ශිෂ්‍ය සංගම් සහ ආධිපත්‍යය

නිකොලා පෙරේරා 

නිදහස් දින සැමරුම් වලින් පුරවැසියා මකා දමා තිබුණි. ගාලු මුවදොර පරිශ්‍රයේ පැවැත්වූ එම උත්සවයේ මුලසුන දරන ලද්දේ රාජ්‍යයේ ඉහළම සිවිල් සහ මිලිටරි නායකත්වය විසිනි. ගිය වසරේ මෙම කාලය තුළ ගාලු මුවදොර පරිශ්‍රය හා සසඳන විට එහි ඇත්තේ අහසට පොළව මෙන් වෙනසකි: අපේ කතෘකාරකත්වය, සහයෝගය, සහ කෝපය ප්‍රකාශ කරන, විවිධ සමාජ-ආර්ථික පසුබිම්, වාර්ගිකත්වයන්, ආගම්, ලිංගික අනන්‍යතාවයන්ට අයත් දහස් සංඛ්‍යාත පිරිස් උරෙනුර ගැටෙමින් ආර්ථික දුර්කළමණාකරණයට එරෙහිව විරෝධතා දැක්වූ අවකාශයකි ගිය වසරේ ගාලු මුවදොර පරිශ්‍රය. එම විරෝධතා ව්‍යාපාරයෙහි ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ (අන්තරය) කාර්ය භාරය දැවැන්ත එකක් විය. විරෝධතාවන්ට එරෙහි රාජ්‍යයේ මර්දනකාරී ප්‍රතිචාරයේ ප්‍රචණ්ඩත්වයට ඉදිරි පෙළ සිට මුහුණ දුන්නේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ය. මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් කෙරෙහි රාජ්‍යයේ වෛරය හොඳින් පැහැදිලි වූ අවස්ථාවකි වසන්ත මුදලිගේ අත්අඩංගුවේ පසුවූ කාලයේ ලද අත්දැකීම: ඔහු ඉදිරියේ තුවක්කුවක් තබා “විජේවීරට වුන දේ මතකද?” යැයි ඇසූ බව ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේය.   

රාජ්‍යයේ ආඛ්‍යානය සහ නව ලිබරල්වාදී මතයන් නිසා එක් අතෙකින් අන්තරය දේශපාලනික වශයෙන් සක්‍රීය සියලු ශිෂ්‍ය සංගම් නියෝජනය කරන නමක් බවටද, අනෙක් අතින් විසඳුමක් වෙනුවට ප්‍රශ්නයක් බවටද පත්ව තිබේ. ඊට එරෙහිව ඇති විවේචනය තුළ පිළිගත හැකි මෙන්ම අන්තගාමී චෝදනාද අඩංගුය: විශ්ව විද්‍යාලය තුළ නවක වදය ප්‍රතිනිෂ්පාදනය කිරීම පිළිබඳ ඇති විවේචනය නිරවද්‍ය එකකි. එහෙත් යුධ වාග් මාලාවක් භාවිතා කරමින් විශ්ව විද්‍යාල ‘මුදවා නොගත් ප්‍රදේශ’ ලෙස අතීත ඇමතිවරයකු විස්තර කිරීම තුළ මෙම ආඛ්‍යානයේ අනෙක් අන්තය විද්‍යමාන වේ. එමඟින් ඒවා ‘මුදවා ගැනීම’ සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම සාධාරණීකරණය කරයි. මෙම තීරුවේ පූර්ව ලිපියක් තුළින් අනුෂ්කා කහඳගමගේද පෙන්වා දුන් ආකාරයට, විශ්ව විද්‍යාලය තුළ ඒකරාශී වන තරුණ සාමූහිකයන් කෙරෙහි රාජ්‍යය දක්වන්නේ බයකි. විදෙස් උදාහරණ වලින්ද පෙන්වා දී ඇත්තේ බුද්ධිමය පිබිදීම සහ සමාජ සාධාරණත්වය අවධාරණය කරන වෙනසක් ඉල්ලා සිටින ආකාරයේ රැඩිකල් දේශපාලන ව්‍යාපාර සඳහා විශ්ව විද්‍යාල බොහෝවිට තිඹිරිගෙවල් වශයෙන් කටයුතු කොට ඇති බවයි.   

ශිෂ්‍ය සංගම් විසින් දිගින් දිගටම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කළේ සමාජ සාධාරණත්වය පිළිබඳ මෙවැනි රාමුවක් තුළ සිට බව සිහිතබා ගත යුතුය. 2012 දී දියත් කළ ‘අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් වෙන් කරනු’ ව්‍යාපාරයේ පටන් අද දක්වා කාලය තුළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයෙහි ප්‍රමුඛතා ලැයිස්තුව තුළ මෙම කාරණය එන්න එන්නටම පහළට ඇද වැටී තිබේ. ඒ වෙනුවට රථ වාහන බලපත්‍ර සහ දරුවන් සඳහා උසස් පාසල් වැනි දේ සඳහා වැඩි ප්‍රමුඛත්වයක් ලැබී තිබේ. එසේම ලංකාවේ උසස් අධ්‍යාපනයෙහි ඉදිරි මාවත සකස් විය යුත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඉඩ දීමෙන් බවද (රැකියා සහ වැටුප් සුරක්ෂිතතාව උපරිමයෙන් භුක්ති විඳින) මෙම කණ්ඩායමෙහි වැඩි පිරිසක් දැන් වැඩි වැඩියෙන් විශ්වාස කරති. එවන් තත්වයක් තුළ නිදහස් අධ්‍යාපනයෙහි වැදගත්කම අන්තරයට අමතක නොවීම අගය කළ යුතුය. ඔවුන් නියෝජනය කරන්නේ ආන්තීකරණය වූ බහුතර ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතීන්ය. එම පිරිසට අධ්‍යාපනය යනු පෞද්ගලීකරණය වූ අධ්‍යාපන වෙළඳපොළෙන් භාණ්ඩ මිළදී ගන්නා ප්‍රභූ පාරිභෝජකයින් දකින ආකාරයේ දෙයක් නොව, සිය දරිද්‍රතාවයෙන් තමා හා පවුලත් ගොඩගැනීමට ඇති එකම මාර්ගයයි.   

එසේ වුවත් අන්තරය පිළිබඳ ඉතා සුජාත විවේචනද තිබෙන බව අමතක කළ හැකි නොහේ. නවක වදය තුළ ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වයත්, ඔවුන්ගේම අභ්‍යන්තරික දේශපාලන ගතානුගතික භාවයත් ඉන් දෙකකි. මෙම දුර්භාවිතයන්ගේ වාසිය ලැබෙන්නේ අන්තරයේ විවේචකයින් වන රාජ්‍යය ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ටය. එමඟින් රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අන්තරය ඉදිරිපත් කරන යුක්ති සහගත විවේචනද උපහාසයට ලක්කොට බැහැර කිරීමට රාජ්‍යයට ඉඩහසර ලබා දේ. 

අධ්‍යාපනයේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණය රැක ගැනීමට අරගල කරන ශිෂ්‍ය සංගම් විසින්ම නවක වදය පවත්වාගෙන යාම කෙසේ සාධාරණීකරණය කළ හැකිද? අන්තරයට අනුබද්ධිත වූවත් නැතත්, සියලු ශිෂ්‍ය සංගම් විසින් බාහිර සමාජයේ දකින්නට ලැබෙන අධිපති බල සම්බන්ධතා මාදිලියම ප්‍රතිනිෂ්පාදනය කරනු දැකගත හැකිය. පසුගිය මාස කිහිපය තුළ පමණක් පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය කණ්ඩායමක් නවක වදයට විරුද්ධ තවත් ශිෂ්‍ය කණ්ඩායමකට ප්‍රහාර එල්ල කළේ ඔවුන් ආපන ශාලාව භාවිතා කිරීම නැවැත්වීමටය; පේරාදෙණියෙහිම තවත් සිසුන් කණ්ඩායමක් මෝටර් රථ ගැටීමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යාම නිසා ගුරුවරයකු සහ ඔහුගේ පුතුට පහර දුන් අවස්ථාවක්ද වාර්තා විය; එසේම නවක වදය නිසා සිසුන් මරුමුවට පත්වූ අවස්ථාද තිබේ. මින් පෙනී යන්නේ සරසවියට අළුතෙන් ප්‍රවේශ වන්නන් සරසවි ජීවිතයට සමාජානුයෝජනය වන්නේ වාචික, කායික සහ ලිංගික හිංසනය තුළින් බවයි. එමඟින් ඉතා ගැඹුරු අයුරින් පුරුෂ මූලික, විකල්ප ලිංගිකත්වයන් නොඉවසන, එමෙන්ම සිංහල-බෞද්ධ ජාතිවාදය උලුප්පා දක්වමින් සුළුතර කණ්ඩායම් වලට අයිති සිසුන් ආන්තීකරණය කරන ආකාරයේ සංස්කෘතියක් ප්‍රතිනිෂ්පාදනය කෙරේ. 

සමහර අවස්ථා වල සමහර සිසුන් විරෝධතා ව්‍යාපාර වලට – නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වන ඒවාද ඇතුළුව – සම්බන්ධ වන්නේද නවක වදයෙහි ප්‍රතිඵලයක් හැටියටය. එහෙත් තමන්ගේ හෝ ජාතියේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරියට ඒම සඳහා සිසුන් සවිබල ගැන්වීමත්, බල කිරීම මත ශිෂ්‍ය දේශපාලනයේ ඔවුන් යෙදවීමත් අතර ඇත්තේ පෑහිය නොහැකි ආකාරයේ වෙනසකි. අන්තරය ඇතුළු සියලු ශිෂ්‍ය සංගම් විසින් තමා විශ්ව විද්‍යාලය තුළ යෙදෙන දේශපාලනයෙහි ඇති ප්‍රතිවිරුද්ධතා පිළිබඳ අවංක සංවාදයක් සිදුකළ යුතුය. සැබෑ කතෘකාරකත්වය සාධනය වන්නේ විශ්ව විද්‍යාලය හා සමාජය තුළ ඇති පීඩාකාරී පද්ධතීන් වෙනස් කිරීම ඔස්සේ සමාජ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය හෘදය සාක්ෂිය පුද්ගලයා සහ සමූහය තුළ වර්ධනය වීමෙනි. මෙම තත්වය ඇති කිරීමට ශිෂ්‍ය සංගම් වලට හොඳින්ම හැකියාව තිබේ. නමුත් ඒ සඳහා ඔවුන් රාජ්‍යය විවේචනය කරන තරම්ම නිර්දය අයුරින් තමාවද විවේචනය කරගැනීම ආරම්භ කළ යුතුය.