ප්‍රතිවිරෝධයෙන් විකල්පයකට? අරගලයෙහි ශක්තිය සහ දිශානතිය පිළිබඳ සිතිවිලි කිහිපයක් 

සසිනිඳු පටබැඳිගේ 

මෙම ලිපිය ලියන මොහොත වන විට අප ‘අරගලය’ යැයි හඳුනා ගන්නා ව්‍යාපාරය මර්දනය කිරීමට ලිබරල් සහ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා නායකයෙකුගේ ආශිර්වාදය ලැබී තිබේ. ලිපියෙහි අරමුණ වන්නේ වත්මන් සංක්‍රාන්ති සමය පිළිබඳ සිතුවිලි කිහිපයක් ඉදිරිපත් කිරීමත්, ඒ මත පදනම්ව අනාගතය සඳහා ප්‍රයෝජනවත් වියහැකි අදහස් කිහිපයක් බෙදාහදා ගැනීමත්ය. 

ශාස්ත්‍රීය කවයන්හි නිතර ගැවසෙන අප වැන්නන් අපටම මතක් කරදිය යුතු කරුණක් වන්නේ “වීදියෙහි සිදුවන දේ හැමවිටම න්‍යායට වඩා අඩි දෙකක් ඉදිරියෙන් පවතින” බවයි. නමුත් මෙහි අරමුණ ‘වීදිය’ රොමෑන්තිකකරණය කිරීම නොවේ: දේශපාලනික පන්තිය හෝ වීදිය යන දෙකම අධිතක්සේරු කිරීම අනතුරුදායකය. අනෙක් අතට වීදියට නොබට අය අමතක කිරීම හෝ ඔවුන්ට දොස් පැවරීමත් පහසු දෙයකි. සමාජ අන්තයන්හි ජීවත් වන, විරෝධතා පවත්වන ස්ථාන වලට පැමිණීමට තරම් ආර්ථික ශක්තියක් හෝ බලයක් නොමැති බොහෝදෙනා වෙති. එම නිසා වීදිය කිසිවිටෙක සමාන භූමියක් නොවේ. එහෙත් වීදිය පිළිබඳ මෙම කියවීමෙන් වීදිය හෝ එහි ශක්තිය බැහැර කළයුතු බව කිසිලෙසකින්වත් අදහස් නොවේ.  

දරුණු අර්බුද අවස්ථාවක් තුළින් පද්ධතිමය ප්‍රශ්න ‘ප්‍රශ්න’ ලෙස දැකීමේ අවකාශය නිර්මාණය කරදෙයි. නමුත් මෙම කියවීම උප්පරවැට්ටි සහ උගුල් බොහොමයක් මඟහරිමින් කරගත යුතු එකකි. නිදසුනක් ලෙස සාමාන්‍ය තත්වයන් යටතේ හමුදාව දෙවියන්ට සමාන කොට සළකන බවත්, එය මිථ්‍යාවක් බවත් අපි දනිමු. එය තල කිහිපයක ක්‍රියාත්මක වන මිථ්‍යාවකි: පළමුව මිලිටරිය යනු ස්වාර්ථය (එනම් තමාට ලැබෙන ප්‍රතිලාභ) උදෙසා ක්‍රියාත්මක වන ව්‍යුහයකි; දෙවනුව, එහි ප්‍රතිඵලයක් ලෙස සිය පන්ති අභිලාෂ සාධනය කරදෙන පාලන තන්ත්‍ර සහ දේශපාලනඥයන් මිලිටරිය විසින් ආරක්ෂා කරයි. ‘සාමාන්‍ය’ කාල වලදී මෙම මිථ්‍යාව අනාවරණය කිරීමට යෑම අනතුරුදායක දෙයකි. නමුත් අරගලය පිළිබඳ සන්දර්භය තුළ සමහර අවස්ථා වලදී මෙම මිථ්‍යාව ලිහී ගොස් මිලිටරිය නමැති සාමාන්‍යයෙන් ප්‍රශ්න නොකරන ව්‍යුහය ප්‍රශ්න කිරීමට ලක්වූ අවස්ථා තිබුණි.

එහෙත් මෙවැනි අවස්ථා ඉතා ක්ෂණික සහ අස්ථිර ඒවා විය. දැන් අපේ අරමුණ විය යුත්තේ ඒවා ‘මනසේ පුරුදු’ බවට පත්කර ගැනීමයි. අධ්‍යාපනයට භූමිකාවක් ඇත්තේ මෙතැනය. කුප්පි සාමූහිකය විසින් ප්‍රවර්ධනය කරන ආකාරයේ අධ්‍යාපනයක්, එනම් හුදු තාක්ෂණික ව්‍යායාමයක් හෝ තොරතුරු හුවමාරුවක් නොවන, කියවීම, අරගලයේ සංකීර්ණත්වය තුළින් පාඩම් ඉගෙන ගැනීම සහ චින්තනය පුළුල් කරගැනීමට දිරිදෙන ආකාරයේ අධ්‍යාපනයක් තුළිනි යට කී  ක්ෂණික සහ අස්ථිර අවස්ථා ‘මනසේ පුරුදු’ බවට පත්කර ගත හැක්කේ.   

