‘විශ්ව විද්‍යාලයක්’ සඳහා වූ තර්කය 

හසිනි ලේකම්වසම් 

අර්ථාන්විත වූ දැනුම් සම්පාදන ක්‍රියාවලියක් අවශ්‍යයෙන්ම අපේ සමාජ, දේශපාලන හා ආර්ථික පද්ධතීන් පදනම්ව ඇති චින්තන දහරා අධ්‍යයනය කිරීමටත්, වැඩි දෙනාගේ යහපත සඳහා ඒවා ප්‍රගතිශීලී ලෙස වෙනස් කිරීමටත් උත්සහ කරයි. විචාරාත්මක සංවාදය, සමාජ සාධාරණත්වය සහ මානව විමුක්තිය වෙනුවෙන් අරගල කිරීම හා සබැඳි විශ්ව විද්‍යාලයේ භූමිකාව, මෙම කාර්යභාරය සමඟ ළඟින් බද්ධ වී ඇත. විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන සියළුම ආකාරයේ අධ්‍යාපනය – මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා මෙන්ම STEM විෂයන්ද ඇතුළුව – සංකල්පීමය විමර්ශන කිරීමටත්, ඒ ඔස්සේ ‘දැනුම’ වශයෙන් අප වටහා ගන්නා දේ රාමු කරන සුසමාදර්ශ (paradigm) මෙන්ම, ‘වාස්තවික සත්‍යය’ හා ‘විද්‍යාව’ ලෙස එමඟින් යම් යම් ආකාරයේ ඥානයන් ඉහළට ඔසවා තබන හැටි විභාග කිරීමේ හැකියාව ලබාදීමටත් සුදුසු ආකාරයේ දැනුමක් වියයුතු වන්නේ එබැවිනි. වෙනත් වචන වලින් කියන්නේ නම්, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි ප්‍රතිඵලයක් වශයෙන්  සත්‍යය සහ දැනුමෙහි සාපේක්ෂ බවත්, ඒ අරබයා ඇති දේශපාලනයත් විනිවිද දැකිය හැකි ආකාරයේ දැනුමකින් විද්‍යාර්ථියා සන්නද්ධ විය යුතුය. එහෙත් විශ්ව විද්‍යාල අවකාශය තුළට වෙළඳපොළ අභිලාෂයන් ක්‍රමිකව සංක්‍රමණය වීම නිසා විශ්ව විද්‍යාලයේ මෙම භූමිකාව එන්න එන්නටම ඛාදනය වනවා පමණක් නොව, විශ්ව විද්‍යාලය ඇතුළත සිටින්නවුන් පවා එම අධ්‍යාපනය කුමනාකාරයේ එකක් වියයුතුදැයි යන්න පිළිබඳ දරන මතය පරිවර්තනයකටද ලක්ව තිබේ.         

