කෞශල්‍යා පෙරේරා
2024 මහ මැතිවරණයේදී බොහෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මැතිවරණ වේදිකාවල පෙනී සිටි අතර ඉන් පසු පාර්ලිමේන්තුවටද සැලකිය යුතු සංඛ්‍යාවක් තේරී පත් වූහ. ඔවුන්ගෙන් සමහරක් දැන් අමාත්‍ය ධූර දරති. තවත් සමහරු වෙනත් විවිධ ආයතනවල උසස් තනතුරු වලට පත් වී ඇත. එනිසා, කථිකාචාර්යවරු වන අපිට, පන්තියක් ලෙස, හුරුපුරුදු මුහුණු ප්‍රවෘත්තිවල දැකීම දැන් පුදුමයක් නොවේ. මෙය විශ්ව විද්‍යාලය දේශපාලනීකරණයට නව හැරවුමක්ද?
2012-2014 වසර වලදී මගේ ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සමඟ කළ සම්මුඛ සාකච්ඡා වලදී ඔවුන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය දේශපාලනීකරණය වී ඇති සැටි විස්තර කළහ. ඒ පිළිබඳ පොදු අදහස වූයේ දේශපාලනීකරණය යනු බාහිරින් එන ඇඟිලි ගැසීමක් බවයි. එනම් දේශපාලනීකරණය යනු දේශපාලනඥයෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට (UGC) හෝ විශ්ව විද්‍යාලවල ක්‍රියා වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හෝ ඒවායේ ඉහළ තනතුරුවලට තම ගෝලබාලයන් පත් කිරීමට උත්සාහ ගැනීම බවයි. විශ්ව විද්‍යාල දේශපාලනීකරණයේ ආරම්භය 1970 ගණන් බව එක් කථිකාචාර්යවරයෙක් සඳහන් කළේ ය. මෙවැනි දේශපාලනීකරණය අද දක්වාම අඛණ්ඩව පවතී – අධ්‍යාපන අංශයෙන් පිටත රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට කථිකාචාර්යවරු අනුබද්ධ කිරීම අපි දැක ඇත්තෙමු. (රාජ්‍ය නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකු වෙනත් රාජ්‍ය ආයතනයක රාජකාරි භාර ගැනීමට නිවාඩු ලබා ගන්නා විට එය සෙකන්ඩ්මන්ට් නොහොත් තාවකාලික අනුයුක්ත කිරීමකි). මෙම විධිවිධානය පවතින්නේ රජයට අවශ්‍ය විශේෂඥ දැනුම ලබා ගැනීමට පහසු කිරීමටය. උදාහරණයක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශයට ළමා භාෂාව පිළිබඳ විශේෂඥයෙකු අවශ්‍ය වූ විට ඒ පිළිබඳ විශේෂඥ කථිකාචාර්යවරයෙක් අමාත්‍යාංශයට තාවකාලිකව අනුයුක්ත කරගත හැක.
මෙවැනි අනුයුක්ත කිරීම් නිශ්චිතවම නුසුදුසු අවස්ථාවන්හිදී සිදු වූ විට, ඒ ගජ මිතුරුවාදය සහ දේශපාලනීකරණය බවට විරෝධතා සහ චෝදනා එල්ල වී තිබේ. එහෙත්, දීර්ඝතම කාලයක් තිස්සේ දේශපාලනීකරණය උසස් අධ්‍යාපනයට ඇතුළු වී ඇත්තේ මෙලෙස නොව විවෘතවම නීත්‍යානුකූල ක්‍රම මගින් වන අතර, එනිසාම එය අප බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවී ය. උදාහරණයක් ලෙස ස්ථිර කථිකාචාර්ය තනතුරක් සඳහා අයදුම් කරන්නා, තෝරා ගන්නා පටිපාටියේ දක්වා ඇති අපේක්ෂිත සුදුසුකම් දක්වා ඇති අයදුම්පත් කැඳවීමකට ප්‍රතිචාර දක්වන්නේය. එලෙසම වෙනත් තනතුරු සඳහාද බඳවා ගැනීමේ පටිපාටි හෝ අවශ්‍ය සුදුසුකම් නම් කර ඇත, උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්ව සහතික අධ්‍යක්ෂ වැනි තනතුරු. එහෙත්, බඳවා ගැනීමේ යෝජනා ක්‍රමයකින් තොරව හෝ තේරීම් මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලැයිස්තුවකින් තොරව පත් කරනු ලබන තනතුරු විශාල සංඛ්‍යාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබේ. තනතුරට පත් කරන්නාගේ නම රටේ ජනාධිපතිවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් තොප්පියකින් ටයි පටියක් ගන්නා සේ ඉදිරිපත් කරනු ලැබේ. පනතක හෝ රෙගුලාසියක මේ තනතුරු වලට පත් කිරීමේ යම් මාර්ගෝපදේශක මූලධර්මයක් දක්වා තිබිය හැකි වුවත්, එය ‘පත් කිරීමේ අධිකාරිය’ට අවශ්‍ය අයෙකු පත් කිරීමට අවශ්‍ය තරම් දුර්වල ඒවා වේ. ඉන්ද්‍රජාලිකයාගේ සේද ටයි පටිය මෙන්, මේ පදවියට පත්වන නම් පුදුමයක් වන්නේ ප්‍රේක්ෂකයින්ට පමණි.
