ආධිපත්‍යයන්, හෙජමොනිකයන් සහ විවිධත්වයන්

නිකොලා පෙරේරා

විශ්වවිද්‍යාලය තුළ වාර්ගික හා ආගමික සුළුතර සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පවතින අවකාශයන් මොනවාද? මෙම කණ්ඩායම්වල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට තමන්ව විවෘතව හඳුනා ගැනීමට, ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රකාශ කිරීමට, දෘශ්‍යමාන වීමට නිදහස සහ ආරක්ෂාව තිබේද? විශ්වවිද්‍යාල ව්‍යුහයන්, ප්‍රතිපත්ති, සංස්කෘතිය සහ ප්‍රජාව තුළ ඇති ආකල්ප විසින් එවැනි පුද්ගලයන්ට සතුරුකමකින් හෝ කොන් කිරීමකින් තොරව ජීවත් වීමට, එමෙන්ම සමාන අයිතිවාසිකම්, වරප්‍රසාද සහ අවස්ථාවන් භුක්ති විඳීමට හැකි බව සහතික කරන්නේද?

විශ්වවිද්‍යාල තුළ සුළු ජාතික සහ සුළු ආගමික පුද්ගලයන්ට සලකන ආකාරය සිසුන්ගෙන්, කාර්ය මණ්ඩලයෙන් හෝ පරිපාලකයින්ගෙන් මා විමසා සිටියහොත්, ඔවුන් වහාම විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ ස්ථාපිත වී ඇති සංස්කෘතික කණ්ඩායම්වල පැවැත්ම පෙන්වා දෙනු ඇතැයි මම සිතමි. බොහෝ විශ්වවිද්‍යාල සහ පීඨවල ද්‍රවිඩ සමාජයක්, හින්දු ශිෂ්‍ය සංගමයක්, මුස්ලිම් මජ්ලිසයක්, විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් යනාදිය පවතී. ඔවුන් විසින් නත්තල වෙනුවෙන් කැරොල්, ඉෆ්තාර් වැනි විවිධ සංස්කෘතික උත්සව සංවිධානය කරනු ලැබේ. බැලූ බැල්මට මෙහිදී වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ නියෝජනයක් සහ ඉඩකඩක් ඇති බව පෙනෙන අතර එය විශ්වවිද්‍යාලය තුළ ආයතනගත වී ඇති බවද පෙනෙන්නට තිබේ.

නමුත් මෙය මතුපිටට පමණක් පෙනෙන සංකේතාත්මක දෙයකි. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම නියෝජනය කරන බවට සැළකෙන ශිෂ්‍ය සංගමය මෙහිදී සලකා බැලීම වැදගත් ය. ඔවුන් සත්‍ය වශයෙන්ම නියෝජනය කරන්නේ කවුරුන්වද? ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය විසින් වසර ආරම්භයේදී බෞද්ධ උත්සව, පිංකම්, සර්ව රාත්‍රික පිරිත් මෙන්ම වෙසක්, පොසොන් වැනි පොහොය සඳහා භික්ෂූන් වහන්සේලාට ආරාධනා කිරීම් ද සංවිධානය කරයි. ශිෂ්‍ය සංගමය සංවිධානය කරන වසරේ ප්‍රධාන උත්සවය වන්නේ සාහිත්‍ය උලෙළයි; ඒ සඳහා සංගමය විසින් මහත් පරිශ්‍රමයක් දරනු ලැබේ: සිංහල සාහිත්‍යයේ විශිෂ්ටයන්ගේ ප්‍රතිමූර්ති ඔවුන්ගේ කෘතිවල උපුටා දැක්වීම් සමඟ පීඨයේ කුළුණු අලංකාර කරයි. නාට්‍ය උළෙල සාහිත්‍ය උලෙළේ විශාල කොටසක් වන අතර, එම කාලය තුළ ඉතා ජනප්‍රිය සිංහල නාට්‍ය රඟ දක්වයි.

බහුතර පැහැර හැරීමේ සහ සුළුතර ඉවසීමේ විශ්වවිද්‍යාල රාමුව තුළ සෑම විටම දේවල් සිදු වී ඇත්තේ මෙසේයි. එහි දේශපාලන/දෘෂ්ටිවාදී ප්‍රවණතා කෙසේ වුවත්, ශිෂ්‍ය සංගමය සමස්තයක් ලෙස විවිධ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවට සිංහල-බෞද්ධ ආගමික හා සංස්කෘතික අවශ්‍යතා ස්ථිරව නියෝජනය කරමින් ඒ වටා කේන්ද්‍රගත වන අතර, අබෞද්ධ සහ සිංහල නොවන සිසුන් නියෝජනය කිරීම සහ රැකබලා ගැනීම සුළුතර ආගමික හා සංස්කෘතික සමිති වෙත විතැන් වී ඇත. බහුතර සංස්කෘතිය කොතරම් අධිපති තැනක ඇත්දැයි කියන්නේ නම් එය සියලු තැන්හි පැවතීම හා ඇස-කණ ගැටීම සාමාන්‍යකරණය වී තිබේ; එතුළ සුළුතර සංස්කෘතීන් යනු බහුතරය විසින් ඉවසා වදාරන සංකේතයන් පමණි. එය මගේ ජනවාර්ගික පසුබිමට වරප්‍රසාද ලබා දෙන පද්ධතියක් සහ අවකාශයක් වන අතර, එහිදී මගේ පැවැත්ම කිසිවකුගේ ප්‍රශ්න කිරීමට හෝ ඇත්තෙන්ම අවධානයටවත් ලක් නොවන්නකි.

අනෙක් අතට, වාර්ගික සහ ආගමික සුළුතරවල සිසුන් සහ කාර්ය මණ්ඩලය, පන්තිය තුළ සහ ඉන් පිටත මුහුණ දෙන වෙනස්කම් කිරීම්, ආක්‍රමණ සහ ක්ෂුද්‍ර ආක්‍රමණ මොනවාද? පළිගැනීම්වලට බිය නොවී එවැනි දේ පිළිබඳව විවෘතව කතා කිරීමට ආරක්ෂාව අපට සහතික කළ හැකි නම්, ඔවුන් අපට කුමක් කියනු ඇතිද? පිළිගැනීම පිළිබඳ දුෂ්කර සංවාද ආරම්භ කිරීමට සහ පක්ෂග්‍රාහීත්වය, අගතීන්, අප්‍රාප්තිය සඳහා අභියෝග කිරීමට අධ්‍යයන කාර්ය මණ්ඩලය වශයෙන් අපට කුමක් කළ හැකිද? කාර්ය මණ්ඩලය සහ පරිපාලකයන් ලෙස අප විසින් සිදු කරන ක්ෂුද්‍ර ආක්‍රමණ හෝ සතුරුකම් මොනවාද? අපි විශ්වවිද්‍යාලය තුළ නිර්මාණය කරන සංස්කෘතිය කුමක්ද?

සංස්කෘතික අනන්‍යතාවය තබාගත හැකි මුත් ඔවුන් කැමති අඳුරු වර්ණ වෙනුවට වර්ණවත් අබායා සහ හිජාබ් පැළඳිය යුතු බවට උපදෙස් ලද මුස්ලිම් සිසුන්ගේ තත්වය කුමක්ද? වර්ණවත් අබායා සහ සල්වාර් ඇඳීම තුළින් මේ පිළිබඳ ‘ආදර්ශයක්’ සැපයූ නිසා අදාළ සිසුන් සමඟ කතා කරන ලෙස උපදෙස් ලද මුස්ලිම් කාර්ය මණ්ඩල සාමාජිකාවගේ තත්වය කුමක්ද? උඩරට සාරියෙන් සැරසුණු කාර්ය මණ්ඩල සාමාජිකාවක විසින් මෙම ඉල්ලීම් කිරීම කිසියම් අයුරකින් අදාළද? ඇත්තෙන්ම එය අදාළය: විශ්වවිද්‍යාලය තුළ අධිපති සිංහල බෞද්ධ සංස්කෘතියහි සෞන්දර්යය සහ මනාපයන් ප්‍රමිතිය බවට පත්කොට ඇති නිසා, සිංහල කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය රසඥතාව අනෙකා මත බලෙන් පැටවීමට බලය ඇතැයි යන හැඟීම ලැබී ඇත.

පාස්කු ප්‍රහාරයෙන් පසු විශ්වවිද්‍යාල දොරටුව අසල නතර කළ මුස්ලිම් ශිෂ්‍යාවන්ගේ තත්වය කුමක්ද? ආරක්‍ෂක නිලධාරීන් ඔවුන්ට පැවසුවේ කන් පෙනෙන ආකාරයට හිජාබ් අඳින ලෙසයි. මෙම හිංසනයන්, හිංසනයන් ලෙස හඳුනා ගැනීමට විශ්වවිද්‍යාලයට හැකියාවක් තිබේද? මෙය ආරක්ෂක නිලධාරීන්ට මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය වන්නා වූ නිල වශයෙන් අනුමත කරන ලද ප්‍රතිපත්තියක් ද? එසේත් නැතිනම් සිංහල සංස්කෘතිය සහ ඇඳුම් පැළඳුම් සාමාන්‍ය ප්‍රමිතිය ලෙස සලකමින්, සියලු සුළුතර සංස්කෘතීන් සැක සහිත අපගමනයන් ලෙස සැලකීමේ දිගුකාලීන භාවිතය මගින් එම මොහොතේ මෙම හිරිහැර කිරීමට ඔවුන්ට බලය ලැබුණේද? විශ්වවිද්‍යාලය ප්‍රතිපත්තියෙන් හෝ ප්‍රායෝගිකව ආගමික/වාර්ගික පදනමින් වෙනස් කොට සලකන්නේ නැත යන මතය සමඟ මෙම සිසුන්ට එකඟ වීමට මුස්ලිම් මජ්ලිසයේ පැවැත්ම ප්‍රමාණවත් වේද? මෙම අවස්ථාවේ ආරක්‍ෂක නිලධාරීන්ට නොඉවසිලිමත් බවක් හෝ (මගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ විට මා කළාක් මෙන්) යම් ආඩම්බරකමක් ප්‍රදර්ශනය කරන්නෙකුට කුමනාකාරයේ අත්දැකීමක් හිමිවනු ඇතිද? විශ්වවිද්‍යාලය විසින් වෙනස් කොට සැලකීම් නොකිරීමේ සාක්ෂියක් ලෙස සංකේතාත්මක ශිෂ්‍ය කණ්ඩායම් පෙන්වා දීම ප්‍රමාණවත් නොවේ. විශ්වවිද්‍යාලය තුළ දැනටමත් අසාර්ථක වෙමින් පවතින විවිධත්වයේ සරල නිරූපණයන් තව දුරටත් ප්‍රමාණවත් නොවනු ඇත: නිදසුනක් ලෙස, සාහිත්‍ය උළෙලේ දෙමළ භාෂා නාට්‍ය ඇතුළු කිරීම සහ දෙමළ සහ මුස්ලිම් ලේඛකයින්ගේ චිත්‍ර ද ඇතුළත් කිරීමට වග බලා ගැනීම අවශ්‍ය නමුත් එයද ප්‍රමාණවත්දැයි ගැටලුවකි. අපට අවශ්‍ය වන්නේ, අපගේ විශ්වවිද්‍යාලවල සිටින ආගමික සහ වාර්ගික සුළුතරවල කාර්ය මණ්ඩලය සහ සිසුන් දිනපතා හිරිහැරයට, අනෙකෙක් ලෙස වෙනස් කොට සැලකීමට ලක්වන මෙම තත්ත්වයන් සහ සන්දර්භයන් හඳුනා ගැනීම සඳහා වචනයෙන් සහ ක්‍රියාවෙන් සක්‍රීය ලෙස එරෙහි වීමයි. එමෙන්ම එම පිළිවෙත් අවසන් කිරීමට සහ ඒවා නැවත ඇතිවීම වැලැක්වීමට, ප්‍රතිපත්ති තුළින්, අධ්‍යාපනය තුළින් සහ විශ්වවිද්‍යාල සංස්කෘතිය ආරක්ෂා කරන සහ චිරස්ථායීකරන මිනිසුන් ලෙස අපගේම උත්සාහයන් තුළින් ඒවා නිමා කිරීමට ක්‍රම සොයා ගැනීම අත්‍යාවශ්‍ය වේ.