පර්යේෂණ කිරීමේදී අධ්‍යාපනය පිලිබඳ දැක්ම ලක්ව ඇති මෙම විපරිවර්තනය ප්‍රකට වන ආකාරයක් තිබේ: එනම් වාණිජ ක්‍රියාධරයින් ආකර්ෂණය කරගත හැකි අන්දමේ පර්යේෂණ කිරීමත්, ඒ තුළින් වඩ වඩාත් අරමුදල් සම්පාදනය කර ගැනීමත්ය. මෙබඳු වාණිජ ක්‍රියාධරයින් සාමාන්‍යයෙන් ආකර්ෂණය වන්නේ ඔවුන්ගේ ලාභය වැඩිකර ගන්නා අයුරු පහදා දෙන ආකාරයේ පර්යේෂණ වලට විනා, සමාජ අභිවෘද්ධිය අරමුණු කරගත් පර්යේෂණ වලට නොවේ. කාලයක් යනවිට මෙවැනි භාවිතයන් ඔස්සේ පර්යේෂණ ක්ෂේත්‍රයේ කළ හැක්කේ කුමනාකාරයේ පර්යේෂණද යන්න පමණක් නොව, චින්තනයේ නිම් වළලු පවා තීරණය වීමට පටන් ගැනේ. බොහෝ කොටම මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සංකල්පීමය ප්‍රතිවිරුද්ධතා (එනම් ‘පර්යේෂණ ගැටළු’ වශයෙන් අප හඳුන්වන දේ) වෙනුවට, වාස්තවික දත්ත එකතු කිරීමට (‘පර්යේෂණ ප්‍රශ්න’ මඟින් සාමාන්‍යයෙන් ඉල්ලා සිටින ආකාරයේ විස්තර) පර්යේෂණ ක්‍රියාවලිය ලඝු වී තිබේ. මෙය විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා තුළ දක්නට ලැබෙන තත්වයකි. පර්යේෂණ විශිෂ්ටතාවය ඇගයීමේ නිර්ණායකද මේ අනුව පරිවර්තනය වී ඇත: දත්ත මත පදනම් වූ පර්යේෂණ වලට එහිදී ප්‍රමුඛතාව හිමිවන අතර, එවැනි පර්යේෂණ වලින් පවතින පද්ධති විවේචනය කිරීමට දායකත්වයක් හිමිනොවන තරම්ය. ඒවා මඟින් කරන්නේ ඉතාම ‘පතෝල’ ආකාරයේ ප්‍රශ්න නැඟීමත්, ඒවාට පිළිතුරු සැපයීමත්ය. මෙවැනි ප්‍රශ්න කිහිපයකට උදාහරණ ලෙස පහත ඒවා දැක්විය හැකිය: “පෞද්ගලික විශ්ව විද්‍යාල වලට වැඩි ආකර්ෂණයක් පවතින්නේ ඇයි?”; “STEM විෂයයන් සඳහා පවතින ඉල්ලුම කෙබඳුද?”; “මානව ශාස්ත්‍ර හා සමාජයයීය විද්‍යා විෂයන්හි අදාළත්වය පිළිබඳ පවතින ආකල්ප මොනවාද?”; “තත්ත්ව සහතිකකරණය තුළින් උසස් අධ්‍යාපනයේ වඩා හොඳ ප්‍රමිතීන් සහතික කළ හැක්කේ කෙසේද?” මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම බොහෝවිට සිදුවන්නේ KAP සමීක්ෂණ වැනි ප්‍රමාණාත්මක විධික්‍රම ඔස්සේය. ඊට අමතරව ‘මදි පාඩුවට’ ගුණාත්මක සම්මුඛ සාකච්ඡා වැනි ක්‍රම ඔස්සේ උපාඛ්‍යාත සාක්ෂි (anecdotal evidence) සැපයීමද කරනු ලැබේ. මෙයාකාරයේ පර්යේෂණ වල මූලිකම අවධානය පවතින්නේ වඩා විශාල සංසිද්ධීන් වල එදිනෙදා බලපෑම අධ්‍යයනය කිරීමට විනා, ඒවාට හේතුවන සමාජ ප්‍රශ්න වල දේශපාලන හා ආර්ථික පැතිකඩයන් පිරික්සීමට නොවේ. එවැනි පැතිකඩ වලින් එම ගැටළු පමණක් නොව ඒවා පිළිබඳව කරන අධ්‍යයනයන්ද බලපෑමට ලක්කරන බව මෙම අධ්‍යයනයන්ට හසුනොවීමෙහි පුදුමයක් නැත.  

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළද මෙම විපරිවර්තනයන් පැහැදිලිව පිළිබිඹු වේ. ඊට එක් ප්‍රධාන හේතුවක් නම් පර්යේෂණ ලෝකය පෙර දක්වා ඇති ආකාරයට වෙනස්ව තිබීමත්, අප කරන පර්යේෂණ මඟින් අපේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය බලපෑමට ලක්වීමත්ය. ඒ අනුව පන්ති කාමර තුළ විචාරාත්මක සාකච්ඡා යනු ඉතා අවමයෙන් සිදුවන දෙයක් බවට පත්ව ඇති අතර, බොහොමයක් දේශන ඇත්තෙන්ම ‘දේශන’ බවටම ලඝුව තිබේ: එනම් ගුරුවරයා විසින් සිසුවාට කටපාඩම් කරගැනීම සඳහා දත්ත සමූහයක් ලබා දීමේ හා සිසුවා විසින් විභාගයේදී එම දත්ත වැමෑරීම තුළින් හොඳ ලකුණු ලබාගනු ඇති බව බලාපොරොත්තු වීමේ ඒක පාර්ශ්වික සන්නිවේදන ක්‍රියාවලියකි.    

මෙයාකාරයේ විචාරයකින් තොර, දත්ත මත පදනම් වූ අධ්‍යාපනයක ලාංඡනය අප බොහෝ දෙනෙකු මත කොටා තිබේ. එදිනෙදා පැන නඟින ප්‍රශ්න වලට අප ප්‍රතිචාර දක්වන ගතානුගතික හා ඉතා ආත්මාර්ථකාමී ස්වරූපය තුළ එය පැහැදිලිව විද්‍යාමානද වන්නේය. මීට මාස කිහිපයකට ප්‍රථම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය මණ්ඩල ගොඩනැඟිල්ල (senate building) ඉදිරිපිට සිසුන්ට විරෝධතා දැක්විය නොහැකි බවට වාරණයක් පැනවිනි. ඒ, එම ගොඩනැඟිල්ලේ ඓතිහාසික සහ පරිපාලන වැදගත්කම සළකා බවට යැයි නිල හේතු දැක්වීමේ කියැවුණි. දැනට සති කිහිපයකට පෙර ඒ පිටට තවත් වාරණයක් පැනවුනේ ශාස්ත්‍රීය මණ්ඩල ගොඩනැඟිල්ල පාමුල ඇති ගල්කණු සහිත පෙදෙසේ සිසුන්ට ගැවසිය නොහැකි බව කියමිනි. ඊට දින කිහිපයකට ප්‍රථම සිසුන් විසින් ඝෝෂාකාරී ලෙස එතැන සංගීතය වාදනය කිරීමත්, ඊටත් කාලයකට පෙර එතැන යෞවන යුවළක් එකිනෙකා වැළඳ ගැනීමත් යන කරුණු අරබයා යැයි කියමින් තහනම සාධාරණීකරණය කරන ලදී. මෙමඟින් ඉහළ මහලේ සේවයෙහි නියුතු පරිපාලන කාර්ය මණ්ඩලයට බාධා වනවා පමණක් නොව, විශ්ව විද්‍යාලය බැලීමට බාහිරින් පැමිණෙන (පාසල් සිසුන්ද ඇතුළු) ජනතාව අතර එහි කීර්ති නාමය පළුදු වීමේ අවදානමක්ද පවතින බව නිසි බලධාරීන්හු තර්ක කළහ. මෙම සිදුවීම් සහ ඒ අරබයා ගුරුවරුන්ගේ මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවේ යම් යම් කොටස් තුළද දක්නට ලැබුණු ඇල් මැරුණු ආකල්පය නිසා, ශාස්ත්‍රීය සහ ශිෂ්‍ය ජීවිතය මෙන්ම අධ්‍යාපනය පිළිබඳව අපේ වටහා ගැනීම මෙන්ම, එතුළින් විද්‍යාමාන වන විශ්ව විද්‍යාලය සම්බන්ධ ඉතා පටු අර්ථකථනය පිළිබඳවද ආවර්ජනය කිරීමට මට කරුණු යෙදුනි.    

අධ්‍යාපනය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය, රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය සුදුසුකමකට ලඝු කිරීමත්, ඒ මත පදනම්ව වඩා ගැඹුරු සහ පරිපූර්ණ ආකාරයේ අධ්‍යාපනයකට අවශ්‍ය කොන්දේසි වන දේශපාලනික විඥානය, ක්‍රියාවාදය (activism), සහ ඇත්තෙන්ම මිතුරු මිතුරියන් අතර ආදරය සහ සෙනෙහස වැනි දේ පවා අනවශ්‍ය ලෙස සළකා බැහැර කිරීමත් සිදුවන්නේ යම් සන්දර්භයකය. එය ලංකාවේ අධ්‍යාපනය වාණිජකරණය වීම පිළිබඳ සන්දර්භයක් වන අතර, ගෝලීයව තවත් බොහෝ තැන්වල දැනටමත් සිදුව ඇත්තකි. ඒ අරබයා ගෝලීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රතිපත්ති, අරමුදල් සම්පාදනය හා පුහුණුවීම් පිළිබඳ නිර්මාණය වී ඇති පරිසරය තුළය මෙවැනි ආකාරයේ විපරිවර්තනයන් දිග හැරෙන්නේ. 

ලංකාව තුළ අනුක්‍රමික ආණ්ඩු විසින් වෙළඳපොළ අවශ්‍යතා සමඟ අධ්‍යාපනය සමපාත කිරීමත්, පසුව අධ්‍යාපනයම වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමත් අරමුණු කරන්නේ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල තල්ලුවද ඇතිවය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යාපනය වැය-ප්‍රතිලාභ (cost-benefit) පදනමක සිට තක්සේරු කිරීමේ ප්‍රවණතාව එන්න එන්නටම තීව්‍ර වෙමින් තිබේ. නවලිබරල් වෙළඳපොළ පදනම්ව ඇති පුද්ගලවාදී චින්තනය අනුව නිර්මාණය වී ඇති මෙම පද්ධතිය තුළ මෙකී වැය හා ප්‍රතිලාභ දෙකම අනුයුක්ත වන්නේ පුද්ගලයාටය. එමඟින් සිසුන්ගේ පුළුල් සංවර්ධනය මෙන්ම සමාජයීය අභිවෘද්ධිය යන කාරණා පිළිබඳ විඥානයක් වර්ධනය වීම අවහිර කරයි. මෙම දැක්ම සිසුන්, ගුරුවරුන් හා අධ්‍යාපන ආයතන පරිපාලකයින් යන සියළු දෙනා වඩ වඩාත් අන්තරීකරණය කොටගෙන ඇත්තකි.

අධ්‍යාපනයෙහි සාරය යම් සුදුසුකමක් හා එයට සාක්ෂි වශයෙන් කුසලතා කට්ටලයක් ලබාගැනීම වැනි පටු තැනකට ලඝු කළවිට, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය බිඳ දැමීම සඳහා පහසුවෙන්ම හේතුවක් නිර්මාණය වේ: “ඔතැන සිදුවන දෙය වඩා අඩු ඉඩක්, අඩු කාලයක්, අඩු පුහුණු ගුරුවරුන් ප්‍රමාණයක් භාවිතයෙන් සහ ඇත්තෙන්ම මාර්ගගතව පවා කළහැකි නම්, මෙතරම් භෞතික සම්පත් ප්‍රමාණයක් සහ ඒවා පැවැත්වීම සඳහා වැය කරන මුදල් ප්‍රමාණය කෙසේ සාධාරණීකරණය කළ හැකිද?” ශිෂ්‍ය ක්‍රියාකාරකම් පන්ති කාමරයට සීමා වන්නේ නම්, ගුරුවරුන්ගේ කාර්ය භාරය යම් දෙනලද විෂය නිර්දේශයක් ආවරණය කිරීම පමණක් නම්, අධ්‍යාපනය පිළිබඳ අපේ දැක්මද එබඳු එකක් නම්, ඇත්තෙන්ම අපි මීට වඩා අඩු සම්පත් හා මුදල් ප්‍රමාණයක් වැය කළයුතු බව අපට පිළිගැනීමට සිදුවේ.    

විචාරාත්මක අධ්‍යාපනය නැවත සරසවියට කැඳවීම සඳහා කරන මේ ආයාචනය, හුදු සිසුන්ට (සහ ගුරුවරුන්ට වුවත්) විශ්ව විද්‍යාල අවකාශය වඩා නිදහස්ව භාවිතා කළහැකි පරිදි වෙනස් කිරීමට අදාළ වූවක් පමණක් නොවේ. එම ආයාචනය තුළ ඇත්තේ එවැනි නිදහස් භාවිතයකින් වඩා පුළුල්ව ඇඟවුම් කරන දෙය පිළිබඳ කතාවකි. සේවා නියුක්තියට සුදුසු උපාධිධාරීන් බිහිකිරීම සඳහා ‘විශ්ව විද්‍යාලයක්’ අවශ්‍ය නැත. තට්ටු පහක (හෝ ඊටත් අඩු ප්‍රමාණයක) ගොඩනැඟිල්ලකට සිරකරන ලද ඕනෑම පුහුණු ආයතනයකට එය කළහැකිය. විශ්ව විද්‍යාලයක් බිහිකිරීමට සහ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන චින්තනය හා කරදර වීමෙන් තොරව මේ කාර්යය පහසුවෙන්ම කළහැකි වේ. අපේ සිසුන්ට රැකියා නියුක්තිය අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා අප ඔවුන්ව අනිවාර්යයෙන්ම පුහුණු කළයුතු බවත් අපි පිළිගනිමු. නමුත් අප ‘විශ්ව විද්‍යාලයක්’ බවට පත්වන්නේ මේ කාර්යය තුළින් නොවේ. අප ‘විශ්ව විද්‍යාලයක්’ බවට පත්වන්නේ සිසුන්ට ලබාදෙන විචාරාත්මක චින්තනය හා, පවතින පද්ධතියෙහි කුඩා කොටසක් ලෙස ජීවත්ව මැරී යනු වෙනුවට එහි යම් වෙනසක් කිරීමට ඒ නිසා ඔවුන් ලබන පන්නරය තුළිනි. වික්ටෝරියානු සදාචාරවාදයෙහි සහ හුස්ම හිර කරවන සුළු නිලබල තාන්ත්‍රික රෙගුලාසි වල කිඳී ගිය, පෙර දක්වන ලද ආකාරයේ වාරණයන් සිසුන්ට පනවන විට ඊට එරෙහිව ශක්තිමත්ව නැඟී සිටීමට රුකුල් දෙන්නේ එවැනි ආකාරයේ අධ්‍යාපනයකි; පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේදී සාර්ව මට්ටමේ දර්ශක වලට ඉහළින් මානව අභිවෘද්ධිය තබමින් ප්‍රමුඛතා තීරණය කළයුතු බව අපට පෙන්වා දෙන්නේද එවැනි ආකාරයේ අධ්‍යාපනයකින් පමණි. 

උඩුගං බලා පිහිනීමට අප එම නිසා ධෛර්යය උපදවා ගතයුතුය: (බොහෝවිට අරමුදල් වලින් තොරව) විචාරාත්මක ආකාරයේ පර්යේෂණ කිරීමත්, (දඬුවම් ලැබීමේ අවදානම සහිතව) අපේ පන්ති කාමර තුළ හා ඉන් පිටත විචාරාත්මක ආකාරයේ සාකච්ඡා කිරීමත් ඊට අයත් වේ. ‘විශ්ව විද්‍යාලයක්’ ලෙස අපේ පැවැත්ම ඇත්තෙන්ම තීරණය වන්නේ අප මෙම කාර්යයන් කිරීම මතය.