කොළ දෙකක් සහ අංකුරයක්: මලයියහ ප්‍රජාවගේ ඉතිහාසය, ශික්ෂණ ශාස්ත්‍රය ලෙස 

සිවමෝහන් සුමති 

මම මෙතැනදී කවියකු පිළිබඳ කතා කිරීමට කැමැත්තෙමි. කුරිංජිත් තේනවන් යනු ස්වයංව අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ඉගෙන ගත්තේ හෝ කවියකු බවට පත්වූයේ අපේ පාසල් හෝ විශ්ව විද්‍යාල තුළින් නොවේ. ඔහු ශ්‍රමිකයෙකි. අපේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ඔහු වෙනුවෙන් විවර නොවුනි. සිය ජීවිත කාලය තුළදී කවියකු ලෙස ඔහු කීර්තිය දිනා නොගත් අතර, දමිළ සාහිත්‍ය කවයන් හා දේශපාලන ක්‍රියාධරයින්ගෙන් පරිබාහිරව ඔහු පිළිබඳව දන්නේද ඉතා සුළු පිරිසකි. මෙම ලිපිය අවසානයේ ඔහුගේ කවි දෙකක පරිවර්තන දැක්වීමෙන් මා අපේක්ෂා කරන්නේ අපේ ඉතිහාසය විසංයෝජනය කිරීමෙන් සමාජ හා දේශපාලන විමුක්තිය පිළිබඳ සාමූහික පරිකල්පනයක් ගොඩනඟා ගැනීමයි.

2023 වසරේදී අපි 75 වසරක නිදහස සැමරුවෙමු. බ්‍රිතාන්‍යය සහ එහි අධිරාජ්‍යවාදීත්වය සමඟ සම්බන්ධතා කපා හැරීමෙන් පසු, පශ්චාත් යටත්විජිත හිරු යට තැනක් සොයාගැනීමට අපි වෙහෙස වීමු. අපේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයෙන් වැඩි ප්‍රමාණයක් සමාජ ව්‍යුහයන් තුළට කා වැදුණු ගැඹුරු ප්‍රචණ්ඩත්වය සහ මර්දනකාරී රාජ්‍යයෙහි ප්‍රචණ්ඩත්වය යන දෙකෙන් පිරී ඇත.අපේ වත්මනද එතරම් හොඳ එකක් නොවේ. යටත්විජිත අතීතයේ අවතාර වලින් එය පිරී ඇත. ගෝලීය උතුරේ නව යටත්විජිතකරණය හා නව අධිරාජ්‍යවාදය තුළිනි එය දිග හැරෙන්නේ. ඊට දී ඇති නම ගෝලීයකරණයයි. ආයෝජන ධනවාදය තුළින් ගෝලීය දකුණේ මිනිස් සම්පත ඇතුළු සියළු සම්පත් සූරාකෑමේ යථාර්ථය මේ නම විසින් මුවා කරනු ලබයි. 

2024 දී තවත් දරුණු වීමට නියමිත ආර්ථික අවපාතයක අපි අද සිරවී සිටින්නෙමු. නිතර සිදුවන මිළ ඉහළ යෑම් සහ සමාජ සුබසාධන කප්පාදු හමුවේ බහුතරයක් ජනතාවගේ අයිතීන් හා සුබසාධනය ඛාදනය වන අයුරු අපි අත්දකින්නෙමු. එන්න එන්නටම දුර්වල වන ආර්ථිකය අද බොහෝදුරට රඳා පවතින්නේ වැඩකරන පන්තියේ කාන්තා ශ්‍රමය මතය. එහෙත් ඔවුන්ගේ අයිතීන්ද තව තවත් ඛාදනය වෙමින් පවතී. 

2023 අපේ යටත්විජිත ඉතිහාසයේ තවත් සංධිස්ථානයක් ලකුණු කළ වසරකි. වසර 200 කට පෙර, එනම් 1823 දී, රටේ ප්‍රථම මහා පරිමාණ කෝපි වගාව සඳහා කඳුකරයේ ඉඩම් වෙන් කෙරුණි. ඉන්පසු දමිළ බස කතා කරන දකුණු ඉන්දියානු ශ්‍රමිකයින් ගණනාවක් ක්‍රමිකව කඳුකරයට පැමිණුනේ මුලින් කෝපි සහ පසුව තේ වගා කිරීම සඳහාය. ආරම්භයේදී කිහිප දෙනෙකු වශයෙන් පැමිණි පිරිස දශක ගණනාවකින් පසුව දස දහස් ගණනක් දක්වා වර්ධනය වුණි. මෙම කර්මාන්තයේ සාර්ථකත්වය නිසා පසුව එය ලංකාවේ අනන්‍යතාවය බවටද පත්විය. නමුත් මේ කිසිවක් තුළ ශ්‍රමිකයා සහ එම ප්‍රජාවගේ ඉතිහාසය නියෝජනය නොවේ.   

මේ ඉතිහාසය ස්ථානය පිළිබඳ එකකි; එය අවතැන් වීම සහ බලවත් පරිශ්‍රමය පිළිබඳ එකකි. යටත්විජිත ඉතිහාසය තුළ සිදුවූ අවතැන් වීම් පශ්චාත් යටත්විජිත යුගයටද කාන්දු විය. 1948-49 කාලයේ සම්මත කරන ලද පනත් ගණනාවක ප්‍රතිඵලයක් ලෙස උඩරට පලාත් වල වල වතුකර ප්‍රජාවට අයත් මිලියන ගණනක් පුද්ගලයන් සහ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට ඡන්ද අයිතිය අහිමි කරන ලදී. අද වනවිට මලයියහ දමිළ ප්‍රජාව ලෙස සිය නාමකරණය වෙනස් කරගෙන ඇති මේ ප්‍රජාව 1970 ගණන් මැද දක්වාම රටේ විදේශ විනිමයෙන් 56% ක් තරම් ප්‍රමාණයක් ඉපයූවේ කිසිදු අයිතියක් නොමැතිවය. ඔවුහු නිවහනක් තිබුණද රාජ්‍යයක් නොමැති ප්‍රජාවකි. 

මලයියහ ප්‍රජාව සහ අධ්‍යාපනය පිළිබඳ කාරණාවට ප්‍රවේශ වීමේදී පහත කරුණු වලට අවධානය යොමු කරනු කැමැත්තෙමි: 1) අපේ ඉතිහාසය අප තේරුම් ගන්නා ආකාරය; එනම් 75 වසරක නිදහස සහ වසර 200 ක වතුකර ඉතිහාසය, ඡන්ද බලය අහිමි කරනු ලැබූ ප්‍රජාවකගේ කර මතින් නිර්මාණය වූ අයුරු; 2) එම ඉතිහාස දෙක එකිනෙක හා මුණ ගැස්වීමේදී අධ්‍යාපනික වශයෙන් අපට කුමන ආකාරයේ පිළිතුරු ලැබෙන්නේද යන වග හා; 3) එම ව්‍යායාමය තුළින් අපේ ශික්ෂණ ශාස්ත්‍රය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කරන්නේ කෙසේද, අධ්‍යාපනය තුළ අපේ ප්‍රමුඛතා කෙබඳු විය යුතුද, සහ අධ්‍යාපනය කෙරෙහි එල්ල වන විවිධාකාර ඉල්ලීම් වලින් මතුකරන අභියෝග වලට කෙසේ මුහුණ දෙන්නේද යන වග. එක් අතකින් ලෝක බැංකුව සහ වෙළඳපොළ මඟින් එල්ල කරන පීඩනයන්ද, අනෙක් අතින් පරිවර්තනීය ආකාරයේ අධ්‍යපනයක අවශ්‍යතාවයද යන දෙකම පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරේ.  

අධ්‍යාපනය සහ මලයියහ ප්‍රජාව 

අපේ වසර 75 ක ඉතිහාසය තුළ පෙන්වීමට එතරම් දෙයක් නැතැයි අපට සිතෙන්නට පුළුවන. එහෙත් වත්මනේ අපේක්ෂා භංගත්වය සළකන විට, අපේ සිවිල් ජීවිතය තුළ වැදගත් භූමිකාවක් ඉටුකරන කරුණු දෙකක් දැක්වීම වටින බව හඟිමි: එනම් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පද්ධතියයි. එසේ වුවත්, සාමාන්‍ය මහජනතාව බලගන්වමින් ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ සහ ආර්ථික ජීවිතය තුළ ඔවුන්ට වැඩි පංගුකාරකමක් ලබාදුන් නිදහස් අධ්‍යාපනයෙහි දොරටු මලයියහ ප්‍රජාවට විවර නොවීය. නිදහස ලැබුණු මොහොතේ පවා වතුකරය වෙනුවෙන් ක්‍රියාත්මක වූයේ 1907 ග්‍රාමීය පාසල් ආඥා පනතයි. එමඟින් ප්‍රාථමික මට්ටමේ අධ්‍යාපනය මලයියහ ප්‍රජාවට ලබාදීම වතුකරයේ සමාගම් වලට අනිවාර්ය කෙරුණි. 1943 කන්නන්ගර වාර්තාව විසින්ද සිය ජාතිය ගොඩ නැඟීමේ ව්‍යාපෘතිය තුළ ඔවුන් අත්හැර දමන ලදී. අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මලයියහ ප්‍රජාව බලපෑමට ලක්වූ ආකාරය පිළිබඳ ඇන්ජලා ලිට්ල් විසින් සවිස්තරාත්මක පර්යේෂණයක් සිදුකොට තිබේ. ඇයට අනුව, 1905-47 දක්වා වූ කාලය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් මලයියහ ප්‍රජාවගේ තත්වය පශ්චාත් යටත්විජිත 1947-77 යුගයට වඩා සාධනීය විය. 1970 දශකයේ මැද භාගයේ සිට වතුකර පාසල් රජය මඟින් අත්කර ගනුලැබූ අතර, ඒ ඔස්සේ මලයියහ ප්‍රජාව ඒකාබද්ධ කරගැනීම ආරම්භ විය. 80 දශකයේ මැද භාගයේදී කඳුකර ප්‍රදේශ වල දමිළ මාධ්‍ය ගුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගැනුණු අතර, ඒ සඳහා ගුරු පුහුණු විද්‍යාල පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලදී.         

එසේද වුවත්, බොහෝ ශාස්ත්‍රාලිකයන් සහ ක්‍රියාකාරීන් දක්වා ඇති පරිදි වතුකර පාසල් වලට දිගින් දිගටම හිමිවූයේ දෙවැනි තැනකි. මූලික පහසුකම් පවා ඒවායෙහි බොහෝවිට නොමැත. මධ්‍යම පලාතේ සමහර තැන් කිහිපයක හැරුණු විට අනෙක් බොහෝ තැන්වල වතුකර සිසුන්ට ඉගෙන ගැනීමට සිදුවූයේ සිංහලෙනි. එය ඔවුන්ට බොහෝ සේ අනර්ථකාරී විය. එක් අතකින් පුරවැසිභාවය නොමැති වීමත්, අනෙක් අතින් ආර්ථිකමය වශයෙන් බලරහිත වීමත් විසින්, ජාතික අධ්‍යාපන ව්‍යුහයට ඔවුන් සම්බන්ධ වූ අයුරු බලපෑමට ලක්කොට තිබේ. 2003 වසරේ ‘මෑත කාලීන ඉන්දියානු සම්භවයක් සහිත පිරිස’ ට (Recent Indian Origin) ඡන්ද බලය ලබාදෙන තුරුම රටේ විශ්ව විද්‍යාල පද්ධතියට ප්‍රවේශය ලබාගැනීමට ඔවුන්ට ක්‍රමයක් නොවීය. නමුත් අද, අධ්‍යාපනය යනු සමාජ ප්‍රගමනයට ඔවුන්ට ඇති හොඳම තුරුම්පුවයි. වතුකර ප්‍රජාවගේ තරුණ පරම්පරාව විශාල සංඛ්‍යා වලින් විශ්ව විද්‍යාලයට ඇතුළත් වනු අද අපට පෙනෙන්නට තිබේ. නිදහස් අධ්‍යාපනයේ ඉතිහාසය මෙයයි. 

