අනුෂ්කා කහඳගමගේ
මේ රජය සහ ජනාධිපතිවරයා පත්වීමේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ‘විනය ගරුක සමාජයක්’ බිහි කිරීමයි. ලක්ෂ හැට නවයක ජනතාව මෙම ජනාධිපතිවරයා කෙරෙහි තම විශ්වාසය තබන්නේ ‘විනය ගරුක’ සමාජයක් බිහි කරීම උදෙසාය. එහිදී ජනතාවගේ අදහස වූයේ තමාද ඇතුළු අනෙකුත් පුරවැසියන්ට විනයක් නොමැති බවත් ඒ විනය ගොඩනඟා ගැනීම සඳහා වෙනත් බාහිර පාර්ශවයක පිහිට අවශ්‍ය බවත්ය. ඒ බාහිර පාර්ශවය විය යුත්තේ හිටපු හමුදා නිලධාරියෙක් සහ වසර තිහක පමණ කාලයක් තිස්සේ පැවති යුද්ධය නිමාකළ, ‘යුධ ජයග්‍රහණයේ’ ප්‍රධාන නියමුවෙකු වූ ජනාධිපති අපේක්ෂකයා සහ ඔහු විසින් මෙහෙයවනු ලබන ආණ්ඩුවක් බවට බහුතර ජනතාව යෝජනා කරනලදි. මෙය අහම්බයක් නොවෙයි. ජනතාව වන අපට අවශ්‍ය වූයේ මෙයයි. මේ වනවිට රජය විසින් කොතලාවල පනත හරහා සිදු කරමින් පවතින්නේ මෙම මනෝභාවය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ‘විනය’ යන්න අධ්‍යාපනය හරහා විකිණිය හැකි භාණ්ඩයක් බවට පත් කිරීමයි. එනම් ජනතාව අතර වැඩිපුරම ‘ඉල්ලුමක්’ ඇතැයි සිතන ‘පාරිභෝගික භාණ්ඩයක්’, අධ්‍යාපනය නම්වූ ප්‍රබල රාජ්‍ය මෙවලම හරහා ජනතාවට විකිණීමේ කාර්ය භාරයයි.
ඉතින් මෙම කාර්යයේ ඇති වරද කුමක්ද? නැතහොත් බරපතලකම කුමක්දැයි යමෙකුට ප්‍රශ්නයක් නැඟිය හැකිය. බැලූ බැල්මට එතරම් බරපතලකමක් නැත. ජනතාව රජය බලයට පත්වීමට පෙර ඉල්ලා සිටින ලද දෙය විකිණිය හැකි ‘භාණ්ඩයක්’ බවට පත්කර, ජනතාවට අයිති අධ්‍යාපනය හරහා විකිණීමට සුදානම්ය.
ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ජනතාවට අයිතිය. ප්රජාතන්ත්රවාදය මිය යා නොදී බේරා ගැනීමේ විශාල කාර්ය භාරයක් අධ්‍යාපනය සතුය. එනයින් අධ්‍යාපනය ස්වාධීනව පැවතීම රටක ප්රජාතන්ත්රවාදය පවත්වා ගෙන යාමේ මූලික පදනමයි. ඒ වෙනුවෙන් දර දිය අදින්නන් අතර, දරිද්‍රතාවයෙන් පීඩා විදින අන්ත අසරණ ශ්‍රමිකයින් ඇත. අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට එරෙහිව වීදියේ සටන්කරනන් මර්දනය කරන පොලිස් නිලධාරීන්ද මේ පන්තියේමය. අපි ඔවුන් සියලු දෙනාම දැයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දැනටම රාජ්‍යට අවශ්‍ය මුදල් ගෙවා අවසානය. රාජ්‍ය විසින් අපේම පන්තියේ මිනිසුන් අපිටම එරෙහිව උසි ගන්වමින් සිටියි. රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් මුළු ජීවිත කාලයක්ම ශ්‍රමය වගුරුවා ඇත. නිදහස් අධ්‍යාපනයේ දරුවන් වන අප බහුතරයකගේ අධ්‍යාපනයට ඔවුන් වියදම් කර ඇත. නිදහස් අධ්‍යාපනය ජනතාවගේය. ඔවුන් ඒ සඳහා දැනටම ගෙවා ඇත. ඒ අධ්‍යාපනය සෑම පුරවැසියෙකුගේම අයිතියකි. එම අයිතිය වෙනුවෙන් නැවත ගෙවීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැත. මේ වනවිට පෞද්ගලිකරණය කිරීමට රජය විසින් යෝජනා කරතිබෙන කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය සඳහා භාණ්ඩාගාර ඇපකරයක් යටතේ රාජ්‍ය බැංකු දෙකකින් රුපියල් බිලියන 36.54 ක් ලබාදෙන ලෙසට බලධාරීහූ ඉල්ලීම් කර ඇති බවට වාර්තා වෙයි. පුරවැසියා දැනටමත් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බදු මුදල් හරහා ගෙවා ඇත. රාජ්‍ය බැංකුද පවත්වාගෙන යන්නේ පුරවැසියාගේ මුදලිනි. විශ්ව විද්‍යාලය පෞද්ගලීකරණය කිරීමෙන් රාජ්‍ය ඉල්ලා සිටින්නේ පුරවැසියාට තම දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා අති විශාල මුදලක් නැවතත් ගෙවන ලෙසයි. එනම් රජය ඉල්ලා සිටින්නේ, දැනටමත් පුරවැසියා විසින් ගෙවා තිබෙන මුදලක් නැවත ගෙවන ලෙසයි. මෙහිදී සිදුවන්නේ කුමක්ද? බහුතර රාජ්‍ය සේවකයින් සහ වැඩ කරන ශ්රමිකයින්ද ඇතුළු බහුතර ජනතාවකගේ දරුවන් වෙනුවෙන් විවෘතව පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ප්‍රතිපාදන අවම වීමයි. ඔවුන් දැනටමත් මිල ගෙවා ඇති ඔවුන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන සිහිනය බොඳවනු ඇත.
අධ්‍යාපනය පාලනය කළයුත්තේ කවුරුන්ද යන ප්රශ්නය නිදහස ලැබීමට පෙර සිටම තීරණාත්මක සහ වැදගත් ප්‍රශ්නයක් ලෙස මතුව ඇත. රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් කන්නංගර කමිටු වාර්තාව පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල දක්වා වූ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය ලෙස පැවතිය යුතු බවට යෝජනා කරයි. ඒ අනුව, අධ්‍යාපනය පාලනය කළයුත්තේ කවුරුන්ද යන ප්රශ්නය නිදහස ලැබීමට පෙර සිටම තීරණාත්මක සහ වැදගත් ප්‍රශ්නයක් ලෙස මතුව ඇත. ඒ අනුව කමිටු වාර්තාව යෝජනා කරන්නේ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක පැවැත්ම උදෙසා අධ්‍යාපනය නිදහසේ පැවතිය යුතු බව, නැතහොත් ජනතාවගේ අයිතිය යටතේ පැවතිය යුතු බවයි. වර්තමානය වනවිට, ජනතාවගේ රජයම අධ්‍යාපනය විකුණා දැමීමේ තැරැව්කරුවන් බවට පත්ව ඇත. එසේ විකුණා දමා, අධ්‍යාපනයේ පාලනය ‘හමුදාව’ යටතට පත් කිරීමට උත්සහ කරයි. රටේ ප්රජාතන්ත්රවාදයේ මළගම සිදු වීමට නියමිතය. ප්රජාතන්ත්රවාදය ඒකාධිපති රාජ්‍ය පාලකයින් හෝ ජනතාව තලා පෙළන හමුදා පාලනයකින් වියුක්තව පවත්වාගෙන යාම සඳහා ජනතාව විසින් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇත. නමුත් රජය කොතලාවල පනත හැඬුවා දීම හරහා සිදු කරන්නේ, නිදහස් අධ්‍යාපනයේ සහ ප්රජාතන්ත්රවාදයේ මළගම වෙනුවෙන් එකඟ වන ලෙසත්, ඊට මුදල් ගෙවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටීමයි.
