ඉංග්‍රීසි භාෂා පන්තියේ ප්‍රමිතීන් පිළිබඳ ගුප්ත බව බැහැර කිරීම 

රූත් සුරෙන්තිරරාජ් 

2024 පෙබරවාරි 6 වන දින සිය කුප්පි ලිපිය තුළින්, ඉංග්‍රීසි ඉගෙන ගන්නා ලංකාවේ සිසුන් මත බාහිර ප්‍රමිතීන් පැටවීම තුළින් ඇතිවන අපහසුතා විශ්විකා සෙල්වරාජ් විසින් පෙන්වා දෙනලදී. එහිදී ඇතිවන අභියෝග අතරින් මූලිකම එකක් ලෙස ඇය පෙන්වා දෙන්නේ ඉංග්‍රීසි ගුරුවරුන් වශයෙන් අප මෙම ප්‍රමිතීන් පවත්වා ගැනීම පිළිබඳ දරනා අදූරදර්ශී මත නිසා සිසුන්ගේ ඉගෙනීම ඇහිරීමය. මෙම තර්කය තවත් ඉදිරියට ගෙනයමින් 2024 අප්‍රේල් 2 වන දින මදුරංග කළුගම්පිටිය විසින් සිය කුප්පි ලිපියෙන් පෙන්වා දුන් ආකාරයට, ප්‍රශස්ත මට්ටමේ ප්‍රමිතියක් යනු සිසුවාට සිය එදිනෙදා සන්දර්භය තුළ භාවිතා කළහැකි ආකාරයේ භාෂාවක් ළඟාකර දෙන ඉගෙනුම්-ඉගැන්වීම් අත්දැකීමකට වේ. මේ ලිපිය තුළ ‘ප්‍රමිතීන්’ වශයෙන් මා හඳුන්වන්නේ භාෂා භාවිතයේදී – විශේෂයෙන්ම සිසුන්ගේ භාෂා භාවිතය තුළ – පවත්වා ගනීවි යැයි අප බලාපොරොත්තු වන යම් යම් මිණුම් දඬුය. නිදසුනක් ලෙස ඔවුන් භාවිතා කරන යෙදුම් වල ඇති ‘වැරදි’ හෝ ඔවුන්ගේ අක්ෂර වින්‍යාසයේ දුර්වලතා නිසා අප ළතැවුලට පත්වීම පෙන්වා දිය හැකිය. මෙමඟින් ප්‍රකට වන්නේ සන්නිවේදනයේදී පවත්වා ගතයුතු යැයි අප විසින් අන්තරීකරණය කොටගෙන ඇති යම් විසංයුක්ත සාමාර්ථය්‍යතා මට්ටමකි. 

මෙම කතුවරුන් දෙදෙනාම ඉංග්‍රීසි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ සිසුවාගේ/ භාෂාව භාවිතා කරන්නාගේ අවශ්‍යතා වලට පැහැදිලිව ප්‍රමුඛත්වය ලබාදෙයි. ඇත්තෙන්ම මෙම ප්‍රමිතීන් වල ඇති ලොකුම ගැටළුවක් වන්නේ යම් සංස්කෘතීන් සහ පන්තිමය ජීවන රටාවන් අනෙක් ඒවාට වඩා වරප්‍රසාදිත තැනකට ඒවා විසින් ඔසවා තැබීමයි. අප අපටම අවංක වන්නේ නම්, ඉංග්‍රීසි භාෂාව උගන්වන්නන් නිතරම පරිපූර්ණ හා ඉතා නිවැරදි ඉංග්‍රීසි භාවිතයක් පිළිබඳ අවධාරණය කරන බව අප පිළිගත යුතුය. එහෙත් අපේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේදී නිතරම සිසුවාට මූලිකත්වය දීම තුළින් ප්‍රමිතීන් පිළිබඳ මෙම ප්‍රශ්නය වඩා ප්‍රවේශමෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව අපට හිමිවේ.

දශක ගණනක් පුරාවට දිවයන මේ විවාදයට මේ කෙටි ලිපිය තුළින් අළුතෙන් යමක් එකතු කරන බව ඇඟවීම මගේ උත්සාහය නොවේ. තමන්ට අනන්‍ය ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය නම්‍යශීලී භාවය සිසුන්ට ලබාදෙන අතරම, ඉංග්‍රීසි සම්බන්ධයෙන් බාහිරින් පටවා ඇති ප්‍රමිතීන් වලට අනුගත වීමේ ආතතිය විසින් සියළු ඉංග්‍රීසි ගුරුවරුන් පෙලනු ලැබේ. ඇත්තෙන්ම රැකියා වෙළඳපොළ තුළ පවතින අවශ්‍යතා සළකා බැලූ කල්හි, තමන්ට කැමති ලෙස ඉංග්‍රීසි ඉගෙනගත හැකියැයි පැවසීමද වගකීම් විරහිත, වංක ප්‍රකාශයකි. එනිසා ඉංග්‍රීසි ගුරුවරුන්ට පෙර පැවසූ ප්‍රමිතීන් පිළිබඳ ආතතීන් සමඟ නිරන්තරයෙන් පොර බැදීමට සිදුවීම නොවැළක්විය හැකිය. මේ ලිපියෙන් මා අරමුණු කරන්නේ පරිපූර්ණත්වය පිළිබඳ මේ අල්තාරය මත සිසුන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම කැප නොකර ඉංග්‍රීසි ඉගැන්විය හැකි ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා කිරීමටය.

පන්ති කාමරය තුළ ගුරුවරයාගේ ආත්මරූපීයත්වය පිළිගැනීම

පසුගිය දශක කිහිපය පුරාවට මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය දහරා වල සිදුකෙරෙන පර්යේෂණ තුළ පර්යේෂකයාගේ ආත්මරූපීයත්වය පිළිගත යුතු බවට වන හැඟීම වර්ධනය වී ඇත. නිදසුනක් ලෙස, පර්යේෂකයකු අධ්‍යයනය කරන යම් සංසිද්ධියක් වාස්තවිකව අධ්‍යයනය කරන බව ඔවුන්ට සිතෙන්නට පුළුවන. එහෙත් ආත්මරූපීයත්වය පිළිබඳ සවිඥානික පර්යේෂකයකු හැමවිටම සිය අධ්‍යයනය තමා හැදීවැඩුණු හැටි සහ තමාගේ ආර්ථික මට්ටම වැනි සාධක වලින් බලපෑමට ලක්වන බව පිළිගනී. ඉංග්‍රීසි ගුරුවරුන් වශයෙන් අප පන්ති කාමරයට එළඹෙන ආකාරය ගැන සිතීමට එමඟින් අපව යොමු කරයි. උදාහරණයක් වශයෙන් අප පෞද්ගලිකව ඉංග්‍රීසි උගෙනගත් ආකාරය, අපේ සිසුන්ගෙන් අප අපේක්ෂා කරන ඉගෙනීම් රටාවන් හා ළඟින් බද්ධව පවතී. එහෙත් ඉංග්‍රීසි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය දිගහැරෙන පන්ති කාමර තුළ ප්‍රමිතීන් සහ ගුරුවරයාගේ ආත්මරූපීයත්වය අරබයා සංවාද තවමත් දිගහැරෙන්නේ නැත. ඊට හේතු වශයෙන් කාලය සම්බන්ධයෙන් පවතින සීමා සහ ‘නිවැරදි’ යැයි සම්මත පිළිතුර හැර වෙනත් පිළිතුරු පිළිබඳ සිසුන්ට උනන්දුවක් නැති බවට වන උපකල්පනය දැක්විය හැකිය.   

මෙම මත වලින් සමහරක මුල් පැහැදිලිවම ඇත්තේ අපේ දුර්වල තැන් ලෝකය හමුවේ ගෙනපෑමට අපට ඇති අකමැත්ත තුළය. ගුරුවරයා සියළු දැනුමෙහි උල්පත බවට වන සංස්කෘතිකමය අපේක්ෂාව මෙහිලා තදින් බලපායි. එහෙත් කෘතිම බුද්ධිය හා වෙනත් එවැනි ඉගෙනුම් ආධාරක පවතින ලෝකයක මෙවැනි මිණුම් දඬු ඇත්තෙන්ම විහිළු සහගතය. එනිසා මගේ පන්ති කාමරය තුළ මම කරන්නේ භාෂාව සම්බන්ධ යම් යම් මිණුම් දඬු බලාපොරොත්තු වීම මගේ මධ්‍යම පාන්තික, නාගරික පසුබිමෙන් බලපෑමට ලක්වන්නක් බව සිසුන් හමුවේ පිළිගෙන ඉගැන්වීම් කටයුතු කිරීමයි. විශේෂඥයකු ලෙස ඔවුන් විසින් දිගටම මා සළකනු ලැබුවත්, මගේද පක්ෂපාතීත්වයන්ද ඇති බව දැකීමට මෙමඟින් සිසුන්ට අවස්ථාව උදාවේ. එතුළින් සිදුවන්නේ මා කැමැත්තක් දක්වන ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඔවුන් වඩා විචාරාත්මක එළඹුමක් ගැනීමත්, අවශ්‍ය නම් මට අභියෝග කිරීමේ අවස්ථාව ඒ ඔස්සේ ඔවුන්ට විවර වීමත්ය.

බහුවිධ ප්‍රමිතීන්ට අවධානය යොමුකරවීම 

ඉංග්‍රීසි ගුරුවරුන් මුහුණ දෙන තවත් ප්‍රශ්නයක් නම් ප්‍රමිතීන් පිළිබඳ විවිධ නිර්වචන පැවතීමත්, ඒවා සමහර අවස්ථා වල එකිනෙකට පටහැනි වීමත්ය. භාෂාව යනු නිරන්තරයෙන් විකාශනය වන්නක් නම්, අවට සන්දර්භය මඟින් එය බලපෑමට ලක්වන බව පැහැදිලිය. නිදසුනක් ලෙස හැම පරම්පරාවක්ම භාෂාවට නව වචන හඳුන්වා දෙන ආකාරය ගැන සිතා බලන්න. මෙම වචන ඔවුන්ට පෙර හා පසු පරම්පරා වලට එතරම් පහසුවෙන් නොවැටහේ. එසේම ලෝකයේ විවිධ ප්‍රදේශ සහ එකිනෙකට වෙනස් සමාජ මාධ්‍ය වල භාෂාව භාවිතා වන අයුරුද වෙනස්ය. කොහොමත් භාෂාවක් විකාශනය වන්නේ මේ අයුරිනි; නමුත් ඊට අමතරව ඉංග්‍රීසි වල ඇති තවත් විශේෂත්වයක් නම් ලොව බොහෝ සංස්කෘතීන් වල එය පෝෂණය වී තිබීමයි.

මේ යථාර්ථය නිසා, මගේ පන්ති කාමරය තුළ සිසුන්ට මම මෙවැනි විවිධ ප්‍රමිති ඇති බව හා ඒවා මොනවාද යන්න පිළිබඳ කියාදීමට හැකිතරම් උත්සාහ ගන්නෙමි. මේ ප්‍රමිතීන් අතරින් සමහර ඒවා වචනයක උච්ඡාරණය තරම් සරල ඒවා වියහැකි අතර, අනෙකුත් ඒවා උච්ඡාරණය මත පදනම්ව කෙරෙන සමාජමය විනිශ්චයන් තරම් සංකීර්ණ වියහැකි වේ. එහෙත් කාලය සම්බන්ධ සීමාකම් හමුවේ මේ සියළු ප්‍රමිතීන් වලට ප්‍රමාණවත් තරම් අවධානය ලබාදීමට අවස්ථාව හිමිනොවේ. එසේම මේ සංකීර්ණතා තුළින් සිසුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියට බාධා පමුණුවන්නේ නම් එයද අර්ථ විරහිතය. එම නිසා මේ දෙක අතර සමබරතාවයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

ඇගයුම් ප්‍රමිතීන් වලට සංවාදශීලී එළඹුමක් ගැනීම 

TOEFL සහ IELTS වැනි විභාග වල අප වැනි රටවල ඉංග්‍රීසි කතා කරන්නන් සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයන් පැවතීමේ පදනම මත ඒවා මේ වනවිට දැඩි විවේචනයට බඳුන්ව ඇත. උපතේ සිටම සම්භාව්‍ය අයුරින් ඉංග්‍රීසි කතා කරන්නන්ට වුවත් ඉංග්‍රීසියෙන් වැඩකරන රටක පැවතිය හැකි බව පෙන්වීම සඳහා සිය ඉංග්‍රීසි දැනුම ඔප්පු කිරීමට සිදුවේ. ඇත්තෙන්ම සමහරවිට ඉංග්‍රීසි ප්‍රථම භාෂාව ලෙස කතා කරන බටහිර ජාතිකයකුට වඩා මෙවැනි අයකුගේ ඉංග්‍රීසි දැනුම උසස් වියහැකිය. මෙවැනි විවාද නිසා ‘ප්‍රමිතීන්’ යන ඒවා ඕනෑම තැනක භාවිතා කළහැකි විශ්වීය වශයෙන් වලංගු වන මිණුම් දඬු නොවන බවට වන දැනුවත් බව වර්ධනය වී තිබේ.  

පන්ති කාමරය තුළ මේ භාවිතයන් අදාළ කරගැනීමට මවිසින් අනුගමනය කරන එක් ක්‍රමයක් වන්නේ ඇගයුම් නිර්ණායක කල්තබා සිසුන්ට සන්නිවේදනය කිරීමයි. එම නිර්ණායක භාවිතයෙන් සිය මිතුරන්ට විනිශ්චයන් ලබාදීමේදී අදාළ ප්‍රමිතීන් තමා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ සවිඥානික වීම සිසුන්ගෙන් අපේක්ෂා කෙරේ. මෙමඟින් භාෂාව හා ඒ පිළිබඳ භාවිතයන් අප ජීවත් වන සන්දර්භය මත කොතරම් දුරට රඳා පවතීද යන්න සිසුන් වටහා ගනී. ඔවුන්ගේ අවසාන ඇගයුම් සඳහා භාවිතා කෙරෙන නිර්ණායක ඔවුන්ට සන්නිවේදනය කෙරෙන්නේ මින් පසුව වන අතර, මේ අවස්ථාව වනවිට එම නිර්ණායක පිළිබඳ විවේචනාත්මක එළඹුමක් ගැනීමට සිසුන්ට හැකියාව පවතී. මෙහි වඩා පුළුල් අරමුණ වන්නේ ප්‍රමිතීන් පිළිබඳ ඇති භීතිකාවෙන් සිසුන් මුදවා, ඒවා ගැන ප්‍රශ්න ඇසිය හැකි මට්ටමට ඔවුන් ළඟා කරවීමයි.

අවසන් ආවර්ජනා කිහිපයක් 

භාෂාව, එය ක්‍රියාත්මක වන සන්දර්භය තුළ තේරුම් ගැනීම කාලයක් ගතවන වැඩකි. එසේම එහිදී අප භාවිතා කරන ප්‍රමිතීන් විවිධ න්‍යාය පත්‍ර මඟින් බලපෑමට ලක්වන්න ආකාරය පිළිගැනීමට තරම් අවංක භාවයක්ද අවශ්‍ය වේ. ඉංග්‍රීසි ගුරුවරුන් වශයෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අපේ ආත්ම රූපීයත්වය පිළිගැනීමටද එමඟින් අපව යොමු කරවයි. ඒ හරහා සිදුවන්නේ තමා වැඩියෙන්ම පිළිබිඹු වන ප්‍රමිතීන් තෝරාගැනීමට සිසුවා දිරිමත් කිරීමත්, ඒ ඔස්සේ භාෂාව තමාගේම කරගැනීමට ඔවුන් යොමු කරවීමත්ය.