ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම 

හසිනි ලේකම්වසම් 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔක්තෝබර් මුල පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ගෝලීය ඉල්ලුමට සරිලන ලෙස අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මෙය දැනට බොහෝ කාලයක සිට පවතින ප්‍රතිපත්ති ස්ථාවරයක් පුනරාවර්චනය කිරීමකි. එහෙත් ඉතිහාසයේ කිහිප වතාවක්ම මේ සැලසුම අපට වැරදුණු බවට වන දැනුම නොමැති බවද එම ප්‍රතිපත්ති ස්ථාවරය තරම්ම කාලයක සිට පවතින්නකි. ‘ගෝලීය අවශ්‍යතාව’ වන්නේ ලොව සියළු සමාජයන් ගෝලීය ධනවාදී වෙළඳපොලට අනුකලනය කරගැනීමයි. එහිදී යුරෝපයේ අධිරාජ්‍ය තැනීමේ ගමන තුළ නිර්මාණය කරන ලද අත්‍යන්ත අසමාන ගතිකත්වයන් ප්‍රතිනිෂ්පාදනය වීම වැළැක්විය නොහැක. මේ පද්ධතිය තුළ ලංකාව වැනි දියුණු වන ආර්ථිකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ අමුද්‍රව්‍ය හා ලාබ ශ්‍රමය සැපයීමේ මූලාශ්‍රයක් ලෙසත්, දියුණු ලෝකයේ කාර්මික හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය පැටවීමට කසළ බඳුනක් (මෙන්ම ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල නොවන භාණ්ඩ වලට වෙළඳපොලක්) ලෙසත් ක්‍රියා කිරීමය. මේ ලිපියේදී මගේ අරමුණ වන්නේ ලංකාවේ මෑත කාලීන උසස් අධ්‍යාපන ‘ප්‍රතිසංස්කරණ’ සැකෙවින් ඉදිරිපත් කිරීමත්, ඒ හරහා ගෝලීය ධනවාදී වෙළඳපොලෙහි අච්චුවට අපේ ආර්ථිකය වෙනස් කරගැනීමේ ක්‍රියාවලිය කෙසේ දිගහැරෙන්නේද යන්න ඉදිරිපත් කිරීමත්ය. ඒ තුළින් අවසාන වශයෙන් අරමුණු කරන්නේ මේ සැලැස්ම වැරදිය හැක්කේ කෙසේදැයි පෙන්වා දීමයි.  

ලංකාවේ මෑත කාලීන උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රාජ්‍ය අරමුදල් වලින් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ප්‍රදායක අරමුදල් වලට මාරු වීම ලංකාවේ ආරම්භ වන්නේ 1990 අග භාගයේ සිට, වඩාත් නිශ්චිතව 1997 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල සිටය. මේ ප්‍රතිසංස්කරණ එම යුගයේ සන්දර්භයට අදාළව වටහා ගතයුතු වේ. වාර්ගික අර්බුදයට සාකච්ඡාමය විසඳුමක් සෙවීමේ ක්‍රමයක් ලෙස මේ කාලය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පැවතුනි. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක බැංකුව වැනි ආයතන වලින් බොහෝ සංවර්ධන ආධාර ගලා එන්නට වූයේ කොන්දේසිත් සමඟය. යුධ කලාප වල මේ කාලයේ සිදුවෙමින් තිබූ නැවත ඉදි කිරීමේ කටයුතු වලටද මේ ආධාර අත්‍යාවශ්‍ය වූ නිසා මේ කොන්දේසි වලට අවනත වීම හැර වෙනත් විකල්පයක් නොවුනි. වඩා පුළුල් ගෝලීය සන්දර්භය තුළද මේ කාලය වනවිට 1970 ගණන් වල ආරම්භ කළ ව්‍යුහාත්මක අනුකූලන වැඩපිළිවෙලෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධාකාරයේ සමාජ පද්ධතීන් ගෝලීය ධනවාදී වෙළඳපොලට අනුකලනය වෙමින් පැවතුනි. එම නිසා 1990 ගණන් වල ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ ආරම්භ වූ මේ ක්‍රියාවලිය වඩා පුළුල් කතාවක එක් කොටසක් පමණක් බව සිහිතබා ගත යුතුය.

