එරන්දිකා ද සිල්වා
මහනුවර ඉපදී හැදී වැඩුණු කෙනෙකු වශයෙන් නුවර ඇසල පෙරහැර මම අඩු වශයෙන් 10 වතාවක් නරඹා ඇත්තෙමි; පාසල් කාලයේදී අඩු වශයෙන් පස් වතාවක් එය චිත්‍රයට නඟා ඇත්තෙමි. පෙරහැරට ආරක්ෂාව සැපයීමට පැමිණෙන ආරක්ෂක අංශ වල සාමාජිකයන්ට නවාතැන් පහසුකම් සැපයීමේ අවශ්‍යතාව නිසා දීර්ඝ පාසල් නිවාඩු පෙරහැර කාලයේදී ලැබුණි. අයිස් ක්‍රීම් කරත්ත, ඉස්සෝ වඩේ, බැලුන් සතුන්, සද්ද නලා සහ කළුවරේ දිලිසෙන රිටි වලින් පිරි අගෝස්තු මාසය ළමා කාලයේ මගේ මතකයන් අතර සැණකෙළි ස්වභාවයක් දරයි. වයසින් වැඩිවත්ම මේ ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් මට ඇතිවිය: ‘සාදු සාදු’ කියන විට මිනිසුන් සිය දෑත් ඔසවන්නේ ඇයි? පෙරහැරේ අලි යන්නේ ඇයි? අලුත උපන් දරුවන් ආශීර්වාදය සඳහා යැයි කියමින් අලියාගේ බඩ යටින් ගෙනියන්නේ ඇයි? අලින්ට විශේෂ සුවකිරීමේ බලයක් තිබේද? ඔවුන් දිව්‍යමය සතුන්ද? එසේනම් ඔවුන් බැඳදමා ඇත්තේ ඇයි? ඔවුන් මෘගයන්ද?
පාසල් කාලය පිළිබඳ ආවර්ජනය කිරීමේදී, විචාරාත්මක විමර්ශනයකින් තොරව ඇසල පෙරහැර සම්බන්ධ පිටු 10-20 ව්‍යාපෘති සම්පූර්ණ කිරීම පිළිබඳ මම අද කණගාටු වන්නෙමි. පාසල් කාලයේ තවත් මතකයක් වන්නේ ‘අවුරුදු ගම’ යි. එහි ගෘහ මූලිකයා පියාය. එමඟින් විෂම ලිංගිකත්වය හා සාම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ භූමිකා පිළිබඳ සම්මතයන් ප්රතිනිෂ්පාදනය වේ. වෙසක් සහ පොසොන් උත්සව වෙනුවෙන් කූඩු සැදීමත්, නත්තල වෙනුවෙන් කිසිවක් නොකිරීමත් තුළින් යමක් නොකියවෙන්නේද? ඇසල පෙරහැර ගැන අපි ලියූ දේ වල පවා වැඩිකොටම තිබුනේ හමුදාව ඒ සඳහා පිළියෙල කළ අයුරුය. පෙරහැරෙහි හා එහි ඉතිහාසයෙහි ඇති කුලවාදය සහ වැඩවසම් භාවිතයන් පිළිබඳ සිතාබැලීමට පාසල් අධ්‍යාපනයෙන් අපව යොමු කරන්නේද? පෙරහැර සඳහා අලි ඇතුන් පුහුණු කිරීම සම්බන්ධයෙන් විචාරාත්මකව සාකච්ඡා කිරීමට අවශ්‍ය ඉඩහසර අපට තිබේද? ආගමික සහ සංස්කෘතික භාවිතයන් වල ඉතිහාසය විචාරාත්මකව විමසීමට පාසල් අධ්‍යාපන ව්‍යාපෘතීන් අපව සූදානම් කරන්නේද? විචාරයකින් තොර අධ්‍යාපනය නිසා සිසුන් තුළ යම් ජාතිවාදී ආකාරයේ චින්තනයක් වර්ධනය වීම සිදුවේ. පාඩමක් ඉගෙන ගැනීමේ හෝ ප්‍රතිරෝධය දැක්වීමේ මාර්ගයක් වශයෙන් අධ්‍යාපනය පිළිබඳ සිතා බැලීමට ලංකාවේ ඇති ඉඩ අවමය.
