අනුගත වීම, යටත් භාවය සහ සහය දැක්වීම: කනිෂ්ඨ කථිකාචාර්යවරියකගේ ආවර්ජනා 

රුත් සුරෙන්තිරරාජ් 

“මම අපේක්ෂා කරන දේ දැන් ඔබ දන්නා නිසා, ඒ මත පදනම්ව ඔබලා ලබාදුන් පිළිතුරු පිළිබඳව නැවත සිතා බලන්න.” මේ පසුගිය දිනක පන්ති කාමරයක් තුළ මා ලබාදුන් උපදෙසකි. එම අවස්ථාවේ මට සිතුනේ එම උපදෙස, ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා එම පන්ති කාමරය තුළ සිය තේරීම් පිළිබඳ සිතා බැලීමට සිසුන් යොමු කරවූ විවෘත ආරාධනයක් ලෙසයි. නමුත් වැඩිදුර සිතා බැලීමේදී මට පැහැදිලි වන කරුණක් වන්නේ මා විසින් ලබාදුන් එම නිදහස අදාළ වන්නේ, භාෂා කුසලතාව යැයි මා හඳුනා ගන්නා දේ ප්‍රශ්න කළ නොහැකි බව පිළිගන්නා අයට පමණක් බවයි. කොටින්ම කියන්නේ නම් ගුරුවරයා වශයෙන් මගේ අපේක්ෂාවන් මොනවාදැයි ඔවුන් දැනගත යුතු බව සන්නිවේදනය කිරීම තුළින් මා සිදුකොට ඇත්තේ ඔවුන්ගේ පිළිතුරු එක් පැත්තකට හැරවීමය.   

හර්ෂණ රඹුක්වැල්ල මෙම තීරුවේ මෑතදී දැක්වූ පරිදි, අපේ විශ්ව විද්‍යාල පද්ධතිය මඟින් අනුගත වීම ශිෂ්‍යයන් අතර ප්‍රවර්ධනය කරන්නේ එමඟින් පද්ධතිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ඇති කරන හෙයිනි. අධ්‍යයන සහ පරිපාලන කාර්ය මණ්ඩල තුළ පවතින ධූරාවලි සහ එමඟින්ද අනුගත වීමට කෙනෙකු යොමු කරන ආකාරය දෙස බැලූ විට මෙම ප්‍රශ්නය කොතරම් ඔඩුදුවා ඇත්දැයි පැහැදිලි වේ. පද්ධතිය පවත්වා ගැනීමෙහිලා මෙම ධූරාවලි වැදගත් විය හැකි වුවත්, විසම්මුතිය අධෛර්යමත් කිරීම හේතුවෙන් ඒවා ඉතා භයානකද විය හැකි වේ. ධූරාවලි පවතින්නේම පහළින් සිටින අය පද්ධතියේ ඉහළින්ම සිටින්නන් ගනු ලබන තීරණ අභියෝගයට ලක් නොකරනු ඇතැයි යන පදනම මතය. මෙය පද්ධතිමය මට්ටමේ පවතින ප්‍රශ්නයක් බව සත්‍යයක් වුවත්, අපේ එදිනෙදා අන්තර්ක්‍රියා තුළ අපි මෙවැනි පද්ධතිමය ප්‍රශ්න දිගින් දිගටම ප්‍රතිනිෂ්පාදනය කිරීමට කෙසේ දායක වන්නේද යන්න මම නිතර කල්පනා කරන කාරණයකි. තරුණ කථිකාචාර්යවරුන් මුහුණ දෙන ගැටළු පිළිබඳ සෘජුව සාකච්ඡා කළ උදාරි අබේසිංහගේ කුප්පි ලිපියට සමාන තැනකින් ආරම්භ කොට, මේ ලිපිය ඔස්සේ මා අරමුණු කරන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තරුණ කථිකාචාර්යවරු ලෙස අපටම අවාසිදායක වන මෙම භාවිතයන් පවත්වා ගැනීම තුළින් අපේ වටිනාකම අපම අඩු කරගන්නේ කෙසේද යන්න පිළිබඳ කතා කිරීමයි.    