උදාහරණ ලෙස 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ විධිවිධාන දෙස බලමු.
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, උප සභාපති සහ කොමිෂන් සාමාජිකයින් පස් දෙනා පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි.
- ඉන්පසු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එහි අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පත් කර ගනු ලැබේ. ඔවුන්ට අවශ්‍ය නම් මේ සඳහා වෙනත් රාජ්‍ය ආයතනවලින් රාජ්‍ය සේවකයින් අනුයුක්ත කරගත හැක. සුදුසු යැයි සිතන පරිදි ස්ථාවර කමිටු හෝ තාවකාලික කමිටු පිහිටුවා ඒවාට සාමාජිකයින් පත් කළ හැකිය. මෙම කමිටුවල සභාපතිත්වය දරන්නේ කොමිෂන් සාමාජිකයින් මය .
- රාජ්‍ය විශ්වවිද්‍යාල පාලනය කරන ප්‍රධාන ආයතනය වන කවුන්සිලයෙන් අඩක් පමණ පත් කරනු ලබන්නේ ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. ඒ හැර කවුන්සිලයක විශ්වවිද්‍යාලයෙන් නිල බලයෙන් පත් වන සාමාජිකයින් ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශ්ව විදාල පනතට අනුව තීරණය කරන ලද පුද්ගලයින් ද ඇතුළත් වේ. මෙම ප්‍රමාණය විශ්වවිද්‍යාලය අනුව වෙනස් වන අතර එලෙස පත් කරන ලද සාමාජිකයින් සංඛ්‍යාව 15 දෙනෙකු තරම් වැඩි විය හැකිය. වර්තමානයේ, විශ්වවිද්‍යාල 17 ක් මෙම පනත මගින් පාලනය වේ. ඒ සෑම විශ්වවිද්‍යාලයකම කවුන්සිලයේ මෙලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පත් කරන ලද සාමාජිකයින් සිටිති. මෙයට අමාත්‍යවරයාගේ නියෝජිතයින් ද අයිතිය.
විශ්ව විද්‍යාල පාලනයට මැතිවරණ චක්‍රය බලපාන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් දැන් ඔබට තිබිය යුතුය. මෙම පත්වීම්වලින් සමහරක් සඳහා දේශපාලනඥයෙකුට ප්‍රයෝජනවත් වීමට තරම් අපැහැදිලි ක්‍රියාපටිපාටි තිබිය හැකි නමුත් බොහෝ ඒවාට පටිපාටි නොමැත.
අධ්‍යාපන අමාත්‍යවරියගේ විෂය පථය සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය පුරා විහිදෙන අතර එබැවින්, ඇය (හෝ යම් විටක ඔහු) මෙලෙස බොහෝ පිරිසක් පත් කිරීමට නීතියෙන් බැඳී සිටියි. උදාහරණ ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යටත් නොවන රාජ්‍ය විශ්ව විද්‍යාලවලට (උදා: බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය), ජාතික අධ්‍යාපන ආයතනය වැනි ආයතනවලට යනාදි බොහෝ වෙනත් ආයතන වලට පති වීම් කිරීම ඇයගේ වගකීමකි. මෙලෙස අන් අය ජනාධිපතිවරයාට නම් කිරීමට හෝ නිර්දේශ කිරීමට ද ඇයට සිදුවේ. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ (RTI) ඉල්ලීමක් හරහා ලබාගත් තොරතුරුවලට අනුව, ජනාධිපතිවරයා මේ දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි පත්වීම් 50 කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී ඇත (තේරීම් ක්‍රියාවලියක් ඇති උපකුලපතිවරුන්ගේ පත්වීම් හැර).
මුළු රාජ්‍ය ආයතන සියල්ල හරහා සිදුවන එවැනි පත්වීම්වල පරිමාණය සිතාගත නොහැකි තරම්ය.
මෙය ප්‍රශ්නසහගත ක්‍රියාවලියක් වන්නේ ඇයි?