ජර්මානු පාසල් පද්ධතිය තුළ යුදෙව් විරෝධය (anti-semitism) හඳුනා ගැනීමට හා ඊට එරෙහිව ස්ථාවරයක් ගැනීමට පාසල් සිසුන් පුහුණු කෙරේ. යුදෙව් සංහාරයේ ඉතිහාසය, ආරම්භය, එය ප්‍රකට වූ අයුරු හා එහි ප්‍රතිවිපාක හඳුනා ගැනීම, ඊට එරෙහිව සටන් කිරීමෙහි ලා ඉතා වැදගත් බව ඔවුහු දකිති. එසේ වුවත් ජර්මනියේ පාසල් වල අදටත් සමහර අවස්ථා වල යුදෙව් විරෝධී ආකල්ප ප්‍රකට වනු වාර්තා වේ. මීට සාපේක්ෂව සිය වාර්ගික අර්බුදය, සිවිල් යුද්ධය සහ එහි ප්‍රචණ්ඩකාරී ඉතිහාසය ආමන්ත්‍රණය කිරීමට ලංකාව කෙබඳු පියවර ගෙන ඇතිද යන්න ප්‍රශ්නයක් පැන නඟී. රටේ පශ්චාත් යටත්විජිත ඉතිහාසය සහ සිවිල් යුද්ධය පිළිබඳ තොරතුරු අඩංගු වන ආකාරයේ විෂය නිර්දේශයක් හඳුන්වා දීම අරබයා සාකච්ඡා ඇතිවී තිබේ. එහෙත් ජාතිවාදය සහ වාර්ගික සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්න නැඟීමට හා ඒවා සමඟ ගනුදෙනු කිරීමට පාසල් විෂය නිර්දේශය අසමත්ව ඇත.
මගේ ලාබාල නෑ හිතවතුන් මා වසර 20 කට පමණ ඉහත කළ ව්‍යාපෘතිම නැවත කරනු දැකීමය මෙම ලිපිය ලිවීමට අද මා යොමු කළේ. පවුල, ස්ත්‍රී-පුරුෂ භාවය, පරිසරය, සංස්කෘතිය හා ආගම පිළිබඳව සිසුන්ගේ අවබෝධය පුළුල් කිරීම සඳහා අධ්‍යාපනඥයන් සංවේදී හා විචාරාත්මක බවකින් එම මාතෘකා වෙත එළඹීම අත්‍යාවශ්‍ය වේ. පාසලේදී අප ආගමික සහ සංස්කෘතික උත්සව වශයෙන් වටහා ගන්නා දේ පිළිබඳ නැවත සිතා බැලීමට කාලය එළඹ ඇත. මෙම උත්සව බොහෝවිට සංවිධානය කෙරෙන්නේ කීර්තිමත් අතීතයක උරුමය දිගටම පවත්වා ගැනීමේ මානසිකත්වයකිනි. මෙවැනි උත්සව තහනම් කිරීම ඉතා විවාදාපන්න වියහැකිය. එබැවින් අධ්‍යාපනඥයින් වශයෙන් අපට කළහැකි අවමය වන්නේ මෙම මාතෘකා වෙත විචාරාත්මකව එළඹීමය. ඇසල පෙරහැර ආසන්නයට පැමිණ ඇති මේ වකවානුවේ, 2022 වසරේ මේ කාලයේ නැඳුන්ගමුවේ රාජා හස්තියා අරබයා සමාජ මාධ්‍ය වල සැරිසැරූ පින්තූරයක් මතකයට නැඟේ. මේ පින්තූරය සහිත ස්ටිකරයක් මට විකිණීම මඟින් ක්‍රිකට් පිත්තක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගැනීමට මගේ ඥාති පුත්‍රයකු උත්සහ දැරුවේය. එහි ගැටළුව ඔහුට වැටහෙන පරිදි සරල කොට පැවසූ විට, ඒ වෙනුවට සිය චිත්‍රයක් මට විකිණීමට ඔහු එකඟ කරවා ගැනීමට හැකිවිය.