කථිකාචාර්යවරුන්ට (විශේෂයෙන්ම තරුණ කථිකාචාර්යවරුන්ට) පැවරී ඇති අධික වැඩ ප්‍රමාණය දිගු කාලීනව පවත්වාගෙන යා නොහැකි භාවිතයක් බව අතිශයෝක්තියක් නොවේ. මෙම තීරුව තුළ කිහිප වතාවක්ම පෙන්වා දී ඇති පරිදි, විශ්ව විද්‍යාලයේ භූමිකාව පන්ති කාමරයෙන් එහා, පන්ති කාමරය සහ ප්‍රජාව සම්බන්ධ කරන උත්සාහයන් දක්වාම දිව යයි. මෙම කාර්ය භාරයට අමතරව අධ්‍යාපනයට වෙනකොට ඇති අරමුදල් කපා හැරීම, විශ්ව විද්‍යාලයේ පරිපාලන හස්තය දේශපාලනීකරණය වීම සහ මෑතදී වැඩි වී ඇති බුද්ධි ගලනය වැනි ගැටළු නිසා කථිකාචාර්යවරුන්ට පැවරී ඇති වැඩ ප්‍රමාණය තවත් වැඩි වී තිබේ. එසේම ජ්‍යෙෂ්ඨයන් විසින් පරිපාලන හෝ අධ්‍යයන වගකීම් භාර ගැනීමට දක්වන අකමැත්තත්, ඒවා සම්බන්ධ බර කනිෂ්ඨ කථිකාචාර්යවරු භාරගනු ඇති බවට වන ඔවුන්ගේ උපකල්පනයත්, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු ආකාර ප්‍රතිවිපාකයක් අත්විඳීමට නොවීමත් හේතුවෙන් සිදුවී ඇත්තේ කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ට මෙම වගකීම් වැඩි වැඩියෙන් භාර ගැනීමට සිදු වීමයි.      

කනිෂ්ඨ කථිකාචාර්යවරු වශයෙන් අපට නිතරම කියනු ලබන දෙයක් වන්නේ මෙම වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය කුසලතා සහ හැකියාවන් අපට පවතින බවයි. නමුත් යථාර්ථය වන්නේ ඒවා නිසියාකාරව ඉටු කිරීමට අවශ්‍ය ආයතනික දැනුම අපට නොමැති බවය. එම නිසා සිදුවන්නේ එක්කෝ අප අපට ලබාදෙන වගකීම් එසේ ලබාදෙන්නේ මන්ද යන්න පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ජ්‍යෙෂ්ඨයන්ගේ අණ පිළිපැදීමය; නැතහොත් එවැනි වගකීමක් තම වටිනාකම ඔප්පු කිරීමේ හෝ වෙනසක් ඇති කිරීමේ අවස්ථාවක් සේ සළකා කෙළින්ම භාර ගැනීමය. මෙවැනි වගකීමක් භාර ගැනීමේ දිගුකාලීන ප්‍රතිඵල පිළිබඳ මේ එක අවස්ථාවකදී හෝ සළකා බැලෙන්නේ නැත.    

මෙයින් කියන්නේ මෙවැනි වගකීම් ඉටු කිරීමට අවශ්‍ය හැකියාව කිසිදු කනිෂ්ඨ කථිකාචාර්යවරයෙකුට නොමැති බව නොවේ. මූලික සහ පශ්චාත් උපාධි වැඩසටහන් වලට බලපෑමක් එල්ල කරන ප්‍රධාන ගණයේ පරිපාලන තනතුරු වල වගකීම් ඉතා සාර්ථකව ඉටු කරන කනිෂ්ඨ කථිකාචාර්යවරු සිටිය හැකිය. ප්‍රශ්නය ඇත්තේ අප සියල්ලන්ටම එම හැකියාව පවතී යන උපකල්පනයෙහිය. එසේම ‘ඔබ ගැන මට විශ්වාසයි’ යන ආඛ්‍යානයද ඉතා කපටි එකකි. එමඟින් කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ට ඉතා විරලව ලැබෙන ප්‍රශංසාව යන්න ලබාදීම මඟින් එම වගකීම ඉටු කරවා ගැනීම සඳහා ඔවුන් ආකර්ෂණය කරගැනීමක් සිදු වේ. අනෙක් අතට ජ්‍යෙෂ්ඨයෙකුගෙන් එන මෙවැනි ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමද බොහෝ විට කළ නොහැක්කක් නිසා අවසානයේ සිදුවන්නේ කළ නොහැකි දේ පවා භාරගන්නා තැනට කනිෂ්ඨ කථිකාචාර්යවරු පත්වීමය.   

මෙවැනි අවස්ථා වලට මුහුණ දෙන බොහෝ කනිෂ්ඨ කථිකාචාර්යවරු පවසන්නේ අදාළ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම යථාර්ථවාදී විකල්පයක් නොවන බවයි. මේ චින්තනය පිටුපස බොහෝ කොටම ඇත්තේ පෙර සඳහන් කළ අනුගත වීමේ මානසිකත්වයයි. ඒ නිසා අපට වඩා ජ්‍යෙෂ්ඨ අයට ගරුකළ යුතු බවට හැඟීමක් රෝපණය කර ඇත. නමුත් මේ ‘ගරු කිරීමේ’ සංකල්පය තුළ ඇත්තෙන්ම පවතින්නේ ජ්‍යෙෂ්ඨයන්ගේ අභිලාෂ ප්‍රශ්න කිරීමකින් තොරව ඉටු කිරීම පිළිබඳ ආඛ්‍යානයකි. ධූරාවලියේ අපට පහළින් සිටින්නන් – ශිෂ්‍යයන් හෝ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වේවා – කෙසේ හැසිරිය යුතුද යන්න පිළිබඳ මෙමඟින් යම් යම් මිණුම් දඬු පනවයි.

මෙවැනි වගකීම් ප්‍රතික්ෂේප නොකිරීමට තවත් හේතුවක් විය හැක්කේ ඒවා ඉටුකිරීමට අවශ්‍ය කුසලතා තමන් සතු වන බවට වූ අවංක විශ්වාසයකි. මෙහි ඇති ප්‍රශ්නකාරී බව වන්නේ එමඟින් තවත් ඉතා වැදගත් කුසලතාවයක හිඟකම ඇඟවුම් කරන හෙයිනි. එනම් තම හැකියා සහ නොහැකියා පිළිබඳ මෙන්ම බාහිරින් තමන් කෙරෙහි තබාගන්නා අපේක්ෂාවන් පිළිබඳවද නියමාකාර තක්සේරුවක් කිරීමේ කුසලතාවයි. අපේ හැකියාවන් අගය කරමින් වගකීමක් භාරදෙන අවස්ථාවක මෙම විනිශ්චයන් කිරීමට අවශ්‍ය තීව්‍රතාව තවත් මොටවිය හැකිය. සිය ඉගෙනුම්/ ඉගැන්වීම් ක්‍රියාවලිය, පරිපාලන භූමිකා සහ පර්යේෂණ ආචාරධර්ම පිළිබඳ තිරසාර සහ අර්ථාන්විත ආවර්ජනයක් කිරීමට තරුණ කථිකාචාර්යවරුන්ට උපකාර කිරීමේ කිසිදු යාන්ත්‍රණයක් නොමැත. වෘත්තීමය දියුණුව සඳහා පවතින යාන්ත්‍රණ ඉතා මතුපිට කාරණා වන උසස් වීම් වැනි දේට පමණක් සම්බන්ධව පවතී. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ තරුණ කථිකාචාර්යවරුන් අචේතාන්විතව පොදුවේ පද්ධතියටත්, පෞද්ගලිකව එහි කොටස් වන පුද්ගලයන්ටත් සෘණාත්මකව බලපාන තීරණ ගැනීමයි.     

අප වටා පවතින ඉතා අහිතකර ලෙස තරඟකාරී පරිසරයද අප මෙවැනි වගකීම් භාර ගැනීමට හේතුවක් විය හැකිය. විශ්ව විද්‍යාලයක් තුළ සමූහය සහ පුද්ගලයා යන ද්විත්වයම වැදගත් වියයුතු වුවත්, අපේ විශ්ව විද්‍යාල වල බොහෝ කොටම සිදුවන්නේ සමූහය විසින් කල්ලිවාදී මානසිකත්වයක් ඇති කිරීමත්, පුද්ගලයා විසින් අනෙකා කපා දමා හෝ ඉදිරියට යාමේ මානසිකත්වයක් ජනනය කිරීමත්ය. මෙම දෙවැනි කරුණ නිසාය වඩා දෘශ්‍යමාන වගකීම් භාර ගැනීමටත්, ඒ ඔස්සේ කැපී පෙනීමටත් අප යොමු වන්නේ. මගේ දැක්මේ හැටියට මෙය සහයෝගීතාවය ජනනය කිරීමට අපොහොසත්ව ඇති පද්ධතියේ දුර්වලතාවයක් සේම, පුද්ගලවාදයට ආවඩන අපේද දුර්වලතාවයකි.   

මෙම ලිපිය අවසාන කිරීම සඳහා එක් අවසාන පැනයක් නඟනු කැමැත්තෙමි: ලබාදෙන වගකීමක් ඉටුකළ නොහැකි බවට හොඳින්ම දන්නා අවස්ථාවක වුවත් එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? ජ්‍යෙෂ්ඨයකුගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම සුලබ දෙයක් නොවේ. එහෙත් ධූරාවලියට එරෙහිව යෑම යනු ඉතා රොමෑන්තිකකරණය කරන ලද ක්‍රියාවකි. එය දිගින් දිගටම කරන්නකු තමා ආදර්ශ චරිතයකියි සිතන්නටද බැරිකමක් නැත. මෙය සත්‍යයක් වියහැකි වුවත්, මෙවැනි චරිත මඟින් සාමාන්‍යකරණය කරනු ලබන මිණුම් දඬු යථාර්ථවාදී ඒවා නොවේ. එම නිසා ප්‍රතික්ෂේප කිරීම හුදු කරන්නන් වාලේ නොකළ යුතුය. එය සිදුකළ යුත්තේ අදාළ වගකීම සහ එහි ගුණ අගුණ පිළිබඳ ඉතා ප්‍රවේශමෙන් සළකා බැලීමෙන් පසුවය.  

මෙවැනි ප්‍රතික්ෂේප කිරීම් ගරුසරු විරහිත බව හෝ කාරණා කටයුතු කඩාකප්පල් කර දැමීමක් ලෙස වටහා ගැනීමේ හැකියාවක්ද පවතී. තරුණ කථිකාචාර්යවරයකුගේ වෘත්තීමය දියුණුවට මෙමඟින් සෘණාත්මක බලපෑමක් එල්ල වීමේ වැඩි ඉඩක් පවතියි. ජ්‍යෙෂ්ඨයින් සමඟ විවෘත සන්නිවේදන මාර්ග පවත්වා ගැනීම මෙම තත්වයට යම් ආකාර පිළියමක් වුවත්, අපේ අවංකභාවය ඔවුන් කෙසේ වටහා ගනීදැයි යන්න පිළිබඳ කිසිදු සහතිකයක් නැත. එවැනි අවස්ථා වල පද්ධතියේත්, තනි පුද්ගලයාගේත් යන ද්විත්වයේම අභිලාෂ සළකා බැලීම උදව්වක් වන බව මම අවබෝධ කොටගෙන ඇත්තෙමි. අද මගේ ප්‍රතික්ෂේප කිරීම නිසා අනාගතයේ කනිෂ්ඨ කථිකාචාර්යවරයකුගෙන් බලාපොරොත්තු වන කාර්යයන්ගේ ප්‍රමාණය අඩු වන්නේ නම්, අද කරන මේ ප්‍රතික්ෂේප කිරීම නිසා මට සිදුවන පාඩුව සුළු වන්දියකි.