සිවමෝහන් සුමති
වසංගතයක් මධ්‍යයේ කුප්පි කතා මේ වනවිට අඩවසරකට ලඟා වෙමින් පවතී. මෙම මාසවලදී රට කොවිඩ් අර්බුදය නම් මඩ ගොහොරුවක, සහ ආර්ථික පසුබෑමක ගිලී යන අයුරු අපි දුටුවෙමු. එය විරෝධතා සහ ප්‍රතිවිරෝධතාවල සටන් බිමක් ද වී ඇත. පසුගිය වසරේ වැඩි කාලයක් පුරා මෙම කොලමේ ලේඛකයෝ, වසංගතය නිර්මාණය කර ඇති හෝ උත්සන්න කර ඇති ගැටළු පිළිබඳව; විශේෂයෙන් අන්තර්ජාලය හරහා ඉගෙනීම සහ ඉගැන්වීම් හෝ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම වැනි අධ්‍යාපනය සඳහා දුරදිග යන ප්‍රතිවිපාක ඇති කරන ගැටළු පමණක් නොව, සිවිල් සහ පොදු සංස්කෘතියේ බලවේග ලෙස ඔවුන්ගේ භූමිකාව තුළ ඇති ගැටළු පිළිබඳව පවා විවේචනාත්මක ප්‍රශ්න මතු කළහ. මෙහිදී මා සමස්තයක් ලෙස අවධානය යොමු කරන්නේ අධ්‍යාපනය සහ විශේෂයෙන් උසස් අධ්‍යාපනයට බලපාන වැදගත් කරුණු කිහිපයක් කෙරෙහිය.
නිර්මිලිටරීකරණය: නැගී එන ප්‍රජාතන්ත්‍රවාදයේ කාර්යභාරය
පාලනය, බාහිරව පනවන ලද විනය, අධිකාරීවාදය සහ සෝදිසි කිරීමේ පාලන තන්ත්‍රයක් ගෙන ඒමේ අනුප්‍රාප්තික ආණ්ඩුවල ආවේශය KNDU පනතට එරෙහි සටන තුලින් හුවා දක්වා ඇත. මෙම බලවේග දැනටමත් විශ්වවිද්‍යාලය තුළ සහ අනෙකුත් අධ්‍යාපන අවකාශයන්හි පවතින අතර, සෑම ක්‍රියාකාරකමක්ම නිරීක්ෂණ තාක්ෂණය හරහා සමීප අධීක්ෂණයකට භාජනය වේ. මෙකී නිරීක්ෂණයන් විෂයමාලාව සමීපව නිරීක්ෂණය කිරීම, වෙනත්ම තැන්වල ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීම සහ එය අධ්‍යයන ප්‍රජාව මත පැටවීමෙහි සිට CCTV කැමරා, ශරීර පරීක්ෂා කිරීම්, බාධක සහ ආරක්ෂක මුරපොලවල් දක්වා විහිදේ. විශ්වවිද්‍යාල සඳහා සම්පාදනය වන අරමුදල් ඉපයීමේ යෝජනා මගින් පෙන්නුම් කරන්නේ මෙම පැරණි සහ නව පියවරයන්, විශ්වවිද්‍යාල අවකාශයන් ආක්‍රමණය කරන පුද්ගලීකරණය සමඟ අත්වැල් බැඳ ගන්නා බවයි.
අධ්‍යාපන අවකාශයන් සැමවිටම ධූරාවලි ගත වී ඇති අතර, ප්‍රතිසංස්කරණ මගින් ඒවා විසඳීමට එතරම් දෙයක් කර නොමැත; ඒ වෙනුවට ඒවා මඟින් පන්තිය, වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ අනෙකුත් සමාජ දෝෂ පිළිබඳ ප්‍රශ්න මඟහැර ඇති අතර, අධ්‍යාපනයේ පහළ සිට ඉහළට පරිවර්තනීය වැඩසටහනක් දියත් කිරීම එම නිසා නොසලකා හැරීමට ලක්ව ඇත. විෂයමාලා සමජාතීය කිරීම සහ කුසලතා සහ නිපුණතා පිළිබඳ කාරණයකට ලඝු කිරීම තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය, සුළුතරය නොසලකා හැරීම සහ කාන්තාවන්ගේ හඬ වැනි කරුණු වඩාත් අන්තීකරණය වී ඇත.
