ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනය: පැහැදිලි කිරීම් කිහිපයක්

ෆර්සානා හනීෆා

ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද උසස් අධ්‍යාපනය පිළිබඳ වාර්තාවක් උපාධිධාරී විරැකියාව සහ කලා අධ්‍යාපනය අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට උත්සාහ දරනු ලැබීය. අද කුප්පි කතාව ව්‍යුත්පන්න වී ඇත්තේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයින් කණ්ඩායමක් වන අප විසින් වාර්තාවට දක්වන ලද්දා වූ ප්‍රතිචාරයක් ඔස්සේය.

ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනය සම්භන්ධයෙන් වැඩි දියුණු කළ හැකි බොහෝ දේ ඇති බව පිළිගත යුතුය. නමුත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව වැරදි වැටහීම් රාශියක් සමාජගත වී ඇති බව ද පිළිගත යුතු අතර, විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාරය හෝ පිරිනමන උපාධි පාඨමාලා වල ගුණාත්මකභාවය පිළිබඳව සාධාරණ ඇගයීමක්  අඩංගු නොවන බවද සඳහන් කළ යුතුය.

කලාව අවතක්සේරු කිරීම

සමාජය වඩා සාරවත් කිරීම සඳහා නිර්මාණාත්මක කලාවේ අවශ්‍ය තාවය  පිළිගන්නා අතරම, මෙම වාර්තාවෙන් ඇඟවුම් කරනු ලබන්නේ “සංවර්ධනය වෙමින් පවතින රටක්” ලෙස අපට කලාව සඳහා සම්පත් වියදම් කිරීමට නොහැකි බවයි. ආර්ථික සංවර්ධනය සඳහා වූ ගවේෂණයේ දී – මෙම නිර්මාණාත්මක කලාව, අවතක්සේරු කිරීම සැබැවින්ම අවාසනාවකි. මෙවැනි වාර්තා වලින් ප්‍රදර්ශනය වන්නේ වර්තමාන අධ්‍යාපන ප්‍රතිපත්තීන්හි අදූරදර්ශී බව සහ පටු භාවයයි.

කලා පීඨයන් ඔස්සේ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ භූගෝල විද්‍යාව වැනි සමාජ විද්‍යාවන් සඳහා උපාධීන් ලබා දෙන අතර අධ්‍යාපනය, පුරාවිද්‍යාව සහ පුස්තකාල විද්‍යාව වැනි ව්‍යවහාරික හෝ “වෘත්තීය” ක්ෂේත්‍රයන් සඳහා මෙන්ම ඉතිහාසය, දර්ශනය සහ සාහිත්‍යය වැනි මානව ශාස්ත්‍ර විෂයයන් වෙනුවෙන්ද අධ්‍යන කටයුතු මෙහෙය වීම සිදු වේ. දරිද්‍රතාවය, අධ්‍යාපනය වැනි ඕනෑම සමාජ ගැටලුවක් හෝ ජල හිඟය වැනි වූ ඕනෑම “තාක්‍ෂණික” මට්ටමේ ගැටලුවක් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම අංශ විසින් සපයනු ලබන කුසලතා සහ දෘෂ්ටිකෝණයන් අත්‍යවශ්‍ය වේ. රට තුල පවතින  ගැටලුවල දාර්ශනික හා දෘෂ්ටිවාදාත්මක පදනම අවබෝධ කර ගැනීමට මෙන්ම යෝජිත විසඳුම්වල සමාජ, සංස්කෘතික හා මානව ප්‍රතිවිපාක හඳුනා ගැනීමට ඇති හැකියාව කළා අධ්‍යාපනයක් මගින් පෝෂණය කරයි. සමාජ  පර්යේෂණ සඳහා නිරන්තරයෙන් විවිධ වූ දෘෂ්ටිකෝණයන් භාවිත කිරීමට මූලික හේතුව මෙයයි.

