උසස් අධ්‍යාපනය තුළ අනුභූතීමය ඉගෙනීම (experiential learning) 

අවංකා ප්‍රනාන්දු 

ජනාධිපතිවරණයට පෙර අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවීමේදී බොහෝ දෙනෙකු අනාගතය සඳහා විවිධාකාර බලාපොරොත්තු අපේක්ෂා කරති. එහෙත් මෙම ප්‍රකාශයන්හි උසස් අධ්‍යාපනයට අදාළ කොටස් කියවීමේදී මීට වඩා අවධානය යොමු වන්න‍ේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සේවය කරන්නන් ලෙස මුහුණ දෙන ‘සැබෑ’ ප්‍රශ්න සහ අභියෝගයන්ටයි. ශාස්ත්‍රාලිකයන් එදිනෙදා ඉටුකරන දැවැන්ත වැඩ කොටස – එනම් නව දැනුම සම්පාදනය සහ ප්‍රකාශයට පත් කිරීමට ඇති පීඩනය තුළ තමන්ට අර්ථාන්විත ආකාරයේ පර්යේෂණ වල නියැලීමට ඉඩ ප්‍රස්ථා නොතිබීම, ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු මධ්‍යයේ පරිපාලන වගකීම් දැරීම, සිසුන්ගේ විවිධාකාර ගැටළුවලට පිළිතුරු සෙවීම, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ දෛනිකව සිදුවන ගනුදෙනුවල යෙදීම, අර්ථාන්විත ඉගෙනීමේ අත්දැකීමක් සිසුන්ට ලබාදීමට උත්සාහ කිරීම මෙම කර්තව්‍යට අයත් වේ. විශ්වවිද්‍යාලයේ එදිනෙදා ජීවිතය තුළ මේ වගකීම් පිළිබඳ සිතීමේදී, ‘අනුභූතීමය ඉගෙනීම’ (experiential learning) නැතහොත් අත්දැකීම් පාදක කොටගත් ඉගෙනීම යන සංකල්පයට මගේ අවධානය යොමු වුණි. එහෙයින් ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දශකයකට අධික කාලයක් තුළ සේවය කිරීමෙන් ලද ක්ෂේත්‍ර අත්දැකීම් සහ වීශේෂයෙන් 2024 වසර තුළ අප අධ්‍යයනාංශය මඟින් සිදුකළ ක්ෂේත්‍ර පර්යේෂණයක අත්දැකීම් වඩා නිශ්චිතවද මෙම ලිපියට පාදක වේ.     

මා සේවය කරන සමාජ විද්‍යා අධ්‍යනාංශය තුළ ආනුභූතීමය ඉගෙනීම වැදගත් කොටසක් ලෙස සළකනු ලබයි. සමාජ විද්‍යා ගෞරව උපාධිය හදාරන සිසුන් තෙවන වසරේදී ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණුවකට ගෙන යනු ලදි. ඔවුහු සිව්වන වසරේදී ස්වාධීන නිබන්ධනයක්ද ලියති. මෑතක සිට සිව්වන වසරේදී සීමාවාසික පුහුණුවක් (internship) සම්පූර්ණ කිරීමටත් ඔවුන්ට පැවරී තිබේ. මෙලෙස අපේ අධ්‍යනාංශය ඇතුළු ශාස්ත්‍ර පීඨයේ අනෙක් විවිධ අධ්‍යයනාංශ ඉගෙන ගැනීමේ විධික්‍රම අත්හදා බැලීමට සිසුසිසුවියන්ට විවිධ අවස්ථාවන්ද හිමිවේ. මේ වසරත් සුපුරුදු පරිදි අප‍ේ ගෞරව උපාධිය හදාරන සිසුන් විවිධ ප්‍රජා කණ්ඩායම්, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෙනත් පරිපාලන නිලධාරීන්, ප්‍රජා නිලධාරීන්, ප්‍රජා මූලික සමිති සාමාජිකයින් හා ප්‍රජාවේ වෙනත් පිරිස් වැනි පාර්ශව රාශියක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවන්ද ඔවුන්ට හිමිවේ. එහෙත් මෙම වැඩසටහන් සංවිධානය කිරීමේදී තිබුණු අභියෝග රාශියකට මුහුණ දුන් අතර මෙවැනි වැඩසටහන්වල දිගුකාලීන පැවැත්ම පිළිබඳ සිතන්නට සිදු වුණි. විශේෂයෙන්ම මූල්‍යමය සීමාවන් නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුළ  පුහුණු කිරීම් ඉදිරියට කළහැකි වේද යන්න පිළිබඳ විවිධ ප්‍රශ්න පැන නැගුණි. එසේම නිමැවුම්-පාදක අධ්‍යාපනය (outcome-based education) සහ සෙමෙස්තර ක්‍රමය කෙටි කිරීම නිසා සිසුන්ටද මෙවැනි ක්‍රියාකාරකම්වල නියැලීමටද සහ එය පිළිබඳ සිතීමට තිබුණු ඉඩප්‍රස්තා ඉතා අවම බව අත්දකින ලදි.    

ඉගෙනීම යනු ඉගෙනීම, ඉගෙන ගත් දෑ අත්හැරීම, හා නැවත ඉගෙනීම පිළිබඳ ක්‍රියාවලියකි 

අප අධ්‍යයනාංශය මෑතකදී ගිය ක්ෂේත්‍ර චාරිකාවේදී රත්නපුර දිස්ත්‍රික්කයේ තෝරා ගත් ගම්මාන පහකට ගියෙමු. සිසුන් සිය උදෑසන කාලය තමා ඉගෙනගත් පර්යේෂණ විධික්‍රම ක්ෂේත්‍රය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර අතර, සැන්දෑවේදී ක්ෂේත්‍රයෙන් ලබාගත් තොරතුරු බෙදාගනිමින් හා විශ්ලේෂණය කරමින් ගෙවුණි. 

පළමු දින සැන්දෑ කාලය අදාළ ප්‍රජාවන් පිළිබඳ ඉදිරිපත් කිරීම් සඳහා සිසුසිසුවියන්ට සිදුවුණි. මෙම කාලය තුළ අපි අත්දකින ලද පරිදි බොහෝ අදහස්වලට පදනම් වුණේ සිසුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් සහ සමාජීය පිළිබඳ පවතින පූර්ව ඒකාකෘතීන්ය. ඒවා පාදක කොටගෙන එම ප්‍රජාවන් හා ඔවුන් ජීවත් වුණ සමාජ ව්‍යුහයන් පිළිබඳ නිගමනද ඉදිරිපත් කෙරුණි. එම ඉදිරිපත් කිරීම් වලදී අදාළ ගම්මානය ‘දුෂ්කර’ එකක් ලෙසත්, අදාළ ප්‍රජාවන් ‘නූගත්’ හා ‘දුප්පත්’ ලෙසත් බොහෝ විට විස්තර කරන්නට පටන් ගන්නා ලදි. බොහෝ අවස්ථාවන්හිදී ප්‍රවාහන පහසුකම්, අධ්‍යාපනයට තිබුණ ප්‍රවේශය ගත්විට සම්පත් හා සෞඛ්‍ය සේවා වැනි දර්ශක අතින් බැලූ කල එම ගම්මාන ඇත්තෙන් යම් දුෂ්කරතාවලට මුහුණ දුන් දක්නට ලදි. එහෙත් මෙම ඉදිරිපත් කිරීම් වලින් අනතුරුව, ගුරුවරුන් විසින් ඒ සම්බන්ධ සිය අදහස් දැක්වීම තුළදී, එහිදී නිතරම මතුකරන ලද කරුණක් වූයේ එක් දිනක  ප්‍රජාවක් අධ්‍යයනය කිරීමක් මත පදනම්ව නිගමනවලට නොඑළඹෙන ලෙසත්, සමාජයේ මතුපිට පෙනෙන දෙයට වඩා ගැඹුරට අවතීර්ණය කළ යුතු බවත්ය.    

දෙවන හා තුන්වන දිනවලදී යනවිට පැහැදිලි වූ කරුණක් වූයේ ඉගෙනීම, ඉගෙන ගත් දෑ අත්හැරීම, හා නැවත ඉගෙනීමේ ක්‍රියාවලියක සිසුන් නිමග්න වන බවයි. නිදසුනක් ලෙස, තුන්වන දිනය වනවිට එක් සිසුවකු අදහස් දක්වමින් කියා සිටියේ මේ ප්‍රජාවන් මුලින් ‘නූගත්’ හෝ ‘දුප්පත්’ ලෙස සිතූ බවත් එලෙස නොවන බවත්, ඒ සමාජය තුළ විධිමත් අධ්‍යාපන පද්ධතියේ සාමාජිකයින් වන බොහෝදෙනා සිටින බවත් මොවුන්ගේ සිය අධ්‍යාපන අරමුණු පිළිබඳ කතා කළ බවත්ය. තවද අපේ සිසුන්ට අත්දැක්කේ සමහරුන් විධිමත් අධ්‍යාපනයක් නොලැබුණත් මොවුන් ඉගෙන ගත් නොවන අය ලෙස ප්‍රජාවේ සාමාජිකයන් ඒකාකෘත කරන්නටද නොහැකි බවයි. එනිසා මෙම ඉගෙනීමේ ක්‍රියාවලිය සිසුන්ගේ අදහස් පරිවර්තනය කරන ලද ඉතා වැදගත් අත්දැකීමක් බවට පත් විය.

ඉගෙනුම, ලෝකය හා ගනුදෙනු කිරීමේ ක්‍රියාවලියක් ලෙස 

අනුභූතීමය ඉගෙනීම තුළින් පන්ති කාමරයක සීමාවන් අභිබවා ගිය, බහුමානීය බාහිර ලෝකයාත් හා සමඟ ගනුදෙනු කිරීමේ අවස්ථාව සිසුන්ට ලබාදෙයි. සිය ක්ෂේත්‍ර චාරිකාවේ පළමු දින රජයේ නිලධාරීන් හා ප්‍රජා නායකයින් හමුවූ සිසුන් ඔවුන්ගේ අදහස්වලට සවන් දුනි. ඉන් අන්තුරුව ගම්මානවලට ගොස් ප්‍රජාවේ සාමාජිකයින් හමුවන ලදි. පළමු දින සැන්දෑවේ සිසුන් සිය අදහස් දැක්වීමේදී, ප්‍රජාවේ සාමාජිකයන් කියූ ලෙස රාජ්‍ය නිලධාරීන් ප්‍රජාව සමඟ දුර්වල සම්බන්ධයක් පවතින බව සිසුන්ගේ ඉදිරිපත් කිරීම්වලදී කතා කරන ලදි. මෙවැනි කියමනකින්එම නිලධාරීන්ට එක්තරා දෝෂාරෝපණයක් ඇතිවිය හැකි අතර, මෙහිදී අධ්‍යයන කාර්ය මණ්ඩලයට මතක් දිය හැකි වුණේ උදෑසන එම නිලධාරීන්ම දුන් ඉදිරිපත් කිරීම්ය. ඔවුන් එක්අතිකින් ඔවුන්ට තිබුණ අධික වගකීම් ප්‍රමාණය, රජයේ ඇස්තමේන්තු වලට එහා ගිය ජනගහණයක් එම ප්‍රදේශවල වාසය කිරීම සහ සිය කාර්යාලය හා ගම්මානය අතර ඉතා අධික දුර ප්‍රමාණයක් තිබුණ හේතුවෙන් ඔවුන්ට එදිනෙදා මුහුණ දීමට සිදුවන ගැටළු ආදිය පිළිබඳ අවධානය යොමු වූණි. එහෙයින් මෙහිදී සිසුන්ට ඉගෙන ගන්නට හැකි වූයේ යම් ප්‍රජාවක් අධ්‍යයනය කිරීම තූළදී එය දෙස තනිමානයකින් නොව එහෙත් එය බහුමානීය ලෙස බැලීමේ වැදගත්කමයි. තවද විවිධාකාර දෘෂ්ටිකෝණයන්වලින් ගැටළුවක් දෙස බැලීමටත්, විවිධ ප්‍රජාවන් තූළ පවතින සංකූලතා අවබෝධය කරගැනීම ඉගෙනීමට අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සිසුන්ට වැටහුණි.

ප්‍රජාවක් තුළ සාමූහිකව ඉගෙනීම හා ආවර්ජනය කිරීම 

තනි තනිව ඉගෙනීමේ සිට ඉගෙනුම් ප්‍රජාවක් නිර්මාණය කිරීම දක්වා සිසුන් ගමන් කිරීමේ ක්‍රියාවලිය තුළ ආනුභූතීමය ඉගෙනීම වැදගත් කර්තව්‍යයක් ඉටුකරයි. ක්ෂේත්‍රයේ ප්‍රජාවන්ගෙන් මෙන්ම ඔවුහු එකිනෙකාගෙන්ද ඉගෙන ගනිති. කාලාන්තරයක් තිස්සේ මෙම චාරිකාවලට සහභාගී වූ කාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාලට පැමිණි සිසුන්ගේ ප්‍රතිචාර පිළිබද තරමක් ව්‍යාකූල වී සිටින්නෙමු. විශේෂයෙන් COVID-19 වසංගතය හා ඉන්පසු උද්ගත වූ ජාතික අර්බුදවලට පසු කාලය තුළ ඉගෙනීම තුළ යම් වෙනසක් ඇති බව දක්නට ලැබුණි. එකිනෙකා සමඟ පැවතුණ අන්තර්ක්‍රියාව පෙරට වඩා අඩු වීම, නිතර තමන්ගේම ඡායාරූප (selfies) ගැනීමට තිබුණු උනන්දුව, සාමූහික ක්‍රියාකාරකම්වලට වඩා යම් අවස්ථාවන්හිදී තනිව වැඩකිරීමට ප්‍රිය කිරීම මේ අතර කැපී පෙනුනි. මෙය “Gen-Z පරම්පරාවේ හැටි” යැයි කියා එය අමතක කරන්නටත් එය පිළිබඳ විවේචනයේ යෙදෙන්නටත් අපට නොහැකි විය. මීට වඩා මෙමඟින් ඉගැන්වීමේදී ඉතා වටිනා අවස්ථාවක් ලෙස අපි මෙම අත්දැකීම් යොමු කරන ලදි. 

පන්ති කාමරය තුළ සිසුවා සහ ගුරුවරයා අතර ඇති දුරස්ථ සම්බන්ධය ක්ෂේත්‍ර චාරිකාවලදී වෙනස් වීමක් අත්දුටුවෝය. ක්ෂේත්‍රයේ ප්‍රජාව තුළ සිය ගුරුවරුන් ගනුදෙනු කරන ආකාරය සිසුහු බොහෝ විට අරුමයෙන් බලා සිටිති. එක් අවස්ථාවක ජේෂ්ඨතම ආචාර්යවරුන් කූඩැල්ලන් පිරුණ මාවත් නොබියව ගමන් කිරීමද, විවිධ ප්‍රජා උත්සවවලදී ප්‍රජාව හා සමග සෙරෙප්පු නොපැළද ගෙන ගිනිකාෂ්ටක අව්වේ ඇවිදීමද ඉතා ලෙන්ගතු ලෙස ප්‍රජාවේ කුඩා දරුවන් හා සමග බිම හිදගෙන කතාවේ යෙදීමද ඉතා ප්‍රබල අත්දැකීම්ද විය.  මෙම ක්ෂේත්‍ර චාරිකාවලදී වර්ධනය වන මේ සහෘද බව නිසා ගුරුවරයා ‘දෙවියෙකු’ ලෙස දැකීමෙන් සිට, තමා සමඟ ඇවිදින මඟ පෙන්වන මාර්ගෝපදේශකයකු වශයෙන් දකින තැනට සිසු-ගුරු සම්බන්ධතාව වෙනස් වේ.  

තවද සාමූහික ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වීම මෙවැනි චාරිකාවල ඇති තවත් වටිනාකමකි. විශේෂයෙන්ම මුලදී මූලිකත්වය ගන්නේ කණ්ඩායමක කැපී පෙනෙන අයවළුන් වුවත්, කාලයක් යනවිට ක්ෂේත්‍ර අධ්‍යයනයේදී කණ්ඩායම් ඉදිරිපත් කිරීම් සඳහා සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව වැටහෙත්ම, සාමූහිකව ඉගෙනීමේ වැදගත්කම සියළු දෙනාට වැටහෙන්නට පටන් ගැනුණි.

ආනුභූතීමය ඉගෙනීම විපරිවර්තනීය ක්‍රියාවලියක් ලෙස (transformative process) 

පාඔලෝ ෆ්‍රෙරේ (1974) දක්වා ඇති පරිදි ඉගෙනුම් ක්‍රියාවලිය යනු “ලෝකය පරිවර්තනය කිරීම සඳහා ඒ පිළිබඳ ආවර්ජනය කිරීම” සම්බන්ධ එකකි. ආනුභූතීමය ඉගෙනීම තුළ පර්යේෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් වන අතර, ගැටළු විසඳීම, මෘදු කුසලතා වර්ධනය කිරීම, සහ සාමූහිකත්වය ඉගෙනීම වැනි විවිධ අත්දැකීම් ලබා ගනු ඇත. ක්ෂේත්‍ර චාරිකාව තුළදීද එම ප්‍රජා කණ්ඩායම්වල පවතින ප්‍රශ්නවලට සිසුන් සහ අධ්‍යයනාංශයක් වශයෙන් අපට මැදිහත් වියහැකි ආකාරය පිළිබඳව කල්පනා කිරීමට සිසුන්ට අවස්ථාවන් ලැබුණි. ඒ අනුව ක්ෂේත්‍ර චාරිකාවේ ව්‍යුහය, භාවිතා කරන විධික්‍රම සහ න්‍යායන් වැනි දේ පවා වෙනස් කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ පවා සාකච්ඡා විය. 

උසස් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ කල්පනා කිරීමේදී මෙවැනි ආකාරයේ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් එය සඳහා මූල්‍යමය පහසුකම් සහ කාලය වෙන් කිරීමට පියවර ගත යුතුය. මෙම ලිපිය මුලදී කියූ පරිදි, ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කියවීමෙන් කළකිරීමට හේතු ඇත්තේ, ඒවා යම් අයුරින් නිදහස් අධ්‍යාපනයේ ව්‍යුහය තුළ එදිනෙදා විශ්වවිද්‍යාලීය ජීවිතයේ ප්‍රායෝගිකව මුහුණ දෙන අධ්‍යාපනික තත්වයන් සහ ඉගෙනී‍මේ ගැටලු සදහා විසදුම් නොමැති හෙයිනි. ජනාධිපතිවරණයට පසුව ඇති වී තිබෙන සන්ධර්භයේදී අධ්‍යාපනයට සුභවාදී වෙනසක් ඇතිවේ යැයි අපේක්ෂා කරන නමුත් මෙම වෙනස් වීම් දේශපාලන තත්වයන් තුළින් පමණක් ඇති නොවිය හැකි බව අවබෝධය කරගත යුතුය. 

විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වී තිබෙන අනුභූතීමය ඉගෙනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් උසස් අධ්‍යාපනය තවත් වැඩිදියුණු කිරීමටත් විශ්වවිද්‍යාල සිසුන්ට මිට වඩා හරවත් ඉගෙනීමක් ලබාදීමටත් හැකි වනු ඇත. මෙවැනි ක්ෂේත්‍ර වැඩසටහන් තුළින් පුද්ගලවාදයෙන් එහා ගොස්, බහුවිධ අනන්යතාවන් තිබෙන ඛණ්ඩනීය ලෙස තරගකාරිත්වයට මුල් තැන දෙන සමාජයක් තුළ සාමූහික ඉගෙනීමට සහ ඉගැන්වීමේ ප්‍රජාවන් නිර්මාණය කිරීමට අවස්ථාවන්ද ඇත. තවද සිසුන්ට විවිධ ආයතනික සහ ප්‍රජා මට්ටමෙන් වැදගත් පාර්ශව සමඟ සහයෝගීතාවයෙන් වැඩ කිරීමෙන් සහ එදිනෙදා ජීවිතයේ තිබෙන විවිධ අභියෝග පිළිබද සෘජුව අත්දැකීම් ලැබීමෙන් මීට වඩා නිහතමානී ලෙස සහ සහානුකම්පිත අවබෝධයකින් ඉගෙනීමේ ක්‍රියාවලිය තුළ යෙදිය හැක. ඉගෙනී‍ම පරිවර්තනීය ක්‍රියාවලියක් ලෙස සකස් කිරීමට හැකි වන්නේ එවිටය.