මහේන්ද්‍රන් තිරුවරන්ගන්
අධ්‍යාපනයේ භූමිකාව සහ අරමුණ, ඔවුන් අධ්‍යයනය කරන අධ්‍යයන පථය(න්) සිසුන් විසින් වටහා ගන්නා ආකාරය මෙන්ම, වැළඳ ගන්නා දෘෂ්ඨිවාදයද විශ්වවිද්‍යාලයක උගන්වනු ලබන විෂය මාලාව මඟින් හැඩගස්වයි. විෂය මාලාව ප්‍රතිරෝධයේ මාර්ග නිර්මාණාත්මකව කැටයම් කරන අඩවියක් ද විය හැකිය. එබැවින් විෂයමාලා සැලසුම් කිරීම සහ සංශෝධනය කිරීම අපගේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ප්‍රජාතන්ත්‍රීකරණයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය යුතුය.
එහෙත් නව ලිබරල්වාදය සහ අපගේ විශ්වවිද්‍යාලවල නිල පාලනය යටතේ විෂයමාලා සම්පාදනය, ලෝක බැංකුව හෝ ADB වැනි ආයතන විසින් හඳුන්වා දෙනු ලැබ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් විවේචනයකින් තොරව සම්මත කර ඇති පටු මාර්ගෝපදේශ මාලාවකට අනුකූලව සිදුකරන තාක්ෂණික, නිලධාරිවාදී ක්‍රියාකාරකමක් බවට පත්ව ඇත. අපගේ විශ්වවිද්‍යාල තුළ මුල් බැස ඇති ධුරාවලිය, අධ්‍යයන දෙපාර්තමේන්තු තුළ සාකච්ඡා නොමැතිකම මෙන්ම පද්ධතිය සිසුන්ට සලකන අවමාන ස්වභාවය, මෙම ක්‍රියාවලිය ප්රජාතන්ත්ර විරෝධී එකක් බවට පත් කරයි. සමහර විට අප පාඨමාලා දුසිම් ගණනක අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵල ප්‍රමිතිගත විෂයමාලා ආකෘති වල සංකීර්ණත්වයේ අනුපිළිවෙලට සකස් කිරීමට විශාල කාලයක් වැය කරන නමුත් සිසුන්ගේ, ගුරුවරුන්ගේ සහ එය උගන්වනු ලබන ආයතනයේ සමාජ ලෝකයට විෂය මාලාව අදාළ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රමාණවත් ලෙස සාකච්ඡා නොකරන්නෙමු.
ශිෂ්‍යයා සහ විෂය මාලාව
අපගේ අධ්‍යාපන ක්‍රම සහ ප්‍රජාව තුළ ශිෂ්‍යයාට සහ ගුරුවරයාට හිමි ස්ථානය, අධ්‍යාපනය සිදුවන සන්දර්භය හැඩගස්වන සමාජ සබඳතා, සහ අප ගොඩනැගීමට අපේක්ෂා කරන ආකාරයේ සමාජයක් පිළිබඳ පුළුල් දැක්මක් විෂයමාලා සැකසීමේදී මූලික කොටගත යුතුය. සමහර අවස්ථාවලදී දිගු කලක් අපගේ සම්ප්රදායේ කොටසක්ව තිබූ එහෙත් තවදුරටත් අදාළ නොවන දේ ඉවත් කිරීමට අපි මැලි වෙමු. එවැනි භක්තියක් විසින් කුතුහලය, නිර්මාණශීලිත්වය සහ විවේචනාත්මක ප්‍රායෝගිකත්වය සඳහා ඇති ඉඩ අවහිර කරමින්, සමාජ සාධාරණත්වය සහ ප්රජාතන්ත්රීකරණය පිළිබඳ ප්‍රශ්න වෙනතකට ඇද දමයි.
සක්‍රීය විෂය මාලාවක් යනු ශිෂ්‍යයා තම හඬ සහ සමාජයේ තමාගේ පිහිටීම මෙන්ම සමාජ සාධාරණත්වය, සමානාත්මතාවය සහ සහජීවනය සඳහා වන අරගලයක් ලෙස අධ්‍යාපනයේ ප්‍රවේශය හඳුනා ගන්නා එකකි. එවැනි විෂය මාලාවක් අධ්‍යාපනයේ විෂය පථය ඉරිතලා යන අසමානතාවයන් පිළිබඳ ශිෂ්‍යයා දැනුවත් කරන අතර, එමගින් අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීකරණයේ දිශාවට ගෙන යෑමට ශිෂ්‍යයාට හැකියාව ලැබේ. අප උගන්වන විෂය මාලාව අපගේ සමාජවල දක්නට ලැබෙන විෂමතා පිළිබඳව සාකච්ඡා කරයිද, නැතහොත් ඒ තුළ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ අසමානතා ආමන්ත්‍රණය කළ හැකි යාන්ත්‍රණ ඇතුළත් වේද යන්න පිළිබඳ අප කරදර වන්නේද?
උසස් පෙළ සමත්ව අපගේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වන සිසුහු විවිධ පසුබිම්වලින් පැමිණෙති. දිස්ති‍්‍රක් කෝටා ක්‍රමය උසස් අධ්‍යාපනය ප්රජාතන්ත්රීකරණයකට තුඩු දී ඇතත්, නාගරික හා ග්‍රාමීය පාසල්, ජාතික හා පළාත් පාසල් අතර අසමානතාවයන් සහ දිස්ති‍්‍රක්කයක් තුළ ඇති පන්ති භේදය හේතුවෙන් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ මුල්බැස ඇති ආන්තිකකරණයේ ස්වරූපයන් එමඟින් වසන් කරනු ලබයි. නිදසුනක් වශයෙන්, නිසි විද්‍යාගාර පහසුකම් නොමැති පාසල්වල පාසල් අධ්‍යාපනය ලැබූ උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ පළමු වසර තුළ, වඩා හොඳ සම්පත් සහිත පාසල්වල ඔවුන්ගේ සගයන් සමඟ කටයුතු කිරීමේදී අභියෝගවලට මුහුණ දීමට සිදු විය හැකිය. බොහෝ විශ්වවිද්‍යාල වල මේ සඳහා සිසුන්ට ප්‍රමාණවත් සහයෝගයක් ලබා නොදෙයි. එම නිසා නිදහස් අධ්‍යාපනයෙන් නිර්මාණය කර ඇති අවස්ථා පමණක් නොව එහි සීමාවන් ද සැලකිල්ලට ගනිමින් විෂය මාලාව සංශෝධනය කළ යුතුය.
විෂය මාලාවේ විසංයෝජනය
ප්‍රදායකයන් සහ අධ්‍යාපන තාක්ෂණවේදීන් බොහෝවිට අවධාරණය කරනුයේ විෂය මාලාව න්‍යායට වඩා ප්‍රායෝගික කුසලතා වලට ප්‍රමුඛත්වය දියයුතු බවයි. එසේ කිරීමෙන්, ඔවුන් විෂය මාලාව කෘතිම සංරචක වලට වෙන් කරමින් න්‍යාය සහ භාවිතය එකිනෙක වෙන් වූ ලෙස ඉදිරිපත් කරයි. ශිෂ්‍යයාට මෙම ද්විත්වය එකිනෙක සප්රාණික කරන ආකාරය ග්‍රහණය කර ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් මේ කොටස් ද්විත්වය වෙන් කළ නොහැකි ලෙස සකස් කළ යුතුය. ලිවීම, කියවීම සහ ඉදිරිපත් කිරීම් හුදු කුසලතා නොවන බව අවධාරණය කළ යුතුය. මන්ද ඒවායෙහි ඓතිහාසිකත්වය සමඟ විවේචනාත්මක නියැලීමෙන් හුදකලා වී ලිවීමට හෝ කියවීමට නොහැකි බැවිනි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි තත්ත්ව සහතික රාමු මෙහෙයවන නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදයන්, විවේචනාත්මක භාවිතයෙන් ප්‍රායෝගික කුසලතා හුදකලා කිරීමට උත්සාහ කරයි. එසේ කිරීමෙන්, අපගේ උපාධිධාරීන් ඔවුන්ගේ සමූහයෙන් වෙන් කරන ලද කුසලතා සපයන්නන් බවට පත් කිරීමේ උත්සහයක් ඇත. මීට වෙනස්ව, විවේචනාත්මක පරිචය යනු, මිනිසුන්ගේ සහ ප්රජාවන්ගේ ගෞරවනීය සහජීවනය සහතික කළ හැකි අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳ විකල්ප ගවේෂණය කිරීමයි. පුද්ගලයාගේ කේවල දියුණුව සහ සාර්ථකත්වය පිළිබඳ නව ලිබරල් රාමු මඟ හරිමින් අපගේ විෂය මාලාව, විවේචනාත්මක භාවිතයට සහ සහයෝගීතාවයට කෙතරම් වැදගත්කමක් ලබා දෙන්නේද?
