විසම්මුතිය අධ්‍යාපනය ලෙස: මර්දනකාරී යුගයක ඉගැන්වීම 

මහේන්ද්‍රන් තිරුවරන්ගන් 

අපි තවත් වසරකට එළඹ සිටින්නෙමු. මේ වසරේ කුමක් සිදුවනු ඇතිද? බලාපොරොත්තු දනවන අලුත් යමක් නැති තරම්ය. වක්‍ර බදු වල වැඩිවීම, උතුරු-නැගෙනහිර දිගින් දිගටම සිදුවන ඉඩම් අත්පත් කරගැනීම්, මලයියහ ප්‍රජාව සිය ජීවිකාව සරිකර ගන්නා දරිද්‍ර තත්වයන්, විශ්ව විද්‍යාල තුළ මර්දනකාරී පරිසරය, සහ ගාසා හි යුද්ධය, ඉතිහාසයේ අප වසන මේ මූසල යුගය ලකුණු කරන දේ වලින් කිහිපයක් පමණි. මේ ලිපිය ඉතා අපේක්ෂාභංග ලෙස ආරම්භ කිරීම හැර වෙන විකල්පයක් නොමැත. 

අප බොහෝ දෙනෙකු විශ්වාස කරන පරිදි අධ්‍යාපනය යනු අප තුළ විචාරාත්මක විඥානයක් වර්ධනය කරන, බලය දරන්නන්ට සත්‍යය ප්‍රකාශ කර සිටීමට අනුබල දෙන, දේශපාලන හා ආර්ථික පද්ධති වලින් ජනනය කරන්නා වූ අසමානතා සහ බැහැර කිරීම් පිළිබඳ ප්‍රශ්න නැඟීමට උනන්දු කරවන දෙයකි. එහෙත් සමානාත්මතාව අරමුණු කරගත් වෙනසක් ඇතිකිරීමට තුඩුදෙන ආකාරයේ විචාරාත්මක විමර්ශනය, අධ්‍යාපන ආයතන තුළ වත්මනෙහි පවතින විසම්මුතිය නොඉවසන සුළු පරිසරය තුළ නොකළ හැකි දෙයක් බවට පත්වෙමින් තිබේ. අපේ විශ්ව විද්‍යාල තුළ අද පවතින බුද්ධිමය පරිසරය විස්තර කළ හැක්කේ කෙසේද? බාධාවකින් තොරව අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව අපේ විශ්ව විද්‍යාල තුළ තහවුරු කිරීම සඳහා අප කුමනාකාරයේ ක්‍රියාමාර්ග ගෙන තිබේද? 

මම පෞද්ගලික අත්දැකීමකින් පටන් ගන්නම්. තවත් සමාසිකයක ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේ මා නැවත විශ්ව විද්‍යාලයට පැමිණුනේ වෙනදා උනන්දුවෙන් නොවේ. විසම්මුතිය සහ විවිධත්වය පිළිබඳ අවකාශයක් ලෙස විශ්ව විද්‍යාලය තැකීමේ හැකියාව එම අසන්න කාලයේ සිදුවූ සිදුවීම් දෙකක් නිසා අඩුවී තිබුණි. ඉන් පළමුවැන්න 2023 ඔක්තෝබර් මාසයේ නීතීඥවරියක සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන ස්වස්තිකා අරුලිංගම්ට, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පවත්වන්නට නියම වී තිබූ දේශනයක් ශිෂ්‍ය විරෝධය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වීමයි. සිය විරෝධයට හේතුව ලෙස ශිෂ්‍යයන් දක්වා සිටියේ සිය කලින් කතාවක අරුලිංගම් විසින් LTTE සංවිධානය පැසිස්ට්වාදී එකක් ලෙස වර්ගීකරණය කොට තිබීමය. දෙවැන්න දෙසැම්බර් මාසයේ වූ සිදුවීමකි. යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල නැරඹීමට පැමිණි මහජනතාවගෙන් දෙදෙනෙකුට කොට කලිසම් හැඳ සිටීමේ ‘වරදට’ විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කෙරුණි. සිය අදහස් දැක්වූ සමහරුන්ට අනුව එය රටේ වෙනත් විශ්ව විද්‍යාල වලද ශිෂ්‍යයන් විසින් බලාත්මක කරන නිහඬ නීතියකි. 

වසර පහකට පෙර මා යාපනය විශ්ව විද්‍යාලයට බැඳෙන විට මා එය දුටුවේ එතෙක් පැවති යුද්ධයේ අඳුරු සෙවණැලි වලින් එළියට එමින් තිබූ උතුරේ එක් අවකාශයක් ලෙසයි. දශක ගණනාවක දෙමළ අරගලයෙහි එක් ප්‍රතිඵලයක් වූයේ දෙමළ ප්‍රජාව තුළම යම් යම් කණ්ඩායම් ‘අනෙකුන්’ ලෙස සැළකීමය. ඒ අතර දෙමළ ජාතිකවාදී දේශපාලනය තුළ LTTE සංවිධානයෙහි පරම බලය පිළිගැනීමට අකමැති වූ ශිෂ්‍යයන් සහ ශාස්ත්‍රාලිකයන්ද විය. යුද්ධයෙන් පසු කාලය තුළ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පත්කිරීම ඇතුළු විවිධ කාර්යයන් වලට හමුදාවේ ඇඟිලි ගැසීම් සිදුවීම, මිලිටරිය වරදකාරී පාර්ශ්වයට සම්බන්ධ කෙරෙන ආකාරයේ තොරතුරු සහිත නඩුවකට පෙනී සිටීමට සූදානම් වූ නීති දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රාලිකයකුට නීතිඥයකු ලෙස රැකියාව කිරීම තහනම් කිරීම මෙන්ම යුද්ධයෙන් මියගිය LTTE සාමාජිකයන් හා සිවිල් වැසියන් අනුස්මරණය කිරීම තහනම් කිරීම වැනි කටයුතු නිසාද විශ්ව විද්‍යාලය තුළ බුද්ධිමය ක්‍රියාකාරකම් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයට තර්ජන එල්ල විය. 

ශාස්ත්‍රාලික ප්‍රජාවගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් හා මහජනතාවගෙන් බොහෝ දෙනෙක් මාර්ගගත අවකාශ වල මෙම සිදුවීම් සාධාරණීකරණය කිරීම මා තුළ යම් කනස්සල්ලක් ජනනය කළේය. යුද්ධයෙන් පසු කාලය තුළ විවිධාකාරයේ අදහස් සාකච්ඡා කිරීම සඳහා විශ්ව විද්‍යාලය තුළ සහ පොදුවේ උතුරේ විවෘත වූ අවකාශය, රාජ්‍යයේ ක්‍රියා පමණක් නොව, සාමාන්‍ය මහජනතාවගේ සිතුම් පැතුම් නිසාද හැකිලී යන බව මින් අදහස් වේද? විසම්මුතිය සම්බන්ධයෙන් මෙසේ ප්‍රතිචාර දක්වන ලංකාවේ එකම විශ්ව විද්‍යාලය ඇත්තේ යාපනයේ නොවේ. මෙවැනි ආකාරයේ ආවර්ජනා තුළින් මා බලාපොරොත්තු වන්නේ විසම්මුතියට ඉඩ ලබාදෙන අවකාශ ලෙස ලංකාවේ සියළු රාජ්‍ය විශ්ව විද්‍යාල වල තත්වය පිළිබඳ ජාතික තලයේ කතිකාවක් ඇරඹීමයි.

බලාපොරොත්තුවෙන් යුතුව හෝ වෙන විකල්පයක් නොමැති නිසා මගේ පන්තිය ඇරඹෙන තෙක් බලා සිටින සිසුන් දෙස මම බලමි. ඔවුන්ගෙන් සමහරු පන්තිය තුළ නිහඬ චරිත වේ; තව සමහරු කතා කරති. වඩා පුළුල් සමාජයේ පවතින ප්‍රතිවිරුද්ධතා පිළිබිඹු කරන, සංකීර්ණ සහ විෂම කණ්ඩායමකි ශිෂ්‍යයන්. සිය පෞද්ගලික අත්දැකීම් වලින්, රාජ්‍යය සහ එහි ප්‍රචණ්ඩ ක්‍රියා වලින්, ජාතිවාදී මාධ්‍ය සහ දේශපාලන කණ්ඩායම් වලින්, විශ්ව විද්‍යාලය තුළ සිය ජ්‍යෙෂ්ඨයින්ගෙන් නවක වදය වැනි භාවිතයන් හරහා උගත් අධිපතිවාදී චින්තනය තුළින්, සහ ඩයස්පෝරා කණ්ඩායම් වල ධ්‍රැවීකරණය කරවන සුළු න්‍යාය පත්‍ර වලින් ඔවුහු බලපෑමට ලක්වෙති. ගුරුවරයා යනු ඔවුන් දෛනිකව සම්මුඛ වන්නා වූ එක් චරිතයක් පමණි. ජාතිවාදය සහ සංස්කෘතික පටුබවින් ඔද වැඩුණු පරිසරයක් තුළ විචාරාත්මක භාවය පිළිබඳ ඔවුන් හා සංවාදයක් ඇරඹීමට නම් විප්ලවීය ගුරුවරයා අමතර වෙහෙසක් ගත යුතුය. පන්තිය තුළ හා ඉන් පිටත ඉතා දුෂ්කර සාකච්ඡා මෙහි අනිවාර්ය කොටසකි. ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර ඇති ධූරාවලිගත සම්බන්ධය කඩාබිඳ දැමීමට අපේ ඇති අවංක කැපවීම මතද මෙය තීරණය වේ. පවුලෝ ෆ්‍රෙරේ ඉතා අලංකාරවත් ලෙස පැවසූ පරිදි: “අධ්‍යාපනය ඇරඹිය යුත්තේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ප්‍රතිවිරුද්ධතාවය විසඳීමෙනි. එනම් ගුරුවරයා සහ ශිෂ්‍යයා යන දෙදෙනාම ගුරුවරුන් සහ ශිෂ්‍යයන් යන දෙකම බවට පත් කිරීමෙනි.”  

පන්ති කාමරය තුළ අප ඇතිකරන – හෝ ඇතිකරන්නට අසමත් වන – ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය, අපේ ශිෂ්‍යයන් කුමනාකාරයේ අයවළුන් බවට පත්වන්නේද යන්න තීරණය කරයි: සිය විශ්ව විද්‍යාලය, වඩා පුළුල් සමාජය සහ එහි දේශපාලනය ඔවුන් දකින ආකාරය එමඟින් බලපෑමට ලක්වේ. ජාතිකවාදය සහ සංස්කෘතික ශික්ෂණය කිරීම් තුළින් ඇතිකරන බැහැර කිරීම් පිළිබඳ අප කරන හෝ නොකරන සංවාද තුළින් ඔවුන්ගේ සමාජ දෘෂ්ටිය හැඩගැසේ. එහෙත් කණගාටුවට කරුණක් වන්නේ රටේ බොහෝ ශාස්ත්‍රාලිකයන් අධිපති මත වලට අභියෝග කිරීමට මැලි වීමයි. ස්වයං නීර්ණයේ සහ අධිරාජ්‍ය විරෝධයේ නාමයෙන් ජාතිකවාදී ව්‍යාපාර වල කරන බැහැර කිරීම් ඔවුහු ස්වභාවිකකරණය කරති; පීඩකයාගේ හා පීඩිතයාගේ ජාතිවාදය අතර වෙනසක් ඔවුන් පෙන්වා දෙන්නේ ඒ තුළ පවතින සමානතා සම්පූර්ණයෙන්ම නොසළකා හරිමිනි. විශ්ව විද්‍යාල විසින් විචාරාත්මක සාකච්ඡා වලට මුල්තැන දියයුතුය. එය අපේ ශිෂ්‍යයන් සහ අධ්‍යාපනය යන දෙක සමඟම අප එළඹෙන සම්මුතියකි. නමුත් මෙය කියන තරම් පහසු නොවේ. සිය අනන්‍යතාවය හෝ දෘෂ්ටිවාදීමය දැක්ම නිසා ශිෂ්‍යයන් මෙන්ම පරිපාලනය අතරද ගුරුවරයා ‘අනෙකෙකු’ ලෙස සැලකීමට බඳුන් විය හැකිය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයට කැපවීමක් ඇති අප සියළු දෙනා විසින් ශිෂ්‍යයන් හා පරිපාලනය යන දෙක සමඟම අභියෝගාත්මක සංවාදයකට එළඹීමට නිර්මාණශීලී ක්‍රම සොයාගත යුතුය. එහෙත් එය අනුකම්පාවෙන් යුතුව හෝ අනාගත විප්ලවය කරන්නන් ශිෂ්‍යයන් තුළින් තැනීම වැනි රොමෑන්තිකකරණය කරන ලද අදහස් මත පදනම්ව සිදු නොවිය යුතුය. රාජිනී තිරාණගම වැනි ශාස්ත්‍රාලිකයන්ගෙන් මෙවැනි කරුණු වලදී ඉගෙනීමට බොහෝ දේ තිබේ. සිය ශිෂ්‍යයන්ගේ දේශපාලනයට අභියෝග කරන ගමන්ම දුෂ්කර අවස්ථා වල ඔවුන්ට සහය දැක්වීම ඇය සිදුකළ කාර්යයකි.

අපේ අධ්‍යාපන ක්‍රමය තුළ විසම්මුතියට ඇති ඉඩ අඩු වීමට එක් හේතුවක් වී ඇත්තේ අධ්‍යාපනය යනු ලෝකයේ ගැටළු අධ්‍යයනය කොට ඒවාට තාක්ෂණික ආකාරයේ විසඳුම් ලබාදීම බවට වන දැක්මයි. අප වටා ඇති බැහැර කිරීම්, වේදනාවන්, කම්පනයන් වලට සංවේදී වන ආකාරයේ අධ්‍යාපනයක් අපට අවශ්‍යය. ප්‍රජාවන් තුළ, විශේෂයෙන්ම වෙනසක් සඳහා සටන් වදින අතරේ වැරදීම් සිදුකර ගන්නා ප්‍රජාවන් තුළ, අන්තරාවලෝකනය ඇතිකරන ආකාරයේ අධ්‍යාපනයක් අපට අවශ්‍යය. මෙය මා පවසන්නේ විශේෂයෙන්ම දෙමළ විමුක්ති අරගලය සහ ඒ ආශ්‍රිත යාපනය විශ්ව විද්‍යාලයේ භූමිකාවට අදාළවය; යුධ සමයේ රාජ්‍යයෙන් මෙන්ම දෙමළ මිලිටරි ව්‍යාපාර යන දෙකෙන්ම තර්ජනයට ලක්වූ ශාස්ත්‍රාලිකයන් සහ සිසුන් වෙනුවෙන් කතා නොකිරීමේ වරද කළ උතුරේ ශාස්ත්‍රාලික ප්‍රජාවට අදාළවය.

වර්තමානයද රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගකාරී එකකි. පෞද්ගලීකරණය මෙන්ම ශිෂ්‍ය ව්‍යාපාර හා විසම්මතිය දුර්වල කිරීම තුළ දක්නට ලැබෙන්නේ අධ්‍යාපනය සමාජ සාධාරණත්වයෙන් වෙන් කිරීමේ වෑයමකි. අධ්‍යාපනය ලබාදෙන භෞතික තත්වයන් හා ලබාදිය හැකි අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අතර සම්බන්ධයක් ඇත. බඳවා ගැනීම් තාවකාලිකව නතර කර දමා තිබේ; බුද්ධි ගලනය නිසා පවතින මානව සම්පතද ක්‍ෂය වීගෙන යයි. රාජ්‍යයේ ආයෝජනයකින් තොරව විසම්මතිය සඳහා අවකාශ නිර්මාණය කිරීම කළ හැක්කක් නොවේ. පවතින ආර්ථික අර්බුදය තුළ ගුරුවරයා සහ ශිෂ්‍යයා යන දෙදෙනාගේම අවධානය ඇත්තේ අධ්‍යාපනික අවකාශ තැනීම කෙරෙහි නොව පැවැත්ම කෙරෙහිය. 

මර්දනය සහ ආර්ථික පහර ගැසීම් තුළින් දුර්වලකරණය වූ පද්ධතියක් තුළ බලාපොරොත්තුව සොයා ගැනීමට නම් වඩා පුළුල් එක්සත්කමක් හා සහයෝගීතාවයන් අවශ්‍ය වේ. පරිධියේ විශ්ව විද්‍යාල වලට මේ මොහොතේ දැනෙන බර මධ්‍යයේ විශ්ව විද්‍යාල වලට වැඩි හෙයින්, පරිධියේ විශ්ව විද්‍යාල වලට යම් ආකාර සහයෝගයක් දැක්වීම මධ්‍යයේ විශ්ව විද්‍යාල වල වගකීමකි. එකම විශ්ව විද්‍යාලයක් තුළ පීඨ අතර පවතින වෙනස්කම් මෙන්ම, බස්නාහිර පලාතෙන් පිට විශ්ව විද්‍යාල වලට කරනු ලබන සාපේක්ෂ අඩු ආයෝජනය බොහෝ ශාස්ත්‍රාලිකයන් කතා කිරීමට මැලිකමක් දක්වන මාතෘකාවකි. මෙම සම්පත් බෙදාහැරීමේ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම දැන් පැටවී ඇත්තේ ආචාර්ය මණ්ඩල හා ශිෂ්‍ය සමිති වලටය. එක්ව ක්‍රියා කළහොත් සම්පත් බෙදාගැනීමේ නව ක්‍රමවේදයකට යාමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් පීඩනයට ලක්කිරීමේ හැකියාවක් පැවතිය හැකිය. එසේම අධ්‍යාපනය වෙනුවෙන් කරන ප්‍රතිපාදන වැඩි කිරීමටද හඬ අවදි කළ යුතුය.

සාකච්ඡාව, ආවර්ජනය, එක්සත්බව හා ක්‍රියාව යන මේවා බලාපොරොත්තුව සමඟ තදින් බැඳී පවතී. අපේ අධ්‍යාපන පද්ධතියේ ඉදිරිය රඳා පවතින්නේ විචාරාත්මක විඥානය පෝෂණය කිරීමේ අවකාශයන් ලෙස විශ්ව විද්‍යාල රැකගැනීමට අප අපේ ශිෂ්‍යයන් සමඟ එක්ව කටයුතු කරන ආකාරය මතය.