යහපත් තත්ත්වයේ කලා අධ්‍යාපනයක් මගින් සමාජයට ලබා දිය හැකි දායකත්වය හඳුනා ගැනීම වැදගත්ය. සමාජ විද්‍යාවට හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනයට ලබා දිය හැකි විවිධ වූ දෘෂ්ටිකෝණයන් කෙරෙහි අවධානය යොමු නොවීම නිසා ඉහත ක්ෂේත්‍රයන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පුද්ගලයින්ට, විශාල සමාජ  බලපෑමක් ඇති කළ හැකි අංශයන්හි  ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ නිර්මාණය කිරීමට අවකාශය සකස් වී ඇත.

විගණන වාර්තාව විසින් ද්විතීයික අධ්‍යාපනයේ ඇති බොහෝ ගැටලු පෙන්වා දෙනු ලබන අතර, වරප්‍රසාද නොලත් පාසල්වල සිසුන්ට උසස් පෙළ සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා (අඩු ඉල්ලුමක් පවතින) කලා විෂය ප්‍රවාහයන් අනුගමනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට තර්ක කරයි. මෙම හේතූන් නිසාම කලා පීඨයන් එවැනි අවම සූදානම් සහිත සිසුන්ගේ කලාපය බව මෙම වාර්තාව පවසයි. මෙකී අධ්‍යාපන ක්‍රමය ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇතත්, වාර්තාව යෝජනා කරන්නේ එවැනි සිසුන් උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසු නැති බවත් ඔවුන් වෙනත් කලාපයකට ස්ථානගත කළ යුතු බවත්ය.

බොහෝවිට දුර්වල ද්විතීක අධ්‍යාපනයක් ලැබූවන් තෝරාගනු ලබන්නේ ශාස්ත්‍රීය විෂය ධාරාවන් නම්, එම ශාස්ත්‍රීය විෂයන් ඔස්සේ වර්ධනය වීමට සිසුන්ට  ප්‍රතිකාර්මික ක්‍රියාපිළිවෙත් ඉදිරිපත් විය යුතු ය. දැනට පවතින්නා වූ කලා විෂය පථයන් මෙම කාර්යය සිදු කිරීම සඳහා නිර්මාණය කර නොමැත. ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට මේ ඔස්සේ යම් තරමක හෝ සහයක් ලබා දී ඇති නමුත්, වෙනත් ආකාරයේ අත්‍යවශ්‍ය  කුසලතාවන්හි ඇති දුර්වලතා ආමන්ත්‍රණය කිරීමට එතරම් සහයෝගයක් ලබා දී නොමැත. අද විශ්වවිද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍ය ජනගහනය, බහුල වශයෙන්, දුර්වල මට්ටමේ සම්පත් පවතින අධ්‍යාපන පද්ධතියකින් සහ විභාග වෙතම නැඹුරු වූ ඉගෙනුම් ප්‍රජාවක් බිහි කරන උපකාරක පන්ති සංස්කෘතියකින් මතු වන්නන්ය.

අධ්‍යාපන ප්‍රතිපත්තිය මඟින්, උපාධි පාඨමාලා වල අවශ්‍යතා සහ සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළු කරගනු ලබන නිපුණතා අතර නොගැලපීම විසඳිය යුතුය. මේ වෙනුවෙන් ලබා දිය හැකි මූලික විසඳුමක් වන්නේ අධ්‍යාපන පද්ධතියට වැඩි සම්පත් ප්‍රමාණයක් යෙදවීම සහ උපාධි පාඨමාලාවට පෙර අමතර දැනුවත් කිරීමේ කාල සීමාවක් සිසුන්ට ලබා දීම යි.

මේ වාර්තාවට අනු  මෙම  “දුර්වල” සිසුන් පැමිණෙන්නා වූ කලා විෂයන්ම දුර්වල බවත්, එම පාඨමාලා මගින් කෙරෙන  සමාජීය බලපෑම ඉතා කුඩා බවත් ඇඟවුම් කරයි. නමුත් රටේ විශ්වවිද්‍යාල පද්ධතිය පුරා පවතින සියලුම කලා පාඨමාලාවන් එක හා සමාන නොවේ. අභ්‍යන්තර හා බාහිර උපාධි පාඨමාලා, විවිධ විෂය සංයෝජනයන්ගෙන් පසු ලබන්නා වූ තුන් අවුරුදු සාමාන්‍ය කලා උපාධි පාඨමාලා සහ වසර තුනක කාලයක් තුළ විශේෂඥතාව ලබා දෙන අධ්‍යයන ධාරා උපාධි වැඩසටහන් මෙන්ම පර්යේෂණ අංගයක් සම්බන්ධ කරමින් ගොඩනගා ඇති සිව් අවුරුදු ගෞරව උපාධි වැඩසටහන් මේ අතර වේ. මේ අනුව, කලා ධාරාව නියෝජනය කරන සිසුන්, පුළුල් හා විෂම පරාසයක හැකියාවන් සහ කුසලතා විදහා දක්වයි. වඩා ශක්තිමත් වැඩසටහන් හඳුනාගෙන සංවර්ධනය කිරීම සහ ප්‍රතිසංස්කරණ අවශ්‍ය ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහාය ලබා දීම සඳහා  කලා වැඩසටහන් එකිනෙක වෙන්කොට හඳුනා ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම ශාස්ත්‍රීය පැතිකඩ වෙත වැඩි වශයෙන් නැඹුරු වූ වැඩසටහන්, රැකියා අරමුණු කරගත් වැඩසටහන් වලට පටහැනි බව වාර්තාව උපකල්පනය කරයි. මෙවැනි දෘෂ්ටිකෝණයක්  ශාස්ත්‍රීය අධ්‍යාපන  කටයුතුවල ස්වභාවය සහ රැකියා අරමුණු කරගත් අධ්‍යාපනයේ සාරය යන සංකල්ප ද්විත්වයම වැරදි ලෙස අර්ථ දක්වයි. විචාරාත්මක චින්තනය, පාඨමාලාවේ විෂය මූලික අන්තර්ගතය  සමඟ සැලකිය යුතු ලෙස සම්බන්ධ වීම, ස්වාධීන ඉගෙනීම, ගුණාත්මක රචනය, ඉදිරිපත් කිරීමේ කුසලතා සහ විවාද කුසලතා වැනි අංගයන් කෙරෙහි අවධානය යොමු කරන ශක්තිමත් අධ්‍යයන වැඩසටහනක් මඟින් ස්වාධීනව සිතීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ රැකියාව ඇතුළුව ඕනෑම තත්වයක් යටතේ අර්ථවත් ලෙස වෙනසක් ඇති කිරීමට හැකි  උපාධිධාරීන් බිහි කරනු ඇත. විෂයමාලාවේ කොටසක් ලෙස ඉංග්‍රීසි කුසලතා, “මෘදු කුසලතා” සහ තොරතුරු තාක්ෂණ කුසලතා වර්ධනය කිරීමට මේ ආකාරයේ ඵලදායී වැඩසටහනක් හේතු වේ.

වර්තමානයේ කලා පීඨ තුළ අනෙකුත් පීඨ වලට සාපේක්ෂව සිසුන් විශාල සංඛ්‍යාවක් ඉගෙනුම් කටයුතු සිදු කරනු ලබයි. ඔවුන්ගේ ශිෂ්‍ය මණ්ඩලය අතර විවිධතත්වය ඉහලය. එමෙන්ම  විවිධ අභියෝග ඇතිවීමේ හැකියාවද පවතියි. එහෙයින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථකව සම්පුර්ණ කිරීම සඳහා වැඩි සහයෝගයක් අවශ්‍ය වේ. නමුත් එක් සිසුවෙකු වෙනුවෙන් වෙන්කරනු ලබන අරමුදල්, අනෙකුත් උපාධි පාඨමාලා වලට සාපේක්ෂව ඉතා අඩුය. මෙය කලා පීඨ සඳහා සුවිශේෂී දුෂ්කරතා ගණනාවක් නිර්මාණය කරයි. කලා උපාධිධාරියෙකුට අවශ්‍ය ගුණාත්මක අධ්‍යාපනය ලබා දීම සඳහා විශ්වවිද්‍යාල තුළ මෙම ගැටළු සම්බනධව ක්‍රමානුකූල පරීක්ෂණයක් අවශ්‍ය වේ.