අධ්‍යාපනයේ මිලිටරිකරණය ඓතිහාසිකව, සන්දර්භානුකූලව සහ ජාතික වශයෙන් තේරුම් ගත යුතුය. මිලිටරීකරණය යනු නව්‍ය මාතෘකාවක් නොවේ. දීර්ඝ කාලීන වාර්ගික ගැටුම සහ යුද්ධය සහ එහි ප්‍රතිවිපාක නිසා, ආණ්ඩුකරණ ව්යුහයෙහි සහ රාජ්ය ආයතන පද්ධතියෙහි කේන්ද්රීය සංස්ථාවක් බවට ආරක්ෂක අංශ පත්වී ඇත. පශ්චාත් යුධ සමයේදී හමුදාව විසින් උතුරු නැගෙනහිර සිවිල් වැසියන්ගේ ඉඩම් අත්පත් කරගෙන සිටියා පමණක් නොව, පරිපාලන ව්‍යුහයේ, ආර්ථිකයේ ව්‍යුහයේ සහ ඉහළ මට්ටමේ පාලන ව්‍යුහයේ කොටසක් බවටද පත් විය. පශ්චාත් යුද්ධ සමයේ මුල් වසරවල උතුරු හා නැගෙනහිර සිවිල් ව්‍යුහයන් හමුදාව විසින් අධීක්ෂණය කරන ලද අතර, හිටපු හමුදා සාමාජිකයන් ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරන ලදී. හමුදාව ආර්ථික නිෂ්පාදනයේ යෙදී සිටි අතර සේවා යෝජකයෙකු බවට පත් විය. සිවිල්, දේශපාලන හා ආර්ථික ජීවිතයන් තුළ හමුදාවේ භූමිකාව සාමාන්‍යකරණය කිරීම නිසා ජාතික ආරක්ෂාවේ නාමයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල අවකාශයන් අධීක්‍ෂණය දුර්විපාක නොලබාම සිදු කිරීමට හැකි විය. උතුරු හා නැගෙනහිර මිලිටරිය විශේෂයෙන් නව ලිබරල් සංස්ථාපිතයක් නොවූවත්, අධ්‍යාපනය, පෞද්ගලීකරණය, මිලිටරිකරණය සහ ශාස්ත්‍රීය ජීවිතයේ අධීක්‍ෂණය වැඩි කිරීම යන කාරණා එමඟින් පන්නරය ලබා ඇති බව පැහැදිලිය. කොතලාවල ක්‍රියාත්මක වන විනය යාන්ත්‍රණය අනිවාර්යයෙන්ම විකාරරූපී වුවද, පුදුම උපදවන සුළු නොවේ. එම විශ්ව විද්යාලය මර්දනයේ ඉතා ප්රකට අවස්ථාවක් ලෙස දිස්විය හැකි වුවත්, KNDU පනත පැමිණීමට බොහෝ කලකට පෙර අපි ආයතනයක් ලෙස හමුදාවට අපගේ ජීවිත පාලනය කිරීමට ඉඩ දී තිබූ බව පිළිගත යුතුය.
මිලිටරිකරණය සහ පෞද්ගලීකරණයේ දෘෂ්ටිවාදය
KNDU පනත් කෙටුම්පත ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ මිලිටරිකරණ ක්‍රියාවලිය තුළ ඇති පෞද්ගලීකරණ චේතනාවයි. අධිපතිවාදී දෘෂ්ටිවාදය රඳා පවතින්නේ සේවා නියුක්තිය, උසස් අධ්‍යාපනයේ මෘදු නිපුණතා, කාර්ය සාධනය සහ ඉල්ලුම වැනි ජනප්‍රිය අලංකාරෝක්තීන් මත ගොඩනැගී ඇති පද මාලාවක ඒත්තු ගැන්වීමේ බලය මතය. ක්‍ෂේත්‍රයේ සිටින විචාරශීලී චින්තකයින් ද අධ්යාපනයේ වටිනාකම පිළිබඳ සිය තර්ක ගොඩනැගීමේදී වෘතාන්ත වලට සීමා වීමේ උගුලට හසු වී ඇත.
මෙම ජනප්‍රිය අලංකාරෝක්තීන්, පර්යේෂණ කාර්යයන්ද ද හැඩගස්සවා ඇත. විගණන කාර්යාලය මඟින් සම්පිණ්ඩනය කළ කලා අධ්‍යාපනය පිළිබඳ වාර්තාව, කලා අධ්‍යාපනය සඳහා වන ප්‍රතිසංස්කරණ පදනම් වී ඇති අස්ථාවර පාදම පිලිබඳ ඉඟි කරයි. කුප්පි කතා ලේඛකයන් ප්රශ්න කිරීමට උත්සහ කරන රැකියා නියුක්තිය පිළිබඳ මන්ත්‍රය මේ මොහොතේ සෑම තැනකම දක්නට ලැබේ. අධ්‍යාපනික ආයතන වෙනුවට ලෝක බැංකුව වැනි අරමුදල් සපයන සංවිධාන අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවේ සහ ප්‍රතිසංස්කරණවල නියමයන් සකසන විට පවතින ව්‍යාකූලත්වය දෙගුණ වේ.
ප්‍රති හෙජමොනික අරගලයක්
ප්‍රජාතන්ත්‍රවාදී ජීවීන් ලෙස අපගේ පැවැත්ම රැඳී තිබෙන්නේ අවිනිශ්චිතතාවය මතය. එය ප්‍රජාතන්ත්‍රීකරණය සඳහා නව කැඳවීමක් ඉල්ලා සිටියි; එය වසංගතයේ හදිසි තත්ත්වය අප වෙනුවෙන් සකස් කරන ලද සුසමාදර්ශයන් තුළින් සිදු වූ මතුවීමකි. අධිපතිවාදී ක්‍ෂේත්‍රය ග්‍රහණය කරගන්නා ලෙස ඉල්ලා සිටි ග්‍රාම්ස්චිට අනුව, අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම දේශපාලන අවශ්‍යතාවයකි. වර්තමාන අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයන්හි බොහෝ නිර්දේශ පැන නගින්නේ අධ්‍යාපනය සහ එහි අවශ්‍යතා පිළිබඳ දාර්ශනික හා දේශපාලන විමර්ශනයක් නොමැතිවය. ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් අධ්‍යාපනය, සමාජ විද්‍යාත්මක සහ දේශපාලනික කරුණු විශ්ලේෂණය කිරීම සඳහා පමණක් නොව, අධ්‍යාපනයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණවලට ප්‍රතිචාරයක් සැකසීම සඳහා – එනම් විෂයමාලා සහ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලට ප්‍රතිචාර දැක්වීම සඳහා – නූතනයේ අපට ඇති ආරම්භක ලක්ෂ්‍යය බව මම තර්ක කරමි. නිදහස් අධ්‍යාපනය සැබැවින්ම ප්‍රති ආධිපත්‍යවාදී අරගලයක අභිප්‍රායයි.
අධ්‍යාපනික අවකාශයන් ආක්‍රමණය කිරීම නවත්වන ලෙස ඉල්ලා සිටිමින් KNDU පනතට එරෙහිව FUTA දියත් කරන ක්‍රියාමාර්ගය, 6% GDP සඳහා වූ අරගලය සහ අත්සන් මිලියනයක ව්‍යාපාරය වැනි අපගේ ඓතිහාසික අරගලයන් පිළිබඳ මතකයන් නැවත ගෙන එයි. වර්තමානයේ තවත් ප්‍රබල බලවේගයක්, අධ්‍යාපනය පිළිබඳ අත්‍යවශ්‍ය ප්‍රශ්න මතු කරමින් විරෝධය පෑමට පටන් ගෙන ඇත: ඒ ගුරුවරුන් ය. මෙම අරගල තිරසාර නොවිය හැකි අතර සමහර විට ඇතුළතින් ඉරිතලා ගොස් තිබෙන්නට පුළුවන. කෙසේ වෙතත්, මෙම ක්ෂේත්‍රය සකසා ඇත්තේ ප්‍රති ආධිපත්‍යවාදී අරගලයකට, එනම් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවේ සීමා මායිම් අතික්‍රමණය කරන, පෞද්ගලීකරණය පිළිබඳව වේවා, විශ්වවිද්‍යාල අවකාශයේ ධුරාවලි පිළිබඳව වේවා, සියලු හඬවල් මතුවීමට අවකාශය විවර කරන අරගලයකයකට ය. අයිතිවාසිකම් සහ ආන්තිකභාවය, විෂයමාලාව සහ ඒ සඳහා වන ප්‍රවේශය, භාෂාව සහ භාෂා මෙන්ම ලිංගිකත්වය සහ ලිංගික හිංසනයන් (නවක වදය ඇතුළුව) පිළිබඳ කතිකාවතක් සඳහා මෙම අරගලය අවකාශය විවර කළ යුතුය. වෙනත් වචන වලින් කිවහොත්, නිදහස් අධ්‍යාපනය සහ එහි බහුවිධ සචලීයකරණයන් පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි ඉඩක් පැවතිය යුතුය.