අර්ධකාලීනව රැකියා කරමින්, අනාගතය පිළිබඳව බිය වී සිටි අතර, පසුගිය වසර දෙකක කම්පනය සමඟ පොරබදමින් සිටියහ. එක් සිසුවෙක් වේදනාවෙන් පැවසුවේ, “මැඩම්, අපි හැමෝම මානසික අවපීඩනයෙන් පෙළෙනවා” කියාය. සිසුන්ට ප්‍රායෝගික අවශ්‍යතා තිබුණි. ආහාර ද්‍රව්‍ය මිල දිනපතා ඉහළ යමින් තිබූ අතර නිවෙස් බලා යාම මිල අධික විය. ඔවුන්ට දිනකට ආහාර වෙනුවෙන් රු. 600ක පමණ වියදමක් දැරීමට සිදුව ඇත.

අපගේ පීඨය උපකාර අවශ්‍ය සිසුන්ට උපකාර කරයි. නමුත් ගැටලු උග්‍රවීම සහ අවශ්‍යතා පුළුල් වීම හමුවේ අපද අතරමං වී ඇත. “අපි ඔවුන්ට උදව් කරන්නේ කෙසේද? අපට පිළිතුරු නැත” ශිෂ්‍ය සුභසාධනය සඳහා වගකිව යුතු ප්‍රධාන කාර්ය මණ්ඩල සාමාජිකයා පැවසීය. එසේ වුවද එකම ඉගැන්වීම්, එකම පර්යේෂණ සහ එකම තත්ත්ව සහතිකකරණ මාදිලි තුළ අපේ ජීවිත සිරවී ඇත.

තත්ත්ව සහතිකකරණය පිළිබඳ කතිකාව

මේ දිනවල විශ්වවිද්‍යාල තුළ සිදුවෙමින් පවතින විශාලතම පරිවර්තනය තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියයි. අධ්‍යයන කාර්ය මණ්ඩලය ගුණාත්මක බව පෙන්වීමට ලේඛන එකතු කිරීමෙහි කාර්යබහුලව සිටිති. ගුණාත්මකභාවය යන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිර්වචනය කර ඇත. ගුණාත්මකභාවය හඹා යාමේදී අප කරන්නේ කුමක්ද යන්න පිළිබඳ වැඩි සාකච්ඡාවක් මාගේ විශ්වවිද්‍යාලයේ සිදුවී නැත. ගුණාත්මක බව සහතික කිරීමේ ක්‍රියාවලිය විසින් ශිෂ්‍යයා සහ ගුරුවරයා අක්‍රීය බව උපකල්පනය කොට ඇත. ගුරුවරයා, තාක්ෂණික සහ වෘත්තීමය ලෙස, රැකියා වෙළඳපොළට ගැලපෙන “නිෂ්පාදන” නිමැවීම සඳහා සැලකිලිමත්ව සැලසුම් කළ පාඩම් ලබා දෙයි. ශිෂ්‍යයා සත්‍ය වශයෙන්ම නිෂ්පාදනයක් ද, නොපවතින රැකියා වෙළඳපොලක ‘රැකියා නියුක්තියට සුදුසු බව’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, සහ අපගේ සිසුන්ට ලෝකය වෙනස් කිරීම වැනි වෙනත් අරමුණක් තිබිය හැකිද යන්න කිසි විටෙකත් සාකච්ඡා කර නොමැත.

පද්ධතිය වෙනස් නොවන සහ නිසරු වන අතර, උපාධිධාරී “නිෂ්පාදන” සඳහා කලින් තීරණය කරන ලද මූලාකෘති මත පදනම් වූ පාඩම් සැලසුම් මගින්, අපව අප වටා ඇති ගැටළු වලින් සහ අපගේම ජීවිතවල ගැටළු වලින් දුරස් කර ඇත. අපගේ ඉගැන්වීම විසින් අපගේ සිසුන්ගේ අත්දැකීම් ග්‍රහණය කර නොගනී; එමෙන්ම එය රටේ අවුල් සහගත තත්ත්වයෙනුත්, ලොව පුරා සිදුවන යුද්ධයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙනුත් වියුක්ත වී ඇත.

විශ්වවිද්‍යාලවල සිදු කරන පර්යේෂණ වලදී, “ගුණාත්මකභාවය” විනිශ්චය කරනු ලබන්නේ ජර්නල ශ්‍රේණිගත කිරීම් මගිනි. අපගේ පුස්තකාලවලට දැරිය නොහැකි බැවින් වඩාත් ප්‍රශස්ත ප්‍රකාශන වලට අපට ප්‍රවේශය නොමැත. එසේම මෙම ජර්නල වල අන්තර්ගතය, අපගේ ගැටළු විසඳීමට එතරම් අදාළ නොවේ. ශාස්ත්‍රීය ප්‍රකාශන කර්මාන්තය පාලනය කරන, දුරස්තර රටවල සිටින විද්වතුන්ගේ සහ ප්‍රකාශන සමාගම්වල අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට ඒවා සැලසුම් කර ඇත. පර්යේෂණවල “ගුණාත්මකභාවය” පිලිබඳ කතිකාවද අපව මේ මොහොතෙන් සහ අපගේ අර්බුදයේ යථාර්ථයෙන් ඉවත් කර ඇත.

මෙය මට නම්, අපේ ජාතික ප්‍රශ්නවලට විශ්වවිද්‍යාල ප්‍රතිචාර දක්වා ඇති මන්දගාමී භාවයේ සැලකිය යුතු කොටසකි. අපගේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට බලපා ඇති අයහපත් තත්ත්වය සමනය කරන අපගේ වැටුප මීට තවත් හේතුවක් වියහැකිය. කෙසේ වෙතත්, මෙහිදී වැදගත්ම කාරණය නම්, විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට උත්සාහ කරන තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය ජාතියේ වර්තමාන අවශ්‍යතා සපුරාලීමට එතරම් දායකත්වයක් නොදක්වන බවයි.

විකල්පයක් …

‘ගෝටා ගෝ’ විරෝධය තුළ විකල්පයක් මම දකිමි. එම විරෝධතාව තුළ සියල්ලන්ටම කතා කිරීමට සහ සවන් දීමට විවෘත බවක්, අවකාශයක් ඇත. මෙය නීත්‍යානුකූල අයට පමණක් ඇතුළු වීමට ඉඩ සලසන දැඩි ආරක්‍ෂිත ගේට්ටු, CCTV කැමරා, සහ අනෙකා යටපත් කරන ධුරාවලියක් ඇති විශ්වවිද්‍යාල වලින් වෙනස් වේ.

විරෝධතාවල මතුපිටින් තිබෙන විවෘතභාවය ඇත්තෙන්ම සීමිත බව සැබෑය. දේශපේ‍්‍රමයේ සංකේත වන ජාතික ධජය සහ ජාතික ගීය, එනම් සුළු ජාතීන්ට බිය උපදවන සහ ඔවුන් ආන්තීකරණය කළහැකි සංකේත, විරෝධතාවල බොහෝවිට නිරූපිත කොටසකි. පසුගිය ආණ්ඩු බලය තහවුරු කර ගැනීම සඳහා ජාතිකත්වයේ සංකේත භාවිතා කර අපගේ සැබෑ ප්‍රශ්නවලින් ඉවත් වූවා සේම, ආර්ථික, සමාජීය සහ දේශපාලනික වශයෙන් කොන් වූවන්ගේ ගැටලු සැඟවීමට මෙවර ද ඒවා යොදා ගනු ඇත. දැනටමත් මෙය දකින්නට ලැබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, යුද්ධයට අදාළ අතුරුදහන්වීම් පිළිගැනීම, මිලිටරීකරණය සහ අවතැන්වීම් පිළිබඳ ගැටළු වැනි සුළුතර ප්‍රජාවන්ට විශේෂයෙන් වැදගත් දේ,  මතභේදාත්මක සහ ද්විතීයික ලෙස පසෙකට තල්ලු කරනු ලැබේ. එතෙකුදු වුවත්, ‘ගෝටා ගෝ’ විරෝධතා අවකාශය අපට සිතන්නටවත් වෙලාවක් නැති විශ්වවිද්‍යාලවලට වඩා වෙනස්ය. එය අපට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය පෝෂණය කළ හැකි නිදහස් අධ්‍යාපනය, නිදහස් විශ්වවිද්‍යාල පිළිබඳ නව සංකල්ප ඉදිරිපත් කරයි.

