පන්ති කාමරය තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය 

මහේන්ද්‍රන් තිරුවරන්ගන් 

පන්ති කාමරය සාමාන්‍යයෙන් සැළකෙන්නේ අධ්‍යාපනය, විවිධත්වය, නිර්මාණශීලීත්වය සහ විසම්මතිය තහවුරු කෙරෙන අවකාශයක් ලෙසය. එනයින් ගත් කළ විවිධ වර්ගයේ ලිංගික අනන්‍යතා සහ රුචි අරුචිකම් ඇති ගුරුවරුන් සහ ශිෂ්‍යයින්ට බාධාවකින් තොරව එම අනන්‍යතා පැවැත්වීමේ නිදහස පන්ති කාමරය තුළ තිබිය යුතුය. එහෙත් ලංකාවේ පන්ති කාමරය යනු වඩා පුළුල් සමාජයේම පිළිබිඹුවකි. ලිංගිකත්වය සම්බන්ධ සමාජ ධූරාවලි එහිද  ප්‍රතිනිෂ්පාදනය වේ. ලිංගිකත්වය සම්බන්ධ අධිපති ප්‍රතිමාන මඟින් අපේ ශරීරයන්, ඒවායෙහි ප්‍රකාශනයන් සහ ආශාවන් දරුණු ලෙස විනයගත කෙරේ. අද දින කුප්පි ලිපියෙන් ගවේෂණය කරන්නේ ලංකාවේ පන්ති කාමරය තුළ කාන්තා සහ LGBTQ (සම හා සංක්‍රාන්ති ලිංගික) අනන්‍යතා ආන්තීකරණයට ලක්වන්නේ කෙසේද යන්නත්, එය වෙනස් කොට පන්ති කාමරය සියළු දෙනාට වඩා නිදහස ඇතිකරවන ආකාරයේ අවකාශයක් බවට කෙසේ පත්කරන්නේද යන්නත්ය.    

මතුපිට මධ්‍යස්ථභාවය 

වරප්‍රසාද ලත් පසුබිම් වලින් පැමිණෙන ගුරුවරුන්ට සහ සිසුන්ට පන්ති කාමරය පෙනෙන්නේ මධ්‍යස්ථ අවකාශයක් හැටියටය. එය ලිංගික අනන්‍යතා මත පදනම් වූ ධූරාවලි වලින් බලපෑමට ලක් නොවන බව අප බොහෝ දෙනෙකු බොහෝ විට උපකල්පනය කරන්නෙමු. අධ්‍යාපන ආයතන තුළ විෂම ලිංගිකත්වය සම්මතය ලෙස ගැනෙන අතර, ඉන් පරිබාහිර ආශා හා සම්බන්ධතා විකෘති, නොනිසි, බටහිර හා සමාජ විරෝධී ලෙස සළකනු ලැබේ. මෙම අවකාශයන් තුළ ඇඳුම-පැළඳුම, මතුපිට පෙනුම හා හැසිරීම පිළිබඳ අපේක්ෂා පදනම් වී ඇත්තේ ‘ලිංගික-සමාජ භාවීය අනන්‍යතා හුදු ද්වි-විධය’ යන පදනම මතය. මෙම සීමා අතික්‍රමණය නොකළ හැකි මෙන්ම නොකළ යුතු ඒවා බවත්, පුරුෂත්වය සහ ස්ත්‍රීත්වය යනු පෞද්ගලික රුචි අරුචිකම්, සංස්කෘතිය, වාර්ගිකත්වය, ආගම සහ පන්තිය වැනි සාධක වලින් බලපෑමට ලක්නොවන ඒවා බවටත් වන උපකල්පන මේ චින්තනය පිටුපස ඇත.   

ස්ත්‍රී-පුරුෂ අනන්‍යතා මත පදනම් වූ බෙදීම නිසා කාන්තාවන්ට වෙනම නිර්මාණය කරදී ඇති වැසිකිළි සහ විවේකාගාර පහසුකම් නිසා කාන්තාවන්ට සුරක්ෂිත භාවය පිළිබඳ හැඟීමක් ලැබෙන බව සත්‍යයක් වුවත්, එමඟින් ‘ද්වි-විධ ලිංගික අනන්‍යතා පමණක් පවතී’ යන මානසිකත්වය ප්‍රතිනිෂ්පාදනය කරයි. එමෙන්ම එම අනන්‍යතා වලින් එකකට හෝ අයිති නොවන සංක්‍රාන්ති ලිංගික වැනි අනන්‍යතා ඉන් බැහැර කෙරේ.

ලංකාවේ බොහෝ පාසල් වල ලිංගිකත්වය සහ ඒ හා බැඳුනු අනන්‍යතා සම්බන්ධ සාකච්ඡාවක් මේ දක්වාත් ඇති වී නොමැත. එම නිසා ප්‍රධාන දහරාවේ නොවන ලිංගික ආශා සහ අවශ්‍යතා අත්දකින තරුණ පිරිස් බොහෝ වේදනා විඳින්නාක් මෙන්ම, ඔවුන්ගේ ගැටළු ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුළ නියෝජනය නොවීමේ අභාග්‍යයද අත් විඳිති. 

අදෘශ්‍යමානත්වය 

සම සහ සංක්‍රාන්ති ලිංගිකත්වය පිළිබඳ භීතිකාව තුරන් කිරීම සඳහා පොදු පරිමණ්ඩලයේ මෑත කාලීනව සිදුකළ අරගල වලට පින්සිදු වන්නට අප ආයතන තුළ ගුරුවරුන් සහ සිසුන් අන් කවරදාටත් වැඩි පිරිසක් දැන් විවෘතව සිය ලිංගික අනන්‍යතාවය පිළිබඳ කතා කරති. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් වුවත්, මෙතුළින් විකල්ප දහරාවේ සියළු අනන්‍යතා නියෝජනය නොවන බව මතක තබා ගතයුතුය. එම නිසා විවෘතව ඒ පිළිබඳ කතා කරන නොකරන අයද ඇතුළුව සියල්ලන්ට පන්ති කාමරය සුවදායක, ආරක්ෂාකාරී සහ තමාව පිළිගන්නා සුළු අවකාශයක් බවට පත්කිරීමේ අවශ්‍යතාවක් පවතී.

විෂය නිර්දේශය

ලිංගිකත්වය පිළිබඳ අධිපති සම්මතයන් ප්‍රශ්න කළහැකි හොඳ මෙවලමකි විෂය නිර්දේශය. එමඟින් LGBTQ අනන්‍යතා සහිත පිරිසට සිය ජීවිතය සහ අත්දැකීම් පිළිබඳ විවෘතව කතා කිරීමේ ඉඩ විවර කරයි. එහෙත් වර්තමාන විශ්ව විද්‍යාල විෂය නිර්දේශය තුළ මේ පිළිබඳ කතා කිරීමට ඉඩ ලබාදී ඇත්තේ පාඨමාලා දෙක තුනක පමණි. ඒවායෙහිද සමහර අවස්ථා වල ලිංගිකත්වය පිළිබඳ කතා කෙරෙන්නේ ඉතා පටු ආකාරයටය. එහිදී ‘කාන්තාව’ ලෙස ප්‍රධාන දහරාවේ හඳුනා ගන්නා පුද්ගලයාගේ ගැටළු පමණක් කතා කෙරෙන අතර, අනෙකුත් අනන්‍යතා වලට ඉඩක් නොලැබේ. එසේම ස්ත්‍රී-පුරුෂ සමාජ භාවීය අනන්‍යතා සහ ලිංගිකත්වය අතර ඇති සම්බන්ධතා මෙම පාඨමාලා වලදී විභාග කෙරෙන්නේ කලාතුරකිනි. තවත් ගැටළුවක් වන්නේ බොහෝවිට මෙම පාඨමාලා අනිවාර්ය නොවන පදනම මත ලබාදීමයි. එවැනි පාඨමාලා බොහෝවිට ඇතුළත් කරන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල ඇතුළත් විවිධත්වය පිළිබඳ නිර්ණායකය සම්පූර්ණ කිරීම සඳහාය. එහිදී සිදුවන්නේ කොහොමත් මෙම ගැටළු පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස පමණක් ඒවා තෝරා ගැනීමය. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මෙම කාරණා පිළිබඳ පුළුල් හා ගැඹුරු අවබෝධයෙන් තොර පිරිසක් අපේ පීඨ වලින් බිහි වීමයි.    

