ද්වි-විධ භාවය බිඳ දැමීම: විශ්ව විද්‍යාල තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ විවිධත්වය වැළඳ ගැනීම 

උදාරි අබේසිංහ

විෂ්නු වාසු ගේ සාරි ඇඳපු පිරිමි කෘතිය කියවීමේ අවස්ථාව මට මෑතදී උදා විය. එය ලංකාවේ LGBTQ+ ප්‍රජාවගේ ජීවන අත්දැකීම් පිළිබඳ බල සම්පන්න ආඛ්‍යානයකි. පවුල, සමාජය හා රටේ නීතියේ රාමුව තුළ ඔවුන්ට අත්විඳීමට සිදුවන වෙනස්කොට සැළකීම් පිළිබඳ පෞද්ගලික කතාන්තර තුළින්, රටේ අධිපති විෂම ලිංගික හර පද්ධතියට අනුගත නොවන අයවළුන්ට මුහුණ දීමට සිදුවන සංවිධිත වෙනස්කම් පිළිබඳ හදවත බිඳ දමන සුළු දර්ශනයක් එමඟින් ඇඳ පෙන්වයි. 

පසුගිය සතියේ පල වූ රම්‍යා කුමාර්ගේ කුප්පි ලිපිය තුළින්ද බහිෂ්කරණය පිළිබඳ මේ තේමාව ආමන්ත්‍රණය කොට ඇත. ලාංකේය විශ්ව විද්‍යාල තුළ දැඩිව මුල්බැසගෙන පවතින විෂම ලිංගික හර පද්ධතිය ඇය එහිදී අපේ අවධානයට යොමු කරයි. නවක වධය, ඇඳුම් විලාසිතා පිළිබඳ පනවා ඇති රීති, සහ ස්ත්‍රී-පුරුෂ භාවය මත බෙදා වෙන්කොට සපයන පහසුකම් නිසා LGBTQ+ පිරිස් තව දුරටත් ආන්තීකරණය වන ආකාරයත්, ඔවුන් සඳහා ආයතනික වශයෙන් කිසිදු සහයෝගයක් නොමැති වීමේ යථාර්ථයත් ලිපිය මඟින් පෙන්වා දෙයි. ලිංගික බහුවිධතාව පිළිබඳ සාකච්ඡා සිදුවනවිටදී වුවද ඒවා බොහෝවිට එතරම් වැදගත්කමක් නොමැති කාරණා වශයෙන් ඉවත ලෑමේ භාවිතයද මෙහිදී පෙන්වා දෙනු ලැබේ.  

මේ මූලාශ්‍ර දෙක පදනම් කරගෙන මෙම ලිපිය තුළින් මා උත්සාහ ගන්නේ ලිංගිකත්වය හා ඒ සම්බන්ධ සමාජ භාවය පරාසයක් ලෙස වටහා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ආවර්ජනයක් කිරීමටයි. එම ආවර්ජනය ශාස්ත්‍රීය ප්‍රජාවගේ අවධානයට යොමුවනු ඇත යන්න මගේ බලාපොරොත්තුවයි. විශේෂයෙන්ම සියළු දෙනාට වඩාත් හිතකර හා ගෞරව සම්පන්න වූ සරසවි අවකාශයක් නිර්මාණය කිරීමෙහිලා මෙවැනි අවබෝධයක් වැදගත් වන්නේ ඇයිද යන්න මෙහිදී සාකච්ඡා කිරීමට අරමුණු කරමි.   

ලිංගිකත්වය හා ඒ මත පදනම් වූ සමාජභාවය පරාසයක් ලෙස

ලිංගිකත්වය හා ඒ මත පදනම් වූ සමාජභාවය අප සාමාන්‍යයෙන් දකින්නේ ද්විවිධ කෝණයකිනි: එනම් ස්ත්‍රී හෝ පුරුෂ වශයෙනි. එහෙත් මේ දැක්ම එන්න එන්නටම අභියෝගයට ලක්වෙමින් තිබේ. කාය විද්‍යාත්මක වශයෙන් සැළකුවද, සම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ බෙදීමට පිළිවෙලට හසුකොට ගත නොහැකි විවිධාකාරයේ ශරීර තිබේ. අන්තර්ලිංගික සිරුරු සහිත පුද්ගලයින් හොඳ උදාහරණයකි.

