ස්ත්‍රීවාදය යනු පිරිමි විරෝධය නොවන මුත්, ‘නව පිරිමියකු’ අවශ්‍ය වේ

අරුණි සමරකෝන් 

මෑතකදී, මම එක්සත් රාජධානියේ හල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි  පර්යේෂණ (PGR) ප්‍රජාවේ සාමාජිකයින් සමඟ ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡාවක නිරතව සිටියෙමි. ඔවුන් ස්වභාවික හා සමාජ විද්‍යාව නියෝජනය කරන මැදපෙරදිග, ආසියාව සහ යුරෝපයෙන් පැමිණි මගේ සගයන් වූ නමුත්, ඔවුනට ස්ත්‍රීවාදය පිළිබඳ පූර්ව දැනුමක් නොතිබුණි. මා එසේ සඳහන් කරන්නේ බොහෝ ස්වභාවික විද්‍යාවන් තුළ ස්ත්‍රීවාදය මිනිසාට එරෙහි දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙසින් (මෙම සන්දර්භය තුළ මිනිසා නියෝජනය කරන්නේ පුරුෂයායි) සංලක්ෂිත වන බැවිනි. එකල ආචාර්ය උපාධි සඳහා පර්යේෂණ කරමින් සිටි මෙම විද්වතුන් විසින් ස්ත්‍රීවාදය ඒකාකෘතිකරණය කළේ මන්දැයි සිහිපත් කිරීමට මෙම සාකච්ඡාව මා පොළඹවන ලදී.

මෙම ලිපියේ පරමාර්ථය වන්නේ පන්ති කාමරය තුළ ස්ත්‍රීවාදය ඉගැන්වීමේ හා ඉගෙනීමේදී මෙන්ම  එදිනෙදා ජීවිතයේදී එය ප්‍රගුණ කිරීමේදී මතුවන විවිධ තත්වයන් කෙරෙහි අවධානය යොමු කළ මගේ අවසාන කුප්පි ලිපියේ (25/10/2022), ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ස්ත්‍රීවාදය ඉගැන්වීම පිළිබඳ මගේ තර්කය දිරියට ගෙනයාමයි. 

මම මගේ අවසන් කුප්පි තීරුවෙන් ස්ත්‍රීවාදය පිළිබඳ මූලික සංකල්පය හඳුන්වා දුන්නද, ස්ත්‍රීවාදය පිළිබඳ සංකල්පීය අවබෝධය නව මගකට දිගු කිරීමට කැමැත්තෙමි. එනම් ස්ත්‍රීවාදය පිරිමි විරෝධී කතිකාවක් නොවේ යන අදහසයි. 

තම නම ලිවීම ඇරඹීමේ දී , මහප්‍රාණ අකුරු (capital letters) වෙනුවට කුඩා අකුරු භාවිතා කරමින්, ධනේශ්වර ක්‍රමයේ පවතින පීඩනය, යුක්තිය සහ අසමානව සැලකීමට එදිරිව තම විරෝධය ප්‍රකාශ කළ පර්යේෂිකාවක් වූ බෙල් හුක්ස්ට (bell hooks) අනුව, ධනේශ්වර ක්‍රමයේ අයුක්තියට සහ අගතියට ප්‍රතිරෝධය හෝ සැමට සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ “නව භාෂාවක්” කුඩා අකුරු මඟින් සංකේතවත් කරයි. ඇයගේ Feminism for Everybody: Passionate Politics (2000) ග්‍රන්ථයේ හි සඳහන් වන්නේ, “ස්ත්‍රීවාදය යනු ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස්කම් කිරීම, ලිංගික සූරාකෑම සහ පීඩාව අවසන් කිරීම මූලික කරගත් ව්‍යාපාරයකි… එය සෑම දෙනාම භාවිතා කරන පොදු නිර්වචනයක් බවට පත් වනු ඇතැයි එකල මගේ බලාපොරොත්තුව විය. මම මෙම නිර්වචනයට කැමති වූයේ පිරිමින් සතුරා බව එයින් ඇඟවෙන්නේ නැති බැවිනි ” (පිටුව 01). හුක්ස්ගේ මෙම ප්‍රස්තුතය සමාජවාදී ස්ත්‍රීවාදියෙකු වන ෂීලා රවුබොතම් (Sheila Rowbotham) විසින් ඇයගේ Women, Resistance and Revolution (1972) ග්‍රන්ථයේදී තවදුරටත් ශක්තිමත් කරන ලදී. රවුබොතම් යෝජනා කරන්නේ ස්ත්‍රීවාදය යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සවිබල ගැන්වීම සහ නව පුරුෂයෙකු සහ ස්ත්‍රියක් නිර්මාණය කිරීමේ අරමුණ ඇති නව දේශපාලන ව්‍යාපෘතියක් බවයි. පිරිමියා “සතුරා” ලෙසත්, ස්ත්‍රිය “ගොදුරක්” ලෙසත් ගොඩනඟන ‘ද්විමය දේශපාලනය’ සමඟ හුක්ස් සහ රෝබොතම් එකඟ නොවීම මෙහිදී කැපී පෙනේ. 

