අපේ සුබසිද්ධියේ බර: අපවාද ආඛ්‍යාන තුළ පන්තිය හඳුනා ගැනීම 

ශාමලා කුමාර් 

අද වනවිට කුමන අන්දමේ විරෝධතා ව්‍යාපාරයකට වුවද ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ මර්දනය, එහි නායකයින් හට විවිධ ව්‍යාපාර හරහා සංවිධිත ප්‍රහාර එල්ල කිරීම, සහ වෙනත් අනේක විධ ක්‍රම වලින් බිය වැද්දීම ඔස්සේ අධෛර්යමත් කිරීමෙනි. මේ අතර ශක්තිමත්ම අවිය මානසික අවියකි: එනම් ආර්ථික අර්බුදයේ පීඩනය දැරිය හැකි (ඇත්තෙන්ම මෙම ආර්ථික අර්බුද සමයේ අන් කවරදාටත් වඩා සාර්ථක වී ඇති) කණ්ඩායම්, එම තත්වය තුළ යන්තම් ජීවිතය ගැටගසා ගන්නට වෙර දරන කණ්ඩායම් වලින් වෙන් කිරීමයි. සමාජයේ වඩා බලසම්පන්න පිරිස් වෙනුවෙන් කැපවෙමින් ඇතිකර තිබෙන මෙම විභේදනය හරහා ආණ්ඩුව පැත්තක් තෝරාගෙන තිබේ. වෘත්තීය සමිති, ශිෂ්‍ය හා සිවිල් සමාජ කණ්ඩායම් වැනි සාමාන්‍යයෙන් සමාජ සාධාරණය ඉල්ලා හඬ නඟන කොටස් නිහඬ කිරීම මෙම ව්‍යාපාරයේම කොටසකි.

මෙමඟින් අපේ සුබසිද්ධිය ඇතුළු රටේ සියළු අංශ වලට බලපෑම් එල්ල කරයි. මේ මොහොතේ අධ්‍යාපනය තුළ කඩිනමින් යෝජනා කොට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ, එම ප්‍රතිසංස්කරණ හා සමාජයේ පවතින ගැටළු අතර ඇති නොපෑහීම, ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රශ්න මොනවාදැයි යන්න තේරුම් ගන්නා අයුරු, සහ එවැනි ප්‍රතිසංස්කරණ වලට මතුවන ප්‍රජාතන්ත්‍රවාදී විරුද්ධත්වය නිහඬ කරදමන ආකාරයේ ආඛ්‍යාන නිසා මා තුළ අපේක්ෂා භංගත්වයක් ජනිත වී තිබේ. පෙනෙන පරිදි නුදුරු අනාගතයේදීම අධ්‍යාපනයද මේ අවස්ථාවේ ඊට ප්‍රවේශ වීමට වැඩියෙන්ම ආධාර අවශ්‍ය පිරිසට සිය දොර වසනු ඇත.   

දුප්පතුන්ගේ උරහිස් මත පටවනු ලැබූ අර්බුදයක් 

2022 මැද භාගයේ නිකුත් කරන ලද ලෝක ආහාර සංවිධානයේ වාර්තාවකට අනුව, ලංකාවේ කුටුම්භ වලින් 40% ක් ප්‍රමාණවත් පරිදි ආහාර නොගනී; 25% ක් පෙරට වඩා ලබාගන්නා වේල් ප්‍රමාණය අඩුකොට ඇත; 50% කගේ වේලක ප්‍රමාණය අඩු වී ඇත. මෙම දත්තයන් සමාජ පන්තිය අනුව වෙනස් වේ. නිදසුනක් ලෙස අඩුම ආදායම් කාණ්ඩයේ පවුල් අතර සෑම කුටුම්භ අටකින් එකකම පසුගිය සතිය තුළ කිසිදු ආකාර ප්‍රෝටීන් වර්ගයක් නොගත් පවුලක් ඇත; 2022 ජූනි මාසය වනවිට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයක් තමා සතු දේපළ විකිණීම, සෞඛ්‍ය වියදම් කපා හැරීම, දරුවන් පාසල් වලින් ඉවත් කරගැනීම වැනි ක්‍රම වලට යොමු වී ඇත. 

2023 අයවැයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපනයට යෝජනා කර ඇති වැය කපාහැරීම් හේතුවෙන් මෙම තත්වය තවත් දරුණු අතට හැරෙනු ඇත. මගේ දෙපාර්තමේන්තුවේ පිරිසිදු කිරීමේ කටයුතු කරන ස්වර්ණාගේ (අන්වර්ථ නාමයකි) මවට ඇති දියවැඩියා තත්වය පිළිබඳ කතාවකට මම සවන් දෙන්නෙමි; කොන්ත්‍රාත් ආයතනයක් මඟින් ඇය විශ්ව විද්‍යාලයේ සේවයෙහි යොදවා ඇති නිසා රෝහලට යාමට වෙලාවක් සොයාගැනීම ඉතා දුෂ්කරය. ඒ සඳහා වැඩ දිනයක වේතනය අතහැර, ත්‍රීරෝද රථයකට දැරිය නොහැකි අන්දමේ ගෙවීමක් කොට මව රෝහලට ගෙන යෑමට ඇයට සිදුවේ. රෝහලේදීද අදාළ පහසුකම් නොමැති වීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැනි ඒවා පෞද්ගලික වියදමින් බාහිරින් කරගැනීමට ඇයට සිදුවේ. එම නිසා සිය මව රැකබලා ගැනීමේ වියදම තමාට කළ හැකිද නැතිද යන වග ඇයට දෛනිකව තීරණය කිරීමට සිදුවන අතර, එය කිසිවෙකුට උදා නොවිය යුතු තත්වයකි. ඇයට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න එක එකක් පිටුපස දශක ගණනාවක ප්‍රතිපත්ති දෝෂ ඇත: වැඩපොලෙහි සාධාරණ තත්වයකට ඇති කම්කරු අයිතිය නැති කළ ප්‍රතිපත්ති, දැරිය හැකි මිළකට හොඳ තත්වයේ පොදු ප්‍රවාහන සේවා ලබාදීමේ හැකියාව නැති කළ ප්‍රතිපත්ති, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා අරමුදල් එන්න එන්නටම නැතිකොට දැමූ ප්‍රතිපත්ති, සහ වයස්ගත ප්‍රජාව සඳහා සුරැකුම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ ප්‍රතිපත්ති ඒ අතර වේ. එහෙත් ඒ සියල්ලෙහි විපාක වශයෙන් ඇතිව තිබෙන තත්වය ස්වර්ණාගේ ප්‍රශ්නයකි; අපේ හෝ ආණ්ඩුවේ නොවේය.     

රැකියාව සඳහා තවමත් මෝටර් රථයෙන් යා හැකි ආකාරයේ ආර්ථික මට්ටමක සිටින මම, එම ගමන අතරතුර හිස මත දර ගොඩක් සහිතව, අර්බුදය විසින් තමන් මත පටවා ඇති බර නිහඬව දරාගෙන නිවසට ගමන් කරනා ස්ත්‍රීන් අප්‍රමාණව දකිමි. මෑතකදී සිදුකරන ලද විදුලි ගාස්තු සංශෝධනය කිරීම් නිසා අඩුම පරිභෝජනය සහිත කුටුම්භ වලට විදුලි වියදමෙහි වැඩිම වැඩි වීම අත්දකින්නට සිදුව ඇත: එය රුපියල් 50 සිට 500 පමණ දක්වා වූ අත්‍යන්ත වැඩි වීමකි. මෙය සිදුවූයේ විදුලිබල මණ්ඩලය ඇතුළත පවතින දූෂණය, එහි වෘත්තීය සමිති එහි පංගුකාරයෙකු වී ඇති අයුරු මෙන්ම එහි නාස්තිය සහ අකාර්යක්ෂමභාවය පිළිබඳ ජාතික මට්ටමේ විවාදයක් තිබූ මොහොතකය. විදුලි ගාස්තු සංශෝධනය කිරීම් වල ඇති අසාධාරණත්වය පිළිබඳ රටේ අවධානය යොමු කිරීමට විදුලිබල මණ්ඩලයෙහි වෘත්තීය සමිති වලට තිබූ අවස්ථාව, මෙම ආඛ්‍යානයට එරෙහිව නම රැකගැනීමේ කලබලය ඇතුළත අහිමි වී ගියේය. මෙම මිළ ඉහළ දැමීමට සමගාමීව ඉන්ධන වැනි අනෙකුත් බලශක්ති ප්‍රභව වල මිළද ඉහළ යෑම නිසාය දර වැනි බලශක්ති ප්‍රභව වලට මාරු වීමට සිදුවූයේ. 

විශ්ව විද්‍යාලය තුළද විවිධාකාරයේ මූල්‍යමය අසීරුතා, සෞඛ්‍ය ගැටළු, බාල සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය පිළිබඳව පවතින අවිනිශ්චිතතා වැනි ගැටළු නිසා තමා මෙන්ම තම පවුලද නඩත්තු කිරීමේ වගකීම බොහෝ සිසුන් මත පැටවී ඇත. මේවාට සහය වනු තබා සිය සාමාන්‍ය අධ්‍යයන කටයුතු හෝ පවත්වාගෙන යාමට අරමුදල් නොමැති අර්බුදයකය විශ්ව විද්‍යාලය අද වනවිට ඉන්නේ. එහෙත් මේ යථාර්ථය සහ රජයේ ප්‍රතිපත්ති අතර කිසිදු සම්බන්ධයක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

අධ්‍යාපනය සහ සාවද්‍ය අධ්‍යාපනය

විදුලිබල මණ්ඩලයෙහි වෘත්තීය සමිති මෙන්ම උපහාසයට ලක්කොට සුජාතභාවය අහිමි කොට ඇති තවත් කණ්ඩායමකි විශ්ව විද්‍යාල සිසුන්. නිදහස් අධ්‍යාපනය රැකගැනීමට මෙන්ම අරගලය තුළද ක්‍රියාකාරී සාමාජිකයන්ව සිටි සිසුන් සහ ශිෂ්‍ය නායකයන් සිරගත කොට, නිදහස් අධ්‍යාපනයෙන් ලද සේවය අමතක කළ ගුණමකු හා ප්‍රයෝජනයක් නැති පිරිසක් වශයෙන් සමාජගත කිරීමේ ව්‍යාපාරයක් මේ වනවිට දියත්ව තිබේ. අරගලයට සහභාගී වූ සෙසු ශිෂ්‍ය ප්‍රජාවද විටින් විට පැය 10-12 තරම් දීර්ඝ වූ ‘ප්‍රශ්න කිරීම්’ වලට ගෙනයන නිසා තමාගේ වාරය කවදා එළඹේ දැයි නොදැන ඔවුන්ද සිටින්නේ බියෙනි.     

එසේම විශ්ව විද්‍යාලය තුළ නවක වදයට ඇති ප්‍රතිරෝධයද මේ වනවිට ආණ්ඩුව විසින් අයිති කරගෙන ඇති බවක් පෙනේ. නවක වදය දරුණු ප්‍රශ්නයකි. එහෙත් එය වෙනස් කිරීම සඳහා විශේෂයෙන් ඒ සඳහා කැප වූ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයක්, විශ්ව විද්‍යාලය තුළ පවතින ධූරාවලිය නැති කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම, ශිෂ්‍යයින්, කාර්ය මණ්ඩලය සහ පොදු මහජනතාවගේ මානසිකත්වය වෙනස් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මෙන්ම, ඒ සියල්ලටත් වඩා මෙම වෙනස්කම් සඳහා අවංක දේශපාලන කැපවීම යන කොන්දේසි සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ. එහෙත් වර්තමාන ආඛ්‍යානය තුළ මේ කිසිවක් විද්‍යාමාන නොවේ. විශ්ව විද්‍යාලය දේශපාලනීකරණය කළ සහ කරන්නා වූ රජයේ ප්‍රතිපත්ති, අධ්‍යාපනය සඳහා ලබාදෙන අරමුදල් කපාහැරීම, සහ වෙනත් ආකාරයේ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ යන ඒවා නවක වදය ඔඩුදුවා යාමට බලපාන අයුරු පිළිබඳ එහි සංවාදයක් නොමැත. ඒ වෙනුවට ඇත්තේ ශිෂ්‍ය සංගම් සහ කාර්ය මණ්ඩලය වෙතට සම්පූර්ණයෙන්ම එහි වැරැද්ද පටවන ආකාරයේ ආඛ්‍යානයකි.  

සිසුන්ගේ ප්‍රශ්න අසන විට, සහ විශේෂයෙන්ම ඔවුන්ගේ කඳුළු ඉදිරියේ අසරණ වනවිට ආණ්ඩුවේ අසංවේදීත්වය පිළිබඳ සිතාගත නොහැකි තත්වයකට මම පත්වෙමි. මෑතකදී ජනාධිපතිවරයා පැවසුවේ අධ්‍යාපන අවස්ථා වැඩි කිරීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කරන බවයි. එහෙත් මෙවැනි ක්‍රියාමාර්ග වලින් අර්බුදයේ වැඩිම බලපෑම දැනෙන කොටසට සිදුවන හානිය පිළිබඳ කිසිදු කතාබහක් නැත. දැන් වනවිටත් පෞද්ගලික අධ්‍යාපනය මඟින් පවතින සීමිත සම්පත් ප්‍රමාණය නිදහස් අධ්‍යාපනයෙන් ඉවතට ඇද ගන්නා බව ඔවුන්ට නොපෙනේද? ඒවාට අනුයුක්ත කර ඇති සහනාධාර ක්‍රම, ණය පහසුකම් සහ මානව සම්පත් නිසා නිදහස් අධ්‍යාපන පද්ධතිය එන්න එන්නටම වියැකී යයි.    

මෙවැනි තත්වයක් යම් තරමකට හෝ වෙනස් කළ හැක්කේ සාමූහික ක්‍රියාමාර්ග තුළින් පමණි. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් වලට ආණ්ඩුව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන මුත්, ඊට අභියෝග නොකොට මෙම තත්වයෙන් ගොඩ ආ නොහැක. සමාජ ප්‍රශ්න පුද්ගල හෝ පවුල් ප්‍රශ්න බවට ලඝු කිරීම කුරිරුය. මීට විසඳුමක් සෙවිය හැක්කේ අප දැන් සිටින්නා වූ ආර්ථික අර්බුදයේ සමාජමය ස්වභාවය පිළිගැනීමෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී විසම්මුතියට ඇති අවකාශය ආරක්ෂා කරගැනීමට ක්‍රියා කිරීමෙන් පමණි.