සමාජීය වශයෙන් ගත්කළ මේ විබේධනය පැවැත්වීම මීටත් වඩා අසීරුය. එහෙත් මේ අනන්‍යතා මත පදනම් වූ භූමිකා දෙකක් සමාජය විසින් නිර්මාණය කොට පවත්වාගෙන යනු ලබන අතර, ඒ හේතුවෙන් යම් යම් චර්යාවන් පුද්ගලයාගෙන් අපේක්ෂා කරනු ලබයි. නමුත් අප අපේ ලිංගික අනන්‍යතාව ප්‍රකට කරන අයුරු තුළ මීට වැඩි පරාසයක් දක්නට ලැබේ. නිදසුනක් ලෙස ඉවුම් පිහුමට කැමති පිරිමි ළමයින්ද, ක්‍රිකට් ක්‍රීඩාවට කැමති ගැහැණු ළමයින්ද වෙති (2024 T20 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් දිනීම මෙම සමාජීය සම්මතයන් බිඳ හෙලීමකි). වෙනත් වචන වලින් කියන්නේ නම්, ලිංගික අනන්‍යතාවය යනු ද්විවිධ දෙයක් නොව, පුළුල් පරාසයක විහිදී පවතින, කාලයත් සමඟ වෙනස් වන චර්යා, අභිලාෂ හා අනන්‍යතා සමූහයකි.     

මේ පරාසයේ අන්ත දෙකෙහි ඇති, ස්ත්‍රීත්වය හා පුරුෂත්වය පිළිබඳ අනන්‍යතා දෙක පරමාදර්ශීකරණය කිරීමකි අප කරන්නේ. සිය ජීවිතයේ විවිධ අවස්ථා වල මේ අන්ත දෙකෙන් එකකට හැඩ ගැසීම විවිධ මට්ටමට සියළු පුද්ගලයෝ කරති. පුද්ගලික වර්ධනය, සංස්කෘතික බලපෑම් සහ වෙනත් සමාජමය සාධක මත පදනම්ව ලිංගික අනන්‍යතාව පිළිබඳ කෙනෙකුගේ අත්දැකීම විකාශනය වේ. සමහරුන්ගේ අත්දැකීම තුළ මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ද්විවිධ ලිංගික අනන්‍යතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට යෙදෙන අතර, තවත් සමහරුන්ට එම ප්‍රතිඵලය වන්නේ ස්ත්‍රීත්වය හෝ පුරුෂත්වය පිළිබඳ යම් යම් කාරණා වැළඳ ගැනීමට යොමු වීමයි.  

එසේම පුද්ගලයන් සිය ලිංගිකත්වය ප්‍රකට කරන ආකාරයද වෙනස්ය. එය සිය ලිංගික සහකරුවන් තේරීමේදී පමණක් නොව, සිය චර්යා රටා, තමාව හැඳින්වීමට භාවිතා කරන භාෂාව මෙන්ම, සිය ශරීරය හා ගනුදෙනු කරන අයුරු තුළින්ද සිදුවේ. මෙවැනි පුළුල් චර්යා පරාසයක් පවතින විට, විෂම ලිංගිකත්වය පමණක් ‘සාමාන්‍ය’ හා ‘ස්වභාවික’ ලෙස හැඳින්වීම අභියෝගයට ලක්කළ හැකිවේ. සමරිසි, ද්වි-රිසි, සංක්‍රාන්ති ලිංගික, අන්තර්ලිංගික හා වෙනත් එවැනි අනන්‍යතා පවතින බව දැන්වන විට හොඳින් පැහැදිලි වී තිබේ.

එහෙත් ලංකාව වැනි සමාජයක මෙම අදහස් වලට දරුණු ප්‍රතිරෝධයක් පවතී. එහි ද්වි-විධ ලිංගික අනන්‍යතා අවධාරණය කෙරෙන අතර, පුරුෂත්වය ශක්තිය, නායකත්වය, හා අධිකාරය සමඟත්, ස්ත්‍රීත්වය රැකබලා ගැනීම හා ගෘහස්ථ කාරණා සමඟත් සම්බන්ධ කොට, විෂම ලිංගිකත්වය මඟින් රාමුකොට තිබේ. වෙනත් අනන්‍යතා සහ අභිලාෂ සහිතවුන්ට මෙතැන ඇති ඉඩ අවමය. 

මෙම වර්තමාන ගතානුගතිකත්වය තුළ, පූර්ව යටත්විජිත යුගයේ ලංකා සමාජයේ ලිංගිකත්වය අරබයා තිබූ නිදහස්කාමී දැක්ම පිළිබඳ අමතක කොට තිබේ. ඓතිහාසිකව ගත්කළ උඩරට නීතිය තුළ බහුවිවාහ වැනි භාවිතයන් පැවතුනා පමණක් නොව, ආයතනගත කොට තිබුණි. නමුත් පසුකාලීනව මෙවැනි භාවිතයන් බැහැරව වඩාත් ගතානුගතික සම්ප්‍රදායන් ඉදිරියට පැමිණෙන්නට විය. බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලදුව අප තවමත් භාවිතා කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්ති ප්‍රකාරව සමරිසි සබඳතා දඬුවම් ලැබිය හැකි වරදක් වීම හොඳ උදාහරණයකි.