“නව පිරිමියා” කවුද?

ප්‍රශ්නය, ඔබ “නව පිරිමියා” ශ්‍රී ලංකාවේ කුමන සන්දර්භයකි දකින්නේද යන්නයි. මෑතකාලීන “Gota-Go-Home-2022” ජනතා නැගී සිටීමෙන් පටන් ගනිමු. එම නැගී සිටීම ආරම්භයේ දී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම විප්ලවවාදී දේශපාලන නියෝජිතයන් දැකගත හැකි විය. නිදසුනක් වශයෙන්, කාන්තාවක් එක් අතකින් දරුවෙකු සහ අනෙක් අතින් විරෝධතා පුවරුවක් රැගෙන යන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත විය. ස්ත්‍රී උපාධි අපේක්ෂිකාවෝ බැනර් අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාවයේ ඉදිරි පෙළේ සිටියහ. මෙම තත්ත්වය තුළ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් මා නැවත ප්‍රංශ විප්ලවය කරා ගෙන ගියේය.

“ලේ වැගිරීම නැවැත්වීම සඳහා කාන්තාවන්ගේ පාගමනක් වර්සායි වෙත යන අදහස 1871 අප්‍රේල් මාසයේදී පැතිර ගියේය. රචනාකරුවෙකු සමඟ ජීවත් වූ ඔරලෝසු සාදන්නෙකුගේ දියණියක වූ බියට්‍රිස් එක්ස්කොෆොන් තම මවට පිටත්ව යන බව පවසා තම දරුවන් සිපගෙන ප්ලේස් ඩි ලා කොන්කෝඩ් හි පාගමනට එක් විය. ගමනේ අරමුණු ගැන කිසිවකුට පැහැදිලි බවක් හෝ ඔවුන් කළ යුත්තේ කුමක් දැයි නිශ්චිතව දැන සිටියේ නැත, නමුත් එහි දැඩි ආර්ථික චේතනාවලට වඩා දේශපාලනික අරමුණු තිබුණි” (Rowbotham 1972, පිටුව 104).

“නව පිරිමියා” පිළිබඳ දේශපාලන සංකල්පය වර්ධනය කරන ලද්දේ රෝබොතම් විසිනි. ඇය පශ්චාත් ප්‍රංශ විප්ලව දේශපාලනයේ කාන්තා නියෝජනය විවේචනාත්මකව විමසා බැලූ අතර, දෙවනුව “ප්‍රංශ විප්ලවය තුළ කාන්තා හඬ නියෝජනය කරන්නේ” කෙසේදැයි විමසුවාය. ප්‍රංශ විප්ලවයේ අවසානයේ විප්ලවවාදී දේශපාලනය පීතෘමූලික දේශපාලනයකට පෙරළීමත් සමඟම කාන්තාවන් යළිත් වරක් දෙවැනි ලිංගික (අධීන භූමිකාව) සුසමාදර්ශයට යොමු වූ බව ඇය යෝජනා කළාය. එබැවින්, සූරාකෑමේ මූලික නිර්ණායක ලෙස පන්ති සහ ලිංගික පීඩනය හඳුනා ගන්නා පිරිමියෙකු වන “නව පිරිමියා” යන සංකල්පය ඇය යෝජනා කළාය. “නව පිරිමියා” එකවර පන්තිවාදය සහ ස්ත්‍රී පුරුෂ භාවය හේතුවෙන් වෙනස්කම් සිදු කිරීම අවසන් කිරීමේ සමාන වැදගත්කම තේරුම් ගනියි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ස්ත්‍රීවාදය ඉගැන්වීමට සහ ඉගෙනීමට “නව පිරිමියෙක්” අත්‍යවශ්‍ය කොන්දේසියක් බව යෝජනා කිරීමට මම හුක්ස් සහ රෝබොතම්ගේ අදහස් ඉදිරිපත් කරන්නෙමි.

ලාංකේය කැරැල්ලේදී වීදියට පැමිණි කාන්තාවන්ට දේශපාලන හා ආර්ථික අරමුණු දෙකම තිබුණි. “ඒකාධිපතිත්වය” අවසන් කර “ප්‍රජාතන්ත්‍රවාදය” ප්‍රතිෂ්ඨාපනය කිරීම ඔවුන්ගේ හඬ වුවද, සැලැස්ම පිළිබඳව ඔවුන්ට නිශ්චිතව අදහසක් නොතිබුණි. මූලික ප්‍රශ්නය වන්නේ මේ කාන්තාවන් දැන් කොහිද යන්නයි. කැරැල්ල අවසානයේ දේශපාලන පක්ෂ සාකච්ඡා මේසයේ මේ කාන්තාවන් කී දෙනෙක් සිටියාද? කී දෙනෙකුට තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් හඬ නැගීමට හැකි වුණාද? මෙම විප්ලවවාදී කාන්තාවන් පීතෘමූලික දේශපාලනයේ නියෝජිතයා වන “පැරණි පිරිමියා” විසින් ඔවුන්ගේ පුද්ගලික අවකාශයට විසි කරන ලද බව මම තර්ක කරමි. උත්ප්‍රාසය නම් “පැරණි පිරිමියා” තම විප්ලවවාදී දේශපාලන ආයතන තුළ ලිංගික ආඥාදායකත්වය පවත්වා ගනිමින් පාර්ලිමේන්තුවේ ආඥාදායකත්වය අවසන් කිරීමට උත්සුක වීමයි. මේ අනුව සෑම කෙනෙකුටම දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස ස්ත්‍රීවාදය භාවිතා කිරීමට “නව පිරිමියා” අත්‍යවශ්‍ය කොන්දේසියකි.

“නව ස්ත්‍රිය”

ස්ත්‍රීවාදී ශාස්ත්‍රීය කතිකාවේ සහ ක්‍රියාවාදයේ අරමුණු වූයේ/වනුයේ කාන්තාවන්ගේ දේශපාලන විඥානය ඉහළ නැංවීම සහ “නව ස්ත්‍රිය” වීමට ඔවුන් බලගැන්වීමයි. හුක්ස් සහ රෝබොතම්ගේ අදහස, “නව ස්ත්‍රිය” අර්ථකථනය කරන්නේ පීතෘමූලික දේශපාලනයට එරෙහි වන්නෙකු ලෙසය. “නව ස්ත්‍රිය” අද සෑම අංශයකම සොයාගත හැකිය; මෙම කාන්තාවන් එම සැකසුම් තුළ “කාන්තාවගේ අනන්‍යතාවය” ස්ථාපිත කිරීමට දැඩි අරගලයක යෙදී සිටිති. නිදසුනක් වශයෙන්, දැනට පවතින ඉරාන විරෝධතාව මෙහෙයවන යටි පෙළඹවීම වන්නේ මනුෂ්‍යයෙකු ලෙස කාන්තාවන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමයි. ඔවුන්ගේ හිසකෙස් වැස්ම ඉරා දැමීම, මගේ අර්ථකථනය තුළ මනුෂ්‍යයෙකු ලෙස හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ කටහඬ සංකේතවත් කිරීමකි. කෙසේ වෙතත්, “නව ස්ත්‍රිය” නිර්මාණය කිරීම තරඟකාරී හා දුෂ්කර දේශපාලන ක්‍රියාවලියකි. “නව පිරිමියා” සහ “නව ස්ත්‍රිය” නිර්මාණය කිරීමේදී විශ්වවිද්‍යාලවල ස්ත්‍රීවාදය ඉගැන්වීමේ සහ ඉගෙනීමේ කාර්යභාරය කුමක්ද?

ස්ත්‍රීවාදයේ “ඉගෙනුම් ඵල”

ස්ත්‍රීවාදී අධ්‍යාපනයේ ප්‍රධාන “ ඉගෙනුම් ඵලයක්” වනුයේ දී ඇති සමාජ යථාර්ථයක් විවේචනාත්මකව විමර්ශනය කිරීමයි. ලබා දී ඇති සමාජ යථාර්ථය තුළ ඒකාකෘති බල ධූරාවලිය සහ මිනිස් සිරුරේ වෛෂයිකකරණය අඩංගු වේ. ස්ත්‍රීවාදය මෙම සමාජ යථාර්ථයට අවධානය කැඳවන අතර, එම ලබා දී ඇති සමාජ යථාර්ථය ප්‍රශ්න කිරීමට ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ විවේචනාත්මක මනස මතු කරනු ඇත.

ස්ත්‍රීවාදය, එම අවස්ථාවේ දී, සමාජ පරිවර්තනය සඳහා ක්‍රියාවාදී කාර්යභාරයක් ඉටු කරයි. පැරණි පාසල් අධ්‍යාපනයේ අවධානය යොමු වූයේ න්‍යාය පරීක්ෂා කිරීමටය. ක්‍රියාවාදය පැරණි අධ්‍යාපනික ප්‍රවේශවල කොටසක් නොවීය. Questions for a New Century: Women’s Studies and Integrative Learning (2007) ග්‍රන්ථයේ ඇමී කේ. ලෙවින් පවසන පරිදි ඉගැන්වීමේ සහ ඉගෙනීමේ නව ක්‍රමයක් ලෙස ක්‍රියාවාදය හඳුන්වා දුන්නේ ස්ත්‍රීවාදයයි. “ස්ත්‍රීවාදී අධ්‍යයන වැඩසටහන් දැනුම සහ කුසලතා ඉලක්ක සපුරාලීම සඳහා ක්‍රියා කරන අතර ක්‍රියාවාදය පාඨමාලාවේ අවශ්‍යතාවයයි” (පිටුව 18). දැනුම සහ පුද්ගලික අත්දැකීම් සම්බන්ධ කිරීම ස්ත්‍රීවාදී ක්‍රියාවාදයේ කොටසකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සන්දර්භය තුළ, ක්‍රියාවාදය නීත්‍යානුකූල අධ්‍යාපනික ක්‍රියාකාරකමක් ලෙස තවමත් පිළිගෙන නොමැත. මගේ අත්දැකීමට අනුව, ශ්‍රී ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු ශාස්ත්‍රීය හා ක්‍රියාවාදයේ ධූරාවලියක් පවත්වාගෙන යයි. ඔවුහු වෙනත් ප්‍රමුඛ පෙළේ විද්වතුන්ගේ න්‍යායික තර්ක මහජනතාවට කලාතුරකින් තේරෙන ශාස්ත්‍රීය භාෂාවෙන් ඉදිරිපත් කිරීමට නැඹුරු වෙති. ක්‍රියාවාදය තුළ, න්‍යායික පැහැදිලි කිරීම් සරල භාෂාවෙන් සාකච්ඡා කෙරෙන අතර, මහජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා එදිනෙදා ජීවිතයේ උදාහරණ න්‍යායට සම්බන්ධ වේ.

අවසාන වශයෙන්, ස්ත්‍රීවාදයේ ලක්ෂ්‍යය පිරිමි විරෝධී ප්‍රවාදයක් නොව “නව පිරිමියා සහ ස්ත්‍රිය” නිර්මාණය කිරීම බව කිව යුතුය. උසස් අධ්‍යාපන ආයතනවල ස්ත්‍රීවාදය ඉගැන්වීමෙන් ශ්‍රී ලංකාවේ “නව පිරිමියා” සංකල්පය වැඩිදියුණු සහ පුළුල් කළ හැකි ය. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය විය යුතු ‘සමාජ පරිවර්තනය සඳහා ක්‍රියාවාදය’ වෙනුවෙන් උපාධි අපේක්ෂකයින් පුහුණු කිරීම අවශ්‍ය වේ. අධ්‍යාපනය සඳහා නව ප්‍රවේශයන් සාකච්ඡා කිරීමේදී කුප්පි සාමූහිකය මූලිකත්වය ගෙන ඇති බව සඳහන් කිරීම වැදගත් ය. ස්ත්‍රීවාදය එම සාකච්ඡාවේ කොටසකි.