හැමෝටම ඉංග්‍රීසි දීමේ පොරොන්දුව: අනවශ්‍ය අවවාද සහ ඛේදනීය සන්දර්භ සටහන් 

කෞශල්‍යා පෙරේරා

සති කිහිපයකට පෙර මම ලියනගේ අමරකීර්තිගේ  ‘විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද?’ ග්‍රන්ථය සොයමින් සරසවි පොත්හලේ ශාඛාවකට ඇතුළු වුනෙමි. මට ලැබුනු උත්තරය වූයේ මේ ශාඛාවේ ඉංග්‍රීසි පොත් පමණක් විකුණන බවයි. ශාඛාවේ සේවකයින් කොම්පැනියේ ප්‍රතිපත්ති මුවකඩවල් පමණක් වන බැවින්, ඉංග්‍රීසි පොත් පමණක් විකුණන්නේ ඇයිද යන ප්‍රශ්නයට ඔවුන්ට පිළිතුරු දිය නොහැකි විය. අනෙක් අතට එවැනි හේතු දැක්වීමක් අවශ්‍යද නැත. කොම්පැනිය ප්‍රතිචාර දක්වන්නේ ලංකාවේ යටත්විජිතවාදී ඉතිහාසය සමග මූට්ටු වූ, ඒ කාලයේ සිට මේ දක්වා පැනවුනු භාෂා ප්‍රතිපත්ති සමූහය හේතුවෙන් මතුවුනු ඉංග්‍රීසිය සම්බන්ධව තිබෙන අනුරාගයටය. මෑත කාලීන භාෂා ශාස්ත්‍රඥයින් කියන ලෙස, ඉංග්‍රීසි භාෂාව කොහොමත් ලෝකයේ අනෙක් භාෂාවන් පාගාගෙන මතුවන ආක්‍රමණ ශීලී ශාඛයක් වැනි ය. පසුගිය සියවස පමණ කාලයේ ආණ්ඩුකරණය, තාක්ෂණය, මුද්‍රණ වැනි තලයන්හි අනෙක් භාෂාවන් ඉවත් කරමින් ඉංග්‍රීසි ඉදිරියට ඒමෙන්ම මෙය හුවා දැක්වෙන බව ඔවුන්ගේ මතයයි. 

මේ සියල්ල නිසා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන්නේ වාග්විද්‍යාවේ ‘බහුභාෂා ව්‍යාකලනය’ (subtractive multilingualism) ලෙස නම් කෙරෙන නැතහොත්ර ටේභාවිතා කෙරෙන භාෂා ප්‍රමාණය අඩු කෙරෙන ප්‍රතිපත්ති ගෙන එන තත්ත්වයකි. කුඩා ළමුන්ගේ දෙමාපියෝ අනෙක් භාෂා පසෙක ලා ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කරවීමට සහ  ඉගැන්වීමට යුහුසුළු වෙති. ඉංග්‍රීසි මාධ්‍ය පාසල්වලට  හා පෙර පාසල් වලට ඇති වටිනාකම ඉතා වැඩිය. එහෙත් සත්‍ය වශයෙන්ම අප වැනි රටක අනුබල දිය යුත්තේ භාවිත භාෂා ප්‍රමාණය වැඩි කෙරෙන භාෂා ප්‍රතිපත්තීන්ය (additive multilingualism). එනම් තිබෙන භාෂාවන් දියුණු කරගන්නා අතරම ඉංග්‍රීසි වැනි තවත් භාෂාවක දැනුම වැඩි කර ගැනීමයි. 

ඒ සරසවි පොත්හලෙන් හිස් අතින් එළියට විත් සිදුවූ දේ ගැන ත්‍රීවිල් රියදුරා සමග කතා කරන විට, නුදුරු අනාගතයේදී ලංකාවෙන් සිංහල භාෂාව නැති වේ දැයි ඔහු මගෙන් ඇසුවේය. ඊළඟ නැවතුම් පොළට යන ගමන්, රියැදුරු මහතා ද මා ද, ඉංග්‍රීසි භාෂාවට ලංකාවේ ලබා දී ඇති උස් ස්ථානයත් ලංකාවේ පවතින භාෂා අසමානතා ගැනත් සංවාදයක යෙදුනෙමු. සිංහල, දෙමළ, හෝ ඊටත් වඩා අඩුවෙන් භාවිතාවන මැලේ භාෂාව වැනි භාෂා වුවද රටේ දිගටම භාවිතා වුවත්, ජීවිතයට අවශ්‍ය වඩා හොඳ අවස්ථා ලැබෙන්නේ ඉංග්‍රීසි කතාකරන්නන්ට ය. 

පසුගිය දෙසැම්බර් මස සිදුවූ අධ්‍යාපනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඉංග්‍රීසි භාෂාවට වැඩි ප්‍රමුඛතාවයක් දී තිබේ. ලෝක බැංකුවේ ආධාරයෙන් සැමට ඉංග්‍රීසි හෙවත් ‘English for all’ ලබා දෙන බවට අධ්‍යාපන ඇමතිවරයා රටටම පොරොන්දු වූයේය. මෑත දශක කිහිපය තුල රාජ්‍ය විශ්ව විද්‍යාල තුල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමටත්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අනෙක් දේ ඉගැන්වීමටත් ලෝක බැංකුවේ ණය ආධාර (IRQUE, HETC, AHEAD) තුළින් අපට මහත් සේ බලපෑමක් කර ඇත. ඒවා දැනට සාර්ථක වී නොමැත. මෑත කාලීනව පාසල් අධ්‍යාපනයටත් එවැනිම ණය (උදා. GEMP) ලබා දී ඇත. ණය ආධාර මූලික කරගෙන ප්‍රතිපත්ති සෑදෙන විට, ජාතික ප්‍රතිපත්ති ලෙස අප දකින්නේ සත්‍ය වශයෙන් රටේ අවශ්‍යතාවය නිසා ඉපදෙන ප්‍රතිපත්ති නොව, ණය ආධාර සම්මුතියම වෙනත් වචන වලින් ඉදිරිපත් කිරීමකි. අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කී ආකාරයට මෙවර අයවැයේ ක්‍රියාකාරකම් අරමුණු කරගත් ගුරු පුහුණුව, උසස් පෙළ අවසාන කළ ශිෂ්‍යයින් හට වෘත්තීය මාර්ගෝපදේශනය, පරිගණක පුහුණුව සහ ඉංග්‍රීසි අධ්‍යාපනය යන ඒවාසඳහා මුදල් වෙන් කර ඇත. එහෙත් එවැනි මහාපේක්ෂිත කර්තව්‍යකට අවශ්‍ය ගුරු වැටුප් වැඩි කිරීමක්, ගුරු සේවාව ප්‍රසාරණය කිරීමට මුදල්, සහ දිගු කාලීන අධ්‍යාපන ප්‍රතිපත්ති සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් වෙන්කිරීමක් අපට මේ අයවැය තුළ දක්නට නොලැබේ.

සැමට ඉංග්‍රීසි දෙන පොරොන්දුව කාලයකට පෙර කඩවුණු පොරොන්දුවකි. එක් දහස් නමසිය පනහ දශකයේ අධ්‍යාපනයත්, රාජ්‍ය සේවයත් සිංහලට (සහ පසුව දෙමළ භාෂාවට) හැරවුණු විටද ලංකා ජනරජය පාසල් යන සැමට ඉංග්‍රීසි පොරොන්දු වූයේය. විද්‍යා විෂයන් (වෛද්‍ය, ඉංජිනේරු, අනෙක් විද්‍යා විෂයන්) හැර අනෙක් විෂයන් ද ස්වභාෂා හෙවත් සිංහලට හෝ දෙමළට හැරවිනි. හැටේ දශකයේදී මේ භාෂා දෙකෙන් පදමාලා සම්පාදනය වූයේ ද ඒ වනවිට ඉංග්‍රීසියෙන් සිදු වූ ආණ්ඩුකරණයත් අධ්‍යාපනයත් සිංහලෙන් සහ දෙමළෙන් සිදුවීමට අවශ්‍ය නිසාය. එවැනි සන්දර්භයක අධ්‍යාපනික පෙලපොත්, ඉංග්‍රීසියෙන් සිංහලට හා දෙමළට හැරවීම දියුණු ව්‍යාපාර බවට පත් නොවූයේ ඇයිදැයි අපට ඇසිය හැක. මෙතැන ලිවීමට ඉඩ නැති බොහෝ හේතු කාරණා නිසා වත්මන් කාලයේ සිදුවන බුද්ධිමය ක්‍රියාකාරකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන ප්‍රකාශන බොහෝ දුරට සිදුවන්නේ ඉංග්‍රීසියෙනි. සිංහලෙන් හෝ දෙමළෙන් ප්‍රකාශනයේ යෙදෙන විද්වතුන් සිටින්නේ අතලොස්සකි. 

