පර්යේෂණ වාණිජකරණය කිරීම – ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍රයට එතරම් සෞඛ්‍ය සම්පන්න දෙය​ක් නොවේ

කෞශල්‍යා පෙරේරා

පර්යේෂණයට මුල් තැන දෙන ලෝකයේ ප්‍රමුඛ විශ්ව විද්‍යාලයක දස වසර​ක් රැකියාවක නිරත වී 2000 දශකයේ මුල් භාගයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි සගයෙක්, ශ්‍රී ලංකාවේ පර්යේෂණ සංස්කෘතියක් නැතැයි කියමින් මට දුක් කන්නලව් කීවේය. ‘පර්යේෂණ සංස්කෘතියක්’ තිබීම ලෙස සත්‍ය වශයෙ​න්​ම අපි අදහස් කරන්නේ කුමක්ද? මෙයට විශාල අරමුදල් තිබීමම ප්‍රමාණවත්ද? ඵලදායී හා අර්ථාන්විත පර්යේෂණ සංස්කෘතියක් කරා ගමන් කිරීමට අප​ට ඇති අවහිර මොනවාද? පනවා ඇති ප්‍රතිපත්ති කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පිළිබඳව වාද විවාද තිබුනද තම පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල මේ වනවිට දැඩි උත්සාහයක් ගෙන ඇත (ලංකාවේ පෞද්ගලික උසස් අධ්‍යපන ආයත​නවල පර්යේෂණ සංස්කෘතිය ගැන එතරම් සැලකිල්ලක් අප රටේ නොමැත. මෙය වෙනත් අවස්ථාවකට සුදුසු සාකච්ඡාවකි). එය එසේ නම් මගේ සගයා එසේ දුක් වීමෙන් පසු ගත වුනු 25 වසර තුළ සිදුවී ඇත්තේ කුමක්ද?

‘පර්යේෂණ සංස්කෘතිය​ක්’ යනු කුමක්ද?

යහපත් පර්යේෂණ සංස්කෘතියක් යනු අපට – විද්වතුන් සහ සිසුන්​ට – ඵලදායි ලෙස පර්යේෂණවල නිරත වීමට බලපුළුවන්ක​ම ඇති පරිසරය​කි. මෙයින් අදහස් කරන්නේ යටිතල පහසුකම්, පුහුණුව, සෞඛ්‍ය සම්පන්න උපදේශනය, සහ සිතීමට ඇති අවකාශය නැතහොත් ‘හිතන්න වෙලාව’ තිබීම ​ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් ලෙස අප මුහුණ දෙන ගැටලු කිහිපයක් ව​න යල් පැන ගිය පරිපාලන රෙගුලාසි, ඉතා දුර්වල මූල්‍යම​ය සම්පත් වැනි දේ පිළිබඳව මම මීට පෙර කුප්පි තීරු ලිපියකින් දීර්ඝ ලෙස විස්තර කළෙමි. මගේ දෘෂ්ටිකෝණය සමාජ විද්‍යාව තුලි​න් වන නිසා අනෙකුත් විෂයයන්ට වඩා මේ අදහස් වෙනස් විය හැකි වුවද, අප සියල්ලෝම එක සමානව මුහුණ පාන ගැටලු කිහිපයක් හෝ ඇති බව මට හැඟේ.

එක: මුදල් ඉතා වැදගත් වේ

අපි ඇමරිකානු විශ්ව විද්‍යාල උදාහරණයක් ලෙස අපි ගනිමු. හාවඩ් සඟරාවට අනුව, 2024 මූල්‍ය වර්ෂය සඳහා හාවඩ් විශ්ව විද්‍යාලය ඩොලර් මිලියන 686.5ක් පර්යේෂණ ප්‍රදාන වශයෙන් ෆෙඩරල් රජයෙන් ලබා ගත් නමුත් හදිසියේම දැන් එවැනි අරමුදල් නැවැත්වීම නිසා ​ඔවුන් මහත් අකරතැබ්බයකට මුහුණපා ඇත. මෙම විශ්ව විද්‍යාලවල පර්යේෂණ අරමුදල් සාමාන්‍යයෙන් වැය කරනු​යේ පර්යේෂණ විද්‍යාගාර සහ ආයතන ගොඩනැගීම සහ නඩත්තු කිරීම​, විද්‍යාගාර උපකරණවල පිරිවැය, භෞතික සහ වෙනත්  සම්පත් සඳහා සහ තම ආයතන​යේ පශ්චා​ත් උපාධි ලබාගන්නා ශිෂ්‍ය​යෝ සහ වෙනත් පර්යේෂණ සහායකයෝ සඳහා දීමනා ගෙවීමටත්, සම්මන්ත්‍රණ සඳහාත් ය. මෙවැනි විශා​ල ප්‍රාග්ධනයක් පර්යේෂණ ක්ෂේත්‍රය සඳහා යෙදවී​මෙන් තොරව, එක්සත් ජනපදයට වෙනත් රටවල සිටි කුසලතාසම්පන්න  දීප්තිමත් පර්යේෂකයින් ආකර්ශනය කර තබා ගැනීමට නොහැකි වනු ඇත. පර්යේෂණ සඳහා විශාල මුදලක් කැප නොකරන්නේ නම්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ද ඔවුන් අපේක්ෂා කරන, ආශා කර​න පර්යේෂණ සංස්කෘතිය ගොඩ නැගීමට නොහැකි වේ. රටේ පවතින ආර්ථික තත්ත්වය නිසා, රාජ්‍ය විශ්වවිද්‍යාල පසුගිය වසර කිහිපය තුළ පර්යේෂණ අරමුදල් ලෙස භාවිතා කලේ බොහෝවිට ස්වයං-ජනනය කරන ලද අරමුදල් ය. එහෙත්, පර්යේෂණ අරමුදල් අඩුවෙන් හෝ පවතින විට පවා අපට ඊට අමතර ගැට​ලු ද තිබේ.

දෙක: නිමක් නැති රතු පටි

ලංකාවේ රා​ජ්‍ය විශ්වවිද්‍යාලවල රතු පටි අනන්ත ය. විදේශ පර්යේෂණ ආයතනයක් සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම​ට අවම වශයෙන් වසරක් වත් ගතවේ. පර්යේෂණ ප්‍රදානයන් ලබා ගැනී​ම සහ වියදම් කිරීම සම්බන්ධ මූල්‍ය රෙගුලාසි ​නිසා ​ පර්යේෂක​යෝ මහත් පීඩනය​කට පත් වෙ​ති.

මෙය මම පෞද්ගලික උදාහරණයකින් පෙන්වා දෙමි. 2018 දී මගේ විශ්ව විද්‍යාලයෙන් මම කුඩා පර්යේෂණ ප්‍රදානයක් සඳහා ඉල්ලුම් කළෙමි. මාස කිහිපයකට පසු, එය පිරිනමන ලද බවට විශ්ව විද්‍යාලයෙන් මාහ​ට දැනුම් දුන්නේ​ය. එය මා වෙත ලබා දෙන්නේ රුපියල් 100,000 කට නොවැඩි වාරික වශයෙනි. මෙම වාරිකය ලබා ගැනීමට මම වවුචරයක් ඉදිරිපත් කර ඉන්පසු එය විවිධ කාර්යාල හරහා විවිධ අනුමැති ලබා ගනිමින් ගමන් කරන තුරු සති කිහිපයක් බලා සිටිය යුතුය. අද්භූත මූල්‍යමය හේතූන් නි​සා, ප්‍රතිපූරණ ඉල්ලා සිටීමෙන් අප​ව අධෛර්යමත් කෙ​රේ. කාල සංවේදී අධ්‍යයනයක මම යෙදී සිටින්නේ නම් හෝ  උපකරණ සහ පර්යේෂණ ද්‍රව්‍ය සඳහා විශාල මුදලක් මා හට අවශ්‍ය වන්​නේ නම්, මෙම ප්‍රදානය භාවිතා කිරීමට නොහැකි වන බව මින් පැහැදිලි ​ය. මගේ පර්යේෂණ සහායක​යෝ හෝ පිටපත් කරන්නෝ මෙම අත්තිකාරම් මට ලැබෙන තෙක් ඔවුන්ගේ ගෙවීම් සඳහා යම් කාලයක් ඉවසා සිටීමට කැමැති වි​ය යුතුය. 2022 දී, මට දෙවන අත්තිකාරම ලැබෙන විට මේ රෙගුලාසි තවත් තද වී තිබිණි. සති තුනක් ඇතුළත අරමුදල් වියදම් කර ගිණුම් පියවන ලෙස මට උපදෙස් ලැබිණි. ඉන් කෝප වුනු මම ‘එතකොට මම මගේ පර්යේෂණ සහායකයින්ට ඒගොල්ලන්ගේ වැඩේ කරලා ගෙවීම් සඳහා සති කිහිපයක් හෝ මාස කිහිපයක් බලන් ඉන්න කියන්නද? නැත්තම් අත්තිකාරම් ලැබෙනකම් වැඩ කරන්න එපා කියලා ඒක ලැබුණු ගමන් සති තුනකින් වැඩේ ඉවර කරලා දෙන්න කියන්නද ඕනි?’ යැයි ඇසුවෙමි.

විශ්ව විද්‍යාල ප්‍රදාන නිතිපතා භාවිතා කරන ඇතැම් සගයෝ අසීරුවෙන් සහ කලකිරීමෙන් මෙවැනි බාධකවලට මුහුණ දෙමින් ඒවා භාවිතා කරති. තවත් අය විශ්ව විද්‍යාලයෙන් පිටත සංවිධාන හරහා පර්යේෂණ වැඩ කිරීමට තීරණය කර​ති. මීට වසර කිහිපයකට පෙර, පර්යේෂණ සඳහා තරුණ කථිකාචාර්යවරු දිරිගන්වන්නේ කෙසේදැයි සාකච්ඡා ක​ළ විශ්වවිද්‍යාල රැස්වීමක් අවසානයේදී එහි සිටි ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් පිරිසක් ඉදිරිපත් කලේ පර්යේෂණ සංස්කෘතියක් පෝෂණය කිරීමට අවශ්‍ය නම් විසඳිය යුතු පරිපාලන හා මූල්‍ය ගැටලු ලැයිස්තුව​කි. මේ ගැටලු තවමත් විසඳී නො​මැත. මේ ප්‍රශ්න ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති වලට මැදිහත් විය හැකි ප්‍රධාන කටයුත්තක් වුවද ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ වැටුප්, වාහන බලපත්‍ර සහ පාසල් කෝටා ගැනය. පර්යේෂණ යනු ශාස්ත්‍රාලිකයෙකුගේ ප්‍රධන කාර්යභාර​ය​ක් සහ වගකීම​ක් නම්, පර්යේෂණ-හිතකාමී අධ්‍යයන පරිසරයක් අපට ලබාදීම වරප්‍රසාදයක් නොව ශ්‍රමික හෝ කම්කරු ප්‍රශ්නයක් වන අතර එසේ නොමැති කම නව දැනුම උත්පාදනය කිරීමට ඇති අධ්‍යයන නිදහසට බාධා කිරීමකි.

තුන: උපකරණීයවාදී  පර්යේෂණ ගෝලීය වසංගතයක්

ශ්‍රී ලංකාව තුළ සහ ගෝලීය වශයෙන් ද පර්යේෂණවල ගුණාත්මක භාවය ඇති ද යන්​න නැගී එන ගැටළුවකි. ගෝලීය පර්යේෂණ පරිසරයේ තරඟකාරීත්වය හේතුවෙන් ‘නවීන’ මාතෘකා සඳහා අරමුදල් වෙන්කිරීම, විලෝපික (ප්‍රි​ඩේටරි) ප්‍රකාශන සහ සම්මන්ත්‍රණ, මෝල් වැනි සඟරා කර්මාන්තයක්, ව්‍යාජ දත්ත සහිත ප්‍රකාශන යනාදී බරපතල ගැටලු සහගත සංසිද්ධි දැන් අපට පෙනෙන්නට ඇත. අවතාර ලිවීම (හෙවත් තම නමින් අන් අයකු ලවා ලියැවීම) සහ කෘතිම බුද්ධි මෙවලම් සදාචාර විරෝධී ලෙස භාවිතය තව සමකාලීන ගැට​ලු වේ. ශ්‍රී ලංකාවේ ද, පර්යේෂකයන් ඉතා වේගයෙන්, එනම් සති කිහිපයක් හෝ මාස කිහිපයකි​න්, ප්‍රකාශන පළ  කරනු අපට පෙනේ. කෙටිකාලීන අධ්‍යයන කිරීම, විලෝපික සඟරාවලට ලිපි යවා ඉක්මනින් පළ කිරීමට උත්සාහ කිරීම, එකම ලිපිය එකවර සඟරා කිහිපයකට යැවීම යනාදිය අපට දැකගත හැක. විශ්ව විද්‍යාල ද කැමැත්ත ද​ක්වන්නේ වඩාත් ඉහල තලයේ සම්මන්ත්‍රණවලට වඩා ප්‍රමාණයෙන් වැඩි සම්මන්ත්‍රණ ය. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය විශ්ව විද්‍යාල තම ආචාර්ය උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ නිබන්ධන ඉදිරිපත් කිරීමට පෙර පර්යේෂණ ලිපි පළ කළ යුතු බවට නියම කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නවක පර්යේෂක​යෝ නිතරම විලෝපික සඟරාවලට යො​මු වේ. පීඨ හෝ දෙපාර්තමේන්තු වලටද සඟරා පිහිටුවීමට විශ්ව විද්‍යාල විසින් දිරිමත් කිරීමෙන් වැඩ අධික වී පර්යේෂණ විචාර බොහෝවිට ගුණාත්මක බවෙන් අඩු ​වේ.

මීට අමතරව ඇතැම් ආයතනික වෙනස්කම් ද අදූරදර්ශී ඒවා ​වේ. නිදසුනක් වශයෙන්, විශ්ව විද්‍යාල සඳහා වූ පසුගිය ලෝක බැංකු ණය චක්‍රයේ කොටසක් ලෙස විශ්ව විද්‍යාල වල ව්‍යාපාර සම්බන්ධක සෛල (යුනිවසිටි බිස්නස් ලින්කේජ්) ස්ථාපිත කරන ලදී. ඔවුන්ගේ මූලික අවධානය යොමුවන්නේ  පර්යේෂණ ‘වාණිජකරණය’ටයි. එනම්  පේටන්ට් බලපත්‍ර නිෂ්පාදනය කළ හැකි පර්යේෂණ සහ විකිණිය හැකි දේවල් සම්බන්ධ පර්යේෂණ කෙරෙහි වැඩි අව​ධානයක් යොමු කිරීමයි. එවැනි පටු දැක්මක් පර්යේෂණ සම්බන්ධව ඇති විට විශ්ව විද්‍යාල තුළ සිදු කෙරෙන අනෙක් පර්යේෂණ , විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන්හි පර්යේෂණ, නොපෙනෙන සහ නොසලකා හැරෙන තත්ත්වයකට පත් වනු ඇත. වඩා පුළුල් දැක්මක් විශ්ව විද්‍යාල වලට ඇත්තේ නම් පර්යේෂණ වාණිජකරණයට වඩා පර්යේෂණ ප්‍රවර්ධනය ට යොමු විය යුතු​ය.

අප  ‘අදාළ’ හෝ ‘ප්‍රයෝජනවත්’ ලෙස සලකන්නේ කුමන ආකාරයේ පර්යේෂණද යන ප්‍රශ්නය අපට  මෙයින් මතු​වේ. මෙය සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති ප්‍රශ්නයකි. එක් අතකින් පර්යේෂණය යනු ප්‍රභූ උත්සාහයකි. පර්යේෂණ සඳහා පවරන ලද මහජන මුදල් අප වටිනා ව්‍යාපෘති සඳහා වැය කරනු ඇතැයි මහජනතාව විශ්වාස කළ යුතු යැයි අපි උපකල්පනය කරමු. එහෙත්, සෑම පර්යේෂණයකම වටිනාකම හෝ කාලෝචිත බව ඉක්මනින් පෙන්වීමට නොහැ​ක. සමහර පර්යේෂණ වල වැදගත්කම ​ අවබෝධ කර ගත හැක්කේ විශේෂඥයින්ට පමණි. එනිසා, සමහර පර්යේෂණ ව්‍යාපෘති සඳහා වැය කරන අරමුදල් හෝ කාලය, යම්කිසි කලෙක ඒ දැනුම සඳහා අවශ්‍යතාවයක් ඇති වන තුරු, නාස්තියක් හෝ වරප්‍රසාදයක් ලෙස පෙනෙන්නට පුළුවන.

