අහෝ පලස්තීනය: අධ්‍යාපනය යදම් වලින් මිදවීම 

සුමති සිවමෝහන් 

පොත් අපව රවටන්නේ ඇයි?

හෝඩියේ හැම අකුරක්ම බැඳ දමා ඇත්තේ ඇයි?

හැම මිනිස් මුවකටම කට කලියාවක් දමා 

ඇඩෝනිස් ගේ Concerto Al-Quds කෘතියෙනි

ඇත්තෙන්ම කවියා අසන පරිදි හෝඩියේ හැම අකුරක්ම යදමින් බැඳ දමා ඇත්තේ ඇයි? මේ ප්‍රශ්නයට දෙන පිළිතුර ඥානමීමංසාත්මක (epistemological) සහ අධ්‍යාපනය සම්බන්ධ (pedagogical) එකක් වශයෙන් ගොනු කිරීමට කැමැත්තෙමි. එසේම එය පලස්තීනය සම්බන්ධ ප්‍රශ්නයක් ලෙසද නැඟීමට සිදුවේ. මන්ද අප පැටලී සිටින ඥාන සම්පාදන පද්ධතීන් සහ ඒවායේ පරාමිතීන් විසින් අපේ පොදු ගෝලීය ඉතිහාසයේ සිදුවූ ලොකුම දේශපාලන අපකීර්තියක් ලෙස පලස්තීනය හඳුනාගත යුතු නිසාය.

ගාසාවේ යුද්ධය දෙස අප බොහෝ දෙනෙකු බලා සිටින්නේ සන්ත්‍රාසයෙනි. එක්සත් ජනපදය විසින් ඉරානයට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත්, ඊට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ යුද්ධය තීව්‍ර වන අයුරු අප කනස්සල් සහගත කරවයි. යුක්‍රේන යුද්ධය නිසා තුන්වන ලෝක යුද්ධයක් පිළිබඳ භීතිකා ද උත්සන්න වී ඇත. මෑත ඉතිහාසය තුළ එකකින් එකක් බිහිවන යුද්ධ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එය භූ දේශපාලනය සහ ලෝකය තමන්ට අවශ්‍ය ලෙස නම්මා ගැනීමේ බටහිර වෑයමක් වශයෙන් අප හැමවිටම හඳුනාගෙන තිබේ. පලස්තීනය මෙහි වැදගත් කොටසකි. නමුත් මේ තේරුම් ගැනීම, පලස්තීනය මඟින් ද්‍රව්‍යාත්මකව නියෝජනය කරන්නේ කුමක්ද යන න්‍යායාත්මක හා සංකේතාත්මක වැටහීම සමඟ බද්ධ කළ යුතුය: එහි ජනතාව, එම භූමිය අත්විඳ ඇති විවිධාකාර අහිමි කිරීම්, යුද්ධයේ බිහිසුණු බව, ප්‍රතිරෝධය – වෙනත් වචන වලින් කියන්නේ නම් ඓතිහාසික සහ දේශපාලනික වශයෙන් පලස්තීනය තේරුම් ගැනීම. එරට සමඟ අපේ සහයෝගිතාවයේ කොටසක් ලෙස මෙය කළයුතු වන්නේ, පොත් වලින් අප රවටන බැවිනි.  

යටත්විජිතවාදය, නව යටත්විජිතවාදය හා නවලිබරල්වාදය 

වත්මන් දේශපාලන සහ ආර්ථික මොහොතෙහි ප්‍රභවය හඳුනාගත යුත්තේ නවලිබරල්වාදය තුළය. අද වනවිට නවලිබරල්වාදය නූතනත්වයේ ආර්ථික සහ සංස්කෘතික යථාර්ථයක් ලෙස සාමාන්‍යකරණය වී තිබේ: එය අපේ ආර්ථික සහ දේශපාලන පද්ධතීන් පදනම ලෙස ගෙන ඇති, ප්‍රශ්න නොකරන සිද්ධාන්තයකි; යටත්විජිතවාදය සහ අත්‍යන්ත ආර්ථික සූරාකෑම සංකලනය කරන ආර්ථික සහ දේශපාලනික ලෝක පර්යායකි; ලෝකයේ වැඩකරන ජනතාව ගෝලීය ප්‍රාග්ධනය සඳහා සංචිත ශ්‍රම බලකායක් ලෙස පවත්වා ගන්නා යටත්විජිතවාදී මොහොතකි. ගෝලීය ප්‍රාග්ධනය සහ මූල්‍යමය වෙළඳපොළවල් ලෙස යටත්විජිතවාදී ප්‍රාග්ධනය වෙස් මාරු කරගෙන එන අයුරුත්, එය ලොව පුරා ව්‍යාප්තව යමින් නව ලෝක පර්යාය සහ ලෝකයේ ගැලවුම්කරු වශයෙන් ඉදිරියට එන අයුරුත් අපි දකින්නෙමු. එහෙත් පලස්තීනය අපට කියන්නේ ‘නැත!’ කියාය.

මේ නවලිබරල්වාදී මොහොතේ මූලිකම යටත්විජිතවාදී ලක්ෂණයක් වන්නේ, තුන්වන ලෝකය සහ කලින් යටත්විජිතකරණයට ලක්ව තිබූ භූමීන් වල ජනතාව සිය ජනාවාස වල කරගෙන යන ජීවනෝපාය මාර්ග ඔවුන්ට අහිමි කොට, එම භූමීන් ඔවුන්ගෙන් උදුරා ගැනීමයි. ගෝලීය ප්‍රාග්ධනය විසින් භූමිය මෙලෙස ප්‍රති-යටත්විජිතකරණය කරන්නේ එය වෙළඳ භාණ්ඩයක් බවට පරිවර්තනය කිරීමෙනි. යටත්විජිතකරණය හැම විටම භූමිය, එහි පාලනය, එහි ජීවත් වන්නන් පාලනය කිරීම, එම භූමිය සූරා කෑම, සහ එහි වාසය කරන්නන්ගේ ශ්‍රමය සූරා කෑම යන කරුණු වටා කෙරෙන අභ්‍යාසයකි. 

අප දැන් ජීවත් වන නව යටත්විජිතවාදී, නවලිබරල් ලෝකය තුළ මේ යටත්විජිත උරුමය හාස්‍යෝත්පාදක ඛේදවාචකයක් ලෙස තවදුරටත් දිගහැරේ. පලස්තීන ඛේදවාචකය සිදුවන්නේ ඒ අතරතුරය. යටත්විජිතකරණයේ ගැඹුරු හා අසභ්‍ය ප්‍රකට වීමක් ලෙස නවලිබරල්වාදය හඳුනාගත හැකිය. එම පර්යායේ යටත්වැසියන් ලෙස ඉතා සතුටින් අධ්‍යාපන ප්‍රතිපත්ති අනුවර්තනය හෝ අළුතෙන් නිර්මාණය කිරීම අපි සිදුකරන්නෙමු. නමුත් එමඟින් සිදුවන්නේ ගෝලීය උතුර සහ අධිපති පර්යායේ දේශපාලනය සහ ප්‍රතිපත්තීන් වලට අනුමැතිය දීමයි. ඒවා සමාජගත කිරීම සඳහා කමිටු, කොමිෂන් සභා සහ සහයෝගිතා එකට එකතු වේ. පොත් විසින් සිය රැවටීම දිගින් දිගටම කරගෙන යනු ලබයි. 

ඥානය යටත්විජිතහරණය කිරීම: අනෙකා 

පශ්චාත් යටත්විජිත ලෝකය තුළ, විශේෂයෙන්ම දැනුම් සම්පාදන හා අධ්‍යාපන ක්ෂේත්‍ර වල, ඥානය යටත්විජිතහරණය කිරීම මේ වනවිට සැළකිය යුතු තරමේ ආකර්ෂණයක් දිනා තිබේ. ප්‍රගතිය පිළිබඳ යටත්විජිත තර්ක වලට එය ඇත්තෙන්ම වික්‍රමාන්විත අභියෝගයක් එල්ල කරයි. එහෙත් මේ වැදගත් ප්‍රවණතාව පෙරදිග/බටහිර හා උතුර/දකුණ පිළිබඳ ද්වන්ධයන් වල පැටලී ඇත. තද යටත්විජිත-විරෝධී න්‍යායිකයකු වූ ෆ්‍රාන්ස් ෆැනන් අනතුරු හැඟවූ පරිදි, යටත්විජිතහරණ ව්‍යාපාර තුළ බොහෝ කොටම සිදුවූයේ යටත්විජිත සුසමාදර්ශ ජාතිකවාදී වචන වලින් නැවත ඉදිරිපත් කිරීමය. පලස්තීනය තුළ යුරෝපීය යුදෙව්වන් ජනාවාසකරණය ආරම්භ කළ අමු අමුවේ වර්ගවාදී සහ යටත්විජිතවාදී බැල්ෆෝ ප්‍රකාශය සම්මත වීමෙන් සියවසක් ගතවන තැන, යටත්විජිතහරණය පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට පලස්තීනය හොඳ තැනක් බව හැඟේ. එරට පෙර පැවති සහ අද පවතින තත්වය නැවත විභාග කිරීමේදී භූ දේශපාලනික කාරණා මඟහැර යටත්විජිතවාදී ව්‍යාපාර සහ දෘෂ්ටීන් අපේ අවධානයෙහි මූලිකම ලක්ෂ්‍යය බවට පත්කරගත යුතුය. 

බටහිර ආසියාව (යුරෝපීය දෘෂ්ටියෙන් නම් මැද පෙරදිග) කවදත් රුසියාව, චීනය සහ ඉන්දියානු අර්ධද්වීපික කලාපයට ගේට්ටුවක් විය. දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් ගත්විට යුරෝපානු අනන්‍යතාවයත්, එහි අනෙකාත් නිර්මාණය වුනු කෝව ද එයයි. කුරුස යුද්ධ මේ සඳහා ඇති මුල් කාලීන සාක්ෂියකි. නූතනත්වයේ මුල් කාලය තුළ මේ බෙදුම් රේඛා තීව්‍ර වේ. 1492 දී ස්පාඤඤයෙන් යුදෙව්වන් සහ මුසල්මානුවන් පහකරන විට, කොලම්බස් බහමාස් වලට ගොඩ බැස්සේ එවැනිම සංහාරයක පළමු පියවර වශයෙන් බව අමතක කළ හැකිද? ඔතෙලෝ නාට්‍යයේ එමීලියා, ඩෙස්ඩෙමෝනා ට “ලොඩොවීකෝ ගේ යටිතොලේ පහස ලැබීමට වෙනීසියේ ආර්යාවක් පලස්තීනයට පාවහන් නොමැතිව ගමන් කරනු ඇති” යයි පවසන විට, ඉන් නිරූපණය වන්නේ ශේක්ස්පියර්ගේ සමකාලීන යුරෝපා යටත්විජිත පරිකල්පනය තුළ පලස්තීනය රඟ දැක්වූ මධ්‍යම භූමිකාවයි. වාර්ගිකත්වය පිළිබඳව වූ ශේක්ස්පියර්ගේ මෙම සම්භාව්‍ය නාට්‍යය තුළ ඔතෙලෝ ව අනෙකා බවට පත්කිරීම, යුරෝපානු ක්‍රිස්තු භක්තිකයන් අනෙකුන්ගෙන් (වෙනත් ක්‍රිස්තු භක්තිකයින්ද ඇතුළුව) වෙන්කර දැක්වීම පිළිබඳ ප්‍රශ්නය හුවා දැක්වීමේ මාර්ගයක් වශයෙන් භාවිතා කෙරේ. මේ නාට්‍යය වාර්ගිකත්වය මෙන්ම ලිංගිකත්වය පිළිබඳ එකකි; මේ දෙක එකතු වූ තැන ඇත්තේ යුරෝපානු මනස නිර්මාණය වන මූලිකම බය වලින් එකක් ය. සාපේක්ෂව වඩා ශ්‍රේෂ්ඨ යැයි කියාගන්නා ලද ආචාර ධර්ම පද්ධතියක් මත පදනම්ව යටත්විජිත සූරාකෑම් හැඩගැස්වීමට මේ බය දායකත්වය දක්වන ලදී. සමහර අවස්ථා වල අප තවමත් සිටින්නේ නූතනත්වයේ ආරම්භයේ බව සිතේ. යටත්විජිත පරිකල්පනය තුළ පලස්තීනයේ තැන තේරුම් ගැනීම දැනුම යටත්විජිතහරණය කිරීමට අදාළ ඕනෑම ව්‍යාපෘතියකට වැදගත්ය.    

ඥානමීමංසාත්මක සහ අධ්‍යාපනික වශයෙන් ගත්කළ, පලස්තීනය පිළිබඳ ප්‍රශ්නය තුළින් අපේම ජාතිකත්වය සහ ජාතික රාජ්‍යයේ පරමාධිකාරය ප්‍රශ්න කරන තැනට අපව ගෙනයා යුතු වේ. ‘නක්බා’ යනුවෙන් හැඳින්වෙන 1948 පලස්තීන මහා විනාශය වූ වසරේදීමය ලංකාවේ මලයියහ ප්‍රජාවට ඡන්ද අයිතිය අහිමි කරන්නේ; එය ඉන්දියාව සහ පකිස්ථානය ‘නිදහස’ යනුවෙන් හැඳින්වූ මහා ගින්නට පසු අවුරුද්දයි. මේවා අහඹු සිදුවීම් නොවේ. මේ අහිමි කිරීම් පෙළ තුළ අනන්ත කතාන්තර තිබේ. මහමූද් මම්දානි පලස්තීනය පිළිබඳ ලියන විට දැක්වූ පරිදි, ජාතිය සහ ජාතිකත්වයෙන් ඔබ්බට සිතීම අවශ්‍ය ය. මේ මොහොතේ පලස්තීනයට දක්වන සහයෝගය තුළ ඒ යුද්ධයට අදාළ කරුණු පමණක් නොව, යටත්විජිතවාදයට අදාළ අපේ පොදු ඉතිහාසයත්, ඒ මත පදනම්ව ගෝලීය ප්‍රාග්ධනය විසින් ගොඩනඟා ඇති සමාජ-දේශපාලන පර්යායත් පිළිබඳ ප්‍රශ්න නැඟීම වැදගත් වේ. සක්‍රීය ප්‍රජාතාන්ත්‍රීකරණ ක්‍රියාවලියක හදවතෙහි ඇත්තේ යටත්විජිතහරණයයි; එමඟින් ගෝලීය පර්යාය අභියෝගයට ලක් කරයි. අප භාවිතා කරන දැනුම් පද්ධති විභාගයට ලක්කරන, අධ්‍යාපනය යටත්විජිතහරණය ට ලක් කිරීමට ප්‍රයත්න දරන ඕනෑම ව්‍යාපෘතියක් මෙතැනින් පටන්ගත යුතුය. 

කවියකු, කතෘවරයකු සහ න්‍යායිකයකු වන ඇඩෝනිස් පැවසූ පරිදි, හෝඩියේ සෑම අකුරක්ම නිදහසේ, විවෘතව සහ අවංකව කතාකළ යුතුය. 2025 දී මේ සඳහා අපට මඟ පෙන්විය යුත්තේ පලස්තීනයයි; එහි මිතුරන් එම අභියෝගය භාරගත යුතුය. 1996 දී චෙම්මානි වල සිදුවූ සමූල ඝාතන සහ ඒවායෙහි සොහොන් අතර සිටින දරුවන් දෙස හැකිලීමෙන් තොරව සහ වගකීමෙන් යුතුව බැලීමට අපට හැකිවන්නේ එවිට පමණි. 

ජෙරුසෙලමේ පෞරාණික බිත්ති අතර 

මඟ පෙන්වීමට කිසිදු මතකයක් නැතිව, මම එක් යුගයකින් තවෙකකට ගමන් කරමි 

එහි දිවැසිවරු ස්වර්ගයට යන ශුද්ධාත්මයෙහි 

ඉතිහාසය බෙදා ගනිති 

එය නැවත පැමිණෙන්නේ අඩුවෙන් අධෛර්යමත් සහ මලානිකවය 

මන්ද, ආදරය සහ සාමය ශුද්ධ වන බැවිනුත්, ඒවා පැමිණෙන බැවිනුත් ය

මහ්මූද් ඩාවිෂ් ගේ “ජෙරුසෙලමේ” කවියෙනි