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු යනු අවම වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන විශේෂ දැනුමක් කෙසේ වෙතත් ඒ ගැන අත්දැකීම් ඇති රාජ්‍ය සේවකයෝ ය. ඔවුන්ගෙන් ඇතැම් අය තමාගේ කාර්යය ගැන උද්යෝගී අය විය හැකියි. පෙර ආණ්ඩුවල අසාර්ථක ප්‍රතිපත්ති වලින් උසස් අධ්‍යාපනයට සිදු වී ඇති හානිය අත්විඳ ඇති අය විය හැකියි. ඒ නිසා ඔවුන් අපගේ ආයතනවල අනාගතය සඳහා ඔවුන්ගේ උපරිමයෙන් වැඩ කිරීමට උත්සාහ කරනු ඇතැයි අපිට අපේක්ෂා කළ හැක. මගෙන් ඇතැම් අය විමසන පරිදි, මෙම තනතුරු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු විසින්ම විසින් පුරවා ගත යුතු නිසා මෙම කථිකාචාර්යවරුම පත් කිරීමේ ගැටළුව කුමක්ද? ක්ෂේත්‍රයේ අවශ්‍යතා ගැන අමාත්‍යවරයාට යහපත් චේතනා තිබේ නම් සහ ඒ අනුව මේ ආයතන වලට සුදුසු පුද්ගලයින් පත් කරන්නේ නම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද එලෙසම ‘හොඳ’ පුද්ගලයින් සිටියි නම්, පත් කරන ආකාරය වැදගත් වන්නේ ඇයි? සිස්ටම් චේන්ජ් කිරීමට මෙවැනි පත්වීම් මාධ්‍යයක් නම්, පත්කිරීමේ ක්‍රමය ප්‍රශ්නයක් කරගන්නේ ඇයි?
එය වැදගත් වන්නේ මෙම පත්වීම් වල ක්‍රමය නිසාම ඒවා දේශපාලනික පත්වීම් වන බැවිනි. දේශපාලන පත්වීමක් යනු තම තමන් දන්නා ජාල, හෙවත් දැන හැඳුනුම්කම්, මත කෙරෙන පත්වීමකි: මෙම තනතුරට පත් කිරීමට ඔබ දන්න කවුරුත් සිටියිද? ඔවුන් හොඳයිද?
තුළින් එම තනතුරට සහ එම ආයතනයට ඵලදායී ලෙස දායක විය හැකි පුද්ගලයෙකු විසින් එම තනතුර පුරවනු ලැබීමයි. එහෙත් දිගු කාලීනව මෙයින් ක්ෂේත්‍රයට සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති වේ. ඉන් සමහරක් පහත දක්වමි.
- බලය සංසරණය වන්නේ තම තමන්ව දන්නා කුඩා කණ්ඩායමක් තුළයි. අපි විශ්වාසය තබන්නේ අපි දන්නා හෝ අසා ඇති පුද්ගලයින් මතයි. යම් කෙනෙක් කොතරම් සුදුසු වුවත් ඔවුන් ගැන අප නොදන්නේ නම් අපට ඔවුන් නම් කළ නොහැක.
- ජනාධිපතිවරයා වේවා, අමාත්‍යවරයා වේවා හෝ ඔවුන්ට සමීප වෙනත් අය වේවා, මේ නාමයෝජකයා ට ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීමට ‘දන්නා නම්’ නොමැති වනු ඇත. ‘හොඳ පුද්ගලයින්’ පත් කිරීමේ වගකීම නාමයෝජකයා මත පැටවෙන බැවින් නොදන්නා නම් ගැන පත් කිරීම ගැන චකිතයක් පැන නගී. ඔවුන් හොඳ බව අප දන්නේ කෙසේද? ඔවුන්ටත් අවස්ථාවක් දිය යුතු නමුත්, ඔවුන් හොඳින් ක්‍රියා නොකරන්නේ නම්, ඒ වගකීම නාමයෝජකයාටම නැවත ගැටළුවකි.
- තීරණ ගැනීම පහසු වූත් දුෂ්කර වූත් කාර්යයකි. ප්‍රධාන අසුනේ වාඩි වී සිටින්නේ ඔබේ මිතුරා, හෝ මිතුරාගේ මිතුරා හෝ දන්නා කෙනෙක් නම් ඔවුන් ඉදිරියේ සත්‍යය කතා කිරීම දුෂ්කර වේ. කෙනෙකුට පක්ෂපාතී වූ විට ඔවුන් ගැන විවේචන වලට ඇහුම්කන් දීම තරමක් අපහසු ය. සමාජ සම්බන්ධතා හේතුවෙන් දැඩි ප්‍රශ්න මෘදු කළ හැකිය. සමාජ සම්බන්ධතා හෝ දේශපාලන සහෝදරත්වය අනතුරේ වැටිය හැකි බැවින්, විරුද්ධ මතයක් මතු කිරීමට හෝ අපක්ෂපාතී ඡන්දයක් දීමට නොහැකිය. කිට්ටු සමාජ සම්බන්ධතා ඇත්නම් අපහසු කාර්යවලින් ඉවත් වීමට කෙනෙකුට අපහසු වේ.