විශේෂීකරණය සහ අන්තර්විෂයිකත්වය
නව ලිබරල් දෘෂ්ටිවාදය විසින් විශේෂීකරණය සහ අන්තර්විෂයික අධ්‍යයනය පිළිබඳ අදහස් දැක්වීම් ඔස්සේ දැනුම, වැඩ, ශ්‍රමය සහ සමාජ සම්බන්ධතා පිළිබඳ වෙනස් දෘෂ්ටීන් ඇති වැඩකරුවන් කොට්ඨාසයන් ද්විත්වයක් බිහි කරයි. එක් අතකින් එය ලාභ උත්පාදනය කරන ව්‍යවසායන් සඳහා නිශ්චිත කුසලතා සහිත විශේෂඥයින් විෂය මාලාව හරහා පුහුණු කිරීමට උත්සාහ කරයි. අධ්‍යාපනය සහ කාර්යයන් විශේෂීකරණය වූ පටු ප්‍රදේශවලට බෙදිය හැකි ලෙස බැලීමට එවැනි සිසුන් පුහුණු කරනු ලබන අතර එනිසා, ඔවුන්ට තමන් ඉගෙන ගන්නා දේ විශාල සමාජ-ආර්ථික පද්ධති සමඟ සම්බන්ධ කළ නොහැක. මෙම බෙදීම් මගින් නව ලිබරල් සූරාකෑමට අභියෝග කරන ශාස්ත්‍රීය, සේවා ස්ථාන සහ සමාජ සහයෝගීතා සඳහා ඇති අවකාශයද හකුලවයි. අනෙක් අතට, නව ලිබරල්වාදය අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයනයද සාදරයෙන් පිළිගනී. මන්ද එතුළින් සිසුන්ගෙන් කොටසක් පුද්ගලික අංශයේ ලාභ කේන්ද්‍රීය උත්සාහයන් ශක්තිමත් කිරීම සඳහා බඳවා ගත හැකි, නම්‍යශීලී, බහු කුසලතා, බහුකාර්ය, සූරාකෑමට ලක්විය හැකි පුද්ගලයින් බවට පත් කිරීම පහසු වන බැවිනි.
අන්තර්ක්ෂේත්‍ර අධ්‍යනය සඳහා වන නව ලිබරල් අවශ්‍යතාවලට ප්‍රතිචාරය, අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින අධ්‍යන ක්ෂේත්‍ර සීමා මායිම් මුර කරන විද්වතුන්ගෙන් පැමිණිය නොහැක. ශාස්ත්‍රීය ක්ෂේත්රය තුළ සහ ඉන් පිටත සමාජ සාධාරණත්වය පරිකල්පනය කිරීම සඳහා දෙපාර්තමේන්තු සහ පීඨ අතර හරස් ලැයිස්තුගත පාඨමාලා සහ හරස් අධ්‍යන ක්ෂේත්‍ර සහයෝගීතා ගොඩනැගීමට පහසුකම් සැලසිය යුතුය. එසේම විශේෂිත ක්ෂේත්‍ර සහ ගැටලු පිළිබඳ ගැඹුරු, තිරසාර ශාස්ත්‍රීය විමර්ශනය සඳහා ද ඉඩ ලබා දිය යුත්තේ සමාජයේ මුල් බැසගත් ව්‍යුහාත්මක ගැටලු අවබෝධ කර ගැනීමට සහ ඒවා තුරන් කිරීමට එවැනි විමර්ශන අවශ්‍ය බැවිනි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව ලිබරල් ප්‍රහාරයකට ලක්ව ඇති මොහොතක, විශේෂීකරණය සහ අන්තර්විෂයිකත්වය ශාස්ත්‍රීය සහයෝගීතාව වශයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට සහ, ගැඹුරු විවේචනාත්මක භාවිතයන් තුළින් ප්රජාතන්ත්රවාදී අධ්‍යාපනික සහ සමාජ මුලපිරීම් කළ හැකි මාර්ග ගවේෂණය කිරීමට හදිසි සංවාදයක් අවශ්‍ය වේ.
ඇගයීම් ආකෘතිකරණය
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි ප්‍රතිඵල මත පදනම් වූ විෂයමාලා සංවර්ධන ආකෘතිය යටතේ, ඇගයීමේ ක්‍රමවේද දැඩි ආකෘතිකරණය සහ විනයගත කිරීමට යටත්ව ඇත. පවතින ක්‍රියාදාමයන් යල්පැන ගියවිට ගුරුවරයාට නව ක්‍රමවේද අනුගමනය කිරීමට මෙම භාවිතයන් බාධා කරයි. සුළු වෙනස්කම් කිරීමට පවා ඇය කමිටු දාමයකින් අවසර ගත යුතුය.
විවිධ ශිෂ්‍ය කණ්ඩායම් අතර සිසුන්ගේ කාර්ය සාධනය සංසන්දනය කිරීමේ අවශ්‍යතාවය අනවශ්‍ය ලෙස අවධාරණය කිරීම මෙම ආකෘතිකරණය තුළින් සිදුවේ. මෙහි තර්කය නම් පොදු රැකියා වෙළඳපොලක තනතුරු සඳහා විවිධ කාණ්ඩවල සිසුන් එකිනෙකා සමඟ තරඟයක යෙදී සිටින අතර, එබැවින් ඔවුන් අතරින් මෙම තරඟයේ ඉදිරි ස්ථාන හිමිකරගන්නේ කවුරුන්ද යන්න වඩාත් ‘වාස්තවික’ ආකාරයෙන් වෙළඳපොළට දැක්වීමට විශ්වවිද්‍යාලයට හැකි විය යුතුය යන්නයි. තරඟකාරීත්වයට සහ පුද්ගලවාදයට ප්‍රමුඛත්වය ලබා දෙන එවැනි ප්‍රවේශයක් අපගේ ඇගයුම් භාවිතයන්හි කොන්දේසි නියම කිරීමට වෙළඳපොළට ඉඩ සලසයි.
ආකෘතිකරණය මගින් සිසුන්ගේ අධ්‍යයන කාර්ය සාධනය මත යම් යම් ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රියාවලීන් වල බලපෑම අවතක්සේරු කරනු ලබයි. නිදසුනක් වශයෙන්, පවතින වසංගතය වැනි ජාතික අර්බුදයකදී විභාගවලට පෙනී සිටි සිසුන් පිරිසකගේ කාර්ය සාධනය, සාපේක්ෂව ස්ථාවර තත්ත්වයන් යටතේ අධ්‍යාපනය හැදෑරූ අයගේ කාර්ය සාධනය සමඟ සංසන්දනය කිරීම සඳහා ප්‍රමිතිගත ඇගයීම් සැකිල්ලක් භාවිතා කිරීම අඥාන ක්‍රියාවකි. ප්‍රමිතිගත ආකෘති ගුරුවරයාගේ නිර්මාණශීලීත්වය සහ අත්හදා බැලීම් සඳහා ඉතිරි කරන්නේ කුඩා ඉඩකි. මෙම නීරස භාවිතයන් ප්‍රශ්න කරන හෝ ප්‍රතික්ෂේප කරන අය සහයෝග ය නොදක්වන, කම්මැලි පුද්ගලයන් ලෙස ලේබල් කරනු ලැබේ. ඇගයීමේ සාධාරණත්වය සහතික කිරීම සඳහා සමහර පුළුල් මාර්ගෝපදේශ අවශ්‍ය වන නමුත්, ඒවා භාවිතා කිරීමේදී ඉගැන්වීමේ සහ ඉගෙනීමේ සන්දර්භයන් සැලකිල්ලට ගත යුතුය. නව ලිබරල්වාදය සහ ආයතනික ධූරාවලිය විෂයමාලාවට මැදිහත් වන ආකාරයන්ට ඇතැම් අධ්‍යයන දෙපාර්තමේන්තු යම් සාර්ථකත්වයක් සහිතව විරුද්ධ වී ඇතත්, අපගේ විශ්වවිද්‍යාල විෂයමාලා ප්‍රශ්නයට ප්‍රවේශ වන ආකාරයෙහි තව බොහෝ දියුණු කලයුතු තැන් ඇත. සිසුන්ට සහ ගුරුවරුන්ගෙන් බහුතරයකට නොපෙනෙන කිසියම් උසස් අධිකාරියක් විසින් නිර්මාණය කරන ලද විෂයමාලා ආකෘති සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න පිළිබඳ එක්දින වැඩමුළුවක් පැවැත්වීම මෙයට විසඳුම විය නොහැක. අප විෂයමාලාව තේරුම් ගෙන සකස් කරන ආකාරය සහ එහි අන්තර්ගතය මෙන්ම, විධික්රමයට පදනම් වන දර්ශන පිළිබඳව පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වේ. ඒ හා සමානව වැදගත් වන්නේ, ප්රජාතන්ත්රවාදී විෂය මාලාවක් සඳහා වන අපගේ අරගලය, සමාජ සාධාරණත්වය සහ ප්රජාතන්ත්රීකරණය සඳහා වන වඩා විශාල අරගලයේ කොටසක් ලෙස ස්ථානගත කිරීමයි.