අධික වැඩ ප්‍රමාණයක් කියන්නේ කොතරම් වැඩ ප්‍රමාණයක්ද? ශාස්ත්‍රීය වැඩ පරිමාව සහ වගවීමේ සංස්කෘතිය 

ෆර්සානා හනීෆා

2015 මැයි 7 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන චක්‍ර ලේඛයක මාතෘකාව වූයේ “ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතියේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආචාර ධර්ම සහ වගවීමේ රාමුව” යන්නයි. එය සම්පාදනය කොට තිබුනේ කොමිසමේ තත්ත්ව සහතිකකරණ මණ්ඩලය විසිනි. එහි එක් කොටසක මාතෘකාව වූයේ “වැඩ පරිමාව ගණනය කිරීම සහ වැඩ සම්බන්ධ ප්‍රමිතීන් තීරණය කිරීම සඳහා වගවීම තුළින් ශාස්ත්‍රීය නිදහස” යන්නය.

වගවීමේ මාතෘකාව තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියට ඉතා වැදගත් එකකි. අනුගත වීමේ ක්‍රියාවලියක් ලෙස ආයතනගත වී ඇති එය මඟින් වෙළඳපොල සංඥා වලට විශ්ව විද්‍යාල ප්‍රතිචාර දක්වන්නේද, අධ්‍යයන පාඨමාලා වල සංගතතාවය (consistency) පවතීද, සහ ප්‍රතීතන (accreditation) ක්‍රියාවලියට සම්බන්ධ ඒජන්සි වලට එම පාඨමාලා හඳුනාගත හැකිද යන කරුණු ඔස්සේ විශ්ව විද්‍යාලයක “කාර්ය භාරය සඳහා සුදුසු බව” තීරණය කිරීමට උත්සහ දැරේ. 2003 වසරේ පටන් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ලෝක බැංකුවෙන් ලබාදුන් ණය ආධාර චක්‍ර කිහිපයක ප්‍රතිඵලයක් ලෙසය තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය කරළියට එන්නේ. එම ක්‍රියාවලියට අනුගත වීම නිසා විගණන සංස්කෘතිය, ස්වයං ඇගයීම් ක්‍රියාවලිය සහ විෂය නිර්දේශ විධිමත්ව සංවිධානය කිරීම යන භාවිතයන් ආයතනගත වී ඇත. මෙමඟින් ඇතිකොට තිබෙන වගවීම පිළිබඳ කතිකාව තුළ තත්ත්ව සහතිකකරණයට අදාළ චක්‍රලේඛ වල දක්වා ඇති අවම වැඩ පැය ගණන ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය විසින් සම්පූර්ණ කළයුතු බවට එකඟතාවයක් නිර්මාණය වී ඇත. 

තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙන් හඳුන්වා දෙන වගවීමේ ක්‍රියාවලීන් සිය දේශන වලට නොපැමිණෙන, විෂය නිර්දේශ ආවරණය නොකරන, හා එම වැඩ සම්පූර්ණ කිරීම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මත පටවන සහ ඒ සියළු භාවිතයන් ශාස්ත්‍රීය නිදහසේ නාමයෙන් සාධාරණීකරණය කරන ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රාලිකයන් පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස හඳුනා ගැනීමේ ප්‍රවණතාවක් පවතී. පැමිණීමේ නාම ලේඛන, ශිෂ්‍ය ප්‍රතිපෝෂණය (student feedback), වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ප්‍රතිපෝෂණය (peer evaluation) සහ අවම වැඩ පැය ගණන සම්පූර්ණ කිරීම වැනි ශාස්ත්‍රාලිකයන් සිය වගකීම් වලට බැඳ තැබීමේ භාවිතයන් කරළියට එන්නේ මේ අනුවය. නමුත් මේ වැඩ ප්‍රමාණය ඇත්තෙන්ම කිරීමට ගතවන කාලයට අමතරව තවත් බොහෝ කාලයක් මේ රපෝර්තු කිරීමේ ක්‍රියා සඳහා ගතකළ යුතු වේ. 