කොපමණ පොරොන්දු දුන්නද, මිලියන ගණනින් ණය ගත්තද, මේ වනවිට ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීම දැවැන්ත ලෙස නිෂ්ඵල වී තිබේ. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුල් වන විද්‍යාර්ථීන් පනස්දාහෙන් තමාගේ අධ්‍යාපනික කටයුතු ඉංග්‍රීසියෙන් ඉටුකිරීමට හැක්කේ ඉතා කුඩා ප්‍රතිශතයකටය. විද්‍යාර්ථියෙකුට සාමාන්‍යයෙන්  විශ්ව විද්‍යාලයට ඇතුල් වනවිට සති කිහිපයක ඉංග්‍රීසි ඉගැන්වීමක් කර, ඉන්පසු සතියකට පැය දෙක තුනක් ඉංග්‍රීසි ඉගැන්වේ. පෙර ඉගෙන නොගත් විෂයයන් විශ්ව විද්‍යාලයට ආ සැනින් ඉංග්‍රීසියෙන්ම ඉගෙනීමට සිදුවීම මේ බොහෝ විද්‍යාර්ථින් වධකාගාරයකට යැවීමක් වැනිය. සම්පත් අවම පරිසරයක අඩුවෙන් හෝ කෙසේවත් නොදැන සිටි භාෂාවක් ශීඝ්‍රයෙන් ඉගෙන ගන්නා අතරම තමාගේ විෂය ක්ෂේත්‍රය පිලිබඳවද ඉගෙන ගත යුතුය. මේ අවස්ථාවල අනිවාර්යයෙන් සිදුවන්නේ ඉංග්‍රීසි භාෂාව පෘථුල විද්‍යාර්ථින් ඒ විෂය ගැන වඩා ඉහළ දැනුමක් තිබෙන, එය වඩා හොඳින් තේරුම් ගත් ‘හොඳ සිසුන්’ ලෙස සැළකුම් ලැබීමත්, ඉංග්‍රීසි භාෂාව අමාරුවෙන් ඉගෙන ගන්නා විද්‍යාර්ථින් තමාගේ විෂය කෙසේ හෝ ඉගෙනීමට වෙහෙස වී ඉන්පසු සේවා වෙළඳපොළේදීත් අඩු තක්සේරුවකට ලක්වීමත් ය. 

මේ එන බොහෝ විද්‍යාර්ථින් පාසලේදී ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් හරිහැටි නොලැබූ අය වෙති. ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යා ලේඛන දත්ත වලට අනුව, දෙදහස් විස්ස වන විට රාජ්‍ය සේවයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ගුරුවරු ඇත්තේ සියට එකකි. රජයේ පාසල් වල ද්වීභාෂා (දෙමළ/සිංහල සහ ඉංග්‍රීසි) අධ්‍යාපනය ලබන සිසුන් සිටින්නේ සියයට දෙකකුත් දශම හතරක් පමණි. ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තෘතීය අධ්‍යාපනයක් නොමැතිවද ඉංග්‍රීසි විෂය හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ රැකියාවක් ලබා ගත හැක. පලාත් සභා හරහා ගුරු පත්වීමක් ලබා ගැනීමට දෙවසරක ඩිප්ලෝමා සහතිකයක් සෑහෙන අතර, පෞද්ගලික අංශයේ ගුරු පත්වීම් සම්බන්ධව කිසිම රෙගුලාසියක් නොමැති හෙයින් “ඉතා ඉහළ ඉංග්‍රීසි දැනුමක්” තිබේ නම් එවැනි පාසලක ගුරු පත්වීමක් ලබා ගත හැක.