ප්රශ්නය මෙතනින් අවසන් වන්නේ නැත. පුරවැසියා කිහිපවරක් මුදල් ගෙවා ලබා ගන්නේ කුමන ආකාර අධ්‍යාපනයක්ද? පුරවැසියා ලබාගන්නේ ‘මිලිටරි’ යයි ජනප්‍රිය ලෙස හඳුන්වනු ලබන අධ්‍යාපනයකි. එනම්, ‘විනය’ යන පුළුල් සහ ජනප්‍රිය තලයේදී ‘ප්‍රගතශීලි’ අර්ථයක් ජනනය කරන වචනයට මුවාවී ඉතාම බරපතල ආකාර පාලනයක් පිළිගන්නා පුරවැසියන් පිරිසක් නිර්මාණය කිරීමයි. මෙසේ විනයානුගත කරනලද අධ්‍යාපනයක් හරහා නිර්මාණශීලි සහ විචාරශීලි පුරවැසියන් බිහි නොවනු ඇත. මෙහිදී සිදුවන්නේ සියලු ආකාර ඉගෙනුම් හෝ අධ්‍යාපනය මිලිටරි කොන්දේසි යටතේ ස්ථාපිත කිරීමයි. 2010 සහ 2015 අතර කාලය තුළ විදුහල්පතිවරු කර්නල් තනතරු වලට පත් කිරීම සහ විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුණුවක් ලබා දීමේ වැඩසටහනක්ද ආරම්භ විය. ගුරු සේවය හෝ වෙනත් ඕනෑම වෘත්තියකට එයටම අවේණික වූ පෞරුෂයක් ඇත. නමුත් යෝජිත කොතලාවල පනත මඟින් යෝජනා කරන්නේ අදාළ අධ්‍යාපනය මඟින් නිර්මාණය කරන්නාවූ මේ සියලු වෘත්තිකයින් ‘හමුදාමය’ ස්වභාවයේ අධිකාරියකට යටත්ව පමණක් සංවර්ධනය වියයුතු බවයි. මෙවැනි තත්වයක් තුළ ඒ අදාළ වෘත්තීය හෝ අධ්‍යාපනය නිර්මාණශීලී ලෙස වර්ධනය වීම කප්පාදු කරනු ලබන අතර, එම වෘත්තීය සහ විෂයේ ගරුත්වය හෑල්ලුවට ලක් කිරීමක් සිදුවෙයි. ‘විනය’ යන්න ‘මිලිටරිකරණය’ට ලඝු කිරීම හරහා සිදු කිරීමට උත්සහ කරන මතවාදීමය සුරාකෑම අතිශය බරපතළ තත්වයකි. මේ තුළින් ඇතිවිය හැකි ප්‍රතිඵල දීර්ඝ කාලීන වියහැකි අතර, රාජ්‍ය සම්පුර්ණ හමුදා පාලනයකට නතු වීමේ අවධානමට ගොදුරු වෙයි. ඒ හරහා, භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස ඇතුළු සියලු ආකාර මානව නිදහස නැතිව යාමේ බරපතල අවධානමක් ඇතිවිය හැකිය. එමෙන්ම සියලු ක්ෂේත්‍ර පාලනය කිරීම හමුදාමය ස්වභාවයක් ගැනීමේ අවධානමක් ඇත. එහිදී තුවක්කුවක් අතදරන මිනිසෙකු විසින් තුවක්කුවක් අත නොදරන පුරවැසියා පාලනය කෙරෙනු ඇත. මේ සියල්ල සිදු කිරීම සඳහා පුරවැසියන් වන අප විසින්ම මුදල් වියදම් කරනු ඇත.
මේ අනුව කොතලාවල පනත මඟින් යෝජනා කරන්නේ, ප්‍රජාත්‍රන්තවාදයේ මෙන්ම අපේද මරණයේ පතරොම් අපිම මිලදී ගැනීම සඳහා නෛතික යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි.