ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ ආකෘතිකරණය

හසිනි ලේකම්වසම්

ලංකාවේ උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට විවාදයක් නැතත්, ‘ආකෘතිකරණය’ – නොඑසේ නම් පාඩම දැඩි ආකෘතියකට සිර කිරීම තුළින් ගුරුවරුන්ගේ කාර්ය සාධනය මැනීම – ඔස්සේ එය සිදුකළ හැකිද යන්න ගැටළුවකි. මෑතකදී හඳුන්වා දෙන්නට යෝජනා වූ එවැනි ආකෘති පත්‍ර කිහිපයකින් අපේක්ෂා කෙරුණේ සමාසිකයේ උගන්වන සියළු පාඩම් සඳහා ඉතා විස්තරාත්මක පාඩම් සැලැස්මක් ඉදිරිපත් කිරීමය. එහිදී එම පාඩම් සැලැස්ම අදාළ පාඨමාලාවේ අරමුණු වලට මෙන්ම වඩා පුළුල්ව එම උපාධි වැඩසටහනේ අරමුණු වලටද ගැළපිය යුතු බව අපේක්ෂා කෙරේ. මතුපිටින් බැලූ කල මෙහි ගැටළුවක් නොමැති බව කෙනෙකුට හැඟීයාමට පුළුවන; එහෙත් ආකෘති පත්‍රයෙන් පත්‍රය මේ සිදුවන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රමයෙන් සීමා කිරීමට, අධීක්ෂණයට සහ පාලනයට ලක් වීමයි.  

ආකෘතිකරණයෙහි ගැටළුව

මෙවැනි වෙනස්කම් සිදුවන්නේ වඩා පුළුල් ප්‍රමිති සහතිකකරණ පසුබිමක බව සිහිතබා ගත යුතුය. ප්‍රමිති සහතිකකරණයෙන් අරමුණු කරන්නේ විවිධාකාර විෂය දහරා එකිනෙක හා සංසන්දනය කොට ශ්‍රේණිගත කිරීමයි. ඉතා වෙනස් විෂය පථයන් හා ඉගැන්වීම් ක්‍රම සහිත විෂය දහරා මෙසේ සැසඳීම තුළින් තහවුරු කරන ප්‍රමිතියේ ස්වභාවය පිළිබඳ ගෝලීයව බොහෝ ප්‍රශ්න දැනටමත් මතු වී ඇත. පෙර සඳහන් කළ ආකෘති පත්‍ර වලින් පෙනී යන්නේද ප්‍රමිතිය පිළිබඳ ඇති මෙම ප්‍රශ්නකාරී අවබෝධයයි.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය මෙසේ ආකෘතියකට සිර කිරීම තුළ ප්‍රශස්ත ආකාරයේ අධ්‍යාපනයක තිබිය යුතු නිර්මාණශීලීත්වයට සහ ප්‍රජාතාන්ත්‍රීය ජීව ගුණයට තැනක් නැතිව යයි. මෙයාකාර අත්‍යන්ත සැලසුම්කරණය තුළ පාඩමක අවසාන ප්‍රතිඵලය සිසුවා වෙනුවෙන් ගුරුවරයා විසින් තීරණය කරන අතර, එය ප්‍රජාතාන්ත්‍රීය අධ්‍යාපන ක්‍රියාවලියකට මරු පහරකි. ගුරුවරු අතරින් කී දෙනෙක් මෙසේ ප්‍රජාතන්ත්‍රවාදීව සිය ඉගැන්වීම් කටයුතු කරනවාද යන්න මෙහිදී මතුවිය හැකි සාධාරණ ප්‍රශ්නයකි. ඒ සම්බන්ධයෙන් මෙම ලිපියේ ඉදිරියට සාකච්ඡා කෙරෙන අතර, දැනට වැදගත් වන්නේ ගුරුවරු කී දෙනෙකු ප්‍රජාතන්ත්‍රවාදීද යන්නට වඩා එසේ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන කිහිප දෙනාට හෝ සිය කටයුතු නිදහසේ කරගෙන යෑමට අවශ්‍ය ඉඩ සැලසීම බව අවධාරණය කරනු කැමැත්තෙමි. අපේ කැපවීම තිබිය යුත්තේ හුදු බහුතරයක එකඟතාවයට නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශයට බව මම විශ්වාස කරන්නෙමි. ගුරුවරයාගේ රාමුවෙන් එපිටට සිතීමට ශිෂ්‍යයාට ඇති නිදහසත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් පාඩමෙහි අවසාන නිගමනය වෙනස් කිරීමට ගුරුවරයාට ඇති අයිතියත් යන දෙක තහවුරු කිරීම මෙහිදී ඉතා වැදගත්ය. මෙවැනි ආකෘති පත්‍ර වලින් ඊට ඇති ඉඩ ප්‍රස්ථා අවම කරයි.

