ආර්ථික අර්බුද සමයක අධ්‍යාපනය

මහේන්ද්‍රන් තිරුවරන්ගන් 

වත්මන් ආර්ථික අර්බුදය රටේ අධ්‍යාපනයට දරුණු ලෙස බලපෑම් කොට ඇත. පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වා සිසුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් යන සියලු දෙනාටම මෙම බලපෑම දැනී තිබේ. නිතර සිදුවන විදුලි කප්පාදු කිරීම් සහ ලිපිද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය වැනි සැපයුම් හිඟතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යෑමට අපේ අධ්‍යාපන ආයතන ඉමහත් ප්‍රයත්නයක් දරයි. සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමේදී නේවාසික සිසුන් ඉමහත් දුෂ්කරතා වලට මුහුණ දේ. මෙම ආර්ථික බාධා නිසා මෙම වසරේ සිව් අවුරුදු උපාධි පාඨමාලා වලට ලියාපදිංචි වී ඇති සිසුන් ප්‍රමාණය පහත බැස තිබේ.  

අඩු ආදායම්ලාභී, වැඩකරන පන්තියේ, පීඩිත කුල, නාගරික දරිද්‍ර, ධීවර, ග්‍රාම්‍ය සහ වතුකර පසුබිම් වලින් පැමිණෙන සිසුහු මෙම අර්බුදයේ බරින් වැඩි ප්‍රමාණයක් දරති. අධ්‍යාපනයේ බරපැන එන්න එන්නටම වැඩිවන පසුබිමක් තුළ, සමාජ සචලීයත්වය සහ සාධාරණයේ මාවතක් ලෙස නිදහස් අධ්‍යාපනයට ඇති තර්ජනය වැඩිව තිබේ. මින් එලියට යාමට මඟක් සොයන අතරේ නිදහස් අධ්‍යාපනය මෙසේ බලපෑමට ලක්ව ඇත්තේ ඇයිද යන්නත්, අපේ සිසුන් එම පද්ධතියෙන් ඉවතට විවි වීම නැවත්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට අප අපොහොසත් වී ඇත්තේ ඇයිද යන්නත් පිළිබඳ මෙනෙහි කිරීම වටී.  

අර්බුදය තේරුම් ගැනීම 

වත්මන් ආර්ථික අර්බුදය සහ අධ්‍යාපනය කෙරෙහි එමඟින් එල්ල කර ඇති බලපෑමෙහි සුලමුල ඇත්තේ කිසිදු විචාරයකින් තොරව 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ඒ ඔස්සේ පැමිණ අපේ අධ්‍යාපන සැලසුම්කරණ ප්‍රතිපත්ති අරක්ගත් නවලිබරල්වාදී මානසිකත්වය තුළය. කොවිඩ් වසංගතය මඟින් අධ්‍යාපන පද්ධතියේ පසුබැස්ම තීව්‍ර කළ අතර වත්මනේ අධ්‍යාපනය පත්ව ඇති අභියෝගකාරී තත්වය එහි ප්‍රතිඵලයකි.

අර්බුදය තුළ අපේ සිසුන් මුහුණ දෙන දරුණු අත්දැකීම්, දශක ගණනාවක් තිස්සේ අධ්‍යාපන පද්ධතිය අත්දකින ලද නොසැළකිල්ලෙහි පිළිබිඹුවකි. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, නෙලුම් කුළුණ, කොළඹ නගර අලංකරණය, සහ එන්න එන්නටම වැඩිවන මිලිටරීකරණය වැනි දේවලට දැවැන්ත වැය ශීර්ෂ වෙනකොට තිබියදී, අධ්‍යාපනයට 6% ක් වෙන්කරවා ගැනීමට 2012 FUTA අරගලයෙන් ගත් ප්‍රයත්නය ව්‍යර්ථ විය.1980 ගණන් වල සිට අපේ අධ්‍යාපන පද්ධතිය මුහුණ දෙන යථාර්ථයක් වන්නේ අඩු ආයෝජනයයි: එම නිසා උපාධි අපේක්ෂකයින් සඳහා නේවාසික පහසුකම්, ග්‍රාමීය ප්‍රදේශ වල පාසල් වල තත්වය වැඩි දියුණු කිරීම සඳහා (විශේෂයෙන්ම උසස් පෙළ පන්ති හඳුන්වා දීම සඳහා) අවශ්‍ය ප්‍රතිපාදන වැනි දේ සඳහා අරමුදල් සොයාගත නොහැකි වී ඇත. මෙවැනි පියවර ගෙන තිබුනේ නම් අද අර්බුදය තුළ අපේ සිසුන් මුහුණ දෙන දරාගත නොහැකි ප්‍රවාහන සහ ඉඳුම් හිටුම් වියදම් අඩුවනු ඇත.

අර්බුදයෙන් වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇත්තේ අඩු ආදායම්ලාභී, කම්කරු පාන්තික පසුබිම් වලින් පැමිණෙන සිසුන් නිසා, ඊට ලබාදෙන විසඳුම තුළ සම්පත් නැවත බෙදාහැරීමට වැඩි ඉඩක් වෙන්කළ යුතුය. එසේම මේ අවස්ථාවේ රාජ්‍ය වැය ශීර්ෂ වලින් සාධාරණ හා සමානාත්මතාවයෙන් යුතු සමාජයක් ඇතිකිරීමට කරන දායකත්වය පිළිබඳවද තක්සේරුවක් සිදුකොට ප්‍රතිපාදන වෙන් කිරීම වටී. එවැන්නක් සිදුකරන්නේ නම්, විශ්වීය නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය සඳහා අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාව හිමිවනු ඇත. වැඩි කළ යුතුයැයි අප යෝජනා කරන ධන බදු සහ අදායම් බදු වලින් කොටසක් අසමානත අඩු කිරේම සඳහා නිදහස් අධ්‍යාපනය කෙරෙහි යොමුකළ යුතුය.         

අර්බුද තත්වයක් තුළ අධ්‍යාපනය ප්‍රති-පරිකල්පනය කිරීම

නවලිබරල්වාදී චින්තනය තුළ අධ්‍යාපනය යනු කාලය, ඉතිහාසය සහ සන්දර්භයෙන් ව්‍යුක්ත වූ ක්‍රියාවලියකි. අපේ විෂය නිර්දේශ සහ ඇගයීම් ක්‍රමවේදයන් ගලේ කෙටූ අකුරු මෙන් දෘඪ හා තදින් ආකෘතිකරණය කරන ලද ඒවාය. ඒ මඟින් ගුරුවරුන්ව ඉගැන්වීම් යන්ත්‍ර බවට පත්කොට ඇති අතර, දෙන ලද ඓතිහාසික මොහොතක ගතිකත්වයන් සහ අවශ්‍යතා වලට සුදුසු දැනුමක්  සිසුන් වෙත ලබාදීමට අවශ්‍ය පරිකල්පනය නොමැති පිරිසක් කොට තිබේ.

මේ මොහොතේ අවශ්‍යතාවය වන්නේ සිසුන්ට ආර්ථිකව දැරිය හැකි වන්නා වූද, අර්ථාන්විත වූද කෙටිකාලීන විෂය නිර්දේශ හා ඇගයුම් ක්‍රියාවලීන් හඳුන්වා දීමයි. මේ සඳහා ගුරුවරුන්ගේ කැමැත්තක් තිබුනත්, පරිපාලනය ඊට කැමති කරවා ගැනීම ඉතා අසීරුය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළ අවධානය දිය යුත්තේ අර්බුදයෙහි බලපෑම එක් එක් කණ්ඩායම් වලට විවිධාකාරව දැනෙන අයුරටය. එමඟින් විවිධ ප්‍රජාවන්, වෘත්තීය සමිති, විරෝධතාකරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ එක්ව වැඩ කිරීමටත්, අර්බුදයට විසඳුම් සෙවීමටත් සිසුන් හා ගුරුවරුන් උනන්දු කරවිය යුතුය.අධ්‍යාපනය අපේ එදිනෙදා ජීවිතයට අදාළ වූ, ප්‍රබෝධජනක හා විමුක්තිකාරක ක්‍රියාවලියක් ලෙස සිසුවා වටහා ගන්නේ එවිටය.

ඇගයීම් ක්‍රියාවලීන්ද මේ මොහොතේ අවශ්‍යතා වලට අනුව වෙනස් කළ යුතු වේ. මෙවැනි දුෂ්කර අවස්ථාවක ප්‍රමුඛතාවය විය යුත්තේ ඊළඟ කඩුල්ලෙන් සිසුවා පැන්නවීම මිස ඉතා තද අයුරින් ඔවුන්ගේ කාර්ය සාධනය මැනීම නොවේ. ඒ සඳහා විභාග මාදිලි වෙනස් කළ යුතුය. නිදසුනක් ලෙස වරණයක් සහිත ප්‍රශ්න වල ප්‍රමාණය වැඩි කිරීම දැක්විය හැකිය. එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සියලු සිසුන් සමත් කළයුතු බවට මෑතකදී රුවන්ති ඩි චිකේරා කළ යෝජනාවද කාලානුරූපී එකකි. 

විශ්ව විද්‍යාල මට්ටමේදී අවසන් වසර සිසුන්ට ඔවුන්ගේ උපාධිය ලබාගැනීම සඳහා දැනටමත් සිදුව ඇති ප්‍රමාදය මඟ හැරවීම සඳහා කටයුතු කළයුතු වේ. එහිදී සමාසිකය අවසානයේ දෙන විභාගය වෙනුවට විවෘත ග්‍රන්ථ පරීක්ෂණ සහ අවසන් විභාග මිශ්‍ර මාදිලියක් අනුගමනය කළ හැකිය. මෙමඟින් අවසාන විභාග වලට වැයවන කාලය හා සිසුන්ට දැරීමට සිදුවන ප්‍රවාහන වැනි වියදම්ද අඩුකර ගත හැකිවේ.

පාසල් මට්ටමේදීද මෙම මොහොත අනුව කළයුතු වෙනස්කම් බොහෝය: අර්බුද තත්වය සළකා සියලු සිසුන් හා ගුරුවරුන්ට සිය නිවසට ළඟම පාසල වෙත යාමේ පහසුකම ලබාදීම, විෂය නිර්දේශය ආවරණය කිරීමට පමණක් අවධානය යොමු කරනු වෙනුවට මානසික සහනය හා ප්‍රීතිය දැනෙන ක්‍රියාකාරකම් වලටද තැනක් ලබා දීම, පාසල් වල මිදුල් ගෙවතු වගා කටයුතු සඳහා භාවිතා කිරීම සහ ප්‍රජාව සමඟ එක්ව පාසලේ ප්‍රජා මුළුතැන්ගෙයක් ආරම්භ කිරීම තුළින් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා තෘප්තිමත් කිරීමට පියවර ගැනීම ඒ අතරින් කිහිපයකි.    

ඉදිරි දැක්ම හැඩ ගැස්වීම 

අරගලයේදී පොදු සමාජ මට්ටමෙන් මතු වූ අපේ ප්‍රජාතාන්ත්‍රික විඥානය නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. කොතරම් අඩුපාඩු තිබුනත් නිදහස් අධ්‍යාපනය අපේ සමාජය ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමට ඓතිහාසිකවම දායක වී තිබේ. එම නිසා අන් කවරදාටත් වඩා මේ මොහොතේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කොට ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් පවතී.

පවතින ආර්ථික ගැටළු මධ්‍යයේ නිදහස් අධ්‍යාපනය ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද? වැඩි පහසුකම් සහිත පාසල් වල සම්පත් අඩු පහසුකම් සහිත ඒවා සමඟ බෙදාගත හැක්කේ කෙසේද? මුහුදින් එතෙර වාසය කරන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට මේ අවස්ථාවේ කුමන භූමිකාවක් රඟ දැක්විය හැකිද? පාසල් හා විශ්ව විද්‍යාල පද්ධතීන්ට මේ අවස්ථාවේ එක කුමනාකාරයේ ක්‍රියාමාර්ග ගත හැකිද? සිය ප්‍රදේශයේ පවතින පාසල් වල ගැටළු වලට මුහුණ දීම සඳහා අදාළ ප්‍රාදේශීය ප්‍රජාවට කුමක් කළ හැකිද? මේවා මෙම අවස්ථාවේ ඉතා හදිසියෙන් සළකා බැලිය යුතු කරුණුය.

නවලිබරල්වාදයෙන් අධ්‍යාපනය හැඩ ගස්වා ඇත්තේ සමාජය කෙසේ වෙතත් පුද්ගල සුබසිද්ධිය උපරිම කරවාගැනීමේ මෙවලමක් ලෙසය. එහෙත් වත්මන් අර්බුදයෙන් පැහැදිලි වන්නේ අපේ ජීවිත වෙන්කළ නොහැකි ලෙස එකට ගැට ගැසී ඇති බවයි. මේ මොහොතේ අප නිර්මාණය කරගන්නා ආධාරක පද්ධති අර්බුදයෙන් පසු අප අරමුණු කරන සමාජයේ පාදම වුවද විය හැකිය. එම නිසා මෙම අභියෝගය අවස්ථාවක් කරගෙන වඩා සමානාත්මතාවයෙන් යුතු අනාගතයක් සඳහා පදනම දමාගනිමු.