නවලිබරල්වාදී අධ්‍යාපනය තුළ මෙවැනි පාඨමාලා හුදු නියෝජනය පිළිබඳ කරුණකට ලඝු කොට තිබේ. නියෝජනය වැදගත් නමුත්, එම නියෝජනය තුළ දෘශ්‍යමාන වන පුද්ගලයා යම් ආර්ථික හා දේශපාලනික සන්දර්භයකින් පැමිණෙන්නෙකු බවත්, බල සාධකය දිගහැරෙන එම සන්දර්භයෙන් තොරව එම පුද්ගලයා හරියාකාරව ‘නියෝජනය’ නොවන බවත් අමතක නොකළ යුතුය. ලිංගිකත්වය පිළිබඳ කතිකාව නවලිබරල්වාදය විසින් අත්පත් කරගෙන හමාරය. ඒ තුළින් වෙළඳපොළට සුදුසු ආකාරයේ කාන්තාවන් මෙන්ම LGBTQ අනන්‍යතා සහිත පුද්ගලයන්ද නිෂ්පාදනය කිරීමේ වගකීම භාරගෙන තිබේ. එහෙත් දේශපාලන ආර්ථිකය, පන්ති සම්බන්ධතා සහ ද්‍රව්‍යාත්මක අසමානතා පිළිබඳ සාකච්ඡාවකින් තොරව සිදුවන මේ පරිවර්තනය පුළුල් සමාජ දර්ශනයකින් තොර එකකි.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පාඨමාලා වලින් විෂය නිර්දේශයෙහි විවිධත්වය වැඩි කළත්, මෙම සම්මතයන් සමාජය තුළ මෙන්ම අධ්‍යාපන ආයතන තුළ ක්‍රියාත්මක වන අන්දම ගැන ප්‍රශ්න ඇසීමට ඒවා මඟින් අප යොමු කරන්නේද යන්න ගැටළුවකි. එමෙන්ම සිසුන් ඉගෙන ගන්නා අනෙක් පාඨමාලා ලිංගිකත්වය විෂයෙහි කිසිදු බලපෑමක් නොකරන, මධ්‍යස්ථ පාඨමාලා බවද එමඟින් යම් ඇඟවීමක් කෙරේ. එනිසා සියළු විෂයන් මෙන්ම සියළු සමාජ සන්දර්භයන්හි ද ලිංගිකත්වය හා ලිංගික අනන්‍යතා පිළිබඳ කාරණය දිගහැරෙන බව පෙන්වා දීම වැදගත් වේ. නිදසුනක් ලෙස පන්ති සම්බන්ධතා පිළිබඳ කතා කරන පාඨමාලාවකදී එතුළ ස්ත්‍රී, පුරුෂ සහ වෙනත් අනන්‍යතා දිගහැරෙන්නේ කෙසේද යන්න කතා කළ යුතුය. කාන්තා සහ LGBTQ කණ්ඩායම් ඓතිහාසිකව මුහුණ දුන් බහිෂ්කරණ වලට එරෙහි අරගලයක් කළහැකි අවකාශයක් බවට විෂය නිර්දේශය පත්කළ හැක්කේ එවිටය. එවැනි අරමුණකට සරිලන ආකාරයෙන් විෂය නිර්දේශයෙහි පරිවර්තනයක් සිදුකළ යුතු වේ.  

අධ්‍යයන ක්‍රියාවලිය 

එහෙත් මෙවැනි ආකාරයේ පාඨමාලාවකට පරිපාලනයෙන් පමණක් නොව සිසුන්ගෙන්ද විරෝධතාව එල්ල වනු ඇත. මෑතකදී ඉස්මත් චුග්තායිගේ ලිහාෆ් කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය මම ඉගැන්වූයෙමි. එය සමාජ-ආර්ථික කාරණා මඟින් නිෂ්පාදනය කරන ආධිපත්‍යයන්, විප්ලවයන්, ප්‍රතිරෝධයන් සහ සියුම් මෙහෙයවීම් මධ්‍යයේ කාන්තාවන් අතර ඇතිවන සමීප සම්බන්ධතා පිළිබඳ කතාවකි. එහෙත් පන්තියෙන් බාගයක් එය ප්‍රතික්ෂේප කළේ ඒ කාන්තා සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන කතාවක් බව කියමිනි. මෙවැනි අවස්ථාවක, විෂම ලිංගිකත්වය සම්මතය වන සමාජ ක්‍රමයක් තුළ විෂම ලිංගිකත්වයක් සහිත අයට අනුයුක්ත වන වරප්‍රසාද පිළිබඳ අන්තරාවලෝකනයක යෙදීමට විෂම ලිංගික සිසුවා යොමු කිරීම ගුරුවරයාගේ වගකීමකි.  

අනෙක් අතට, සම හෝ විෂම ලිංගික වේවා, සියළු ලිංගික සබඳතා වල බලය පිළිබඳ සාධකයක් අඩංගු බවද සිසුන්ට මතක් කරදිය යුතුය. සම්බන්ධතාවයක් සමලිංගික වූ පමණින් එය බල සාධකයෙන් තොර නොවේ. ඒවාද දිග හැරෙන්නේ පන්තිය , වාර්ගිකත්වය සහ කුලය වැනි බල අක්ෂ ඔස්සේය. විමුක්තිකාමී අධ්‍යාපනයක් තුළින් විකල්ප ලිංගිකත්ව පිළිබඳ වටහා ගැනීම හා ඒවාට සහයෝගය පල කිරීම පමණක් නොව, ඒවායෙහිද දිග හැරෙන බල සාධකය පිළිබඳ විචාරශීලී වීම ප්‍රයෝජනවත් වන්නේ එනිසාය. 

මේ සම්බන්ධයෙන් සමාජයක් ලෙස අප බොහෝ දුරක් යා යුතු නමුත්, බලාපොරොත්තු දනවන අවස්ථාද බොහෝ තිබේ. මේ සම්බන්ධ පර්යේෂණ සිදුකරන උපාධි අපේක්ෂකයින් හට අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය වැඩිවෙමින් පවතී; මෙවැනි ආකාරයේ සාකච්ඡා කිරීමට සහ අදාළ උත්සවාංක පැවැත්වීමට විශ්ව විද්‍යාල සිය පරිශ්‍ර ලබාදීමද සිදුකරයි; ආන්තීකරණය වූ ලිංගික අනන්‍යතා ඇත්තවුන් නේවාසිකාගාර සහ පන්ති කාමර තුළ අඩන්තේට්ටමට ලක්වූ විට ඔවුන්ට සහයෝගය පල කිරීම සඳහා අනෙක් සිසුන් ඉදිරිපත් වූ අවස්ථාද තිබේ. මෙවැනි පරිවර්තනයන් දිගින් දිගටම පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමත්, ඒවා වැඩි වර්ධනය කිරීමත් අපේ වගකීමකි.   

ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පිළිබඳ ගැටළු සහ LGBTQ අනන්‍යතා වලට අදාළව බාහිර සමාජයේ සිදුවන කතිකා වලින් පන්ති කාමරය විනිර්මුක්ත නොවිය යුතුය. ව්‍යවස්ථාවේ වගන්ති අංක 365 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතදී ප්‍රකාශයට පත්කළ තීන්දුව, පසුගිය වසරේ යාපනයේ සහ කොළඹ පැවැත්වූ LGBTQ පෙරහැරයන්, හා LGBTQ ප්‍රජාව විසින් සමානත්වය අරබයා මෑත කාලීනව අත්කර ගන්නා ලද ජයග්‍රහණ පිළිබඳ සන්දර්භයක් තුළ මේ කාරණා කතා කිරීමටත්, විශ්ව විද්‍යාලය ඒ සම්බන්ධයෙන් වඩාත් ප්‍රජාතාන්ත්‍රීය අවකාශයක් කිරීමටත් ශාස්ත්‍රීය ප්‍රජාව මූලිකත්වය ගත යුතුය. එහිදී වඩාත්ම වැදගත් වන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් ඉගෙනීමේ කාර්යයේදී විශ්ව විද්‍යාලය මධ්‍යයෙන් ඉවතට ගෙන, සිය එදිනෙදා ජීවිත තුළ මෙම යථාර්ථයන්හි ජීවත් වන හා ඊට එරෙහිව අරගල කරන – විශේෂයෙන්ම ආන්තීකරණය වූ – පිරිස් මධ්‍යයට කැඳවීමයි; එසේ කැඳවා ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමයි.