ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අධ්‍යාපනයේ විස‍්‍රාවණය

අහිලන් කදිර්ගාමර් 

නිදහස් අධ්‍යාපනය අපේ සමාජයේ ශක්තිමත්ම ස්ථම්භයකි. ඉතිහාසයේ පළමු වරට ලංකාව සිය බාහිර ණය නොගෙවීම නිසා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණයකරුවන්ගේ ණය සමථකරණයට ඉදිරිපත් වීම අධ්‍යාපනයට බලපාන්නේ කෙසේදැයි විභාග කිරීම මේ ලිපියේ අරමුණයි.   

විදේශ විනිම අර්බුදයත් සමඟ බාහිර ණය ගෙවිය නොහැකි බව ලංකාව ප්‍රකාශ කර සිටින්නේ 2022 අප්‍රේල් මාසයේය. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වන ණය වල බාහිර ණය පමණක් නොව, රුපියල් වලින් ලබාගන්නා ලද දේශීය ණය මත පදනම් වූ මූල්‍ය අයවැය (fiscal budget) ද වේ. මේ ණය වර්ග දෙක එකට බද්ධ කොට දැක්වීමෙන් නව ලිබරල් පද්ධතිය අරමුණු කරන්නේ බාහිර ණයකරුවන්ගේ ණය නැවත පියවීම සඳහා බදු වැඩි කිරීමත්, පොදු වැය අඩු කිරීමත් තුළින් අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කර ගැනීමයි. ආනයන වලට කරන වියදමට වඩා විදේශ විනිමය උත්පාදනය කිරීම තුළින් විසඳිය හැකි බව කියන බාහිර ණය අර්බුදයත්, රජයේ වියදම ආදායමට වඩා අඩු කිරීම තුළින් විසඳිය හැකි බව කියන අභ්‍යන්තර ණය අර්බුදයත් යන ‘නිවුන් හිඟයන්’ එකට යා කිරීම ඔස්සේ විසඳුම වශයෙන් ළඟා වී ඇති වියදම් කපා හැරීමේ පිළිවෙත (austerity) නිසා රට මේ වනවිට බොහෝ පීඩිත තත්වයකට පත්ව තිබේ.    

බාහිර සහ අභ්‍යන්තර ණය මෙසේ එකක් ලෙස සැළකීම IMF ආයතනය සහ ලෝක බැංකුව විසින්ද සහයෝගය දක්වන ප්‍රවේශයකි. මේවා මඟින් වර්තමානය වනවිට ලංකාවේ පොදු සේවා සඳහා කරන වියදම් සහ ආර්ථික ප්‍රතිපත්තිය යන කරුණු වල දිශානතිය තීරණය කෙරේ. මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයටද පොදුය. ඊට වෙන්කරන අරමුදල් ප්‍රමාණය, වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය කෙරෙන පුනරාවර්තනීය වියදම්, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන වියදම් වැනි සියළුම දේ මූලිකවම තීරණය කරන්නේ ඔවුන් විසිනි. මේ තුළ නිදහස් අධ්‍යාපනයේ දුර්වල වීමක් දැකගත හැකිය.  

ප්‍රමුඛතා සහ වැය කප්පාදු කිරීම් 

2023 මාර්තු මාසයේ ලංකාව අත්සන් තැබූ IMF ගිවිසුම, එවැනි ගිවිසුම් වල දෙබිඩි භාවය පෙන්විය හැකි හොඳ නිදසුනකි. පවතින ආර්ථික අර්බුදය සාමාන්‍ය ජනතාවට ඇතිකරන බලපෑම පිළිබඳ තමන් කරදර වනබව IMF ආයතනය කිව්වද, සාර්ව මට්ටමේ ආර්ථික දර්ශක අරබයා ඔවුන් පනවා ඇති කොන්දේසි තුළින් කියවෙන්නේ වෙනමම කතාවකි.

ජනපති හා මහ බැංකු අධිපති විසින් එම ගිවිසුම තුළ පහත කොන්දේසි වලට එකඟ වී ඇත:

“ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙනුවෙන් දැනට කරන වියදම අඩු නොකොට රජයේ ආදායම් මට්ටම වැඩිකිරීම සඳහා, තාර්කික පදනමක් මත වියදම් සිදුකිරීම (expenditure rationalisation) ට අපි කැප වන්නෙමු. පුනරාවර්තනීය වියදම් අඩු කිරීම සඳහා රාජ්‍ය සේවයේ වැටුප් බිල තවදුරටත් වැඩි නොකිරීමටත්, පොදු විශ්‍රාම වැටුප් ක්‍රමය පැවැත්වීම වෙනුවෙන් කරන වියදම ප්‍රසාරණය වීම සීමා කිරීමටත් අප උත්සාහ ගන්නේ, වැටුප් කප්පාදු කිරීම් මඟ හැරීම සහ උද්ධමනයට අනුපාතිකව වැටුප් වර්ධක ලබාදීම යන කරුණුද සිහිතබා ගනිමිනි. පවතින සීමා හමුවේ ප්‍රාග්ධන වියදම් අවම කිරීමේ අරමුණ පෙරදැරිව, 2018 IMF වාර්තාවෙන් පෙන්වාදුන් පරිදි පොදු ආයෝජන වල කාර්යක්ෂම බව වැඩිකිරීමට අවශ්‍ය පියවර ගැනීමට අප උත්සාහ කරන්නෙමු. තාර්කික පදනමක් මත වියදම් සිදුකිරීම තුළින් මූල්‍ය ස්ථායිතාවය වැඩිකිරීම සිදුකරන්නේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණ වලට කරන වැය අඩු නොකරන අතරේය.” (2023 මාර්තු මස IMF ගිවිසුම, පිටු අංක 89)

සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා වලට කරන වැය දිගටම පවත්වා ගැනීම, වැටුප් කප්පාදු නොකිරීම සහ තාර්කික පදනමක් මත වියදම් සිදුකිරීම තුළින් මූල්‍ය ස්ථායිතාවය වැඩිකිරීම යන අරමුණු ත්‍රිත්වය එකිනෙකට පටහැනිය. මන්ද, එමඟින් වියදම් කිරීමත් කප්පාදු කිරීමත් එකවිට පොරොන්දු වන බැවිනි. මෙය බොහොමයක් IMF වැඩසටහන් වල දැකිය හැකි ලක්ෂණයකි.

IMF හි වැය කප්පාදු කිරීමේ වැඩසටහන (austerity programme) විසින් පොදු සේවා වලට සිදුකරන වියදම කප්පාදු නොකරන බවට කොතරම් පොරොන්දු ලබාදුන්නද, ඒ සඳහා වෙන්කෙරෙන අරමුදල් වල සැබෑ වටිනාකම පහත බැස ඇතිබව 2023 මුදල් අමාත්‍යාංශ වාර්තාව පිරික්සූ විට පෙනේ. 2021 සහ 2023 අතර ලංකාවේ ජීවන වියදම 100% කින් වැඩි වී ඇති අතර, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයද 50% කින් අවප්‍රමාණය වී ඇත. මේ කාලය ඇතුළත අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ අරමුදල් වල නාමික වැඩිවීම 22.5% කි; උසස් අධ්‍යාපනය කෙරෙහි එම වැඩිවීම 13.1% කි.  

IMF වැඩසටහන් වල මූල්‍ය ස්ථායිතාවය වැඩිකරගන්නේ පොදු සේවා සඳහා දරන වියදම උද්ධමනයට සාපේක්ෂව වැඩි නොකිරීම තුළිනි. එනම් එම සේවා සඳහා වෙන්කෙරෙන අරමුදල් වල ප්‍රතිශතය වැඩි වූවාක් සේ පෙනුනද, දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව එහි සැබෑ වටිනාකම ඇත්තෙන්ම අඩුවන බවයි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ වැටුප් වල යම් වැඩිවීමක් මේ වසරේ දක්නට ලැබුණු අතර, අනධ්‍යයන කාර්ය මණ්ඩලයද මේ දිනවල එවැනි වර්ධකයක් බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ සිටිති. දිනෙන් දින වැඩිවන උද්ධමනය හමුවේ මෙම ඉල්ලීම් ඉතා සාධාරණ වුවද, මෙම වැටුප් වර්ධක ලබාදෙන්නේ පවතින අධ්‍යාපන අයවැයෙන් මිස, අධ්‍යාපනය සඳහා අළුතෙන් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමෙන් නොවන බව අප සිහිතබා ගත යුතුය. මන්ද, එම වෙන්කිරීම් වැඩි කිරීමට IMF වැඩසටහන ඔස්සේ ඉඩක් නොලැබෙන බැවිනි. වෙනත් වචන වලින් කියන්නේ නම්, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිවීම් වලදීද සිදුවූවාක් මෙන්, මෙවරද සිදුවනු ඇත්තේ උසස් අධ්‍යාපනය සඳහා කෙරෙන ප්‍රාග්ධන වියදම් වලින් මුදල් අඩුකොට මෙම ඉල්ලීම් ලබාදීමය.  

