සමාජ විද්‍යා අධ්‍යාපනය ‘තුළ’ අර්බුදයක්ද නැතහොත් අර්බුදය සමාජ විද්‍යා අධ්‍යාපනයද?

අරුණි සමරකෝන්

මාසයකට පෙර, මා අනුයුක්තව සිටින විශ්වවිද්‍යාලය විසින්, 2017-2021 සඳහා ඔවුන්ගේ පර්යේෂණ සහ ප්‍රකාශන පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් සිදු කරමින් පීඨ ආචාර්යවරුන් වෙත විද්‍යුත් පණිවුඩයක් බෙදා හරින ලදී. මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලයට අවශ්‍ය බව විද්‍යුත් පණිවුඩයේ සඳහන් විය. මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පර්යේෂණ ප්‍රතිදානය ගණනය කිරීම සඳහා තොරතුරු රැස් කිරීම මෙහි අරමුණ විය. විද්‍යුත් පණිවුඩය මගින් ඉල්ලා සිටිනු ලැබුවේ පර්‍යේෂණ කෘතීන් මොනවාද යන්න හෝ ඒවායේ දායකත්වයට වඩා ඒවාහි ප්‍රමාණය පමණි.

මෙම ආඛ්‍යානය සමාජ විද්‍යාව ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ප්‍රතිඵල නිර්වචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම වටා ඇති ක්‍රමවේද වල අවිනිශ්චිතබව පිළිබඳ සංකේතයකි. අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝර්ජ් ස්ටීවන්සන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත්තේ සමාජ විද්‍යාවේ පරමාර්ථ වන්නේ “ඔවුන් ජීවත් වන ප්‍රජාවට බලපාන සෑම දෙයක් පිළිබඳවම ක්‍රියාකාරී උනන්දුවක් සිසුන් තුළ වර්ධනය කිරීම, මහජන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි චින්තනයක් ඇති කිරීමට ඔවුන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයකින් අනාගත තත්වයන් සූක්ෂම ලෙස තක්සේරු කිරීමට සහ යහපත් නිගමනවලට එළඹීම වෙනුවෙන් හොඳ විනිශ්චයක් ඇති කිරීම සඳහා ඔවුන්ව සන්නද්ධ කිරීමයි”. මෙම නිර්වචනය ට අනුව, සමාජ විද්‍යාව විසින් මිනිසා සහ සමාජය නිර්මාණය වෙනුවෙන් දක්වන දායකත්වය මැනිය නොහැකිය. එහෙත් අපගේ පරිපාලන ආයතන විසින් සමාජ විද්‍යා අධ්‍යාපනයේ ප්‍රතිඵල ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කිරීමට අපෙන් ඉල්ලා සිටියි; එනම් “නිෂ්පාදනය කරන ලද” උපාධි අපේක්ෂකයින් සංඛ්‍යාව (ශ්‍රම වෙළඳපොළ සඳහා) හෝ පර්යේෂණ ප්‍රකාශන අනුව ය.

මෙම අත්දැකීම මට මීට වසරකට පමණ පෙර 2021/02/03 වැනි දින The Island පුවත්පතේ පළ වූ කුප්පි ලිපියේ සිවමෝහන් සුමති විසින් සාකච්ඡා කරන ලද අභියෝග ද්විත්වය සිහිපත් කිරීමට හේතු විය: එනම් අධ්‍යාපනය තුළ අර්බුදය සහ අධ්‍යාපනයේ අර්බුදයයි. මෙම ලිපිය සුමතිගේ තර්කය නැවත සලකා බලන අතර මෙම අභියෝග ද්විත්වය පිළිබඳ නව කියවීමක් ඉදිරිපත් කිරීමට උත්සහ කරනු ඇත. දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රාලිකයෙකු ලෙස මගේ දැනුම සහ සේවා පළපුරුද්ද හේතුවෙන් මම හිතාමතාම මගේ තර්කය සමාජ විද්‍යාවට සීමා කරමි.

සමාජ විද්‍යා අධ්‍යාපනය තුළ අර්බුදය?

“අධ්‍යාපනය තුළ අර්බුදය යනු අධ්‍යාපනය, එහි ආයතන, එහි විෂයයන්, ගුරුවරුන් සහ සිසුන් බල නොගැන්වීම සහ එයට බෙහෙවින් බාහිර බලවේග, වෙළඳපල බලවේග විසින් එහි මූලධර්ම ඛාදනය කිරීමයි” යන සුමතිගේ අදහසට මාද එකඟ වෙමි. බ්‍රවුන් විසින් යෝජනා කරන ලද පරිදි, සමාජ විද්‍යාවන්හි උපාධි අපේක්ෂකයින්ට සමාජ ගැටලු හඳුනා ගැනීමට සහ ඒවාට විසඳුම් යෝජනා කිරීමට හැකි විය යුතුය. කෙසේ වෙතත් නූතන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාව ඉගෙනීම සහ ඉගැන්වීම නව ලිබරල් වෙළඳපොළ බලවේගවල බලපෑම නිසා වෙනත් දිශාවකට යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ.

රාජ්‍ය වත්කම්, එනම් විශ්වවිද්‍යාල, වෙලඳපොල මත පදනම් වූ ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීමේ ප්‍රතිපත්තිය අවම වශයෙන් ආකාර දෙකකින් සමාජ විද්‍යාවට අභියෝග කරයි; ඒ සමාජ විද්‍යාවන් ඉගැන්වීමේ සහ ඉගෙනීමේ මූලික පරමාර්ථය “රැකියා කුසලතා” බවට පත් කිරීමෙන් සහ වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා සමාජ විද්‍යා පාඨමාලා සැලසුම් කිරීමෙනි.

උසස් අධ්‍යාපන ආයතනවල තීරණ ගැනීමේ ආධිපත්‍යය දරන, සමාජීය නොවන විද්‍යා පසුබිම්වල නව ලිබරල් ආධාරකරුවන්, සමාජවිද්‍යා උපාධිධාරීන්ගේ රැකියා නිපුණතා ඉහළ නැංවීම සඳහා විෂයමාලා සංශෝධනවලට සහාය දක්වයි. ඉංග්‍රීසි භාෂාවේ චතුරභාවය සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණික දැනුමින් සන්නද්ධ වීම සමාජ විද්‍යාඥයින්ගේ අවශ්‍යතම කුසලතාවන් ලෙස පරිපාලනය විසින් හඳුනාගෙන ඇත. එබැවින්, සමාජ විද්‍යා උපාධි අපේක්ෂකයින්ට ශ්‍රම බලකායේ කොටසක් වීමට හැකි වන පරිදි ඔවුන්ගේ “කුසලතා” වර්ධනය කිරීම සඳහා ලෝක බැංකු ව්‍යාපෘති හරහා අරමුදල් සපයන ඉංග්‍රීසි මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණය හා සබැඳි පිරිස් ක්‍රියා කරනු ලැබේ.

දැවැන්ත ගැටලුවක් නම්, මෙම පුහුණුවෙන් පසුව පවා, මෙම උපාධිධාරීන්ට ශ්‍රී ලංකා ආර්ථිකයේ රැකියා අවස්ථා සොයා ගත හැක්කේ කොතැනින්ද යන්නයි. ලෝක බැංකු ව්‍යාපෘති සැලසුම් කර ඇත්තේ, මූලික මිනිස් අවශ්‍යතා පවා සැපයීමට රජය මේ වනවිට අරගල කරන්නා වූ ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය තිබියදීත්, අපේක්ෂා කරන ඉහළ මධ්‍යම ආර්ථිකයක් සඳහා උපාධි අපේක්ෂකයින් පුහුණු කිරීම සඳහා ය. මෙම පුහුණුවීම්වල සහ උසස් අධ්‍යාපන දිශානතියේ වඩාත් නරක ප්‍රතිඵලයක් නම්, ජනතාව සවිබල ගන්වන ප‍්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ලෙස අධ්‍යාපනය පිළිබඳ දැක්ම අඳුරු වීමයි. එය “අධ්‍යාපනයේ අර්බුදයක්” යන සුමතිගේ අදහසට මා රැගෙන එයි.

සමාජ විද්‍යා අධ්‍යාපනයේ අර්බුදයක්

අධ්‍යාපනයේ අර්බුදය කුමක්ද? සුමති සිය ලිපියේ සඳහන් කරන්නේ, “අධ්‍යාපනයේ අර්බුදය වන්නේ එහි ප්‍රජාතන්ත්‍රවාදී විභවය, සමාජීය වශයෙන් ආන්තික වූවන් සවිබල ගැන්වීමේ කර්තව්‍යය සහ වැඩි ප්‍රජාතන්ත්‍රීකරණයක් සඳහා බලමුලු ගැන්වීම තුළ ලෝකය පිළිබඳ දර්ශනයක් නැවත ප්‍රකාශ කිරීම පිළිබඳ අවධානය ගිලිහී යාමයි. එය අපගේ අධ්‍යාපනයේ අන්තර්ගතය සහ එහි අරමුණු පිළිබඳ කාරණයකි. අපි උගතුන් ලෙස සේවය කරන්නේ කාහටද?”

අපගේ සමාජ විද්‍යා උපාධි අපේක්ෂකයින් හෝ උපාධිධාරීන් තුළ අද අපට දැකිය හැකි ගුණාංග මොනවාද? මහජන අවශ්‍යතා පිළිබඳව සිතන්නට අපි ඔවුන්ට උගන්වා තිබේද? ඔවුන් තම ප්‍රජාව තුළ කුමන ක්‍රියාකාරකම්වල නිරත වන්නේද? සමාජ විද්‍යා උපාධි වැඩසටහන් පුරවැසියන්ට විවේචනාත්මකව සිතීමට බලය ලබා දෙන්නේද? තමන් වෙනුවෙන් පෙනී සිටීමට, ප්‍රචණ්ඩත්වයට, වාර්ගික අනෙකුත් ප්‍රජාවන් ඝාතනයට එරෙහිව හඬ නැගීමට, සංස්කෘතික විවිධත්වයට ගරු කිරීමට, ජාතිකවාදයට විරුද්ධ වීමට?

අපේ විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින් තම දැනුම පෙළපොත්වලට සහ විභාග ප්‍රශ්න පත්‍රවලට සීමා කරන අතර, අනෙකා සමඟ සහයෝගීතාවය ගොඩනැගීමට හෝ විවිධත්වයට ගරු කිරීමට ගත කරන්නේ සුළු කාලයකි.

“හොඳම” ඉගෙන ගන්නා/ කියවන්නා/ ශිෂ්‍යයා විනිශ්චය කරන ශ්‍රේණිගත කිරීමේ යෝජනා ක්‍රම මගින් සහයෝගීතාවය තවදුරටත් දුර්වල වේ. මේ ආකාරයට විශ්වවිද්‍යාල, අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය හැකි බලගතු ශ්‍රම බලකායක් ලෙස සංවිධානය වීමට හැකියාවක් නොමැති, ශ්‍රම වෙළඳපොළට අනුකූල ශ්‍රමිකයන් බිහිකරමින් සිටියි.

මෙම උපාධිධාරීන් ශ්‍රම වෙළඳපොළට සම්බන්ධ වූ විට, ඔවුන් බලාපොරොත්තු වන්නේ විචාරශීලී චින්තකයින් නොව විශිෂ්ට කාර්ය සාධනයක් ඇති අයවලුන්ය. මෙම ඉහළ කාර්ය සාධනය කරන්නන් හෝ ‘සම්මානිතයන්’ විශ්වවිද්‍යාල පරිපාලන ආයතනවලට ඇතුළු වූ විට, ඔවුන් ද විශ්වවිද්‍යාල ප්‍රතිදාන ප්‍රමාණය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය. උදාහරණ ලෙස උපාධි පාඨමාලා වල ගුණාත්මක භාවයට වඩා උපාධිධාරීන් සංඛ්‍යාව, වැඩ සංඛ්‍යාව වැනි, උපාධි අපේක්ෂකයින් අතර තරඟකාරිත්වය දිරිමත් කළ හැකි, හුදකලා වීම සහ විරසක වීම තීව්‍ර කරන, සහයෝගීතා වැඩ සඳහා සුළු කාලයක් ඉතිරි කරන දෙයට එහිදී වැඩි අවධානයක් යොමුවේ.

විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ට ජාතිකවාදය පිළිබඳ විවේචනාත්මකව සිතී,මට නැතිනම් ජාතික ප්‍රශ්නය වැනි දුෂ්කර ප්‍රශ්නවලට පිළිතුරු යෝජනා කිරීමට අවකාශයක් නිර්මාණය කර තිබේද? 2010 වසරේ මා තාවකාලික කථිකාචාර්යවරයකු ලෙස විශ්වවිද්‍යාලයට බැඳෙන විට උතුරු නැඟෙනහිර සිවිල් වැසියන්ගේ ගණන් කළ නොහැකි මරණ සිදුවූ පසුබිමක් තුළ ‘යුද ජයග්‍රහණ’ය සැමරීම සඳහා මගේ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විෂය ධාරාවේ උපාධි අපේක්ෂකයින් සහ ආචාර්යවරුන් විසින් උත්සව සංවිධානය කරන ලද අවස්ථා මම අත්විඳ ඇත්තෙමි. මගේ මනසට නැඟුණු පළමු දෙය නම් ‘ඕනෑම මිනිසෙකු තවත් මිනිසෙකු මරා දැමීම සමරන්නේ කෙසේද?’ යන්නයි. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනෙක් යුද ජයග්‍රහණය පිළිබඳ ජනාධිපතිතුමාට සුබ පැතීමටද ගියහ.

යුද ජයග්‍රහණයෙන් දශකයකට පසුවත්, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමට ඇති එකම විසඳුම යුද්ධය බව මගේ සමහර ජ්‍යෙෂ්ඨ සගයන්ට ඒත්තු ගොස් තිබේ. 2019 යාපනයේ ක්ෂේත්‍ර චාරිකාවකදී මගේ ජ්‍යෙෂ්ඨ සගයෙක් ප්‍රසිද්ධියේ කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට ඒකීය රාජ්‍යයක් ඉල්ලා සිටීමට අදහසක් නැති බවයි. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ මෙම අගතීන් උපාධි අපේක්ෂකයින් අතර ජාතිකවාදී සිතුවිලි අවුලුවාලීමට සහ අනෙකුත් ප්‍රජාවන් කෙරෙහි අවිශ්වාසය ඇති කිරීමට හේතුවිය හැකිය. සමාජ විද්‍යා අධ්‍යාපනය ඉලක්කම්වලින් මැන බැලීමෙන් අපේ විශ්වවිද්‍යාලවල සත්‍ය වශයෙන්ම සිදුවෙමින් පවතින දේ බැහැර කරයි. අවසාන වශයෙන්, ගුණාත්මකභාවය සහ ප්‍රමාණය යනු එකිනෙකට වෙනස් විශ්ලේෂණාත්මක අංග දෙකක් බව සඳහන් කළ යුතුය. සමාජ විද්‍යාව වැනි ගුණාත්මක විෂයයන් වල ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමට කෙනෙකුට ප්‍රමාණාත්මක විශ්ලේෂණාත්මක අංග භාවිතා කළ නොහැක. අධ්‍යාපන අර්බුදයක් දක්වා දිග හැරුණු අධ්‍යාපනය තුළ අර්බුදය හේතුවෙන් සමාජය පිළිබඳ විවේචනාත්මකව සිතන්නට අද අපේ උපාධි අපේක්ෂකයින් සූදානම් නැත. ශ්‍රම වෙලඳපොල සඳහා නිමැවුම හෝ “නිෂ්පාදන” සංඛ්‍යාව මැනීමෙන් සමාජය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම හෝ ජාතික ප්‍රශ්න විසඳීම සිදුවන්නේ නැත. දෛනික ආහාර වේල සඳහා දඟලන මිනිසුන් සිටින රටක, උපාධියක් තිබීමෙන් රැකියා උත්පාදනය නොවේ. අපට අවශ්‍ය වන්නේ ප්‍රජා ප්‍රශ්න හෝ විවිධ ජනවාර්ගික සහ වෙනත් කණ්ඩායම්වල අවශ්‍යතාවලට සංවේදී ශිෂ්ට පුරවැසියන්ය.