​මෙයට කෙටි උදාහරණයක් ලබා දෙන්නෙමි. සිංහල සහ ශ්‍රී ලාං​කීය දෙමළ භාෂා ව්‍යුහයන් (ශබ්ද රටා, කථනයේදී ඇති වාක්‍ය ව්‍යුහය ආදිය) පිළිබඳ පර්යේෂණ 1970 ගණන්වල සිට​ම බොහෝ දුරට ඇන සිට  ඇත. කලා ක්ෂේත්‍රයේ මෙවැනි පර්යේෂ​ණ මාතෘකා කෙරෙහි ඇති උනන්දුව අඩු වී, පසුගිය වසර 30 තුළ මෙම ක්ෂේත්‍රවලට අඩු ප්‍රවීණ​තාවයක් යොමු වී ඇත. ඇත්ත වශයෙන්ම, එය ලාභදායී පේටන්ට් බලපත්‍ර හෝ ජාතියේ සංවර්ධනයට ඍජු දායකත්වයක් පෙන්විය හැකි ක්ෂේත්‍රයක් නොවේ. නමුත් අප ර​ටේ භාෂා පිළිබඳ ක්‍රමානුකූල දැනුමේ අවශ්‍යතාවය ඩිජිටල් සහ කෘතිම බුද්ධි තාක්ෂණය ඇති මේ යුගයේ ඉතා පැහැදිලිව පෙනෙයි. රටක මුළු ජනගහනයටම ප්‍රයෝජනවත් වීමට නම් ඩිජිටල් තාක්‍ෂණ දේශීය භාෂාවලින් භාවිතා කිරීමට හැකි විය යුතුය. දේශීය භාෂා වල ව්‍යුහයන් සහ ශබ්ද පිළිබඳ දැනුමක් නොමැතිව – විශේෂයෙන් කථන ප්‍රභේදවල  – ඉංග්‍රීසි නොදන්නා පුද්ගලයින්ට එම උපාංග සහ ඇප් භාවිතා කරන ලෙස සකස් කිරීම අපහසුය. එවැනි ව්‍යුහයන් පර්යේෂණ කිරීමට මෙය පෙළඹවීමක් වන අතරම, පර්යේෂණ පිලිබඳව උපයෝගීතා ඇසකින් බැලීම ද මෙම අවශ්‍යතාවය නිසා වලංගු වේ.

පර්යේෂණය සම්බන්ධව  උපකරණීයවාදී  මතවාද අනුමත කිරීමේ ගැටලුව මෙයයි. ලෝක බැංකු ප්‍රතිපත්ති මගි​න් පර්යේෂණ රටේ සංවර්ධනයට ලඝු කරයි. එහෙ​ත්, මැතිවරණ ප්‍රකාශන සම​ග රාජ්‍ය ප්‍රතිපත්ති ගැටගැසී ඇති අප වැනි රටක කරළියට එන්නේ මැතිවරණ චක්‍ර සම​ග ගැටගැසුණු පර්යේෂණ අරමූණු සමූහයකි. 2019 දී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නම්, 2025 දී එය ‘ක්ලී​න් ශ්‍රී ලංකා’ විය හැකිය. එනිසා ජාතික සංවර්ධනය සම්බන්ධ පර්යේෂණ ගැන  අදූරදර්ශී ලෙස සිතීමෙන් අපට දිගු කාලීන ප්‍රථිඵල අල්පයකි. ඒ සමගම, තරඟකාරී ජාත්‍යන්තර පර්යේෂණ ප්‍රදාන සඳහා අයදුම් කිරීමේදී ඇතැම් විට ජාතික වශයෙන් අදාළ නොවන පර්යේෂණ න්‍යායපත්‍රවලට යටත් විය හැකි අතර මෙයද ගැට​ලු සහගතය. මේ නි​සා පර්යේෂණ ආචාර ධර්ම පිළිබඳවද ගැට​ලු ම​තු වේ.

සමාප්ති​ය

‘යහපත් පර්යේෂණ සංස්කෘතියක්’ කරා ගමනේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල දියුණු ​යැයි සිතන රටවල් අනුගමනය කිරීමේ උගුලට හසුවී යම් ගැටලුකාරී ප්‍රවණතා වලට මුහුණ දී ඇත. කෙසේ වෙතත්, ඔවුන් අපට කලින් මේ ප්‍රශ්න වලට මුහුණ දී ඇති නිසා ඔවුන්ගේ පර්යේෂණ පිළිවෙත් වල හානිකර ප්‍රතිවිපාක දෙස බලා ඉන් වඩාත් ඵලදායී ක්‍රියාවලි අනුගමනය කිරීමට අපට අවස්ථාව ඇත. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වනුයේ පර්යේෂණ ප්‍රමුඛතා පිළිබඳ නොඉක්මන්, සැලකිලිමත් ප්‍රවේශයකි. වඩා හොඳ පර්යේෂණ පරිසරයක් ඇති කර ගැනීමට, ද​යාවන්ත උපදේශන සමග පර්යේෂක සබඳතා සහ සහයෝගීතා දෙස නව මුහුණුවරකින් බලන සාමූහික පරිසරයක් අප ඇති කර ගත යුතු කාලයකි මෙය.