නැඳුන්ගමුවේ රාජා හස්තියා 2022 වසරේ මියගිය විට ඒ අරබයා සමාජ මාධ්‍ය වල ලොකු කතාබහක් ඇතිවිය. පෙරහැරෙහි දළදාව වැඩම කරවීමේ කාර්යය පැවරී තිබුණු නිසා මේ හස්තියා සාමාන්‍ය සේවා සතෙකුගේ තැන සිට ගරුබුහුමන් ලබන තැනට පරිවර්තනය වුනි. හස්තියාගේ මරණයෙන් පසු ඇත්ගොව්වාටද ලොකු අවධානයක් හිමිවිය. එම කතාබහේදී කියවුනේ මේ වියෝවෙන් ඇත් ගොව්වාට වන බලපෑමද අමතක නොකළ යුතු බවයි. මෙමඟින් අලි-මිනිස් සම්බන්ධතාවය තුළ මිනිසාට වැඩි වැදගත්කමක් ලබාදුන්නාක් මෙන්ම, එම සම්බන්ධතාවය වෙළඳපොලකරණයට ලක්කිරීමට පාරද කැපුණි. මේ අරබයා විවිධාකාරයේ චිත්‍ර, මුද්දර, ලියුම් කවර ආදිය කරළියට ආවේ මේ අනුවය. මෙම සමස්ත ආඛ්‍යානය තුළ අලින් පුහුණු කිරීමේ ක්‍රියාවලියේ ඇතිවන බල ගතිකතා පිළිබඳ යථාර්ථය සැඟවී ගියේය. එම හස්තියාගේ මරණය කම්පාවට හේතුවක් වූයේ ඔහු විසින් ඉටුකළ කාර්යභාරය නිසා මිස, ජීවිතයක් නැතිවීම නිසා නොවේ.
සමාජ මාධ්‍ය වල පලවූ තවත් මතයකට අනුව හස්තියා සහ ඇත් ගොව්වා යන දෙදෙනාම නිවන් දැකීමට අවශ්‍ය පෙරුම් එකට පුරන දෙදෙනෙකි. මෙහිදී ගැටළුව වන්නේ හස්තියාට මේ සඳහා අවශ්‍ය හැකියාව තිබේද යන්න නොව, බෞද්ධ ආගමික අරමුණක් ඉටුකර ගැනීමේ අවශ්‍යතාව එම සත්වයාට පවතීය යන උපකල්පනයයි. එමඟින්ද මානව මූලිකත්වය ප්රතිනිෂ්පාදනය වේ.
ලංකාවේ විෂය නිර්දේශ තුළ විචාරාත්මක අධ්‍යාපනයට සහ සංස්කෘතික විවේචනයට ඇති ඉඩ අවම නිසා මෙවැනි සංවාද පාසල් තුළ ඇති නොවේ. අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම් සකස් කරන්නන් සහ විෂය නිර්දේශ පිළියෙල කරන්නන් හිතාමතාම මෙවැනි විවාදාපන්න මාතෘකා මඟහරින බව වුවද තර්ක කළ හැකිය. තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය තුළින්ද අරමුණු කරන්නේ අධ්‍යාපනය වෙළඳපොල අවශ්‍යතා අනුව වෙනස් කිරීම පිළිබඳව පමණක් වන අතර, එහි ගැටළු සහගත බව මෙම තීරුවේ ලිපි ගණනාවකින් පෙන්වා දී ඇත. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මා දකින මූලිකම ගැටළුවක් වන්නේ එය තමා අත තබාගත යුතු මෙවලමක් වශයෙන් මිස, ප්‍රතිරෝධය දැක්වීම සඳහා භාවිතා කළ හැක්කක් ලෙස නොදැකීමයි. මේ වසරේ ජනවාරි මාසයේ මෙම තීරුව තුළ මහේන්ද්‍රන් තිරුවරන්ගන් පලකළ ලිපියේ දැක්වුණු ‘අධ්‍යාපනය විසම්මතිය ලෙස තේරුම් ගැනීම’ ත්, මාර්තු මාසයේ හර්ෂණ රඹුක්වැල්ල විසින් රචනා කළ ලිපියේ දැක්වුණු ‘අනුකූල වීමේ සංස්කෘතිය’ ට ප්‍රතිරෝධය දැක්වීමත් තුළින් පෙනී යන්නේ විචාරාත්මක නොවන අධ්‍යාපනයේ ඇති අනතුරය. මෙම වසරේ ජනවාරි මස ප්‍රකාශිත සිය ලිපිය තුළින් සුමති සිවමෝහන් පෙන්වා දෙන්නේ, ලංකාවේ වතු කර්මාන්තය බලරහිත තත්වයට පත්කරන ලද ප්රජාවකගේ ශ්‍රමය භාවිතයෙන් කෙසේ නිර්මාණය වුනිද යන කරුණ සාකච්ඡා කිරීම තුළින්, විපරිවර්තනීය ආකාරයේ අධ්‍යාපනයකට පිවිසුමක් ගතහැකි බවයි. ඒ හා එකඟ වෙමින්, පුද්ගලයින්ට ප්‍රතිරෝධයේ පාඩමක් ලෙස භාවිතා කළහැකි ප්රතිසංස්කරණීය නොව විප්ලවීය ආකාරයේ අධ්‍යාපනයක් අපට අවශ්‍ය බව අවධාරණය කරමින් මේ ලිපිය අවසන් කරනු කැමැත්තෙමි.