විශ්වවිද්‍යාල කාර් ෆැක්ටරි වූයේ නම්…

කෞශල්‍යා පෙරේරා

උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය අඩුකිරීම සම්බන්ධව, ලෝක බැංකු ණය භාවිතා කරමින් සූදානම් කල වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවකදී, එහි සම්පත්දායකයා අපට කියා සිටියේ උපාධිධාරියෙක් බිහිකිරීම කාර් නිෂ්පාදනයක් සේ සිතා ක්‍රියා කිරීමෙන් අපට රැකියා නියුක්තියට සුදුසු උපාධිධාරීන් බිහි කිරීමට හැකි වන බවයි. ඒ, වාහනය මිලදී ගැනීමට පෙර එහි තත්ත්වය දැක බලාගන්නවා වාගේම, උපාධිධාරීන්ගේ අනාගත හාම්පුතුන්ද තමා ලබාගන්නා නිෂ්පාදිතයේ තත්ත්වය ගැන කල් සිටම දැන ගැනීමට කැමති නිසාය. අපි ඒ රූපකය ඒ ආකාරයෙන්ම පිළිගන්නේ යැයි සිතමු. ඊට අනුවම වුවත් වාහනයේ වටිනාකම රඳා පවතින්නේ මූලද්‍රව්‍ය මත පමණක් නොවේ. පහුගිය වසරේ ඇමරිකාවේ මිචිගන් වාහන කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලෙන්නන් උගත් පාඩම පරිදි, ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින්ගේ හැකියාව හා ගුණාත්මක බවත් වටිනාකමට බලපාන අතර, වැඩි හැකියාවක් ඇති ශ්‍රමිකයින් බඳවා ගැනීමටත් රඳවා ගැනීමටත් ඔවුන්ගේ කාර්යයට අවශ්‍ය ලෙස සම්පත් හා අයිතිවාසිකම් ද ලබා දිය යුතුය. 

රාජ්‍ය විශ්වවිද්‍යාල වල ශ්‍රමික ප්‍රශ්න

වාහන නිෂ්පාදනයේදී සේම රාජ්‍ය විශ්වවිද්‍යාල වලද ශ්‍රමික ප්‍රශ්න ඇත. විශ්ව විද්‍යාලයෙන් බිහිවෙන විද්‍යාර්ථයින්ට එය කෙලින්ම බලපෑවද මෙය වැඩි කතාබහට ලක් නොවන කාරණාවකි. විශ්වවිද්‍යාල ආචාර්යවරු බඳවා ගැනීම සහ රඳවා ගැනීම මෑත කාලයේදී උග්‍ර වූ දීර්ඝකාලීන ප්‍රශ්නයකි. 

පසුගිය දශක දෙක තුල විශ්ව විද්‍යාලයට ඇතුල් වූ විද්‍යාර්ථීන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 1995 දී එය  9,245 වූ අතර, එය 2015 වනවිට 25,676 ටත්, 2021 දී 44,000 ටත් ඉහළ ගියේය. 2015 සිට 2021 දක්වා වැඩිවීමම 70% කි. විශේෂයෙන්ම පාසල් සිසුන් සමග සංසන්දනය කළහොත්, 1995 දී 342,386 වන ඔවුන්ගේ ප්‍රමාණය, 2021 වනවිටත් 337,450 වේ.  විශ්වවිද්‍යාල ඇතුලත් වීම් මෙසේ අතිවිශාල ලෙස ඉහළ ගියද, ඔවුන්ට උගන්වන කථිකාචාර්යවරුන්ගේ සංඛ්‍යාව ඊට සාපේක්ෂව ඉහළ ගොස් නැත. 

මෙයට මූලික හේතුව ලෙස ආණ්ඩුවලින් නිතරම දක්වන්නේ භාණ්ඩාගාරයේ දුප්පත්කමයි. ඕනෑම විශ්වවිද්‍යාලයක ඕනෑම අවස්ථාවකදී ස්ථිර කථිකාචාර්ය ඇබෑර්තු හිස්ව ඇතිමුත්, පසුගිය දශක දෙක තුල මේ ඇබෑර්තු පිරවූ අවස්ථා හෝ අළුතින් පිහිටවූ අවස්ථා විරලය. භාණ්ඩාගාරයේ මුදල් ඇති අවස්ථාවලදී පවා, යල් පැන ගිය නිර්ණායක සහ විශ්වවිදාල තුල ඇති අභ්‍යන්තර දේශපාලනය නිසා නව කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේදී  විවිධ අපහසුතා ඇතිවේ. 

අන්තර්-විෂය හෝ අන්තර්-ක්ෂේත්‍ර ගණුදෙනු වල අවශ්‍යතාවය ගැන කොපමණ කතා කළද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බඳවා ගැනීම් ප්‍රතිපාදන වලට අනුව යම් අංශයක බඳවා ගැනීම් සඳහා මූලිකම සුදුසුකම ලෙස සළකන්නේ  පශ්චාත් උපාධිවලට වඩා පළමු උපාධියයි. කථිකාචාර්ය තනතුරකට ඉල්ලුම් කරන්නෙකුගේ පළමු උපාධිය එම අංශයේ උගන්වන විෂයයන්ට වඩා වෙනස් නම්, සුදුසුම පශ්චාත් උපාධියක් තිබියදීත් එම තනතුරු නොලැබීම ගැන නොයෙකුත් කතාන්දර විශ්වවිද්‍යාල තුළ තිබේ. 

තවද, වෙනත් ක්ෂේත්‍ර වල මෙන්ම, විශ්වවිද්‍යාල තුලද ගජමිතුරුභාවය, ගුරුගෝල සබඳතා මත ඇබෑර්තු පිරවීම් වැනි දේ සිදුවේ. බඳවා ගැනීම් සම්බන්ධ තීරණ ගැනීමේදී ජාති, කුල, ආගම් භේද පමණක් නොව, ස්ත්‍රීපුරුෂ බව හා පංතිභේද ද බලපායි. ඇතැම් විට, ප්‍රථම උපාධියේ නුසුදුසුකම භාවිතාකර සුදුසුම පශ්චාත් උපාධි ඇති අපේක්ෂකයෙක් ප්‍රතික්ෂේප වන අවස්ථාද තිබේ. විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය පදවි අඩුවීමත්, ඉහත කී ආකාරයේ අයුක්ති සහගත බඳවා ගැනීමේ ප්‍රගුණතාවනුත් හේතුවෙන්, කොන්ත්‍රාත් හා පරිවාස සේවයේ සිටින කථිකාචාර්යවරුන් තමා අත්දකින හිරිහැර හා වෙනස්කොට සැළකීම් ගැන නිශ්ශබ්දව සිටිමින් තම රැකියා ආරක්ෂා කරගැනීමට පෙළඹෙති. මේ හේතු නිසා, කථිකාචාර්ය ධූරාවලියේ පහළින් සිටින අය තමාට ඉහළින් සිටින අයට හිස නමා නිශ්ශබ්දව සිටින විශ්වවිද්‍යාල පද්ධතියක් මේ වනවිට බිහි වී ඇත. 

විශ්වවිද්‍යාල තුල ඇති මෙවැනි මුල් බැසගත් ගැටළු කථිකාචාර්ය බඳවා ගැනීම්වලටත් ඔවුන්ගේ සේවයේ ප්‍රමිතියටත් බලපාන්නේය. ලොව ඉහළ පෙලේ විශ්වවිද්‍යාල ආකාරයෙන් ක්‍රියා කරන ලෙස අප විශ්ව විද්‍යාල වලින් ඉල්ලා සිටියද, කාර්යක්ෂමතා මිණුම් දඬු ඊට වෙනස් ය. වර්තමානයේ විශ්වවිද්‍යාලවලත් කථිකාචාර්යවරුන්ගේත් කාර්යක්ෂමතාව මැණීමට යොදා ගැනෙන්නේ මූල්‍යමය සහ සංඛ්‍යාත්මක ක්‍රමවේදයකි. කථිකාචාර්යවරයෙකු තම ඉගැන්වීම්වලට අමතරව තවත් පරිපාලන සහ පර්යේෂණ කටයුතු කොපමණ කළද, ඔවුන්ගේ ‘වැඩ’ ගණනය වන්නේ පන්තියේ උගන්වන පැය ප්‍රමාණය හෝ උගන්වන පාඨමාලා ප්‍රමාණය අනුවයි. අධ්‍යයන දෙපාර්තමේන්තුවක කාර්යක්ෂමතාවය ගණනය වන්නේ එහි සිටින විද්‍යාර්ථීන්ට අනුපාතිකව එහි සිටින කථිකාචාර්යවරු ප්‍රමාණය අනුවය. ඉගැන්වීමට කරන පෙර-සූදානම්, විභාග කටයුතු, පර්යේෂණ හෝ පරිපාලන කටයුතු වලට වැය වන කාලය ලාංකීය විශ්වවිද්‍යාල විගණනයේදී ‘වැඩ’ ලෙස ගණනය නොවේ. මේ පටු ආකාරයේ විගණනයේදී අසන්නේ යම් අංශයක විද්‍යාර්ථීන් 500ක් සිටින්නේ නම්, එයට කථිකාචාර්යවරු 25ක් අවශ්‍ය ඇයි? ඒ උපාධිය කථිකාචාර්යවරු 10ක් හෝ 5ක් යොදා මීට වඩා කාර්යක්ෂමව ඉගැන්විය නොහැකිද? වැනි ප්‍රශ්නයි. විගණන නිලධාරීන්ගේද,  මෑතකාලීන විශ්වවිද්‍යාල පරිපාලනයේද,  දෘෂ්ටි කෝණයෙන් බලන කල ගුරු-ශිෂ්‍ය අනුපාතය අනුමත ලෙස ඇති නම් වාග්විද්‍යාඥයෙක් සාහිත්‍යය ඉගැන්වුවත්,  සංඛ්‍යාලේඛනඥයා ණය තිරසාරත්වය ගැන ඉගැන්වුවත් එහි අර්බුදයක් නොමැත. 

ආර්ථික අර්බුදයට විශේෂ වූ ශ්‍රම ගැටළු 

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් යැයි කියා දැනට ඉදිරිපත් කර ඇති ඇතැම් ප්‍රතිපත්ති විශ්වවිද්‍යාල තුල තවත් අර්බුද ඇති කරති. කොන්ත්‍රාත් හෝ තාවකාලික කථිකාචාර්යවරු බඳවා නොගන්නා ලෙස හෝ ඒ ප්‍රමාණය අඩු කරන ලෙස විශ්වවිද්‍යාල මඟින් අංශ වලට දැනුම් දී ඇත. මෙය දැනට පවතින් ආර්ථික අර්බුදය නිසා සිදුවූවක් යැයි සිතිය හැකිමුත් එය සත්‍ය වශයෙන්ම පසුගිය වසර කිහිපය තුල පවත්වාගෙන ගිය විගණන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමකි. සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් හෝ තාවකාලික කථිකාචාර්යවරු බඳවා ගැනෙනුයේ, අංශයේ වැඩට අවශ්‍ය කථිකාචාර්යවරු ප්‍රමාණය අඩු වුවහොත් හෝ විශේෂිත වූ විෂයකට සුදුසු කථිකාචාර්යවරයෙක් නොමැති වුවහොත් ය. විශ්‍රාම යෑම්, දීර්ඝ නිවාඩු යෑම් හෝ නව උපාධි පාඨමාලා පටන් ගැනීම නිසා මෙවැනි ප්‍රශ්න උග්‍ර වීමට ඉඩ ඇත. එහෙත් ගුරු-ශිෂ්‍ය අනුපාතය සහ උගන්වන පාඨමාලා ප්‍රමාණය අනුව පමණක් අංශයකට අවශ්‍ය කථිකාචාර්ය සංඛ්‍යාව ගණනය වනවිට උපාධි පාඨමාලාවේ සියළු විෂය ධාරාවලට සුදුසු කථිකාචාර්යවරු භාවිතා කිරීමද ගැටළුවක් බවට පත්විය හැකිය. උදාහරණයක් ලෙස වත්මන් නගර සංවර්ධනයට අවශ්‍ය ආකාරයේ ‘නාගරික සමාජයට දේශගුණ අර්බුදය බලපාන ආකාරය’ නමින් පාඨමාලාවක් ඉදිරිපත් කිරීමට යම් දෙපාර්තමේන්තුවකට අවශ්‍ය වුවත් ඉහත ප්‍රමිතීන් අනුව අවශ්‍ය කථිකාචාර්ය වරු ප්‍රමාණය සලකා බලා එක්කෝ එවැනි පාඨමාලාවක් ඉදිරිපත් නොකර සිටීමට හෝ අංශයේ දැනට සිටින නමුත් විෂයානුබද්ධ දැනුමක් නැති කථිකාචාර්යවරුන් යොදා එය ඉදිරිපත් කිරීමට ඒ දෙපාර්තමේන්තුවට සිදුවනු ඇත. 

ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය විදේශ විනිමය ඉපැයීමට ලාංකීය බැංකු වලට මුදල් හර කරන කොන්දේසිය මත, පසුගිය වසරේ රාජ්‍ය සේවකයින්හට පිටරට රැකියා සඳහා නිවාඩු ලබාදෙන රාජ්‍ය චක්‍රලේඛය මේ ආණ්ඩුවෙන් රාජ්‍ය ආයතන දුර්වල කිරීමට හඳුන්වා දුන් තවත් ප්‍රතිපත්තියකි. එය විශ්ව විද්‍යාලවලට ද උග්‍ර ලෙස බලපා ඇත. මේ චක්‍රලේඛය ගැන පුවත්පතක අදහස් දැක්වූ කෙනෙක් අසා සිටියේ “මේ ‘දිරාපු ලී’ වෙන රටවලින් බාර ගනීද?” කියාය. එහෙත්, පසුගිය මාස කිහිපය තුල විශ්ව විද්‍යාලවලවල ඉහල ගොස් ඇති සේවයෙන් ඉවත්වීම් හා දීර්ඝ නිවාඩු ගත් ප්‍රමාණය සලකා බලන විට පෙනී යන්නේ මේ “දිරාපු ලී” වෙනත් රටවල් ලෙහෙසියෙන්ම භාරගන්නා බවය. විශ්ව විද්‍යාලවල වත්මන් සේවයේ සිටින ප්‍රමාණය තවත් අඩු වීමෙන් සිදු වන්නේ ඉතිරිවන සේවකයින් තවත් අසීරු තත්ත්වයට පත්වීමයි. ඉගැන්වීමේ ගුණාත්මක භාවය, විභාග කටයුතු හරියාකාරව සිදුකිරීම, සහ පර්යේෂණ වෙනුවෙන් කථිකාචාර්යවරුන් හට දැනට වෙන්කරන කාලයවත් වැය කිරීම වඩාත් අසීරු වනු ඇත. මේ චක්‍රලේඛයෙන් රටට වන හානිය අති මහත් ය. පසුගිය මාස කිහිපය තුළ, මා දන්නා අය අතරින් සමාජමානව විද්‍යාඥයින්, ආබාධ සම්බන්ධ විශේෂඥයින් සහ ගුරු පුහුණුකරුවන් විශාල ප්‍රමාණයක් රටින් පිටව ගියෝය. ඔවුන් සොයා යන්නේ වැඩි ආදායමක් පමණක් නොවේ. නිදහසේ ගුණාත්මක වැඩ කොටසක් කිරීමට තමාට උදව් වන උසස් අධ්‍යාපන ආයතන කරා යෑමද ඔවුන්ගේ බලාපොරොත්තුවයි. වසංගතයෙන් පසු ජාත්‍යන්තරව වෛද්‍ය විද්‍යා, දන්ත විද්‍යා හා අනුබද්ධ සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍ර වලට ඇති ඉල්ලීම ඉහළ යාම නිසා විශ්ව විද්‍යාල වල මේ විෂය ධාරා වඩාත් බරපතල ලෙස මේ ප්‍රශ්නයට මුහුණ දී ඇත. 

මේ වසරේ උසස් අධ්‍යාපනයට රජයෙන් වෙන් කල මුදල ඉතා අඩු ප්‍රමාණයකි. ඒත් සමඟම ආණ්ඩුවෙන් පැමිණි තවත් නියෝගයක් වන්නේ විශ්ව විද්‍යාල වල බොහෝ දේවලට – එනම් අවශ්‍ය ලිපිද්‍රව්‍ය වල සිට වැසිකිළි අළුත්වැඩියා කිරීම දක්වා – තමා උපයාගත් මුදල් භාවිතා කරන ලෙසයි. 

තම සේවාදායකයින්ගේ වැටුප් ගෙවීමටවත් ඇතැම් පශ්චාත් උපාධි ආයතනවලට මේ වසරේ මූල්‍යමය පහසුකම් ආණ්ඩුවෙන් ලබා දී නැත. කොහොමත් අඩුවෙන් ලබාදෙන පර්යේෂණ සඳහා වන මුදල්, මේ වසරේ නැත්තටම නැති සේය. විශ්ව විද්‍යාල ස්වාධීනව මුදල් උපයන්නේ සති අන්ත හා පශ්චාත් උපාධි පාඨමාලා මගිනි. එහෙත් විශ්ව විද්‍යාල වල මූලික වගකීම පළමු උපාධිය ඉගැන්වීමයි. එදිනෙදා කටයුතු සඳහා මුදල් ඉපයීමට සිදුවනවිට මේ කාර්යභාරය පසෙක ලා, මුදල් උපයන පාඨමාලාවලට වැඩි අවධානය යොමු කිරීමට විශ්ව විද්‍යාලවලට සිදුවන අතර, එය විශ්වවිද්‍යාලවල අනාගතයට භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය හැක. 

ඉස්තරම් කාර් අවශ්‍ය නම් …

සුපුහුණු උපාධිධාරීන් රටට අවශ්‍ය ය. රට දියුණු කළ හැකි තරුණ රටවැසියන් රටට අවශ්‍ය ය. එහෙත්, උපාධිධාරීන් බිහිකිරීම සඳහා අවශ්‍ය අවම කථිකාචාර්යවරුන් සංඛ්‍යාව වත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දීමට පසුගිය හෝ වත්මන් ආණ්ඩු සූදානම් නැත. වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති මගින් සිදු කර ඇත්තේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන තව දුරටත් කපා දමා, දැනට රටේ රැඳී   සිටින විද්වතුන්වද විදේශ රටවලට තල්ලු කර දැමීම යි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කාර් ෆැක්ටරියකට සමාන කර ගැනීමට ආණ්ඩු-ගැති විශ්ව විද්‍යාල පරිපාලනයන්ට අවශ්‍ය වන්නේ නම්, එයට ලබා දෙන ආයෝජනයද කාර් ෆැක්ටරිවලට සේම ඉස්තරම් විය යුතුයි.