නිදහස් අධ්‍යාපනය තුළ කලා විෂයන්ගේ ස්ථානය…

එවැනි ප්‍රතිසංස්කරණවල කේන්ද්‍රස්ථානය ලෙස මම හඳුනාගනු ලබන්නේ කලා විෂයන් ය. අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ කලා විෂයයන් ක්‍රමානුකූලව කොන් කිරීම පිළිබඳව මෙම තීරුවෙන් අපි කනස්සල්ල පළ කර ඇත්තෙමු. ප්‍රතිපත්ති විසින් මෙම විෂයයන් සඳහා අරමුදල් අඩු කරයි; ඒවා දෘඩ විද්‍යාවන් සහ තාක්ෂණ විෂයන් සඳහා පවතින ලාභ විකල්ප ලෙස සලකයි. එහෙත්, මේවා අපගේ පරිකල්පනය සන්නද්ධ කළහැකි, වඩාත්ම ගැඹුරු අදහස් ප්‍රකාශ කිරීම සහ පරිවර්තනය කළහැකි විෂයයන් වේ.

ගිය සතියේ ගෝටා ගෝ ගමේදී කෙනෙක් පුටුවකට නැග ආවේගශීලී අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කළාය. එහිදී  ඇය ගෝඨාගමේ කලාව, සංගීතය, නාට්‍ය, අරමුණ දියාරු කරන සැණකෙළියක් ලෙස දක්වන අදහස් බැහැර කළේ ලෝකය වෙනස් කළ කලාකරුවන්, කවියන්, කතුවරුන් මාලාවක් නම් කරමිනි. “ඔවුන් විප්ලවවාදීන් නොවේද? ඔවුන් විප්ලව ඇති කළේ නැද්ද? ඔවුන් ලෝකය වෙනස් කළේ නැද්ද?” ප්‍රබල කලා වැඩසටහන් මඟින් මේ මොහොතේ අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී අනාගතය පරිකල්පනය කිරීමට සහ නිර්මාණය කිරීමට භාෂාව අපට ලබා දිය හැකිය.

අවකාශ විවෘත කිරීම

මේ මොහොත අපේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරාවි යැයි මම බලාපොරොත්තු වෙමි. මම මාගේ වැඩ – ඉගැන්වීම්, ප්‍රමිති සහතිකකරණය සඳහා සූදානම් වීම් – සුපුරුදු පරිදි සිදුකරගෙන යමි; අපගේ සිසුන්ට මුදල් නොමැතිකමින් මම කනස්සල්ලට පත්වෙමි; මගේ පුත්‍රයා පිළිබඳවත්, නිවසේ ගෑස් සහ ආහාර හිඟය පිළිබඳවත් කරදර වෙමි. සාමාන්‍යභාවය සහ අවුල්සහගතභාවය අතර මෙම අවකාශය තුළ, හුදෙක් තනි පුද්ගලයකු ලෙස හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සාමාජිකයෙකු ලෙස විරෝධතාවලට හෝ සාකච්ඡාවලට සහභාගී වීමට, මේ මොහොත තුළ කුඩා අවස්ථාවන් විවරව ඇත. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය වෙනුවෙන් මාගේ ප්‍රාර්ථනය මින් එහා ගිය එකකි. මගේ ඉගැන්වීම්, පර්යේෂණ සහ විශ්වවිද්‍යාලයේ මා කරන සෑම දෙයක්ම අපේ රටේ යථාර්ථය පිළිබිඹු කිරීම, සමාජයක් ලෙස අප මුහුණ දෙන ගැටලු, විශේෂයෙන් පර්යන්තයන්ගේ ගැටළු පිළිබිඹු කිරීම මගේ ප්‍රාර්ථනයයි. “ගුණාත්මකභාවය”, අපගේ ගැටළු වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට, අතික්‍රමණය වීමට මේ මොහොතේ කොටසක් ලෙස සංකල්පනය කරන පරිදි අපට අපගේ විශ්වවිද්‍යාල පරිවර්තනය කළ හැකි නම්, මේ මොහොත අපගේ සාමූහික අනාගතයට මැනිය නොහැකි බලපෑමක් ඇති කරනු ඇත. එය කොතරම් සොඳුරු වනු ඇතිද …