අධ්‍යාපන සහ සෞඛ්‍ය අර්බුදය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසඳුම නොවන්නේ ඇයි?

රම්‍යා කුමාර් 

ජුලි 9 වැනි දින රැළිය සහ ඉන් පසුව ඇති වූ සිදුවීම් මේ රටේ ජනතාව ඉල්ලා සිටින පාලනයේ රැඩිකල් වෙනස්කම් සංකේතවත් කරනු ලබයි. එහෙත් මෙම අර්බුදමය අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රටේ තත්ත්වයට විසඳුම ලෙස දැකීම ප්රහේලිකාවකි. IMF මැදිහත්වීම් මගින් සමාජ සුබසාධනය සඳහා, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා කුමක් සිදු කළ හැකිද යන්න මෙම ලිපියෙන් ආවර්ජනය කෙරේ.

IMF සහ එහි න්‍යාය පත්‍රය

1944 දී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර්, බ්‍රෙටන් වුඩ්ස් හි පැවති රැස්වීමකදී IMF සහ ලෝක බැංකුව නිර්මාණය කරන ලදී. ගෙවුම් ශේෂ ගැටළු ඇතුළුව පශ්චාත් දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය කළමනාකරණය කිරීම IMF වෙත පැවරුණු අතර පශ්චාත් යුධ ප්‍රතිනිර්මාණ ප්‍රයත්නවල කොටසක් ලෙස සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය දැක්වීම ලෝක බැංකුවට නියම විය. බ්‍රෙටන් වුඩ්ස් ආයතන ලෙස හැඳින්වූ IMF සහ ලෝක බැංකුව 1950 දශකයේදී සීතල යුද්ධ ආතතීන් සහ කොමියුනිස්ට්වාදයේ තර්ජනය පිලිබඳ සන්දර්භය තුළ යුරෝපයේ සහ නැගෙනහිර ආසියාවේ සිට “තුන්වන ලෝකය” වෙත ඔවුන්ගේ අවධානය යොමු කළහ.

එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ ඉල්ලීම පරිදි, IMF හි න්‍යාය පත්‍රය වී ඇත්තේ නව ලිබරල් මතවාදය ප්‍රචාරණය කිරීම සහ වෙලඳපොලවල් පුළුල් කිරීම මගින් ගෝලීය ධනවාදය ශක්තිමත් කිරීමයි. 1970 ගණන්වල ආරම්භ වූ ආර්ථික පසුබෑම, 1973 තෙල් අර්බුදය සහ පසුව ඇති වූ ණය අර්බුදය හමුවේ IMF සහ ලෝක බැංකුව ණයගැති ආණ්ඩු සඳහා වෙළඳ ලිබරල්කරණය, මූල්‍ය නියාමන ඉවත් කිරීම, පෞද්ගලීකරණය, සහ සුබසාධන අයවැය කප්පාදු කිරීම ඇතුළු විවිධ කොන්දේසි පනවන ලදී. මෙම වට්ටෝරුව තුන්වන ලෝකයේ ගෙවුම් ශේෂ ගැටළු තීව්‍ර කළ අතර, එහි ප්රතිඵලයක් ලෙස අස්ථාවර ප්‍රාග්ධන වෙලඳපොලවල් වලින් ණයට ගැනීම සිදුවිය. ඒවායින් මිදීම සඳහා තවත් IMF ගිවිසුම් වැනි පැකේජ අවශ්‍ය වූ අතර, ඒවා මඟින් රාජ්‍ය වියදම් තවදුරටත් කප්පාදු කිරීමට බල කෙරෙන ලදී. ඉන් පසුව ඇති වූ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා විශ්වීය සුබසාධන පද්ධති දුර්වල කළ අතර ණයගැති රටවල් සහ බටහිර රටවල් අතර පරායත්ත සබඳතාව ශක්තිමත් කළේය.

විශ්වීය සුභසාධනයට විරෝධය

නිදහස් වෙලඳපොල ප්‍රතිපත්ති අනුගමනය කරන ලෙස සහ රාජ්‍ය වියදම් කපා හරින ලෙස IMF ආණ්ඩුවලට බලපෑම් කරන අතර, රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය සහ ක්රමයෙන් පුද්ගලීකරණය සඳහා තල්ලු කිරීමට ලෝක බැංකුවට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කරයි. මෙය සාධාරණීකරණය කරනු ලබන්නේ සමානාත්මතාවය පිළිබඳ විකෘති අර්ථකථනයක් මත පදනම්ව ය: ඊට අනුව විශ්වීය වැඩසටහන් වලින් ධනවතුන් වැඩි ප්‍රතිලාභ ලබන බැවින් ඒවා අයුක්ති සහගතය; දුප්පතුන්ට ලැබෙන  සහනාධාර වැඩි කිරීම සඳහා ධනවතුන් (පුද්ගලික) සේවාවන් සඳහා ගෙවිය යුතුය; එම නිසා විශ්වීය සුබසාධන වැඩසටහන් ඉලක්කගත සුබසාධන ක්‍රම මගින් ප්‍රතිස්ථාපනය කළ යුතුය; ඉලක්කගත සුබසාධන ක්‍රම වවුචර්පත් හෝ කොන්දේසි සහිත මුදල් හුවමාරුව වැනි “ඉල්ලුම් අංශයේ මුල්‍යකරණ” යෝජනා ක්‍රමවල ස්වරූපය ගත යුතුය.

මෙවැනි වවුචර්පත්, කොන්දේසි සහිත මුදල් හුවමාරු කිරීම් සහ වෙනත් ආකාරයේ ඉල්ලුම මත පදනම් වූ මූල්‍යකරණයන් සාමාන්‍යයෙන් රාජ්‍ය සහ පෞද්ගලික සේවා ප්‍රතිපාදන අතර වෙනස නොසලකන අතර, එම නිසා පුද්ගලික අංශයට සේවා සැපයීමට සම්බන්ධ වීමට පාර කපයි. එසේම, රජයන් අවශ්‍යතා ඇති කුටුම්භ හඳුනා ගැනීම සඳහා ඵලදායී යාන්ත්‍රණයන් සංවර්ධනය කිරීමට අසමත් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දුප්පතුන්ට මෙම සේවාවන් සඳහා ප්‍රවේශ වීමේ ගැටළු ඇති වේ. උසස් අධ්‍යාපනය තුළ මෙනිසා ශිෂ්‍ය ණය සහ ඒ හරහා පුද්ගලික අධ්‍යාපනය ව්‍යාප්ත වී ඇත.

මේ සියල්ලට රජයෙන් සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව පවා, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා රාජ්‍ය පිරිවැය දැරීම වෙනුවෙන් පෙනී සිටියි. න්‍යායාත්මකව මෙය රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය සඳහා වන රජයේ සහයෝගය වැඩි කිරීමක් සේ පෙනෙන නමුත්, එවැනි අරමුදල් “රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන්” හරහා පුද්ගලික අංශය වෙත යොමුකොට, දැනටමත් හිඟ සම්පත් විශ්වීය වැඩසටහන් වලින් ඉවතට යොමුකළ හැක. 

සුබසාධන රාජ්‍යයේ අභාවය

දෙවන ලෝක සංග්‍රාම කාලයේ ඇති වූ ආහාර හිඟයේ සන්දර්භය තුළ ලංකාවේ විශ්වීය ආහාර සහනාධාර ක්‍රියාත්මක විය. 1945 දී විශ්වීය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය පුරවැසි අයිතියක් බවට පත් වූ විට නිදහස් අධ්‍යාපනය රජයේ ප්‍රතිපත්තිය බවට පත් විය. එමෙන්ම නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය (1951) විසින් මහජන රෝහල්වල පරිශීලක ගාස්තු ඉවත් කරන ලදී.

කොරියානු යුද්ධය හා බැඳුනු ආර්ථික උත්පාතය අතරතුර 1951 දී රජයේ ආරාධනය මත පළමු ලෝක බැංකු දූත මෙහෙවර සිදු විය. ලෝක බැංකුව පුද්ගලික ප්‍රාග්ධන ආයෝජන දිරිමත් කිරීමේ ප්‍රතිපත්තියක් නිර්දේශ කළ අතර සහල් සහනාධාරය ක්‍රමානුකූලව ඉවත් කිරීමට ද යෝජනා කළේය. ඒ අනුව සහල් සහනාධාරය ඉවත් කළ එක්සත් ජාතික පක්ෂ රජය ඊළඟ මැතිවරණයේදී ඊට වන්දි ගෙවීය: කම්කරු ව්‍යාපාරය සහල් සහනාධාරය සඳහා 1953 මහා හර්තාලය සංවිධානය කළ අතර එය 1956 දී පාලන තන්ත්‍ර වෙනසකින් අවසන් විය.

මුල්ම IMF ගිවිසුම 1965 දී ඇතිවූයේ ආර්ථික අර්බුදය හමුවේය. එම ස්ථායීකරණ පැකේජයට සහනාධාර කප්පාදු කිරීම්, පුද්ගලික ආයෝජන දිරිගැන්වීමේ ප්‍රතිපත්ති, මුදල් අවප්‍රමාණය කිරීම සහ වෙළඳ ලිබරල්කරණය ඇතුළත් විය. මෙහිදී දේශීය පරිභෝජනය සඳහා කෘෂිකර්මාන්තයේ සහ නිෂ්පාදනයේ ආයෝජන දිරිමත් නොකළ අතර, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ආනයන මත යැපීමට රටට ඉඩ හැරියේය. 

මානව සංවර්ධනයේ ශ්‍රී ලංකාවේ ආදර්ශමත් තත්ත්වය, එහි සුබසාධන පද්ධතිය වෙත ජාත්‍යන්තරව ආරෝපණය කර ඇති නිසාත්, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය බිඳ දැමීමේ දේශපාලන ප්‍රතිවිපාක නිසාත්, අනුප්‍රාප්තික රජයන් යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සඳහා අවම ප්‍රාග්ධන ආයෝජනයකින් වුවද නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන ගියේය. IMF-ලෝක බැංකු වට්ටෝරුවට අනුව, පෞද්ගලික අංශයේ ව්‍යාප්තිය සඳහා විවිධ මූල්‍ය දිරිගැන්වීම් සමඟ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වෙළෙඳපොළට විවෘත විය. වර්තමානයේ, පුද්ගලික අධ්‍යාපන ආයතන සහ රෝහල්, ආයෝජක මණ්ඩලය යටතේ පවතින අතර, ආනයන, රජයේ ඉඩම් සඳහා බදු කොන්දේසි ඇතුළු බදු සහන ලබා ගනියි; එනම්, පුද්ගලික අංශයට පොදු සහනාධාර ලබා දෙයි.

2021 දී, රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අවම අමතර ආයෝජනයක් සමඟ ඔවුන්ගේ බඳවා ගැනීම් 30% කින් වැඩි කිරීමට සිදු වූ අතර, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල සිසුන්ට පෞද්ගලික උපාධි වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට ණය ඇතුළු විශාල ප්‍රතිපාදන ලැබුණි. දිනෙන් දින පුළුල් වන පෞද්ගලික අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අංශ සමඟ රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා පද්ධති දුර්වල වී තිබීම පුදුමයක් නොවේ.

අවදානමට ලක්ව ඇති දේ

2022 ජූලි 13 වන දින, IMF ප්‍රධානියා විසින් පශ්චාත් වසංගත යුගයේ “අඳුරු වන ආර්ථික දැක්ම” ආමන්ත්‍රණය කිරීම සඳහා මූල්‍ය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම, අවදානමට ලක්විය හැකි කුටුම්භයන්ට සහාය වීම සඳහා ඉලක්කගත පියවර (මුදල් හුවමාරුව) සහ ආහාර ආනයනය සඳහා ඇති සීමාවන් ආපසු හැරවීම ඇතුලු මීට සමාන කරුණු යෝජනා කොට ඇත. මෙම වසර මුලදී, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා රාජ්‍ය ප්රතිපාදන වැඩි කිරීමට එහි නිර්දේශය IMF හි ප්‍රවේශයේ වෙනසක් සංඥා කරන බව ඇතැමුන් ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ විශ්ලේෂකයින් IMF හි යෝජනා පිළිබඳව සතුටු විය. කලින්ද දැක්වූ පරිදි, මෙම අරමුදල් බොහෝ විට විශ්වීය අධ්‍යාපනය හෝ සෞඛ්‍යය ශක්තිමත් කිරීමට නොව, පෞද්ගලික අධ්‍යාපන ආයතන, ශිෂ්‍ය ණය හෝ සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රම සඳහා වෙන් කරනු ඇත.

IMF හි ගිවිසුමක් මගින් වැඩි ණය (සහ වැඩි ණයගැතිභාවය) හරහා කෙටි කාලීන සහනයක් ලබාදිය හැකි වුවද, ව්‍යාපාර ගැති ප්‍රතිපත්ති නිර්දේශ රට තුළ අසමානතාවය තීව්‍ර කරනු ඇත. IMF සහ අපගේ පාලක ප්‍රභූන් විසින් පවත්වාගෙන යන මෙම ක්‍රමය රඳා පවතින්නේ අප වැනි රටවල් බටහිර රටවල් වල පරිභෝජනය සඳහා, සංචාරක ව්‍යාපාරය, තේ හෝ ශ්‍රමික ප්‍රභවයක් ලෙස වේවා යැවීමෙන් උත්පාදනය වන ආදායම මත යැපෙන්නට සැලැස්වීමෙනි. IMF හි වැය  කප්පාදු කිරීමේ නිර්දේශ නිදහස් රාජ්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය තවදුරටත් දුර්වල කරනු ඇත. වෙනසක් සඳහා අපගේ දැක්ම මෙයද? ශ්‍රී ලංකාව මීට පෙර සුබසාධන පද්ධති කඩා බිඳ දැමීම සිදු නොකරන ලෙස හඬනගා ඇත. මෙම අර්බුද අවස්ථාවේ ක්ෂණික ආහාර ආධාර සඳහා හෝ මධ්‍ය කාලීන හා දිගු කාලීනව විශ්වීය අධ්‍යාපන හා සෞඛ්‍ය වැඩසටහනක් පවත්වාගෙන යාමට අවශ්ය අරමුදල් රැස් කිරීම සඳහා, ධනය නැවත බෙදාහැරීම වැනි  වෙනත් මාර්ග තිබෙන බව සඳහන් කළ යුතුය.