සහයෝගීතාවය (solidarity) සහ අරගලය: අධ්‍යාපනඥයෙකුගේ අදහස් කිහිපයක්

හර්ෂණ රඹුක්වැල්ල

ශ්‍රී ලංකාව තුළ මෙම මොහොතේ බලාපොරොත්තු ඇති කරගත හැකි දේ බොහෝ අල්පය. මීට මාස හයකට පෙරදී සිතාගත නොහැකි වූ තරම්  පැවැත්ම පිළිබඳ අර්බුදයකට අපි අද මුහුණ දී සිටිමු. මෙවන් තත්වයකට අප මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වැනි වසර සනිටුහන් කිරීමට වසරක් පමණක් ඉතිරිව ඇති මොහොතකය යන්න උත්ප්‍රාසජනකය. අපගේ දශක හතක පශ්චාත් යටත් විජිත ඉතිහාසය සහ  අද අප මුහුණ දී සිටින අවිනිශ්චිත අනාගතය දෙස බලන විට අපට ආඩම්බර වීමට යමක් ඉතිරි වී නොමැත. අපගේ මෑත ඉතිහාසය සතුරුකම සහ අනෙකා ප්‍රතික්ෂේප කිරීමේ එකකි. ජාතිය ගොඩනැගීමේ නාමයෙන් මෙරට බොහෝ ලේ වැගිරී ඇති අතර දශක තුනකට ආසන්න කාලයක් දිගහැරුණු ජාතිකවාදී ගැටුම සහ රාජ්‍යයට එරෙහි තරුණ කැරලි දෙකකට අපි උරුමකම් කියමු. අපගේ වර්තමාන අර්බුදය මෙම ගැටුම්කාරී ඉතිහාසයට පමණක් ලඝු කළ නොහැකි වුවද, එය අපගේ වර්තමාන ඛේදවාචකය නිර්මාණය කිරීමෙහිලා යම් හෝ කාර්යභාරයක් ඉටුකළ බව අපට පිළිගැනීමට සිදුවේ. අරගලය තුළ මතු වූ පෙර නොවූ විරූ ආකාරයේ  සහයෝගීතාවයක් (solidarity) ලෙස මට හැඟෙන දේ පිළිබඳ මෙම කෙටි ආවර්ජනය කරන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ය. ඉතා අවිනිශ්චිත සංසිද්ධියක් වන මෙම සහයෝගීතාවය  රොමැන්තීකරණය කිරීමට මට අවශ්‍යතාවයක් නැති නමුත්, සමාජයක් ලෙස හා වඩාත් නිශ්චිතව අධ්‍යාපනඥයින් ලෙස, නැවත ගොඩනැගීමේ සහ ප්‍රකෘතිමත් වීමේ වේදනාකාරී ක්‍රියාවලියකට මුහුණ දෙන සමාජයක අපගේ භූමිකාව පරිකල්පනය කිරීමට ඉන් යම් උපකාරයක් ලැබේ.

සහයෝගිතාව යනු භූ දේශපාලනයේ සමහර අවස්ථාවන්හි යෙදෙන පදයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පමණක් නොව තවත් බොහෝ රටවල් බරපතළ ආර්ථික අභියෝගවලට මුහුණ දෙන ගෝලීය වශයෙන් කැලඹිලි සහිත මේ අවස්ථාවේ දී ජාතීන් වෙනත් ජාතීන් සමඟ සහයෝගීතාව ප්‍රකාශ කරන ආකාරය අපට පෙනී යයි. කෙසේ වෙතත්, එවැනි සහයෝගීතාවට සෑමවිටම වාගේ වෙනත් චේතනා මුල්වේ. වඩා බලවත් සහ ධනවත් ජාතීන් ඔවුන්ගේ අවාසනාවන්ත සගයන් වෙත ‘උදව් හස්තයක්’ දිගු කරන ‘සිරස්’ සහයෝගීතාවයේ ආකාරයක් ලෙස අපට හැඳින්විය හැක්කේ මෙයයි. එහෙයින්, ඉන්දියාව ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යැයි පවසන විට සහ මෙම ගැටලුකාරී අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරන විට, මෙය උපයෝගීමය චේතනාවෙන් හැඩගැසුණු අවස්ථාවක් ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. මෙම සහයෝගීතාවයේ ආඛ්‍යානය තුළ බොහෝ දුරට ආධිපත්‍යය දරන්නේ ඉන්දියාවේ මූලෝපායික භූ දේශපාලනික අවශ්‍යතා වන නමුත් මෙම ජාතික විපත්ති කාලවලදී ඉන්දියාව සහ එවැනි අනෙකුත් ‘බලවත්’ ජාතීන් විසින් ලබා දෙන ආධාරවල වැදගත්කම නොසලකා හැරිය නොහැක.

සහයෝගීතාවය ප්‍රකාශ වන තවත් ආකාරයක් නම් සමහර විද්වතුන් ‘වශීකෘත’ (enchanhted) සහයෝගීතාවය ලෙස හඳුන්වන දෙයයි. මෙහිදී බුද්ධිමතුන්, ක්‍රියාකාරීන් සහ වෙනත් පුද්ගලයින් ඔවුන්ගේ සහයෝගය ලැබිය යුතු යැයි ඔවුන් සලකන, නමුත් ඔවුන් මැදිහත් වන සන්දර්භය සැබවින්ම අවබෝධ කර නොගෙන අරගලයක් සඳහා සහයෝගීතාව ලබාදීමක් සිදුවේ. උදාහරණයක් ලෙස, ලිබරල් සහ වාම බුද්ධිමතුන් කොපමණක් අධිරාජ්‍ය විරෝධී විමුක්ති ව්‍යාපාරයක් ලෙස විශ්වාස කරමින් කාම්බෝජයේ ඛමර් රූජයේ නැඟීමට සහාය දැක්වූවාද? පසුව ඛමර් පාලනය විසින් මුදා හරින ලද මර්දනයේ සහ ප්‍රචණ්ඩත්වයේ සම්පූර්ණ භීෂණය දැකීමට පටන් ගත් විට ඔවුන් ව්‍යාපාරය කෙරෙහි කලකිරීමට පත් විය. ලංකාවේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළද, මහපොළොවේ දේශපාලනය පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති මධ්‍යයේ සිටින්නන්ගෙන් විවිධ ව්‍යාපාර කෙරෙහි වශීකෘත සහයෝගීතාවයන් ප්‍රකාශ වූ එවැනි අවස්ථා රාශියක් අපට සොයාගත හැකිය.

සිරස් සහ වශීකෘත සහයෝගීතාවන්ට විරුද්ධද්ව, සමහර විද්වතුන් විසින් ‘කලකිරුණු සහයෝගීතාව’ (disenchanted solidarity) යෝජනා කර ඇත. මෙයින් ඔවුන් අදහස් කරන්නේ ඉතා වෙනස් දේශපාලන සහ මතවාදී න්‍යාය පත්‍ර සහිත විවිධ කණ්ඩායම්, පොදු අරමුණක් සඳහා සටන් කිරීමට එක්වන තත්වයකි. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ වෙනස්කම් පිළිබඳව සවිඥානක නමුත්, පෙර නොවූ විරූ ආකාරයෙන් අරගල කිරීමට සහ පෙළගැස්වීමට ඔවුන්ව තල්ලු කරන පොදු අවිනිශ්චිතතාවයකට මුහුණ දෙයි. බොහෝ විට එවැනි අවස්ථා තුළ  කෝපය ගැබ්ව ඇත. අරගලය මේ කලකිරුණු සහයෝගීතාවයේ කාචය තුළින් කියවන්නට මම කැමැත්තෙමි. විශේෂයෙන්ම අරගලයේ පෙර පැවති ‘අහිංසකත්වය’ සංකේතාත්මකව ‘මරා’ දමන ලද ම්ලේච්ඡ මැයි 9 ප්‍රහාරය, ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතාවයේ උච්චතම අවස්ථාවයි. එතුළින් එම අවකාශයේ නියෝජනය වන විවිධ කණ්ඩායම් ඒකීය ඉලක්කයක් කරා සහයෝගීතාවය ප්‍රකාශ කරවන්නට යෙදුණි. බොහෝ මධ්‍යම පාන්තික මිනිසුන්ට, අරගලය යනු ජීවිතයේ මූලික අවශ්‍යතා වන ගෑස්, විදුලිය සහ ඉන්ධන නොමැතිකම සහ දූෂිත දේශපාලන පන්තියක් ඔවුන්ගේ අනාගතය කොල්ලකා ඇති ආකාරය පිළිබඳ ඔවුන්ගේ කලකිරීම ප්‍රකාශ කරන මාර්ගයකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හෝ ජවිපෙ තරුණ සංවිධානයේ හෝ අරගලයට සහය දුන් බොහෝ වෘත්තීය සමිතිවල තරුණ ක්‍රියාකාරීන් වැනි දේශපාලන ක්‍රියාකාරීත්වයේ දිගු ඉතිහාසයක් ඇත්තන්ට, මෙම මොහොත යම් ආකාරයකින් උච්චතම අවස්ථාව නියෝජනය කළේ, සමහර විට මෙය ඔවුන් මූලික වශයෙන් අසාධාරණ ලෙස සලකන දේශපාලන, සමාජීය සහ ආර්ථික පර්යායකට එරෙහිව ඔවුන්ගේ දිගුකාලීන අරගල නිසා විය හැක. මෙම ආඛ්‍යානය තුළ, ප්‍රායෝගික දේශපාලන ගණනය කිරීම්, විශේෂයෙන් දේශපාලන පක්ෂවලට සම්බන්ධ කණ්ඩායම් අතර නොපැවතුනා නොවේ; නමුත් ඒ අතරම, ශ්‍රී ලංකාවේ සමාජ හා දේශපාලන ප්‍රවාහයේ බොහෝ විට ඓතිහාසිකව කොන් කරන ලද වාර්ගික සහ ආගමික සුළුතරයන් තමන් වෙනස් කොට සැලකීමට ලක් වූ ආකාරය පිළිබඳව ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කිරීමට දුර්ලභ ඉඩක් සොයා ගන්නා ආකාරය ද අපි දුටුවෙමු. රාජපක්ෂ වංශයෙන් සහ සමස්තයක් ලෙස දූෂිත දේශපාලන ක්‍රමයෙන් මිදීමේ පොදු ඉලක්කය වෙත ඔවුන්ගේ කෝපය සහයෝගීතාවයේ ආකාරයක් ලෙස යොමු කරමින් අරගලය ඔවුන්ට ඒ සඳහා දුර්ලභ ඉඩක් ලබා දුන්නේය.

එහෙත් මැයි 9 වැනිදා සවස් වන විට සාමකාමී ලෙස අරගලයට සහභාගිවන්නන්ට එරෙහි ප්‍රහාරයට සම්බන්ධ යැයි සැලකෙන දේශපාලනඥයින්ගේ සහ තවත් අයගේ දේපළවලට පහරදීමේ රැල්ලක් සමඟ කතාව නරක අතට හැරී තිබුණි. මෙම ප්‍රතික්‍රියාව පිටුපස තිබූ කෝපය වටහාගත හැකි වුවත්, මෙතෙක් අරගලය සජීවීකරණය කළ සදාචාරාත්මක මූලධර්ම එමඟින් උල්ලංඝනය වූ බව පිළිගත යුතුය. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මෙයින් කියවෙන්නේ මැයි 9 වෙනිදායින් පසු අරගලයට තේරුමක් සහ අරමුණක් නැතිවී ඇති බවද? නැත්නම් අපේ විග්‍රහය තරමක් ගැඹුරට තල්ලු කළ යුතුද? මේ අවස්ථාවේදී සහයෝගීතාව පිළිබඳව විද්වතුන් සාකච්ඡා කළ එක් අවසාන ආකාරයක් හඳුන්වා දීමට කැමැත්තෙමි: සමහර විද්වතුන් මෙය ‘ගැඹුරු සහයෝගීතාවය’ ලෙස හඳුන්වා දී ඇත: ඊට අනුව වර්තමාන නව ලිබරල්වාදී සන්දර්භය තුළ ජනගහනයෙන් අතිමහත් බහුතරයක් ඔවුන්ගේ පොදු සමාජ සහ ආර්ථික දුෂ්කරතා අවබෝධ කර ගන්නා අතර, ඔවුන්ගේ පොදු සතුරා ලෙසට සංකේතාත්මක ‘සියයට එක’, වෙනත් වචන වලින් කියන්නේ නම් ප්‍රාග්ධනය සහ දේශපාලන බලය අතර පවතින, තමාව බලරහිත කර දමන  ද්‍රෝහී සම්බන්ධතාව වටහා ගනියි. මෙය සත්‍ය වශයෙන්ම විඥානවාදී සංකල්පයක් වන නමුත් ශ්‍රී ලංකාවේ මේ මොහොත දක්වාම අවම වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ සත්‍ය බව මට හැඟෙයි. විවිධ සමාජ හා ආර්ථික ස්ථර වල පුද්ගලයන්, විවිධ ආගමික විශ්වාසයන් සහ විවිධ මතවාදී සහ දේශපාලන විශ්වාසයන් ඇති පුද්ගලයින් එක්වරම එකට තල්ලු වී ඇත. ඔවුන් සියල්ලෝම නිමක් නැති පෙට්‍රල් සහ ඩීසල් පෝලිම්වල සිටගෙන, මීළඟ ගෑස් සිලින්ඩරය දඩයම් කිරීම සඳහා බලාපොරොත්තු සුන් වූ ආකාරයෙන් උත්සහ කරන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වැඩි වැඩියෙන් කුසගින්නෙන් පෙළෙති. වරප්‍රසාද මත පදනම් වූ බෙදීම් තවදුරටත් එතරම් ‘සැබෑ’ බවක් නොපෙනෙන අතර, ඔවුන් මුහුණ දෙන එකම සැබෑ යථාර්ථය පැවැත්ම පිළිබඳ අනතුරකි. අරගලය තුළින් අපට මෙම ගැඹුරු සහයෝගීතාවයේ අංශු මාත්‍රයක් දැකගත හැකි බව මම විශ්වාස කරන අතර අධ්‍යාපනවේදියෙකු ලෙස මෙම සහයෝගීතාවය පවත්වා ගෙන යාමට, එය වර්ධනය කිරීමට සහ පෝෂණය කිරීමට හැකි නිර්මාණාත්මක ක්‍රම ගැන සිතීම අපගේ අත්‍යවශ්‍ය කර්තව්‍යය යැයි සිතමි. එවිට අපට අවම වශයෙන් වඩා හොඳ අනාගතයක් ‘මවා ගැනීමට’ හැකි වේ. මෙම අදහස් විඥානවාදී හැඟීම් වන නමුත් අවම වශයෙන් එවැනි බලාපොරොත්තුවක් හෝ පැවතීම, වර්තමාන මොහොතේ දේශපාලන හා අධ්‍යාපනික අවශ්‍යතාවයක් බව මට හැඟේ.