මෙවැනි ආකෘති මඟින් අධ්‍යාපනයේ ‘සමාගම්කරණය’ පිළිබඳ වඩා පුළුල් කතාවක් කියවෙන බවද මට සිතේ. මහජන අයිතියෙහි පවතින ආයතනයක් පෞද්ගලීකරණය කිරීමේ දිගු කාලීන දැක්මක් සහිතව, ව්‍යාපාරයක් කළමණාකරණය කරන ආකාරයට පවත්වාගෙන යාම සමාගම්කරණය ලෙස දළ වශයෙන් අර්ථ දැක්විය හැකිය. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙම විපරිවර්තනය ප්‍රගතිශීලී ආඛ්‍යානයක සඟවා මාකට් කිරීමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. එහිදී ‘ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය’, ‘අන්තර් ක්‍රියාකාරීත්වය සහිත පන්ති කාමර’ වැනි පද, ඒවා හඳුන්වා දුන් පවුලෝ ෆ්‍රේරේ වැන්නන්ගේ ප්‍රජාතාන්ත්‍රවාදී දේශපාලනයෙන් විනිර්මුක්තව හිස් ලේබල් වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ. මෙවැනි පද යොදාගත්තත් මෙම ආකාරයේ ආකෘති පත්‍ර තුළින් සිදු කරන්නේ නැවතත් ගුරුවරයා මූලික කොටගත් ක්‍රමයකට යාම බව පැහැදිලිය. මන්ද සිසුවාට තවදුරටත් පාඩමේ අවසාන ප්‍රතිඵලයට බලපෑම් කිරීමට ඉඩක් ඉතිරි නොකොට, එය ගුරුවරයා විසින් පාඩම පටන් ගැනීමටත් පෙර ඒක පාර්ශ්විකව තීරණය කොට හමාර බැවිනි.

මෙවැනි පද්ධතියක ප්‍රතිඵලයක් ලෙස බිහිවන සිසුන්ගේ තත්වය පිළිබඳ වසර 80 ක් වැනි කලකට පෙරම කන්නන්ගර වාර්තාවේ ඇදහිය නොහැකි තරමේ පෙර දැක්මක් සහිතව අනතුරු අඟවා තිබුණි: “මෙවැනි සිසුන්ට බොහෝ දැනුමත් අල්ප වටහා ගැනීමත් පවතී. ඔවුන් පොත් කියවා නැත; කර ඇත්තේ ඒවා අධ්‍යයනය කිරීමය; ලිවීමට නොහැකි ඔවුන්ට හැකියාව ඇත්තේ දෙනලද ආකෘතියකට අනුව රචනා නිෂ්පාදනය කිරීමටය; ප්‍රශ්නයකට පිළිතුරු දියහැකි වුවත් පිළිතුරක් ප්‍රශ්න කළ නොහැක; ඔවුන්ගේ පරිකල්පනය විනාශ කොට, අපූර්වත්වය යටපත් කොට දමා, චින්තනයේ ශක්තිය මොට කර, හැඟීම් නිෂේධ කොට දමා ඇත.”

විකල්පය?

මෙම ආකෘති පත්‍ර වලට සහය දක්වන්නන් යොමු කරන ප්‍රශ්නයක් වන්නේ අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා සියළු දෙනා තමන්ගේ කාර්යභාරය ඉටුකරන බව තහවුරු කළ හැක්කේ කෙසේද යන්නයි. ඔවුන්ගේ මතයට අනුව විශ්ව විද්‍යාල වල පවතින ‘ප්‍රජාතන්ත්‍රවාදී මනස්ගාත’ නිසාය විවාද වලට කාලය නාස්ති කරමින් සිය වැඩ කොටස ඉටු නොකොට සිටීමට පිරිසකට අවකාශය ලැබෙන්නේ.

මගේ දැක්ම අනුව නම් සිය වැඩ කොටස ඉටු නොකරන්නන් හැංගෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිටුපස නොව, පද්ධතිය තුළ පවතින තද ධූරාවලිය පිටුපසය. එම ධූරාවලියෙහි බලය නිසා පහළින් සිටින්නන්ට ඉහළ ඇත්තන්ගේ කල්කිරියාව පිළිබඳ ප්‍රශ්න නැඟිය නොහැක; ගුරුවරයාගේ ඉගැන්වීම් රටාව සහ ක්‍රමවේදය පිළිබඳ ශිෂ්‍යයාට ප්‍රශ්න නැඟිය නොහැක; ධූරාවලිය මඟින් ශිෂ්‍යයා කෙරෙහි ගුරුවරයාගේ, කනිෂ්ඨයා කෙරෙහි ජ්‍යෙෂ්ඨයාගේ, කාන්තාව කෙරෙහි පුරුෂයාගේ, සුළුතරය කෙරෙහි බහුතරයේ සහ නැවුම් චින්තනය කෙරෙහි සම්ප්‍රදායේ අධිකාරය තහවුරු කරයි. ප්‍රශ්නය එසේ නම් විශ්ව විද්‍යාලය තුළ ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය පැවතීම නොව, ඕනෑවට අඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පැවතීමයි.

එම නිසාය විශ්ව විද්‍යාල අවකාශය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමට අප කැපවිය යුත්තේ. පන්ති කාමරය තුළ ගුරුවරු සහ සිසුන් අතර වඩා විවෘත සහ අවංක දෙබසක් ඇතිකළ යුතුය; ජ්‍යෙෂ්ඨයන් සහ කනිෂ්ඨයන් අතර බල සබඳතාවය වෙනස් කළ යුතුය; ඇඳුම-පැළඳුමෙහි සිට පුරුෂයින් ස්ත්‍රීන් සම්බන්ධව පල කරන අදහස් නිහඬව ඉවසා වැදෑරීමේ භාවිතය නැවැත්විය යුතුය; එමෙන්ම ආරම්භයක් වශයෙන් නිල දැනුම්දීම් සන්නිවේදනය කිරීමේදී බහුතර භාෂාව පමණක් යොදාගැනීම ප්‍රශ්න කළ යුතුය. මෙයාකාර වෙනස්කම් ඔස්සේ ඇති කරන අන්‍යොන්‍ය වගවීම තුළින් සහතික කරන ප්‍රමිතිය පමණි පිළිගත හැකි ආකාරයේ ප්‍රමිති සහතිකකරණයක් වන්නේ.