විශ්ව විද්‍යාල තුළ වෙනස්කොට සැළකීම් 

විවිධාකාරයේ ලිංගික අනන්‍යතාවන් සහිත පිරිස් එකට සම්මිශ්‍රණය වන අවකාශයක් වශයෙන් විශ්ව විද්‍යාල තුළ ඇත්තෙන්ම අවබෝධය, එකිනෙකාට ගරු කිරීම සහ පිළිගැනීම පැවතිය යුතුය. එහෙත් රටේ වෙනත් බොහෝ අවකාශ මෙන් විශ්ව විද්‍යාල තුළද බොහෝවිට පිළිගැනීමට ලක්වන්නේ අධිපති විෂම ලිංගිකත්වය පමණි. මේ නිසා විෂම ලිංගික නොවන ලිංගික භාවිතයන් හා රුචි අරුචිකම් අදෘශ්‍යමාන බවට හෝ ආන්තීකරණයට ලක්වේ.

LGBTQ+ කණ්ඩායමේ සිසුන් සහ ගුරුවරුන් ඉතා වක්‍රාකාරයේ, සියුම් වෙනස් කොට සැළකීම් වලට මෙන්ම එළිපිට සිදුවන තාඩන පීඩන වලටද මුහුණ දෙති. නිදසුනක් ලෙස, කෙනෙකු අඳින පළඳින ආකාරය හා ඔවුන්ගේ හැසිරීම් රටා මත පදනම්ව ඔවුන්ගේ බුද්ධිමය හැකියා තක්සේරු කිරීමේ ප්‍රවණතාවක් පවතී; එහිදී එම තක්සේරුව කෙරෙන්නේ ඔවුන්ගේ ශාස්ත්‍රීය හෝ පෞද්ගලික ජයග්‍රහණ මත පදනම්ව නොවේ. තමා සමරිසි පුද්ගලයකු ලෙස හඳුන්වා ගන්නා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එක් ශිෂ්‍යයකුට අනුව ඔහුගේ සමස්ත විශ්ව විද්‍යාල ජීවිතයම ගෙවී තිබුණේ තනිකමිනි. “මට පෙම්වතියක් හිටියේ නෑ; ඒ වගේම මත්පැන් බීමට මට උනන්දුවක් තිබුනෙත් නැහැ. පිරිමි යහළුවන් සමඟ කාලය ගත කරනවාට වඩා ගැහැණු යහළුවන් සමඟ කාලය ගත කිරීමේදී මට දැනුනේ පහසුවක්. පිරිමි යහළුවන්ට නිතරම මං ගැන කියන්න තිබුණේ සෘණාත්මක දේවල්; ඔවුන් කවදාවත් මා කියූ දේවල් බැරෑරුම්ව සැළකුවා කියා මට හිතුනේ නැහැ.” මෙවැනි තත්වයන් නිසා LGBTQ+ පිරිස් වල ගරුත්වය සහ සමානත්වය උල්ලංඝණය වන අතර, එය මඟ හැරීම සඳහා ඔවුහු බොහෝ විට එක්කෝ අධිපති දහරාවට අනුගත වෙති; නැතිනම් සිය අනන්‍යතාව සඟවති.  

සංක්‍රාන්ති ලිංගික සිසුන්ටද බොහෝ අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. පේරාදෙණියේ එවැනි සිසුවකුට අනුව සරසවි නේවාසිකාගාර පහසුකම් සොයාගැනීම ඉතා දුෂ්කර වී ඇත්තේ සියළු නේවාසිකාගාර බෙදාදෙන්නේ ස්ත්‍රී හෝ පුරුෂ පදනමක් මත බැවිනි. මේ නිසා සරසවි පරිශ්‍රයෙන් පිට ඇති, වඩා මිල අධික නේවාසිකාගාර පහසුකම් වෙත යොමුවීමට මේ සිසුවාට සිදුවී ඇත. මෑතදී ජ්‍යෙෂ්ඨ සගයකු සමඟ සංවාදයකදී ඈ පැවසුවේ සම්මත ස්ත්‍රී-පුරුෂ අනන්‍යතා වලින් බාහිර අනන්‍යතාවක් තමන්ට පවතින්නේ යැයි සිතන අයවළුන් වෛද්‍ය උපදෙස් පැතිය යුතු බවයි. සංක්‍රාන්ති ලිංගික සිසුවකු බාහිර සහය පතන අවස්ථා වල කුමනාකාරයේ අභියෝග වලට මුහුණ දීමට සිදුවන්නේද යන්න පිළිබඳ තරමක අවබෝධයක් මේ සංවාදය තුළින් මට ලැබුණි. 

මෙවැනි බැහැර කිරීම් වල ප්‍රතිවිපාක බොහෝ දුරදිග යන ඒවාය. LGBTQ+ සිසුන්ට සිය අනන්‍යතාව නිදහසේ ප්‍රකාශ කිරීමේ ඉඩ ඇහිරී ඇති නිසා හුදෙකලාව, ආතතිය සහ වෙනත් මානසික සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. විශ්ව විද්‍යාල ප්‍රතිපත්ති සහ විෂය නිර්දේශ තුළද මේ බැහැර කිරීම විද්‍යාමාන වන්නේ එම කාරණා පිළිබඳ කතා නොකිරීම තුළිනි. ශිෂ්‍ය සංගම් වලින් සහයෝගයක් නොලැබීම සහ මෙවැනි කරුණු සාකච්ඡා කිරීම සඳහා විශ්ව විද්‍යාලය තුළ ආරක්‍ෂිත අවකාශයක් නොවීම යන සාධක නිසා තත්වය තවත් දරුණු වී තිබේ.

ඉදිරි මඟ 

විශ්ව විද්‍යාලයේ සාමාජිකයන් එකිනෙකා හා ගනුදෙනු කරන ආකාරයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට නම් විවිධත්වය, විශේෂයෙන්ම LGBTQ+ අනන්‍යතා වලට අදාළ විවිධත්වය අගය කොට සළකන පරිසරයක් නිර්මාණය කළයුතුය. 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමතාව හා සමානත්වය පිළිබඳ මධ්‍යස්ථානය (Centre for Gender Equity and Equality – CGEE) විසින් මේ අරබයා මෑතදී ගන්නා ලද ඉතා සාධනීය පියවරක් වනුයේ, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය හා සිසුන්ට හැදෑරිය හැකි ‘විවිධත්වය සමඟ ජීවත් වීමට ඉගෙන ගැනීම’ නම් පාඨමාලාව හඳුන්වා දීමයි. පැය 15 ක පාඨමාලාවක් වන එහි සමාජභාවීය හා ලිංගික වශයෙන් වන අනන්‍යතා වල ඇති විවිධත්වය පිළිබඳ අවධානය යොමු කරයි. මේ සම්බන්ධ විවෘත සාකච්ඡා ඇතිකිරීම මඟින් දිගුකාලීනව ආකල්පමය වෙනසක් ඇතිකිරීමේ හැකියාව මෙවැනි පාඨමාලා වලට පවතී. වැඩසටහන පැවැත්වීමේ පුහුණුව ලබාදීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ (training of trainers) වැඩමුළු ගණනාවක් දිවයින පුරා රාජ්‍ය විශ්ව විද්‍යාල සියල්ලකම පැවැත්විනි.  

සංස්කෘතික ගතානුගතිකත්වයෙන් මිදිය හැකි එක් සාර්ථක ක්‍රමයකි නිරන්තර සංවාදයේ යෙදීම. ඉහත දැක්වූ ආකාරයේ පාඨමාලා මඟින් එවැනි සංවාද සඳහා අවශ්‍ය ගෞරවාන්විත හා තොරතුරු පදනම් කරගත් අවකාශයන් නිර්මාණය කරදේ. විෂය නිර්දේශ වලට මෙවැනි මාතෘකා එකතු කිරීම තුළින් මෙම සංවාද පන්ති කාමරයේදීද සිදුකළ හැකිය. එමෙන්ම යම්කිසි පීඨයක කැපී පෙනෙන පිරිස් LGBTQ+ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමද ඊට එරෙහිව ඇති ප්‍රතිරෝධය අවම කිරීමේ ක්‍රමයක් මෙන්ම, ගුරුවරුන් හා සිසුන් තුළ ඒ පිළිබඳ වඩා විවෘත ආකල්ප දැරීමට යොමු කිරීමේ මාර්ගයකි. 

ආයතනික වශයෙන් මීට ඇති බාධක ඉවත් කිරීම සඳහා සුවිශේෂයෙන් මේ කරුණ අරබයා වූ වෙනස් කොට සැළකීම් වලට එරෙහි ප්‍රතිපත්ති විශ්ව විද්‍යාල විසින් සම්පාදනය කොට සම්මත කරගත යුතුය. 

මෙවැනි මැදිහත්වීම් වලින් විශ්ව විද්‍යාල තුළ අපකීර්තිය පිළිබඳ බියෙන් තොරව, සිසුන්ට හා ගුරුවරුන්ට සිය අනන්‍යතා ගවේෂණය කිරීමේ හා ප්‍රකාශ කිරීමේ හැකියාව සහිත වඩා හිතකර සමාජ අවකාශයක් නිර්මාණය කරගත හැකි වේ.

ReplyForwardAdd reaction