මේ ප්‍රතිසංස්කරණ වල මූලිකම අරමුණ වූයේ රටේ මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම හරහා ‘සේවා නියුක්තියට සුදුසු උපාධිධාරීන් නිර්මාණය කිරීම’ යි. සිය උපාධිධාරීන් ගෙන් වැඩි ප්‍රමාණයක් රැකියා සොයා ගන්නා STEM විෂයන් සඳහා විශේෂ අනුග්‍රහයක් ලැබෙන්නේ මෙම පදනම මතය. විවිධ ක්ෂේත්‍ර තුළ භාවිතය සඳහා හුවමාරු කළහැකි (transferable) සහ පැහැදිලිව ඔප්පු කළහැකි (demonstrable) කුසලතා මේ විෂයන් තුළ අවධාරණය කෙරෙන නිසාත්, විශේෂයෙන්ම ශ්‍රම වෙළඳපොළවල් ගණනාවක් හරහා සැසඳිය හැකි ආකාරයේ ශ්‍රම වියුක්තිකරණයක් (labour abstraction) ගෝලීය ධනවාදී වෙළඳපොළට අවශ්‍ය මට්ටමින් ලබාදෙන නිසාත්, STEM විෂයන්හි අනුගමනය කරන මාදිලිය මේ සඳහා වඩාත් සුදුසු එකක් බවට පත්ව ඇත. මේ විපරිවර්තනයේදී ජාතියේ සෞභාග්‍යය සලසන වෙළඳ භාණ්ඩය බවට පත්වන්නේ ශ්‍රමයයි; එම ශ්‍රමය වැඩිදියුණු කිරීම හරහාය ජාතික අභිලාශ මුදුන්පත් කරගත හැකි වන්නේ.   

2009 අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ මේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා තවදුරටත් අවධාරණය කෙරුණි. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල අවශ්‍යතාව පළමු වතාවට නිල වශයෙන් පිළිගැනෙන්නේ ද මේ ප්‍රතිපත්ති රාමුව තුළය. එසේම ලෝක බැංකුවේ අරමුදල් භාවිතයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල වල පළමු වරට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය වන Improving Relevance and Quality of Undergraduate Education (IRQUE) ව්‍යාපෘතියද ආරම්භ වන්නේ මේ වර්ෂයේදීය. ගෝලීය ධනවාදී වෙළඳපොලේ අවශ්‍යතා වලට අනුව රටේ ශ්‍රමය සකස් කිරීමේ පළමු පියවර වශයෙන් මෙය සැළකිය හැකිය.

2012 හඳුන්වා දුන් ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය [Sri Lanka Qualification Framework (SLQF)] තුළින් මේ නව ප්‍රවණතා ආයතනගත කරන ලදී. SLQF මඟින් මූලිකවම අරමුණු කරන්නේ අධ්‍යාපනය, රැකියා වෙළඳපොලට කියවාගත හැකි ආකාරයට අනුවර්තනය කිරීමයි. යම් දෙනලද අධ්‍යාපන මට්ටමකින් ලබාදෙන කුසලතා සමූහය, රැකියා වෙළඳපොලින් අපේක්ෂා කරන යම් යම් කුසලතා කට්ටල හා ගැළපීමේ මෙවලමකි එය. මෙහිදීද සිදුවන්නේ වෙළඳපොල සංඥා වලට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයෙන් ජාතික ශ්‍රම වෙළඳපොල පුහුණු කිරීමකි; එකී වෙළඳපොල කටයුතු කරන්නේ  ගෝලීය ධනවාදී වෙළඳපොලේ අධිපති බලයන් වල අවශ්‍යතා වලට අනුවය.  

2020 උසස් අධ්‍යාපනය සම්බන්ධ ජාතික විගණන කාර්යාලයේ  වාර්තාව, 2020-2030 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව, හා 2023-2033 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව යන ත්‍රිත්වයෙන්ම අරමුණු කළේ මේ වෙනස්කම් රටේ උසස් අධ්‍යාපන පද්ධතිය තුළ තවදුරටත් මුල් බැස්සවීමය. 

ගැටළුව 

රටේ සේවා වියුක්තිය හෝ ඌන සේවා නියුක්තියට විසඳුමක් වශයෙන් විවිධාකාර කුසලතා මට්ටම් වල ශ්‍රමය රටෙන් පිට පැටවීම හෝ විදෙස් වෙළඳපොල වල මුහුදෙන් එතෙර ක්‍රියාකාරකම් (offshore operations – තොරතුරු තාක්ෂණය වැනි) අප රට තුළ සිදුකිරීම දීර්ඝ කාලීනව කළ නොහැකි වනු ඇත. ඉහත දක්වන ලද ප්‍රතිපත්ති ස්ථාවරයන් හා ඒවා පිටුපස ඇති ගෝලීය මූල්‍ය අරමුණු විසින් අපේ ආර්ථිකයන් වල ඓතිහාසික පසුබිම හෝ අද අප ගන්නා තීරණ කෙරෙහි ඒවායේ බලපෑම සැලකිල්ලට ගන්නේ නැත.ගෝලීය වෙළඳපොල සංඥා වලට පමණක් ප්‍රතිචාර දැක්වීම වැරදිය හැකි ආකාරය පිළිබඳව බර්න්ස්ටයින්ගේ (2003: 11) පහත උදාහරණය සළකා බලන්න:

සිය රටේ අතිරික්ත ධාන්‍ය හා සෝයා තෙල්, ඇමෙරිකාව විසින් භූගෝලීය උපාය මාර්ගික අරමුණු සඳහා දියුණු වෙමින් පවතින රටවලට ප්‍රදානය කරන ලදී. මේ තාක් මේ කරුණු අතින් ස්වයංපෝෂිතව සිටි රටවල් මෙම ආධාර නිසා ඇමෙරිකානු ධාන්‍ය මත යැපෙන්නට පටන් ගැනුණි. එහිම ප්‍රතිඵලයක් වශයෙන් දියුණු වෙමින් පවතින රටවල් ගෝලීය වෙළඳපොල තුළ අත්‍යාවශ්‍ය නොවන ආහාර සම්පාදනය කිරීම ආරම්භ කළ අතර, ඊට අළුතෙන් යටත්විජිතහරණය වූ ආසියානු සහ අප්‍රිකානු රටවල්ද සම්බන්ධ විය. මේ බොහෝ රටවලට, සිය රටවල් තුළ ආනයන-වෙනුවට-කාර්මීකරණය කිරීමේ ව්‍යාපෘතීන් (import substituting industrialisation) සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීම සඳහා තිබූ එකම මාර්ගය ගෝලීය වෙළඳපොලට කෘෂිකාර්මික හා ඛණිජමය අමුද්‍රව්‍ය සැපයීමයි. අත්‍යාවශ්‍ය ආහාර සඳහා බාහිර ආනයන මත යැපීම එන්න එන්නටම වැඩි වීමත්, ඔවුන් සම්ප්‍රදායිකව අපනයනය කළ භෝග වලට (ඇමෙරිකානු භෝග නිසා) ගෝලීයව ලැබුනු වටිනාකම එන්න එන්නටම අඩු වීමත් තුළින් අර්බුදයක ලකුණු පහළ වන්නට විය.  

ගෝලීය ආර්ථිකයේ ව්‍යුහාත්මක සැකැස්ම සැළකූ විට මේ රටාව ප්‍රතිනිෂ්පාදනය නොවීමට හේතුවක් නැත. ගෝලීය උතුරේ නගර තුළ මේ වනවිට දේශගුණික විපර්යාස පිළිබඳ ඉතා ජීවී සංවාදයක් ආරම්භව ඇති අතර, අර්බුදය කළමනාකරණය කිරීමේ පියවරක් වශයෙන් ආර්ථික ප්‍රසාරණය අඩු කිරීම ඔස්සේ පරිභෝජනය සීමා කිරීම යෝජනා වී තිබේ. ගෝලීය මධ්‍යයෙන් එන පරිභෝජන සංඥා වලට ප්‍රතිචාර දැක්වීම මත පමණක් ජීවත් වන අප වැනි ආර්ථිකයන්ට (විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වැනි) මෙමඟින් මාරු පහරක් එල්ල වනු ඇත. ශාස්ත්‍ර සහ කළමනාකරණ පීඨ වල මෑත කාලීනව හඳුන්වා දී ඇති, එමෙන්ම දිනෙන් දින වැඩිවන සංචාරක කර්මාන්තයට අදාළ පාඨමාලා වැනි දෑ මෙවැනි තත්වයක් තුළ කොතරම් උචිත දැයි නැවත සිතා බැලිය යුතුය.  

සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය වැඩිවීම තුළින් මතුවන රැකියා වෙළඳපොල සහ ජීවන අවස්ථා සඳහා ඇති තරඟය තීව්‍ර වීම එම රටවල් තුළ තවදුරටත් අර්බුද ඇතිකොට තිබේ. මේ නිසා වර්ගවාදය තව තවත් මුල්බැස ගන්නා අතර, ඊටත් වඩා මෙතැන වැදගත් වන්නේ අපේ ආර්ථිකයන් හා ඒ මත පදනම් වූ අධ්‍යාපන පද්ධතීන් වලට එමඟින් සන්නිවේදනය කරන පණිවුඩයයි.

සමාලෝචනයක් වෙනුවට

කොටින්ම මින් මා කියන්නට උත්සහ කරන්නේ ගෝලීය වෙළඳපොල සංඥා වලට අන්ධානුකරණයෙන් ප්‍රතිචාර දැක්වීම නුවණට හුරු නොවන බවයි. මන්ද, එකී ගෝලීය වෙළඳපොල ඓතිහාසිකවම සැකසී ඇත්තේ මධ්‍යයේ පිහිටි රටවල අභිලාෂ සාධනය කිරීම සඳහා වන නිසාය. එසේ කිරීමේදී පරිධියේ පිහිටි රටවලට හානියක් වුවද එම පද්ධතියට එය ගැටළුවක් නොවේ. එම නිසා ගෝලීය ආර්ථික පද්ධතිය තුළ අප සිටින්නේ කොතැනද යන්නත්, ඒ මත පදනම්ව අපේ ආර්ථික සහ දේශපාලන ප්‍රමුඛතා මොනවාද යන්නත් පිළිබඳ නැවත සිතා බැලිය යුතුය. ඒ හා සමානම හදිසියකින් අප කළයුතු තවත් දෙයක් වන්නේ පිටරට පැටවීම වෙනුවට රට තුළ රඳවාගෙන විවිධ අංශ දියුණු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමයි. මින් අදහස් කෙරෙන්නේ ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතා කැප හැරීම නොවේ; නමුත් ඒවා සිදුවන පදනම සහ ඒවායෙහි දිශානතිය යන දෙකම වෙනස් කළයුතුව ඇත. අප ගෝලීය ප්‍රාග්ධනය ගලායන වාහකයක් ලෙස පමණක් කටයුතු කරන්නේ නම්, සහ අපේ අධ්‍යාපන පද්ධතිය එම අරමුණ සාධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන්නේ නම්, ධනවත් රටවලට හෙම්බිරිස්සාවක් හැදෙන විට අපට නියුමෝනියාව හැදීම වැළැක්විය නොහැකි වනුඇත.