මිලිටරිය පිළිබඳ පෙර දැක්වූ උදාහරණය ඉදිරියට ගෙනයන්නේ නම්, මිලිටරිය, දේශපාලන පන්තිය, ඉහළ රාජ්‍ය නිලධාරී පැලැන්තිය සහ ව්‍යාපාරික පන්තිය යන කණ්ඩායම් පන්ති ව්‍යුහයන් මෙන් එකිනෙකෙහි අවශ්‍යතා ඌන පූරණය කරමින් ක්‍රියාත්මක වනු දැකිය හැකිය. සංඝයාගේ සංකේතාත්මක භූමිකාව පිළිබඳ නිව්ටන් ගුණසිංහයන් දැක්වූ අදහස මෙහිදී වැදගත් වේ: සංඝයා යනු බැලූ බැල්මට සමාජ පන්තියක් නොවුනත් දෘෂ්ටිවාදීමය වශයෙන් සංසක්තියක් සහිත කණ්ඩායමකි. එය සමාජ පන්තියක් නොවන්නේ “නිවනට යන මඟට අවතීර්ණ වූ තනි සදාචාරාත්මක ප්‍රජාවක්” යන අදහස සමාජගත කොට ඇති නිසාය. එහෙත් මෙම ප්‍රජාව ඇතුළත බොහෝ විභේදන පවතී. එහෙත් සමූහයක් වශයෙන් තමාට ලබාගත හැකි වාසි භුක්ති විඳීම සඳහා ඔවුහු දෘෂ්ටිවාදීමය වශයෙන් සංසක්තියක් සහිත කණ්ඩායමක් ලෙස එක් වෙති. එම නිසා එය නිල වශයෙන් පන්තියක් නොවුනත් පන්තියක් හා සමාන ලෙස ක්‍රියාත්මක වේ. දේශපාලන හා මිලිටරි ‘පන්තීන්’ වල ක්‍රියාකාරීත්වයද මෙබඳුය. මෙහි මා මතු කරන්නට උත්සහ කරන සියුම් වෙනස සම්භාව්‍ය මාක්ස්වාදයේ එන පාලක පන්තිය පිළිබඳ විශ්ලේෂණයට වඩා වෙනස් එකකි: දේශපාලනික පන්තිය තුළ ස්වාර්ථය, වාර්ගිකත්වය, ආගම, කුලය හා භාෂාව වැනි සාධක ඔස්සේ බෙදුම් රේඛා පවතී. නමුත් ඔවුහු ඉතා සියුම් හා ශක්ති සම්පන්න ලෙස දෘෂ්ටිවාදීමය වශයෙන් සංසක්තියක් සහිත කණ්ඩායමක් වශයෙන් වැඩ කරති. මෙම පන්ති-නොවුනාට-පන්ති-වැනි ව්‍යුහයන් විසින් සිය ආධිපත්‍යය  භාවිතා කොට ස්වකීය (සහ එකිනෙකාගේ) අරමුණු සාධනය කරගැනීම වෙනුවෙන් වෙහෙසෙති. අර්බුද අවස්ථා වල එය ඉතා පැහැදිලිව ප්‍රකට වෙයි. ඇතුළාන්ත බෙදුම් ඇතිකිරීම, විරුද්ධවාදී කණ්ඩායම් තුළට රහසේ ඇතුළු වීම, නීතිය අවභාවිත කිරීම, සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දීම මෙම ක්‍රියාමාර්ග අතරින් කිහිපයක් පමණි. 

මාක්ස්වාදය සහ සාහිත්‍යය පිළිබඳ සිය න්‍යායාත්මක අදහස් දැක්වීම් වලදී රේමන්ඩ් විලියම්ස් පවසා ඇති කරුණු මෙතැනදී වැදගත් වේ: ආධිපත්‍යයික, අවශේෂිත හා උද්භව තත්වයන් අතර අන්තර් සම්බන්ධතා දැක්වීමේදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වල කොටස් ඈඳා ගැනීමටත්, ප්‍රතිවිරෝධය විකල්පයක් බවට දියකොට හැරීමටත් ආධිපත්‍යයික කණ්ඩායමට ඇති හැකියාව පිළිබඳ විලියම්ස් අනතුරු අඟවයි. මගේ අදහසේ හැටියට මෙතැන ‘ප්‍රතිවිරෝධය’ හා ‘විකල්පය’ යන පද දෙක භාවිතා වන්නේ විරුද්ධ පද හැටියටය: ප්‍රතිවිරෝධය ආධිපත්‍යයට එරෙහි ක්‍රියාවක් වන අතර, විකල්පය ආධිපත්‍යයට එරෙහිව ගන්නා තීරණයකි. එම නිසා ප්‍රතිවිරෝධී ව්‍යාපාරයකට ප්‍රතිචාර නොදක්වා සිටීමට හෝ එය උකහා ගැනීමට ඇති ඉඩප්‍රස්ථාව අවම වන අතර, විකල්පයකට එසේ කිරීම එතරම් අපහසු නොවේ. විලියම්ස් මෙම අදහස් දක්වන්නේ උසස් ධනේශ්වර පද්ධතීන්හි අධිපත්‍යය අරබයාය. නමුත් රාජපක්ෂ දේශපාලනය අධිපතීත්වය දරන දේශපාලන පද්ධතියක් තේරුම් ගැනීමටද මෙය බොහෝ ප්‍රයෝජනවත් අදහසකි.    

අරගලය තුළ ප්‍රතිවිරෝධය විකල්පයක් බවට පත්කිරීමට දරන වෑයම තේරුම් ගැනීමට ගන්නා උත්සාහයේදී, මෙම ප්‍රතිවිරෝධය තනි කණ්ඩායමක් ලෙස හෝ තනිකරම ප්‍රගතිශීලී බලවේගයක් ලෙස වටහා නොගත යුතුය. එය තුළද ඉතා ජාතිකවාදී, ආගන්තුක දෙයට ප්‍රතිරෝධී, පුරුෂ-කේන්ද්‍රී හා විෂම ලිංගිකත්වයට මුල්තැන දෙන ආකාරයේ බලවේග පවතී. එසේම අනෙක් අතට සමහරුන්ගේ අදහසට අනුව කොළඹ ගෝටාගෝගම යනු ක්ෂුද්‍රරූපී කොමියුනිස්ට් සමාජයක් යැයි සිතෙන තරමට රෝමෑන්තිකකරණය වූ අවකාශයකි. උද්භව ප්‍රතිවිරෝධී ව්‍යාපාර හැමවිටම අධිපති බලවේග වලින් තනිකරම පරිබාහිරව නොපවතින අතර, එම නිසාම ඒවා අධිපති ධාරාවට ඇදී යාමේ ප්‍රවණතාව නිතරම පවතී. එසේ වුවත් වත්මන් විරෝධතා ව්‍යාපාර මඟින් ප්‍රතිසංස්කරණය සඳහා අත්‍යාවශ්‍ය වූ අවකාශයක් විවර කර දී තිබේ. කොතරම් සීමාවන්ට යටත් වුවද මේ අවකාශය අරගලයේ අපරිමිත ශක්තියයි. 

ප්‍රතිවිරෝධය විකල්පයක් බවට දියාරු කිරීමට අධිපති කණ්ඩායම උත්සාහ කිරීමේ තේරුම වනාහි ප්‍රතිරෝධයට ඉඩක් නැති බව හෝ ප්‍රතිරෝධයක් නැති බව නොවේ. අධිපති කණ්ඩායමේ අරමුණ වන්නේ ප්‍රතිවිරෝධයෙන් කෙරෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට තමාට සිදුනොවන තත්වයක් ඇතිකර ගැනීමයි. අනෙක් පැත්තෙන් ඊට සාපේක්ෂව අවශ්‍යයෙන්ම දිනාගත යුතු ඉල්ලීම් සමූහයක් තිබිය යුතුය. වෙනස්විය යුත්තේ කෙටිකාලීනව සිතීමේ පුරුද්දයි. දිගුකාලීනව සිතීම සහ ඒ තුළින් ‘මනසේ පුරුදු’ වර්ධනය කරගැනීම සඳහාය අධ්‍යාපනය අවශ්‍ය වන්නේ. එසේම මේ අවස්ථාවේ Occupy Wall Street ව්‍යාපාරයට ගයාත්‍රි ස්පිවැක්ගේ ඇමතුමද සිහිපත් කළ යුතුය: “ලෙනින්ගේ ‘කළ යුත්ත’ පක්ෂය වටා කැරකුණු එකකි. අපේ ‘කළ යුත්ත’ කැරකිය යුතු වන්නේ ඡන්ද දායකයින්ගේ මානසිකත්වය වටාය.”