අරමුදල් කප්පාදුව සහ පෞද්ගලීකරණය 

මෙම පියවර වල අරමුණ වන්නේ අධ්‍යාපන අරමුදල් කප්පාදුව තුළින් පෞද්ගලීකරණයට පාර කැපීමත්, අධ්‍යාපනයේ සම්පත් උරාගැනීමට පෞද්ගලික අංශයට අවස්ථාව ලබාදීමත්ය. නිදසුනක් ලෙස ගාස්තු ගෙවීමේ පදනම මත ලබාදෙන පාඨමාලා තුළින් හැකිතරම් සිය අරමුදල් සම්පාදනය කරගන්නා ලෙස විශ්ව විද්‍යාල වලට දැන් උපදෙස් ලැබී තිබෙන්නේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අවතක්සේරු කරමිනි. මෙය ඉතා ඉක්මණින් සමස්ත අධ්‍යාපන පද්ධතියටම අදාළ ප්‍රවණතාවක් බවට පත්වනු ඇත. 1980 ගණන් වල IMF සහ ලෝක බැංකුව සමඟ එක්ව කරගැනීමට ජේ. ආර්. ජයවර්ධනට නොහැකි වූ දේ, ණය ගෙවීමේ වෙනත් ක්‍රමයක් නොමැති බව පවසමින් වත්මන් රජය විසින් ප්‍රවර්ධනය කරනු ලබයි.

අධ්‍යාපනයට වෙන්කෙරෙන අරමුදල් අඩු කිරීම දැනට දශක ගණනාවක් තිස්සේ ලංකාවේ පවතින ප්‍රවණතාවකි. 1970 ගණන් වල දල දේශීය නිෂ්පාදිතයෙන් 5% ක් වූ එය 2022 වනවිට 1.2% ක් දක්වා පහත බැස ඇත. එය ලොව අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන අවම වෙන්කිරීම් අතරින් එකකි. එහෙත් ලංකාව තෘතීයික මට්ටම දක්වාම නිදහස් අධ්‍යාපනය ලබාදෙන අවසාන බලකණුවක් බවද නැවත මතක් කළයුතුය. නමුත් වත්මන් ප්‍රතිසංස්කරණ නිසා අධ්‍යාපනය ධනවතුන්ගේ වරප්‍රසාදයක් බවටත්, වාණිජ ලාභ ලබාගත හැකි මාර්ගයක් බවටත් පරිවර්තනය වෙමින් පවතී.  

මේ සම්බන්ධයෙන් කුමක් කළ හැකිද? මේ මොහොතේ රටේ බුද්ධිමතුන් පිටට වැටෙන වගකීමක් ඇත. එනම් සමාජ සුබසාධනය වෙනුවෙන් කෙරෙන වියදම් අඩු කිරීමෙන් තොරව ණය නැවත ගෙවිය හැක්කේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් බව පෙන්වා දීමයි. ලංකාවට බාහිර ණය ලබාදී ඇති ණයකරුවන් බොහොමයක් ඉතා ඉහළ පොලී ඔස්සේ දැනටමත් එම ණය හා සෑහෙන ලාභයකුත් ලබාගෙන ඇත. එම නිසා ඉතිර ණය මුදලෙන් යම් ප්‍රමාණයක් (හෝ මුළු ප්‍රමාණයම) කපා හැරීම ගැටළුවක් විය නොහැක. රටේ ණය තිරසාරත්වය සම්බන්ධයෙන් IMF ආයතනය සිදුකොට ඇති තක්සේරුව (debt sustainability analysis) ට විකල්ප තක්සේරුවක් අප දේශීයව ඉදිරිපත් කළයුතුය. එසේම මෙම කරුණු ළඟ එන මැතිවරණ වලදී විවාදයට ගැනෙන ඒවා බවටත්, මැතිවරණයෙන් අනතුරුව රටේ ආර්ථික ප්‍රතිපත්ති දිශානතියට බලපෑම් කරන ඒවා බවටත් පත්කිරීම අපේ වගකීමක් වේ. අධ්‍යාපනයේ වාණිජකරණය නැවැත්වීමටත්, ධන බදු පැනවීම වැනි මාර්ග තුළින් අධ්‍යාපනය සඳහා කෙරෙන වෙන්කිරීම ඉහළ දැමීමටත් පුරවැසියා විරෝධතා ඇරඹිය යුතු වේ.