බොහෝ විශ්වවිද්‍යාල උපාධිධාරීන් තමන්ට අදාළ රැකියා කාණ්ඩයන් ලෙස හඳුනා ගනු ලබන්නේ රජයේ අංශයේ සේවයේ යෙදීමයි. සේවා කොන්දේසි, රැකියා සුරක්‍ෂිතතාවය සහ රජයේ තනතුරක ප්‍රතිලාභ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නවුන්ට වඩා බොහෝ සෙයින් වැඩි බව අවබෝධ කර ගැනීම මීට හේතු වේ. නමුත් උපාධිධාරීන් විරැකියාව වාර්තා කරන විට, ඔවුන් වෙනත් ආදායම් උත්පාදනය කරන ක්‍රියාකාරකම්වල හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත නොවන බව මින් අදහස් නොකෙරේ. මෙම කරුණු බොහොමයක් වාර්තාව විසින් හඳුනාගෙන ඇත. එහිදී උපාධි අපේක්ෂකයින් පෞද්ගලික අංශයේ රැකියා වල ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම මෙම වාර්තාව ඔස්සේ නිර්දේශ කරන අතර, පෞද්ගලික අංශයේ සේවා කොන්දේසි පිළිබඳව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

රැකියා විරහිත කලා උපාධිධාරීන්ගෙන් බහුතරය කාන්තාවන් බව වාර්තාව පෙන්වා දෙන නමුත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාන්තාවන් රැකියා විරහිත වීමට හෝ රැකියාවෙන් ඉවත් වීමට හේතුව ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය පර්යවලොකයකින්  ගවේෂණය නොකරයි. 2017 කම්කරු ඉල්ලුම් සමීක්ෂණය මගින් මෙම ගැටලුව පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. මෙම සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව, සේවා යෝජකයින් විසින් ඔවුන්ගේ “පවුල් බැඳීම්”, “ආරක්ෂක අවශ්‍යතා” සහ “මාතෘ නිවාඩු” හේතුවෙන් කාන්තාවන් බඳවා ගැනීම කෙරෙහි නිෂේධාත්මක ආකල්පයන් ප්‍රකාශ කර තිබේ. ගෘහාශ්‍රිත වගකීම් සහ ලිංගික හිරිහැර වැනි කාන්තාවන්ට සුවිශේෂයෙන් අදාල වන්නා වූ සාධක තුලින් සේවා යෝජකයන් කෙරෙහි ඇති කරන්නා වූ සංකීර්ණතා, විශ්වවිද්‍යාල අධ්‍යාපන සාධකයකට පමණක් ලඝු කළ නොහැකි තවත් සමාජ ව්‍යාධියක් පෙන්වා දෙනු ලබයි. මෑත කාලයේ විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්ව ඇති, කාන්තාවන්ට විශේෂයෙන් අදාළ වන වැටුප් රහිත සුරැකුම් ආර්ථිකය මෙහිදී වැදගත්ය. බොහෝ කාන්තාවන් නිවසේ රැකවරණය පිළිබඳ ඉල්ලීම් සපුරාලීම වෙනුවෙන් විධිමත් රැකියාවෙන් ඉවත් වීම හෝ අවිධිමත් රැකියාවල නිරත වීම සිදු කරනු ලබයි. මීට අමතරව, රැකියා ස්ථානයේ මෙන්ම රැකියාවෙන් පසු නැවත නිවස බලා යන විට මුහුණ දීමට සිදුවන ලිංගික හිරිහැර හා අවදානම් තත්ත්වයන් කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගීත්වය අවම වීමට බලපානු ලබන සාධක වේ. උපාධිධාරී විරැකියාව පිළිබඳ සම්පූර්ණ අදහසක්  ලබා ගැනීම සඳහා මෙම කරුණු ද සැලකිල්ලට ගත යුතු ය.