English Breakfast Tea: පරිවර්තනීය අධ්‍යාපන භාවිතයක් කරා 

නවලිබරල් විපරිවර්තන මඟින් අධ්‍යාපනයෙන් ඉවතට තල්ලු කෙරෙන විශාල පිරිස පිළිබඳ ගැටළුව ආමන්ත්‍රණය වන ආකාරයේ ප්‍රවේශයක් පරිවර්තනීය අධ්‍යාපන භාවිතයකට අවශ්‍ය වේ. මේ සඳහා ගතහැකි එක් ක්‍රියාමාර්ගයක් වන්නේ අප රටේ ඉතිහාසය පිළිබඳ ඉතා කඩාකප්පල්කාරී මැදිහත්වීම් කිහිපයක් කිරීමයි. ඒ සඳහා හොඳ ආරම්භක ලක්ෂ්‍යයකි අප රට තුළ මලයියහ ප්‍රජාවගේ ඉතිහාසය: ඔවුන්ට ඓතිහාසිකව අත්කර දී ඇති ආන්තික තත්වය, ලංකා ආර්ථිකය තුළ ඔවුන් ඉටුකරන ඉතා වැදගත් භූමිකාව, සහ තේ අරබයා ගොඩනැඟී ඇති ලංකා අනන්‍යතාව තුළ ඔවුන්ගේ නිහඬ දායකත්වය මෙතුළ සාකච්ඡා කළහැකිය.    

නිදසුනක් ලෙස මෙවැනි තත්වයක් පිළිබඳ සළකා බලන්න: English Breakfast Tea යනු ගෝලීය වෙළඳපොළ තුළ ඉතා ජනප්‍රිය ලාංකේය තේ වර්ගයකි. එහි අධිරාජ්‍යවාදී අක්මුල් ඉතා පැහැදිලිය. ගෝලීය අධිරාජ්‍යවාදයේ නිවුන් ව්‍යාපෘති වන යටත්විජිතකරණය සහ ධනවාදය මෙතැනදී සාමාන්‍යකරණය කොට තිබේ. ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල්, ගුවන් ගමන් සහ සම්මන්ත්‍රණ වල පවා මෙය ප්‍රවර්ධනය කෙරේ. මීට වසර කිහිපයකට පෙර අප රටේ අධිවේගී මාර්ග දිගට ප්‍රචාරණය කොට තිබූ වෙළඳ දැන්වීමක මෙම ප්‍රභූවාදය මොනවට පිළිබිඹු විය. එහි කියා තිබුණේ ‘Mlesna: ස්වාභාවිකවම හොඳම තේ’ (Naturally the Best) යනුවෙනි. පන්තිය සහ ප්‍රාග්ධනය පිළිබඳ බැහැර කරන සුළු (exclusive) ආඛ්‍යාන ස්වභාවික බව ඉන් හැඟවේ. වත්මනේ අප රටේ උසස් අධ්‍යාපන ආයතන වල පවතින නව ලිබරල් පරිසරය තුළ අපට කියා සිටින්නේද ධනේශ්වර සංවර්ධනය අරමුණු කරන ලෙසයි. ධනේශ්වර නිෂ්පාදන ක්‍රියාවලි ස්වභාවික බවත්, සාමාන්‍ය බවත්, පාරිභෝගිකයාට සහ වරප්‍රසාද ලත් කිහිප දෙනෙකුට වඩාත් උචිත බවත් ඉන් කියයි.  

කොළ දෙකක් ….

එහෙත් තේ යනු ආශ්චර්යයක් නොවන්නාක් මෙන්ම එහි කිසිදු ස්වාභාවිකත්වයක් නැත. එහි ඉතිහාසය ලේ වැකුණු, අහිමි කිරීම පිළිබඳ එකකි. ඉහත දක්වන ලද වෙළඳ දැන්වීම වැනි ප්‍රචාරණ මාධ්‍යයන් තුළින් ප්‍රවර්ධනය කරන්නා වූ තේ පිළිබඳ ආඛ්‍යානය තුළ එය ආශ්චර්යමත් එමෙන්ම ස්වභාවික දෙයකි. එවැනි ආඛ්‍යානයක් තුළ බොහෝ මකා දැමීම් තිබේ. ඉන් ප්‍රධානතම එකක් වන්නේ එම තේ නිෂ්පාදනයට වෙහෙස වන, පුරවැසිභාවය අහිමි කරන ලද ශ්‍රමිකයා පිළිබඳ කතාවයි. මෙම අවබෝධය නිසා තේ දෙස මා දැන් බලන්නේ පාරිභෝගික නිෂ්පාදනයක් ලෙස නොව, මානව ශ්‍රමයේ ලකුණක් ලෙසය. කොළ දෙකක් සහ අංකුරයක්: එය නිෂ්පාදකයා සහ කවියා යන දෙදෙනාම නියෝජනය කරයි.

මම මෙතැනදී කවියකු පිළිබඳ කතා කිරීමට කැමැත්තෙමි. කුරිංජිත් තේනවන් යනු ස්වයංව අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ඉගෙන ගත්තේ හෝ කවියකු බවට පත්වූයේ අපේ පාසල් හෝ විශ්ව විද්‍යාල තුළින් නොවේ. ඔහු ශ්‍රමිකයෙකි. අපේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ඔහු වෙනුවෙන් විවර නොවුනි. සිය ජීවිත කාලය තුළදී කවියකු ලෙස ඔහු කීර්තිය දිනා නොගත් අතර, දමිළ සාහිත්‍ය කවයන් හා දේශපාලන ක්‍රියාධරයින්ගෙන් පරිබාහිරව ඔහු පිළිබඳව දන්නේද ඉතා සුළු පිරිසකි. මෙම ලිපිය අවසානයේ ඔහුගේ කවි දෙකක පරිවර්තන දැක්වීමෙන් මා අපේක්ෂා කරන්නේ අපේ ඉතිහාසය විසංයෝජනය කිරීමෙන් සමාජ හා දේශපාලන විමුක්තිය පිළිබඳ සාමූහික පරිකල්පනයක් ගොඩනඟා ගැනීමටයි.

පිණිදිය 

පිණිදිය බිඳු කිහිපයක් 

මිහිතලයේ තරුණ, කන්‍යා ශරීරයෙන් වෑහුණු 

දහදිය හා කඳුළුයි ඒවා 

රාත්‍රියේ ප්‍රචණ්ඩ වැළඳ ගැනීම තුළ 

යෝධයා විසින් පාගා දමන ලද.

විප්ලවය 

අංකුර පිබිදේ 

විකසිත වෙයි; ඉන්පසු 

පොළොවට වැටේ 

තේ පඳුරු වලින්.

මැලවී, පිච්චී 

නාස්ති වී ගොස්.

අපි අපේ ජීවිත නාස්ති කරන්නෙමුද?

නැහැ,

අපේ ශ්‍රමය උරමින් පිම්බී ඇති  

ප්‍රග්ධනයේ තඩි බඩ

ඉරා විවර කළ විට,

අප ඉපදේ,

ලෙයින් පෙඟුණු 

මල් පොහොට්ටු.