- රාජ්‍ය ආයතන මැතිවරණ චක්‍රවලට බැඳී ඇත. ආණ්ඩුවක අවසානයත් සමඟ බල මණ්ඩල හෝ කමිටු විසුරුවා හරිනු ලැබේ. මහ මැතිවරණයට ආසන්නව, නිලධාරීන් සහ කමිටු සාමාජිකයින් ඉල්ලා අස්වීමට සූදානම් වෙති. ඒ, නව කණ්ඩායමට ඉඩ සැලසීමටය. (එසේ නැත්නම් බලයේ රැඳී සිටීමට හැකි වන පරිදි පැමිණෙන දේශපාලන පක්ෂය සමඟ අනුග්‍රහය ලබා ගැනීමට තවත් අය උත්සාහ කරති).
තනතුරු සඳහා මේ ආකාරයෙන් පුද්ගලයින් පත් කිරීම සැඟවුනු දේශපාලනීකරණයක් වන්නේ එසේ කිරීම නීත්‍යානුකූල දෙයක් ලෙස පෙන්විය හැකි නිසාය.
සහතිකවම මෙම ක්‍රමය වෙනස් කළ හැකිය.
යම් තනතුරකට බඳවා ගැනීමේ යෝජනා ක්‍රමයක්, අයදුම් කිරීමේ ක්‍රියාවලියක්, ඇතුළත් කිරීම හෝ බැහැර කිරීම සඳහා නිර්ණායක මාලාවක් සකස් කළ හැකි අතර එමගින් අපේක්ෂකයින්ගේ සංචිතය සීමා කළ හැකිය. මෙයින් මම අදහස් කරන්නේ මෙසේ කිරීමෙන් ප්‍රශ්න ඇති නොවන බව නොවේ. පෙර අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ මේවායේත් වංචා කිරීමට, නීතියේ හිඩැස් භාවිතා කර නොහොබිනා දේ කිරීමට හැකි බවයි. ඇත්ත වශයෙන්ම, එවැනි සිදුවීම් පිළිබඳ අපට කටකතා හා ඕපාදූප නිතර ආරංචි වේ. ඒ කෙසේවෙතත්, තේරීම් ක්‍රියා පටිපාටියකින් තොරව සභාවකට හෝ කමිටුවකට දන්නා පුද්ගලයින් පත් කිරීම වෙනස් කර, විවෘත කැඳවීම්, තේරීම් නිර්ණායක වැනි දේ ඉදිරිපත් කිරීමෙන්, (දේශපාලන සම්බන්ධතා ඇති හෝ රහිත) සුදුසු පුද්ගලයින්ට අයදුම් කිරීමට අවස්ථාවක් සැපයේ. එවැනි පත්වීම් මැතිවරණ චක්‍රවලට සම්බන්ධ නොකළ යුතු අතර මේ මගින් නුසුදුසු අපේක්ෂකයින්ට එරෙහි වීමට හෝ විරෝධතා දැක්වීමට මහජනතාවට අවස්ථා ලබා දිය හැකිය. අපගේ ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට ද ඉන් මග පාදනු ඇත.
මේ ආකාරයෙන් විශ්ව විද්‍යාල නීත්‍යානුකූල දේශපාලනීකරණය කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුව අප වෙත ගෙන ආ අලුත් ගැටලුවක් නොවේ. දේශපාලනීකරණයෙන් නිදහස් කිරීම මෙම ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් විය! සමස්ත රාජ්‍ය පද්ධතියම ක්‍රියාත්මක වන්නේ මෙලෙස නිසා එය අපගේ සියලුම ආයතන පුරා පැතිරී ඇති සංසිද්ධියකි. දිගු කලක් තිස්සේ පවතින රෝගයක් මෙන් මෙයින් අපගේ පාලන පද්ධති දැනටමත් දුර්වල වී ඇති අතර, විශාල පාර්ලිමේන්තු බහුතරයක් ඇති වත්මන් ආණ්ඩුව මේ තත්තවය වෙනස් කිරීමට ඉතා සුදුසු ස්ථානයක සිටිති. අකැප චක්‍රලේඛ ඔවුන්ට අවලංගු කළ හැකිය. නුසුදුසු පනත් සංශෝධනය කළ හැකිය. සුදුසු ප්‍රතිපත්ති සහ තේරීම් නිර්ණායක ක්‍රියාත්මක කළ හැකිය. නිරපේක්ෂ බලයක් ඇති රජයකට, අවශ්‍ය නම්, ඕනෑම ක්ෂේත්රයක පත්වීම් සඳහා වඩාත් සැලසුම් සහගත, විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් ගෙන ඒමට නිසැකවම හැකිය.