මේ කියන්නා වූ ප්‍රමිතීන් ශාස්ත්‍රාලිකයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත පදනම් වූ ඒවා නොවන බවත්, එම ක්‍රියාවලීන් සඳහා ඔවුන්ගේ සහයෝගයක් නොමැති බවත් ලොව පුරා මේ පිළිබඳව සිදුකෙරී ඇති පර්යේෂණ වලින් පැහැදිලි වේ. ඇත්තෙන්ම පරිවර්තනීය අධ්‍යාපනයක් ලෙස බොහෝ ශාස්ත්‍රාලිකයන් දකින ආකාරයේ අධ්‍යාපනයක තත්වය සහතික කිරීමට මේවා මඟින් කිසිදු දායකත්වයක් නොදක්වන අතර, එය හුදු කළමනාකාරීත්ව ක්‍රියාවලියක ජයග්‍රහණයක් පමණි. එමඟින් සිදුවන්නේ අධ්‍යාපන ආයතන වඩා ‘කාර්යක්ෂමව’ කළමනාකරණය කළහැකි වන අයුරින් අධීක්ෂණය කිරීම පමණි. 

මෙයින් උත්පන්න වී ඇති එක් ක්‍රියාවලියක් වන්නේ ශාස්ත්‍රීය වැඩ බෙදා දීමට අදාළ ‘වැඩ පරිමාව වෙන් කිරීමේ මාදිලිය’ යි (workload allocation model – WAM). නමුත් මෙවැනි මාදිලි තුළින් ශාස්ත්‍රීය වැඩ වලට ඇත්තෙන්ම ගතවන කාලය ඉතා අඩුවෙන් තක්සේරු කරන බව දැන් වනවිට සොයාගෙන තිබේ. නිදසුනක් ලෙස එක්සත් රාජධානියේ සිදුකළ අධ්‍යයනයකට අනුව බොහෝ ශාස්ත්‍රාලිකයින් සිය කොන්ත්‍රාත්තුවේ දක්වා ඇති සතියට පැය 37 වෙනුවට ඇත්තෙන්ම පැය 50-60 අතර ප්‍රමාණයක් රැකියාව වෙනුවෙන් වැය කරති. WAM මාදිලියේ දුර්වලතා පෙන්වා දීම සඳහා එරට විශ්ව විද්‍යාල එකමුතුව (University College Union) මේ වනවිට වෙහෙසෙමින් සිටී. ලංකාවේ WAM මාදිලිය තවමත් ක්‍රියාත්මක නොකරන අතර, ඒ වෙනුවට වාර්ෂික විගණන වාර්තා පදනම් කරගැනේ.

විගණන ක්‍රියාවලි වලදී නිතරම අවධානය දක්වන ඉගැන්වීම් කටයුතු හා පර්යේෂණ හැරුණු කොට ශාස්ත්‍රාලිකයින් විශ්ව විද්‍යාල තුළ ඉටුකරන වෙනත් බොහෝ වගකීම් ඇත. විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ නැඹුරුව නිසා දැන් වනවිට සියලුම විශ්ව විද්‍යාල, පීඨ හා දෙපාර්තමේන්තු වල ශාස්ත්‍රීය සඟරා පළකෙරේ. මේවාට ලැබෙන සියලුම ලිපි එක් වතාවක් හෝ ගුණදොස් විවේචනයට (review) ලක්කළ යුතු අතර, එම ක්‍රියාවලිය සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීමට කාලය වැය වේ. පර්යේෂණ සැසිද එසේමය. විශ්ව විද්‍යාල, පීඨ හා දෙපාර්තමේන්තු මට්ටම් වලට අමතරව සිසුන් සඳහා වෙනම පර්යේෂණ සැසි වාරද පැවැත්වේ. මේවාට අමතරව සමහර පාඨමාලා වල කොටසක් ලෙස ක්ෂේත්‍ර චාරිකා යෑමට සිදුවන අතර, ඒ සඳහා සෙනසුරාදා දින වැය කිරීමට සිදුවේ. කලා පීඨයේ සිසුන් අවසන් වසර දෙක තුළ නිබන්ධනයක් සම්පූර්ණ කරන අතර, එම අවුරුදු දෙක තුළ ඒවා අධීක්ෂණය, ඉදිරිපත් කිරීම් හා අනෙකුත් කොටස් වලට ලකුණු ලබාදීම් වැනි කටයුතු සිදුකෙරේ. පසුගිය වසර කීපය ඇතුළත උපාධි අපේක්ෂකයින් පුහුණු රැකියා (internships) කිරීම සියළුම පීඨ වල භාවිතයක් බවට පත්ව ඇත. මෙම පුහුණුව ලබාගැනීම සඳහා බාහිර ආයතන හා සම්බන්ධ වීමද ඇතුළුව ප්‍රගතිය මැනීම, පුහුණු ජර්නල හා වාර්තා වලට ලකුණු ලබාදීම වැනි සමස්ත ක්‍රියාවලියම භාරව ඇත්තේ අධ්‍යයන කාර්ය මණ්ඩලයටයි. මීට අමතරව ආචාර ධර්ම සමාලෝචන කමිටුව (ethics review committee), පර්යේෂණ කමිටු, විවිධාකාර ගැටළු වලට විසඳුම් ලබාදීම සඳහා පත්කරන කමිටු, තොරතුරු තාක්ෂණ කමිටුව, පරිසර කමිටුව, කාලයෙන් කාලයට පත්කරන පීඨ සමාලෝචන කමිටු (faculty review committees), විෂය නිර්දේශ සමාලෝචන කමිටු, පශ්චාත්-උපාධි කමිටු සහ වෙනත් ආකාර නව ගැටළු විසඳීම සඳහා පත්කරන කමිටු යන ඈ නෙක සියළු කමිටු වලද සේවය කරන්නේ ශාස්ත්‍රාලිකයන්මය. සිය දෙපාර්තමේන්තු වල සති අග පශ්චාත් උපාධි පාඨමාලා වල ඉගැන්වීමද අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් බලාපොරොත්තු වේ. නමුත් මෙවැනි ක්‍රියාකාරකම් සඳහා වැය වන කාලය වත්මන් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙන් ගණන් බැලෙන්නේ නැත.    

මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ 2016 සහ 2023 අතර කෙරී ඇති සමීක්ෂණ වල ප්‍රතිඵල භයානකය. බොහෝ ශාස්ත්‍රාලිකයන් සතියකට සිය කොන්ත්‍රාත්තුවේ සඳහන් පැය 37.5 ට එහා වැඩ කරන අතර, සමහරු සමාසික දේශන පැවැත්වෙන කාලයේ ඇත්තෙන්ම සතියට පැය 70-80 අතර වැඩ කරති. එක්සත් රාජධානියේ සවුත් හැම්ටන් විශ්ව විද්‍යාලයේ මේ අරබයා සිදුකළ සමීක්ෂණයෙන් කියවුනේ අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් 72.3% කට සිය වැඩ පරිමාව දරාගත නොහැකි බවත්, එය සම්පූර්ණ කිරීම සඳහා සවස් කාලයන් හා සති අන්තද වැයවන බවත්ය. එම නිසා සිය මානසික සෞඛ්‍යයද බලපෑමට ලක්ව ඇති බව ඔවුන්ගෙන් 75% ක් පවසති. ලංකාවේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මෙවැනි දත්ත තවමත් එක්රැස් කොට නැති නමුත්, මෙහි තත්වයද එතරම් වෙනස් බව සිතිය නොහැකිය. 

ලංකාවේ සන්දර්භයට සුවිශේෂයෙන් අදාළ කරුණු කිහිපයක්ද මෙහිලා සාකච්ඡා කිරීම වටී. විශ්ව විද්‍යාල පරිපාලනය හා ගනුදෙනු කිරීමේදී මතුවන අපහසුතා ඉන් එකකි. අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් බලාපොරොත්තු වන ඵලදායීත්වය පරිපාලන කාර්ය මණ්ඩලයෙන් එතරම්ම දුරකට බලාපොරොත්තු වන බවක් නොපෙනේ. ඇත්තෙන්ම පරිපාලනයෙන් සාමාන්‍යයෙන් සිදුකෙරෙන සමහර කාර්යයන් – විභාග ලකුණු පද්ධතියට ඇතුළු කිරීම වැනි – දැන් ඉටුවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතිනි. එසේම අවසර ලබාගැනීමේ සරල ක්‍රියාමාර්ග සඳහා අත්සන් ගණනාවක අවශ්‍යතාවය, ක්‍රියාපටිපාටීන් වේගවත් කිරීමට නොහැකි වීම, පද්ධතියට නුහුරු  ක්‍රියාකාරකම් සිදුකිරීමේ සංකීර්ණතාවය වැනි අභියෝග සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කිරීමට අධ්‍යයන කාර්ය මණ්ඩලයට සිදුවේ. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කනිෂ්ඨ සාමාජිකයකුට අනුව සතියේ දිනවල දහවල් ආහාරයටවත් ප්‍රමාණවත් ඉඩක් ඇයට නොලැබෙන අතර, වැඩ සම්පූර්ණ කිරීම සඳහා බොහෝ දිනවල බොහෝ රෑ වනතුරු වැඩ කිරීමට සිදුවේ. දහවල් ආහාර විරාමය තිතට අනුගමනය කරන, 4.15 වනවිට නිවෙස් බලා පිටත්ව යන පරිපාලන කාර්ය මණ්ඩලයක් සමඟ වැඩ කිරීම කලකිරවන සුළු බව ඇය කියා සිටියාය. එසේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිවාඩු අනුමත කරගැනීම සඳහා අදාළ අයදුම්පත්‍ර පීඨාධිපති කාර්යාලයටත්, එතැනින් උපකුලපති කාර්යාලයටත් එම සාමාජිකයින් විසින්ම රැගෙන යා යුතු වන්නේ, එසේ නැතහොත් වෙලාවට එම අනුමතීන් ලබාගැනීම අපහසු වන නිසාය. 

විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළත පර්යේෂණ ආධාර කළමනාකරණය කරගැනීම වෙනත් ලිපියකින් වෙනමම කතා කළයුතු කළකිරවන සුළු අත්දැකීමකි. පරිපාලන කාර්ය මණ්ඩලය තුළ මේවායෙහි සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධ වැඩි බර දරන පිරිසක් සිටින බවද මෙහිදී කිව යුතුය. එහෙත් අධ්‍යයන කාර්ය මණ්ඩලයට බොහෝවිට සිදුවන්නේ මෙවැනි කටයුතු ප්‍රමාද වීම වළක්වා ගැනීම සඳහා තමන් විසින් තනියම කරගැනීමටයි.  

විශ්ව විද්‍යාල තුළ පවතින ධූරාවලිය නිසා ඉහත දැක්වූ කාර්යයන් වලින් වැඩි ප්‍රමාණයක් කනිෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය මත පැටවීමද මෙහිලා ඇති තවත් ප්‍රශ්නයකි. තමන් ස්වේච්ඡාවෙන් භාරගන්නා වැඩ වලට අමතරව ස්වේච්ඡාවෙන් භාරගන්නා බව පෙන්විය යුතු වැඩද, තමාගේ කිසිදු කැමැත්තක් නොමැතිව තමන් මත පැටවෙන වැඩද යන සියල්ල ඔවුන් ඉටුකළ යුතුය. එක් කනිෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයකුට අනුව ඔවුන්ගේ සමහර මිත්‍රයින් මෙවැනි කාර්යයන් මඟ හැරීමෙහිලා අන් අයට වඩා දක්ෂය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම වැඩ වලදී නිතරම දකින්නට ලැබෙන්නේ එකම මුහුණු කිහිපයකි. මෙවන් අධික වැඩ කන්දරාවක් කිරීමට ඔවුන්ට අවශ්‍ය අවකාශය තනාදීම සඳහා ඔවුන්ගේ ඉගැන්වීම් වගකීම් අඩු කිරීම සිදු නොකරන, එසේම අනුමත නිවාඩු සහිත කාල වලදීද කෙසේ හෝ වැඩ සම්පූර්ණ කිරීමට බලකරන ආකාරයේ අංශාධිපතිවරුන් ගැනද වාර්තා වේ. මෙය සාමාන්‍ය තත්වයක් නොවුණත්, මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩ පාදන්නේ විශ්ව විද්‍යාලය තුළ වගවීමේ සංස්කෘතියක් නැතිකම විසින්ය.     

ශාස්ත්‍රාලිකයන් වැඩ කරන්නේ කුමන තත්වයන් යටතේද යන කරුණ අවධානයට නොගැනීම තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියේ ඇති එක් ප්‍රශ්නයක් පමණි. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී මෙම තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලි වලින් ඇතිකරන හානිය හඳුනාගත යුතුවාක් මෙන්ම, ‘ප්‍රමිතිය’ සහ ‘වගවීම’ පිළිබඳ සංකල්ප නැවත ඇගයීමද අවශ්‍ය වේ. කාර්ය මණ්ඩලයේ සුබසිද්ධියත්, සිසුන්ට පරිවර්තනීය අධ්‍යාපන අත්දැකීමකුත් යන අරමුණු දෙකම සාධනය කරගත හැකි වන්නේ එවිටය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *