අරුණි සමරකෝන්
මීට සති කිහිපයකට ඉහතදී එක්සත් රාජධානියේ හල් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධන අරමුණු පිළිබඳ සම්මන්ත්‍රණයකට මම සහභාගී වූයෙමි. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘ධරණීය සංවර්ධනය සඳහා සාධාරණ සංක්‍රාන්තියක්’ යන්නයි. එහි බොහෝ සැසිවාර ස්වභාවික විද්‍යාඥයින්ගෙන් පිරී තිබුණු අතර, පුනර්ජනනීය බලශක්තිය සඳහා නව තාක්ෂණය භාවිතා කරන අන්දම පිළිබඳ සිය සොයාගැනීම් ඔවුහු ආඩම්බරයෙන් ඉදිරිපත් කළහ.
සැසිවාරය තුළදී සමහර සමාජ විද්‍යාඥයන් ඉතා වැදගත් ප්‍රශ්නයක් මතුකරන ලදී: බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සම්පාදනය වන නව දැනුමට අරමුදල් සපයන්නේ ලාභය අරමුණු කරගත් පෞද්ගලික අංශය වන තත්වයක් තුළ, එම දැනුම සැම අතර සමානව බෙදා හරින්නේ කෙසේද? එහි සිටි බොහෝ ස්වභාවික විද්‍යාඥන්ගේ උපකල්පනයක් වූයේ මෙම කාරණා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වගකීමක් බවයි. ඔවුන් තවදුරටත් පැවසූයේ එවැනි සමාන බෙදාහැරීමක් කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පමණක් බවයි. මෙතැනදී මම පහත ප්‍රශ්නය මතු කළෙමි: “එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති තත්වයක් තුළ කුමක් වනු ඇතිද?” එක්සත් ජනපදයේ ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුලියන් ඒජමන් ඊට කදිම පිළිතුරක් ලබාදුනි: “එවැනි අවස්ථා වල ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපනය කිරීම සහ යුක්තිය වෙනුවෙන් එය භාවිතා කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයක් ගත යුතුය.” මහාචාර්ය ඒජමන්ගේ පිළිතුර නිසා ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පොදු මහජන සවිඥානිකත්වය ගොඩනැංවීම සහ සමාජ යුක්තිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමෙහිලා ශාස්ත්‍රාලිකයන්ගේ වගකීම පිළිබඳ අවධානය යොමු කරන්නට මට අවස්ථාව යෙදුණි. මෙම කුප්පි ලිපියෙන් කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය තුළ සමාජ යුක්තිය තහවුරු කිරීම සඳහා සාමූහික ප්‍රයත්න සංවිධානය කිරීමේ හැකියාව ගවේෂණය කිරීමත්, ඒ අරබයා උසස් අධ්‍යාපනයේ පවතින දුර්වලතා හඳුනා ගැනීමත්ය.
විශ්ව විද්‍යාල සහ මහජනතාව සමඟ ගනුදෙනු කිරීම
වර්තමාන විශ්ව විද්‍යාලය විවෘත බුද්ධිමය කතිකා වලින් ඉවතට ගමන් කරමින් වඩාත් ව්‍යාපාරික ආකාරයේ මාදිලියකට යොමුවෙමින් පවතී. විශ්වීයව දැනුම ව්‍යාප්ත කිරීමේ එහි වගකීම එම නිසා තරමක් දුරට බලපෑමට ලක්වී ඇත. රොනාල්ඩෝ මන්ක්, හෙලන් මැක්ක්විලන් සහ ජොආනා ඔසරෝව්ස්කා වැන්නන් විසින් ආර්ථික පිරිමැසුම් (economic austerity) සමයක් තුළ විශ්ව විද්‍යාල මහජනතාව හා සම්බන්ධ වීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. එහෙත් ධනවාදයේ විකාශනය නිසා විශ්ව විද්‍යාලයේ මෙම භූමිකාව තරමක් දුරට කප්පාදු වී ඇති බව 2012 දී ප්‍රකාශිත “Higher Education and Civil Engagement: Comparative Perspectives” නම් ලිපියෙහි පෙන්වා දී ඇත.
‘මහජනතාව හා සම්බන්ධ වීම’ යන්නෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ වඩා පුළුල් ප්‍රජා සමාජය සමඟ විශ්ව විද්‍යාලය සක්‍රීයව සම්බන්ධ වීමයි. මෙම සම්බන්ධතාවය බහුමානික එකකි. එමඟින් සමාජ, ආර්ථික හා දේශපාලනික පරිසරයන් පිළිබඳ සියුම් විග්‍රහයක් කළහැකි වන ආකාරයේ දේශපාලන විඥානයක් මහජනයා තුළ ජනිත කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මහජන විඥානය සංවිධානය කිරීමේ සංකීර්ණතා ගැන කුප්පි තීරුවේ මින් පෙරද සාකච්ඡා කොට ඇත. නිදසුනක් ලෙස, 2022/11/08 දිනැති සිය කුප්පි ලිපියෙන් ශාමලා කුමාර් වත්මන් අර්බුදය පිළිබඳව අවදියෙන් සිටීමේ වැදගත්කම දක්වන්නේ එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වන බව පවසමිනි. එම ලිපියෙහි තවදුරටත් දැක්වෙන පරිදි “රැකියාව සඳහා තවමත් මෝටර් රථයෙන් යා හැකි ආකාරයේ ආර්ථික මට්ටමක සිටින මම, එම ගමන අතරතුර හිස මත දර ගොඩක් සහිතව, අර්බුදය විසින් තමන් මත පටවා ඇති බර නිහඬව දරාගෙන නිවසට ගමන් කරනා ස්ත්‍රීන් අප්‍රමාණව දකිමි”. ජූලි 4 දා ප්‍රකාශිත සිය නවතම කුප්පි ලිපියේදී ඇය වත්මන් අර්බුදය තුළ ශාස්ත්‍රාලිකයන්ගේ භූමිකාව පිළිබඳ ස්වයං විවේචනයක යෙදුනේ යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්ව විද්‍යාලයේ නිහඬතාවට අදාළවය.
මෙකී කම්කරු නීති ප්‍රතිසංස්කරණ තුළින් රජය බලාපොරොත්තු වන්නේ කම්කරු අයිතීන් උල්ලංඝණය කොට ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමය. එහිදී දෛනික සේවා මුරය වත්මන් පැය 6 සිට පැය 16 ක් දක්වා දීර්ඝ කිරීම, පැයක විවේක කාලයක් ලබා දීම සහ අවම වැටුප් පිළිබඳ එකඟතාවයක් නොමැතිව වැටුප් ව්‍යුහයන් පවත්වා ගැනීම වැනි දෑ යෝජනා කොට තිබේ. මෙය කම්කරු අයිතීන් දරුණු ලෙස කප්පාදු කිරීමකි. විශේෂයෙන්ම ඇඟළුම් ක්ෂේත්‍රය වැනි ඉතා දුෂ්කර කොන්දේසි යටතේ සේවය කිරීමට කාන්තාවන්ට සිදුවන ක්ෂේත්‍ර සළකා බැලුවහොත්, එවැනි අංශ වලට පැය 16 ක සේවා මුරයක් හඳුන්වා දීම ඉතා ප්‍රශ්නකාරීය. ස්පාඤ්ඤය වැනි රටවල මාසික ඔසප් වීම සඳහාද නිවාඩු ලබාදෙන බව සැළකූ විට ලංකාවේ මෙම කාන්තාවන්ට අත්ව ඇති ඉරණම සැබවින්ම ශෝකජනක බව සිතේ.
ශාස්ත්‍රීය දායකත්වයන් වල නොමැති දේ
නිදහස් අධ්‍යාපනය තුළ සම්පත් බෙදී යාමේ සමාජ-ආර්ථික විෂමතා සමඟ අප කොතරම් දුරට ගනුදෙනු කොට ඇත්ද? නිදහස් අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමේ ඇති අසමානතා කෙරෙහි විශ්ව විද්‍යාල තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලීන් කොතරම් දුරට අවධානය යොමුකොට ඇත්ද? මෙවැනි විෂමතා සාකච්ඡා කිරීමට විශ්ව විද්‍යාල විෂය නිර්දේශ කොතරම් දුරට ඉඩ වෙන්කොට ඇත්ද? ශාස්ත්‍රාලිකයන් ලෙස විශ්ව විද්‍යාලයේ උගන්වන පාඨමාලා තුළින් ශ්‍රමය සූරාකෑමේ භාවිතයන් සහ එවැනි වෙනත් අගතීන් වලට අවධානය යොමු කිරීම අපේ වගකීමකි.
මෑතදී ලංකාවේ තේ කර්මාන්තයේ 200 වැනි සංවත්සරය සැමරුණි. පසුගිය ශතවර්ෂ දෙකක කාලය ඇතුළත වතුකරයෙන් උපාධිධාරීන් කොතරම් ප්‍රමාණයක් බිහිවී ඇත්ද? කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයෙන් 2022 වර්ෂයේදී උපාධිය ලද නානුඔය ග්ලාසෝ වතුයායෙහි නාරායන් පුන්නියසෙල්වන්, එම වතුයායේ පළමු උපාධිධාරියායි. වතුකරය රටේ ආර්ථිකයේ මර්මස්ථානයකි. එමඟින් උපයන ධනයෙන් නිදහස් අධ්‍යාපන පද්ධතියද නඩත්තු වේ. එසේ වුවත් ඔවුන් නිදහස් අධ්‍යාපනයෙන් ලබා ඇති ප්‍රතිලාභ අල්ප බව පැහැදිලිය. ශාස්ත්‍රාලිකයන් ලෙස අප කොතරම් දුරට මෙවැනි විෂමතා වලට අවධානය යොමුකොට තිබේද?
සමාජීය විද්‍යාවන් වල ඉගැන්වීම් කටයුතු සිදුකරන්නන් හට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් කියා සිටින්නේ ‘කුසලතා සහිත’ ශ්‍රම බලකායක් බිහිකරන ලෙසයි. සමාජීය විද්‍යා උපාධිධාරීන්ගේ රැකියා නියුක්තියට නුසුදුසු බව (unemployability) පිළිබඳ වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය මඟින් සහ ප්‍රතිපත්ති කවයන් වල හුවා දක්වමින් තිබේ. මෙම උපාධිධාරීන් බොහෝවිට බඳවා ගැනෙන්නේ රාජ්‍ය සේවයට බවත්, එයද ඉතා අකාර්යක්ෂම එකක් බවත් මෙම ආඛ්‍යානයෙන් කියා පායි. ඒ අනුව සමාජීය විද්‍යා උපාධිධාරීන්ගේ රැකියා නියුක්තියට සුදුසු බව වර්ධනය කිරීම සඳහා පරිගණක තාක්ෂණය සහ ඉංග්‍රීසි වැනි කුසලතා ලබාදීමේ වැඩපිළිවෙළවල් ගණනාවක් විවිධ අරමුදල් සම්පාදන ආයතන මඟින් හඳුන්වා දී ඇත.
සමාජීය විද්‍යා උපාධිධාරීන් අතර මෙම කුසලතා වල හිඟකමක් පවතින බව මම පිළිගන්නා නමුත්, මෙවැනි වැඩසටහන් වලින් ගැටලුවට විසඳුමක් සොයාගත හැකිද යන්න මා තුළ නැඟෙන පැනයකි. මෙම කුසලතා සමඟ උපාධිධාරීන්ට සම්බන්ධ වියහැකි රැකියා මොනවාද? ලංකාවේ ශ්‍රම බලකායේ පරිමාණය කෙබඳුද? ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2022 වර්ෂයේ පළමු කාර්තුවේදී ලකාවේ සමස්ත ශ්‍රම බලකාය මිලියන 8.4 ක් වූ අතර, ඉන් 47.1% ක් සේවා අංශයෙහිද, 27.9% ක කාර්මික අංශයෙහිද, 25% ක කෘෂිකර්මාන්තයෙහිද නිරත වී ඇත. ශ්‍රම වෙළඳපොළේ ඇති මෙම මෙම අභියෝග ජයගැනීමට කුමන කුසලතා තිබුනත් උපාධිධාරීන්ට සිදුවනු ඇත. සමාජීය විද්‍යා විෂයන් උගන්වන විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය මෙම යථාර්ථයන් සිය මෘදු කුසලතා වර්ධනය කිරීමේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට කෙසේ සම්බන්ධ කරගන්නේද යන්න විමසා බැලීම වටී.
යා යුතු මඟ
මහජන සවිඥානිකත්වය සංවිධානය කිරීම යනු ඉතා දේශපාලනික ක්‍රියාවකි. එහි ලා ඉටුකිරීමට ශාස්ත්‍රාලිකයන්ට වැදගත් කාර්ය භාරයක් තිබේ. ලංකාව තුළ ඔවුන් සුවිශේෂයෙන් මුහුණ දෙන අභියෝග මධ්‍යයේ වුවද ඔවුන් කෙරෙහි මෙම වගකීම පවතී. 2012 දී අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් ඔවුන් ගාල්ලේ සිට කොළඹට කළ පා ගමන මේ සම්බන්ධව ඇති ඓතිහාසික උදාහරණයකි. එසේම පොදු මහජනතාවගේ අයිතීන් වෙනුවෙන්, විශේෂයෙන්ම කම්කරු අයිතීන් වැනි, එක්සත්ව ක්‍රියාත්මක වීමටද ශාස්ත්‍රාලිකයන්ට වගකීමක් ඇත. නමුත් මගේ කියවීම නම් සිය අධික වැඩ බර, කාලය වෙන් කිරීමේ අපහසුව මෙන්ම වාර්ගික සහ පන්තිමය විඥානය නිසාද ඔවුන්ට ජනතාව සමඟ සම්බන්ධ වීම දුෂ්කර වී ඇති බවයි. නමුත් එසේ නොකිරීම තුළ මෙවැනි අර්බුද අවස්ථාවක ඔවුන්ගේ පැවැත්ම පවා ප්‍රශ්න කිරීමට ලක්විය හැක.
මෙවැනි අර්බුද තත්වයන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල කරන නිසා ඒවා පිළිබඳ අප විමසිල්ලෙන් සිටිය යුතු වේ. මෙම ලිපිය ආරම්භයේදී දැක්වූ මහාචාර්ය එජ්මන්ගේ අදහසට අනුව සාමූහික ප්‍රයත්න මඟින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කිරීම මෙවැනි අවස්ථාවක ගතහැකි හොඳම ක්‍රියා මාර්ගයයි. මෙම ක්‍රියාවලියෙහි මධ්‍යම අංගයක් වන්නේ විශ්ව විද්‍යාලය මහජනතාව හා සංවාදයකට එළඹීමයි. ලංකාවේ විශ්ව විද්‍යාල මෙම භාවිතය ඉක්මණින් වැළඳ ගත යුතුය. විෂය නිර්දේශය මෙම යථාර්ථයන් පිළිබිඹු වන අයුරින් වෙනස් කිරීම, මහජන සංවාද සඳහා විවෘත අවකාශ ඇති කිරීම, ඓතිහාසික මහජන ව්‍යාපාර පිළිබඳ නැවත තක්සේරුවක් කොට ඒවාට නව එළඹුම් ලබා ගැනීම සහ රජයේ සියලු ප්‍රතිපත්ති විචාරාත්මකව සළකා බැලීම ඒ සඳහා අත්‍යාවශ්‍ය වේ. ඒ තුළින් වඩා දැනුම් සම්පන්න, ජාතියේ අභියෝගයන්ට සාමූහිකව මුහුණ දියහැකි පුරවැසියන් නිර්මාණය කිරීමට හැකිවනු ඇත.