අරුණි සමරකෝන්
2025 පෙබරවාරි 18 පළවූ සිය කුප්පි ලිපිය ඔස්සේ, ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ස්ත්‍රීන්, LGBTQ පිරිස් හා අනෙකුත් ආන්තික කණ්ඩායම් වලට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීමෙහිලා ආයතනික ව්‍යුහයන් සහ යථාර්ථය අතර පවතින හිඩැස පිළිබඳ නිකොලා පෙරේරා සාකච්ඡා කළාය. එහි දිගුවක් වශයෙන් මේ ලිපියෙන් අරමුණු කරන්නේ ලංකාවේ උසස් අධ්‍යාපන විෂය නිර්දේශය තුළට ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම ඇතුළත් කරනොගැනීම පිළිබඳවය. ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන වල ස්වභාවය හඳුනා ගැනීමටත්, ඒවා වැළක්වීමෙහිලා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමටත් නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ හිඩැස ඇතිව තිබෙන බව ලිපියෙන් තර්ක කෙරේ. ඒ සඳහා ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම නිර්වචනය කිරීම, එහි වැදගත්කම ගවේෂණය කිරීම, එය අධ්‍යාපනයට කොතරම් දුරට ඇතුළත් කොටගෙන තිබෙනවාද යන්න විභාග කිරීම හා ඒ මත පදනම්ව යම් නිගමන කිහිපයකට එළඹීම ලිපියෙන් සිදුකෙරේ.
ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම යනු මොනවාද?
සරලව දක්වන්නේ නම්, ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම යන්නෙහි අරුත වන්නේ, ලෝකයේ යථාර්ථය පිළිබඳ කියවීමක් කිරීමේදී එම අර්ථකථනයෙහි ලා මූලික භූමිකාවක් ඉටුකරන බල ගතිකත්වයන් පිළිබඳ වැටහීමක් ලබාගන්නා ආකාරය යන්නයි. යථාර්ථය නිර්වචනය කරන්නේ කවුද, දැනුම ලෙස වටහා ගැනෙන්නේ කුමක්ද, සහ එම දැනුම කියවා ගන්නේත් අවබෝධ කරගන්නේත් කෙසේද යන්න තීරණය වන්නේ මෙම බල ගතිකත්වයන් මතය.
බෙල් හුක්ස් (bell hooks) වැනි ශාස්ත්‍රඥයන් විසින් මෙම පදනම් තවත් ශක්තිමත් කොට තිබේ. සිය Teaching to Transgress (1994) කෘතිය තුළ ඇය පෙන්වා දෙන්නේ දැනුම තොරතුරු වලට ලඝු කොට අපේ එදිනෙදා අරගල වලින් වියුක්ත කරන්නේ නම් එහි පරිවර්තනීය විභවය නැතිව යන බවයි. ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම වලදී වලදී සිදුකරන්නේ බලය රහිත කණ්ඩායම් වල අරගල වලට දැනුම විවර කිරීමය.
මේරි වොලස්ටෝන්ක්‍රාෆ්ට් (Mary Wollestonecraft) ගේ සිට තත්කාලීන චින්තකයින් වන ශීලා රෝබොතම් (Sheila Rowbotham) සහ ඇන්ජෙලා ඩේවිස් (Angela Davis) දක්වා වූවන් තුළින් පිළිබිඹු වන ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම වල ඉතිහාසය දෙස බලන විට පොදු තේමාවක් පෙනී යයි: එනම් ස්ත්‍රීන්ගේ යථාර්ථය පරිකල්පනය, හැකියා සහ ශක්‍යතා පිළිබඳ ඒකාකෘති වලින් සීමාවී ඇති බවය. මෙම සීමාවන් වටහාගැනීම තුළින් මානව චින්තනය හා දැනුමේ නිම් වළලු පුළුල් කළහැකි අතර, සමාජය විසින් පනවනු ලැබූ සම්මතයන්ගෙන් එහා ගොස් සිය අනන්‍යතාව සාක්ෂාත් කරගැනීමේ හැකියාව ස්ත්‍රීන්ට ලබාදේ. මින් අවසානයට ළඟා වන්නේ කාන්තා විමුක්තියටයි. ස්ත්‍රීන්ගේ හඬ ඇසෙන අවකාශයක් නිර්මාණය කරගැනීමෙහිලා අදාළ වන්නා වූ බල ගතිකත්වයන් අවබෝධ කරගැනීම තුළිනි ඔවුන් බලගැන්වීම සිදුකළ හැක්කේ. සවිඥානික තේරීම් සිදු කිරීමටත්, අදාළ ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය බලය පුද්ගලයකුට ලැබෙන්නේ මෙවැනි ක්‍රියාවලියක් තුළින් පමණි.
මේරි වොලස්ටෝන්ක්‍රාෆ්ට්, බෙල් හුක්ස්, ශීලා රෝබොතම් සහ කුමාරි ජයවර්ධන වැනි ස්ත්‍රීවාදී ශාස්ත්‍රඥයින් විසින් ස්ත්‍රීන් මුහුණ දෙන සමාජ යථාර්ථයන් වන අසමානත්වය, බැහැර කරවන සුළු අධ්‍යාපනය, විප්ලවීය චින්තනය, සමාජ සුබසාධනයේ සීමාකම් සහ පන්ති-වාර්ගික වෙනස්කොට සැළකීම් වැනි අංශ පිළිබඳ විභාග කොට, තමුන්ගේ හා අන්‍යයන්ගේ අරගල වලට ඒවා සම්බන්ධ කොට තිබේ.
වොලස්ටෝන්ක්‍රාෆ්ට් ගේ A Vindication of the Rights of Woman (1792) කෘතිය අධ්‍යාපනය තුළින් ස්ත්‍රීන් බලගැන්වීම ප්‍රවර්ධනය කරයි. හුක්ස් තමාගේ පර්යේෂණ තුළින් සිය කළු ජාතික, වැඩ කරන පන්තියේ ස්ත්‍රියකගේ අත්දැකීමත්, මානව චින්තනය හැඩගැස්වීමෙහිලා බලයේ භූමිකාවත් විභාග කරයි. රෝබොතම් Reasons to Rebel (2024) කෘතියේ සාකච්ඡා කරන්නේ සුබසාධනයෙහි ලා රාජ්‍යයේ වගවීම වෙනුවෙන් අරගල කළ බ්‍රිතාන්‍යයේ විප්ලවීය ස්ත්‍රී විඥානය පිළිබඳවය. වැඩකරන පන්තියේ අරගල, විශේෂයෙන්ම වතුකර අරගල වලට ජයවර්ධන අවධානය යොමු කරයි.
ඉහත උදාහරණ වලින් පෙනී යන්නේ පවතින යථාර්ථය කවුරු විසින්, කුමක් සඳහා, කෙසේ නිර්මාණය කරන ලද්දක්ද යන්නට ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම වලින් අවධානය යොමු කරන බවත්, ඒ මඟින් යථාර්ථය සේ හුවා දක්වන දේ ප්‍රශ්න කිරීමට ලක්කරන බවත්ය.
ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම කුමකටද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා නිකොලා පෙරේරාගේ පෙර දැක්වූ ලිපියේ තිබූ විශ්ව විද්‍යාල තුළ සිදුවන ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ කතිකාව භාවිතා කරනු කැමැත්තෙමි. එහි ඇය දක්වන ඉතා වැදගත් කාරණාවක් තිබේ. එනම් අදාළ ප්‍රතිපත්ති, යාන්ත්‍රණ සහ ක්‍රියාපටිපාටි ප්‍රාදේශීය, ජාතික හා ජාත්‍යන්තර මට්ටම් වල තිබුණත්, විශ්ව විද්‍යාල තුළ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය දිගටම පවතින බවයි. එම ප්‍රචණ්ඩත්වයට මූලිකවම ගොදුරු වන්නේ ස්ත්‍රීන් සහ LGBTQ කණ්ඩායමට අයත් පුද්ගලයින්ය.
මේ කරුණ ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම වලට ළඟින් බද්ධය; මන්ද, සමාජ යථාර්ථයන් පිටුපස ඇති දැනුම සහ බල සම්බන්ධතා වල ස්වභාවය විභාග කිරීමට එමඟින් ආරාධනයක් කෙරෙන බැවිනි. නිකොලා සිය ලිපියෙහි දක්වා ඇති පරිදි, මෙවැනි ගැටළු සම්බන්ධ පැමිණිලි විභාග කිරීමේ අවසාන බලය ඇත්තේ කාටද, සහ එම බලයට අභියෝග කිරීමට කාරකත්වය සහ හඬ ඇත්තේ කාටද යන්න පිළිබඳ මෙහිදී ප්‍රශ්න පැන නැඟේ. එවැනි ප්‍රශ්න මඟින් පවතින බල ව්‍යුහයන් නිරාවරණය කරයි. විශ්ව විද්‍යාල තුළ ස්ත්‍රීන් ලිංගික සහ ශාරීරික හිරිහැර වලට ලක්වන බවට පොදුවේ පිළිගැනීමක් පැවතියත්, එබඳු සිදුවීම් පිළිබඳ වාර්තා වන්නේ කලාතුරකිනි. වාර්තා නොවන සිදුවීම් පිටුපස ඇත්තේ පවතින බල ව්‍යුහයන් හෝ වරදකරුගේ බලය නිසා වින්දිතයාගේ කාරකත්වය සීමා වීමේ කතාන්දරයකි.
මෙවැනි ආන්තික පුද්ගලයින් බලගන්වනු වෙනුවට ඔවුන්ගේ තත්වය රොමෑන්තිකකරණය කොට ඒ පිළිබඳ ගීත පවා නිර්මාණය කළ සමහර ශාස්ත්‍රඥයින් සිටීම සැබවින්ම උත්ප්‍රාසජනකය. අද වනවිට මෙසේ අඩන්තේට්ටමට ලක්වන්නේ ස්ත්‍රීන් පමණක් නොව; LGBTQ කණ්ඩායම් වලටද එම අත්දැකීම් වලට මුහුණ දීමට සිදුව තිබේ. LGBTQ පුද්ගල අනන්‍යතා ලංකාවේ නීතියෙන් නොපිළිගත්තත්, වත්මන් සමාජ කතිකාව තුළ එම පිළිගැනීම ලබාදීම පිළිබඳ අවධානය යොමුවෙමින් පවතී. එසේ වුවත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඔවුන්ට පිළිගැනීම ලබාදීමත්, ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැති කිරීමටත් ලොකු අරගලයක් කිරීමට සිදුව ඇත.
ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම තුළ මේ සියළු අරගල ඉගෙනුම්-ඉගැන්වීම් පරිසරයට අත්‍යාවශ්‍ය ඒවා ලෙස පිළිගැනීම ඔස්සේ දැනුම පන්ති කාමරයෙන් එහා ලෝකයට තල්ලු කොට බද්ධ කිරීමක් සිදුකෙරේ. උදාහරණයකින් මෙය වටහා ගනිමු: ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ස්ත්‍රීන්ට අප පිළිගැනීමක් ලබාදෙන්නේ කෙසේද? පර්යේෂණ වල ප්‍රගතියේ කාරකයෙක් ලෙස ඇයව දකිනවාද, නැතිනම් ලස්සන සාරියක් හැඳගත්, තද රතු තොල් සායම් ලාගත් කෙනෙකු ලෙස ලිංගිකමය අයුරින් ඇය දෙස බලනවාද? (තමුන් කැමති දෙයක් ඇඳීමටත්, කැමති පරිද්දෙන් සහ ප්‍රමාණයකින් රූපලාවන්‍ය භාවිතා කිරීමටත් සියළු ස්ත්‍රීන්ට අයිතියක් ඇති බව මම තරයේ විශ්වාස කරමි). එසේම ගර්භණී සමයේ පසුවන හෝ කුඩා දරුවන් සිටින ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ස්ත්‍රීන්ගේ හැකියා හා දක්ෂතා අඩු තක්සේරු කිරීම හෝ ඔවුන් මාර්ගෝපදේශය අවශ්‍ය පිරිසක් වශයෙන් සැළකීමද නොකළ යුතුය; මන්ද, එමඟින් ස්ත්‍රීන් පිළිබඳ ඇති ඒකාකෘති ප්‍රතිනිෂ්පාදනය වන බැවිනි. ශාස්ත්‍රීය ආයතන විසින් ස්ත්‍රීන් දකින්නේ කෙසේද? ඉහළ අපේක්ෂා සහිත, වෘත්තීය ප්‍රගමනය මූලික කොටගත්, ආත්ම-සාධනයට වැඩි අවධානයක් යොමු කරන, සිය ශාස්ත්‍රීය මත භාෂණයේ නිදහසේ එක් ප්‍රභේදයක් ලෙස සළකන අය ලෙස ජීවත් වීම ඔවුන්ගෙන් අපේක්ෂා කරනවාද? ආර්තවාභාවය වැනි පුද්ගල කාර්ය සාධනයට දැඩිව බලපාන තත්වයන්ට ස්ත්‍රීන් මුහුණ දෙන බව ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය දැනුවත්ද?
ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම තුළින් මෙවැනි විචාරාත්මක කියවීම් හා වැටහීම් ඇතිකරයි.
ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම විෂය නිර්දේශයට ඇතුළත් කරගන්නේ කෙසේද?
ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම විෂය නිර්දේශයට ඇතුළත් කරගැනීම (integration) සහ ඒවා ඊට සමග්‍රහණය කරගැනීම (assimilation) අතර වෙනසක් ඇති බව සිහිතබා ගැනීම වැදගත්ය. වත්මනේ ලංකාවේ සිදුවන්නේ මේ දෙවැනි කරුණයි. එය සිදුකොට ඇත්තේ ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම සමස්ත අධ්‍යාපනයෙන් වියුක්ත කොට ‘gender studies’ නමින් වෙනම විෂයක් වශයෙන් ඉදිරිපත් කිරීම තුළිනි. නමුත් ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම සහ gender studies යනු විෂය නිර්දේශ දෙකක් බව මගේ තර්කයයි. ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම ඇති මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨයකම වාගේ පාහේ gender studies උගන්වනු ලබන අතර, ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම්ව ඇතිවන අසමානතා, අයුක්තීන්, සහ ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති පර්යේෂණ යන කරුණු පිළිබඳ දැනගැනීමට එය ඉතා වටිනා අවස්ථාවක් සාදා දෙයි.
එහෙත් ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම වශයෙන් මා හඳුන්වන්නේ එය නොවන අතර, එම ක්‍රම ලංකාවේ විෂය නිර්දේශයන්ට තවමත් ඇතුළත් කරගෙන නැත. දේශපාලන විද්‍යා උපාධි පාඨමාලා දහරාවේ අඩංගු වන ජාත්‍යන්තර සබඳතා විෂය මීට හොඳ උදාහරණයකි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සාකච්ඡාවට ස්ත්‍රීවාදී ප්‍රවේශයක් – විඥානවාදී ස්ත්‍රීවාදය හෝ යථාර්ථවාදී ස්ත්‍රීවාදය වැනි – ඇතුළත් කොට නැත. ගැටුම් සහ සාමය පිළිබඳ හදාරන පාඨමාලා වලදී ගැටුමේ ඉතිහාසය, විශේෂයෙන්ම එහිලා ස්ත්‍රීන්ගේ භූමිකාව, හැදෑරීම අත්‍යාවශ්‍යය. නිදසුනක් ලෙස, වැඩකරන පන්තියේ දමිළ ස්ත්‍රීන් සිය නිවෙස් අතහැර එක්තරා මොහොතක විප්ලවීය මිලිටරි ව්‍යාපාරයකට බැඳීමට තීරණය කළේ ඇයි? සාමය යන්නෙහි අරුත ස්ත්‍රීන් තේරුම් ගන්නේ කෙසේද? ස්ත්‍රීවාදී විඥානයක් තුළින් සාමය කෙසේ අනාවරණය කරගත හැකිද? ගැල්තුන්ගේ ‘ගැටුම් ත්‍රිකෝණය’ පමණක් හදාරනවාට වඩා මෙවැනි ප්‍රශ්න ඔස්සේ ගැටුම් සහ සාමය පිළිබඳ පාඨමාලා හැදෑරීම, ඒවාට ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම ඇතුළත් කරගැනීමට හොඳ උදාහරණයකි.
STEM විෂයන් වලදී මේ කාර්යය කළහැකි ආකාර දෙකක් නම් එම ක්ෂේත්‍ර තුළ නව සොයාගැනීම් වලට ස්ත්‍රීන්ගේ දායකත්වය සහ එහි විෂය වස්තු සමඟ ස්ත්‍රීන් ගනුදෙනු කරන විධික්‍රම හුවා දැක්වීම මෙන්ම, අනුභූතිමය සොයාගැනීම් මත පදනම් වූ ස්ත්‍රී ආඛ්‍යාන තුළින් පර්යේෂණ ප්‍රතිඵල තවදුරටත් ශක්තිමත් කිරීමයි.
සමාලෝචනය
මේ ලිපියේ මූලිකම තර්කය වන්නේ ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම වෙනම විෂයයක් වශයෙන් උගන්වනු වෙනුවට, එළඹුමක් වශයෙන් සමස්ත විෂය නිර්දේශයට ඇතුළත් කරගත යුතු බවයි. ඒ තුළින් නව දෘෂ්ටි කෝණ මෙන්ම සමාජ යථාර්ථයන් පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් හා විශ්ලේෂණයක් ලබාගත හැකිවේ. එසේම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඬ නැඟීමට, සියළු දෙනාට ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට, තමා කැමති අනන්‍යතාවයක් පවත්වා ගැනීමට සහ යුක්තිය, සමානත්වය හා බහුවිධභාවය නියෝජනය කිරීම සඳහා වන අරගලයට සාමූහිකව දායකත්වය දැක්වීමට එමඟින් හැකියාව ලබාදේ.
ස්ත්‍රීවාදී ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රම රොමෑන්තිකකරණය වෙනුවට මෙතැනදී මගේ අරමුණ වන්නේ විචාරාත්මක චින්තනය වර්ධනය කිරීම හා මානව සවිබලගැන්වීමෙහිලා එහි භූමිකාව හුවා දැක්වීමයි. මෙය ස්ත්‍රීන් පිළිබඳ පමණක් වූ කතාවක් නොවේ; මන්ද අධ්‍යාපනය, සවිබල ගැන්වීම සහ යුක්තිය යන ඒවා වල ප්‍රතිලාභ සැමට ලැබෙන නිසාය. ඒ අතරම තමාගේ මෙන්ම අනෙක් අයගේද අයිතීන් සඳහා සටන් කරන, අරගල කරන, යම් ජයග්‍රහණ අත්පත් කරගත් සියලු ස්ත්‍රීන්ට මගේ කෘතඥභාවය හිමිවන බවද මතක් කළයුතුය. සියළු දෙනාටම 2025 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සුබ වේවා!