පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: නිදහස් අධ්‍යාපනයට එල්ල වන මීළඟ පහර?

රම්‍යා කුමාර්

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගැනීම සඳහා රුපියල් මිලියන 1.1 ක පොලී රහිත ණය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට නියමිතය. රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා තත්ත්ව සහතිකකරණ කවුන්සිලයක් (Quality Assurance Council) පිහිටුවීමට  විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යෝජනා කොට තිබේ. 

රජයට අනුව, මෙම ප්‍රතිපත්ති වල අරමුණ වන්නේ උසස් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමත්, අධ්‍යයන වැඩසටහන් වල ප්‍රමිතිය පිළිබඳ සංගතතාවක් ඇති කිරීමත්ය. එසේ වුවත් ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල කරන නොනවතින ප්‍රහාර, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයින් අත්අඩංගුවට ගැනීම සහ නිදහස් අධ්‍යාපනයට එරෙහිව කතිකාවක් ගොඩනැංවීම යන කරුණු වලින් ගම්‍ය වන්නේ වෙනත් න්‍යාය පත්‍රයකි. එනම් පෞද්ගලීකරණයයි. මෙවැනි පසුබිමක් තුළ මෙම ලිපියෙන් අරමුණු කරන්නේ වෛද්‍ය අධ්‍යාපනයෙහි අනාගතය පිළිබඳ ආවර්ජනා කිහිපයක් කිරීමයි. 

අවම ප්‍රමිතීන් 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යනු ලංකාව තුළ ඉතා සංවේදී මාතෘකාවකි. එය කොතරම්ද යත් ඒ සම්බන්ධ සිය සැලසුම් අරබයා රජය අනුගමනය කරන්නේ නිහඬ ප්‍රතිපත්තියකි. එහෙත් ඒ සඳහා අවශ්‍ය පාදම දැමීමට ලංකා වෛද්‍ය මණ්ඩලය (Sri Lanka Medical Council) යටතේ ප්‍රතීතන ඒකකයක් (Accreditation Unit) පිහිටුවා තිබේ. ප්‍රශ්න සහගත ප්‍රමිතීන්ගෙන් යුතු වෛද්‍ය විද්‍යාල වලට වෛද්‍ය ප්‍රජාව විරුද්ධ වූවද, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි ප්‍රතිපත්තිමය ස්ථාවරයක ඔවුන් නැත. ප්‍රමිතීන් පවත්වාගෙන නොයෑමේ පදනම මත SAITM විශ්ව විද්‍යාලයට එරෙහි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා දැන් කියන්නේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිලිබඳ කරුණු වලදී තමන්ගෙන් විමසිය යුතු බව පමණි.   

අවම ප්‍රමිතීන් (minimum standards) වල දක්වා ඇති ඇතුලත් කරගැනීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම්, කාර්ය මණ්ඩල අවශ්‍යතා, රෝහල් ඇඳ ප්‍රමාණය, කොතරම් ඇඳවල් ප්‍රමාණයක් භාවිතා වනවාද වැනි කොන්දේසි සම්පූර්ණ කිරීම මඟින් මෙම වෛද්‍ය අධ්‍යයන වැඩසටහන් වල ප්‍රමිතිය පවත්වාගත හැකිබව විශ්වාස කෙරේ. මෙමඟින් අඩු ප්‍රමිතීන් වලින් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පැතිර යාම වැළක්වීමට අවශ්‍ය අවම මට්ටමක් පවත්වා ගන්නා බව සැබෑවක් වුවත්, රාජ්‍ය වෛද්‍ය පීඨ වලට එමඟින් එල්ල කරන බලපෑම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් නැත. විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනය තුළ යුක්තිය හා සමානාත්මතාවට එමඟින් කෙරෙන බලපෑම පිළිබඳ සිතා බැලීම මින් මඟහැරී යයි.  

අහිතකර සන්ධානයක් 

නිදසුනක් ලෙස අවම ප්‍රමිතීන් වල දක්වා ඇති කාර්ය මණ්ඩල අවශ්‍යතා සළකා බලන්න. මෙම ප්‍රමිතීන්ට අනුව MBBS උපාධි ප්‍රදානය කරන ආයතන විසින් යම් දෙන ලද ගුරු-ශිෂ්‍ය අනුපාතයන් පවත්වා ගත යුතුය. එනම් සෑම සිසුන් 14 කටම එක ගුරුවරයෙක්වත් වන ලෙසය. එහිදී පූර්ණ සහ අර්ධ කාලීන ගුරුවරුන් අතර සමබරතාවයක් පැවතිය යුතු බව මෙන්ම, වෛද්‍ය සුදුසුකම් ලත් සහ රෝගීන් හා කටයුතු කරන සියළු කාර්ය මණ්ඩලය අදාළ රටවල අදාළ බලධාරී ආයතන සමඟ ලියාපදිංචිව සිටිය යුතු බවටද වූ ප්‍රතිපාදන තිබේ. (ලංකාවේ සේවය කිරීමට බලාපොරොත්තු වන විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ටද මෙම අවම ප්‍රමිතීන් අදාළ වේ.)    

මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ස්ථාපනය කළත්, බටහිරට සංක්‍රමණය වූ වෛද්‍ය ප්‍රජාව නැවත රට වෙත ආකර්ෂණය කරගැනීමට ඒවාට හැකි වේයැයි සිතිය නොහැක. එබැවින් මෙම ආයතන වලට සිදුවනුයේ රාජ්‍ය වෛද්‍ය පීඨ වල දැනට වැඩකරන හෝ විශ්‍රාම ගත් වෘත්තිකයන්ගේ සහය පැතීමටය. අවම ප්‍රමිතීන් වල ඉගැන්වීම් කළහැකි උපරිම පැය ගණන පිළිබඳ ප්‍රතිපාදන දක්වා නොමැති නිසා, මෙම ගුරුවරුන්ට සිය කාලය රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල අතර බෙදාහැරීම හෝ, කොන්දේසි ආකර්ෂණීය නම් තනිකරම පෞද්ගලික විශ්ව විද්‍යාල වෙත මාරුවීම කළහැකිය.  

ඔවුන් මින් පළමුවැනි විකල්පය තෝරා ගතහොත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් කටයුතු වලට දැනට දෙන ප්‍රමුඛතාවයම ලබාදෙනු ඇතැයි සිතිය නොහැක. එසේම අවම ප්‍රමිතීන් වල දක්වා ඇති ඇඳ ප්‍රමාණයන් සහ භාවිත ඇඳ ප්‍රමාණයන් පිළිබඳ කොන්දේසි හේතුවෙන් සායනික පුහුණු සැසි සඳහා රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය මත රඳා පැවතීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සිදුවේ. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන්ට සායනික පුහුණු අවස්ථා සාමාන්‍යයෙන් ලබාදිය නොහැකි, දුෂ්කර පලාත් වල තෘතීයික රෝහල් ආශ්‍රිතව මෙම පෞද්ගලික රෝහල් ස්ථාපිත කරනු ඇතැයි අනුමාන කළ හැකිය. 

ජයග්‍රාහකයින් සහ පරාජිතයන් 

වෛද්‍ය පීඨ ඇතුළු සියළු රාජ්‍ය විශ්ව විද්‍යාල වලට මෑත කාලයේදී කරන ලද බඳවා ගැනීම් ඉතා ඉහළ ගොස් ඇත. එසේ වුවත් සිය ගුරු-ශිෂ්‍ය අනුපාතය 7:1 ලෙස තබා ගැනීමට කොළඹ වෛද්‍ය පීඨයට හැකියාව ලැබී තිබේ. එහි පිහිටීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාපේක්ෂව වැඩි වැටුප් ද නොසළකා පූර්ණ කාලීන තනතුරු සඳහා වෛද්‍ය වෘත්තිකයන් ආකර්ෂණය කරගැනීමට කොළඹ වෛද්‍ය පීඨය සමත්ව ඇත. එහෙත් යාපනය විශ්ව විද්‍යාලයේ පසුගිය වසර කිහිපය තුළ ගුරු-ශිෂ්‍ය අනුපාතය ඉතා ඉහළ ගොස්, 2021 වර්ෂයේදී 19:1 දක්වා වර්ධනය විය. යාපනය තුළ සහ අවට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන වල පුරප්පාඩු පවතින නිසා, සාපේක්ෂව ඉතා අඩු වැටුප් ගෙවන වෛද්‍ය පීඨයට අයදුම් කිරීමට ප්‍රදේශයේ වෛද්‍ය වෘත්තිකයන්ට හේතුවක්  නැත. 

දුෂ්කර ප්‍රදේශ වල 14:1 ගුරු-ශිෂ්‍ය අනුපාතය පවත්වා ගන්නේ තාවකාලික දේශකයින් සහ ශික්ෂණ රෝහල් වල ගුරුවරුන්ද යොදා ගැනීමෙනි. විෂය නිර්දේශ සම්පාදනය, තත්ත්ව සහතිකකරණය සහ ශිෂ්‍ය සුබසාධනය වැනි වැඩි කාලයක් අවශ්‍ය වගකීම් ඉටු කෙරෙන්නේ නිත්‍ය කාර්ය මණ්ඩලය මඟිනි. මෙවැනි දිස්ත්‍රික්ක වල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කළහොත් රාජ්‍ය වෛද්‍ය පීඨ වලට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන සමඟ පමණක් නොව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සමඟද තරඟ කිරීමට සිදුවනු ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වශයෙන් රාජ්‍ය වෛද්‍ය පීඨ වල කාර්ය මණ්ඩලය හිඟ වීම වැළැක්විය නොහැකි වනු ඇත.  

සමාන ප්‍රවේශය

මෙහි ඇති සමානාත්මතාව පිළිබඳ ගැටළු යට ගැසීමට රජය කරන්නේ ශිෂ්‍ය ණය වැඩසටහන් හා වවුචර පත් වැනි කැරට් අල දිගු කිරීමයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට සමස්තයක් වශයෙන් වෙන්කරන අරමුදල් කොහොමටත් අඩු වන සන්දර්භයක (සහ විශේෂයෙන්ම පවතින ආර්ථික අර්බුදය තුළ) මෙම ණය වැඩසටහන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ කෙසේදැයි යන්න ගැටළුවකි. ණය බර නිසා වෛද්‍ය ශිෂ්‍යයින්ගේ රැකියා තේරීම් බලපෑමට ලක්වන බව වෙනත් රටවලින් උදාහරණ තිබේ.

වෛද්‍ය වෘත්තිකයන් රඳවා ගැනීමට රට දැඩි උත්සාහයක නියැලෙද්දී, ශිෂ්‍ය ණය ගෙවා දැමීමේ බරින් මිරිකෙන වෛද්‍ය වෘත්තිකයන් රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙහි වත්මන් වැටුප් ව්‍යුහය තෝරා ගනීවි යැයි සිතිය නොහැක. ඒ තරමටම අභව්‍ය අනෙක් උපකල්පනය වන්නේ ගාස්තු ගෙවීමේ පදනමක් මත මෙම වෛද්‍ය පාඨමාලා වලට එකතු වන විදෙස් සිසුන් – එනම් මෙම විශ්ව විද්‍යාල විවෘත කිරීමේ රජයේ මූලිකම ඉලක්කය – අපේ රටේ සෞඛ්‍ය සේවාවන්හි සේවය කරාවිය යන්නයි. වෙනත් වචන වලින් කියන්නේ නම්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් බිහිවන්නන් රටේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමට දායක වේ යැයි සිතිය නොහැක.   

මෙම වෛද්‍ය විද්‍යාල නිසා වෛද්‍ය අධ්‍යාපනය තුළ තල දෙකක් නිර්මාණය වේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට බැඳෙන්නන් බොහෝවිට ඉහළ මධ්‍යම පාන්තිකයින් වනු ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දත්ත වලට අනුව 2020/2021 වර්ෂ වල රාජ්‍ය වෛද්‍ය පීඨ වලට බඳවා ගැනුණු පිරිසෙන් 63% ක් දිස්ත්‍රික් කෝටාවෙන් ඇතුළු වූ අයයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපනය කිරීමත් සමඟ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය දුර්වල වී, අඩු පහසුකම් සහිත පසුබිම් වලින් එන සිසුන්ගේ අවස්ථා තවදුරටත් හැකිලී යනු ඇත. බොහෝ විට දුෂ්කර පලාත් වල සේවයට යොමු වන්නේ මෙම සිසුන් බවද සිහිතබා ගැනීම වටී. 

නව දෘෂ්ටිවාදයක ආරම්භය

වෛද්‍ය වෘත්තිකයන් මහා පරිමාණයෙන් රටින් පිටවනවිට සිදුවන බුද්ධි ගලනය නැවැත්වීමේ ක්‍රමයක් ලෙසද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනා වී තිබේ. නමුත් එමඟින් වෛද්‍ය අධ්‍යාපනයට පමණක් නොව සෞඛ්‍ය සේවයටද ප්‍රවේශ විය හැක්කේ කාටද යන්න විශාල වශයෙන් බලපෑමට ලක් කරයි. වර්තමාන ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන රජය උත්සාහ කරන්නේ සුබසාධන පද්ධතිය බිඳ දැමීමටයි. ආර්ථික අර්බුදයට හේතුවම ‘සුබසාධන මානසිකත්වය’ බවද ආඛ්‍යානයක් මේ වනවිට ගොඩනැඟෙමින් තිබේ. රජයේ මෙම දැක්මක් නොමැති ප්‍රතිපත්ති වලට මාධ්‍යයේ සහයෝගයද හිමිව ඇත. ශිෂ්‍ය විරෝධතා වල ඡායාරූප භාවිතා කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට තවදුරටත් පහර එල්ල කරමින් තිබේ. මේ සියල්ල තුළින් ඇත්තෙන්ම සිදුවන්නේ රජයේ වෙනත් ප්‍රතිපත්ති – එනම් ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගතකරණය, කම්කරු නීති ප්‍රතිසංස්කරණය සහ නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගතකරණය වැනි – මඟින් සිදුවන මහා පරිමාණ අහිමි කිරීම් වලින් මහජන අවධානය වෙනතක ගෙන යාමයි. මෙවැනි පසුබිමක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට එරෙහි වීම ප්‍රයෝගික නොවන කාරණයක් සේ හංවඩු ගසා තිබෙන අතර, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම අප ඉදිරියට යා යුතු මඟ ලෙස දකින දෘෂ්ටිවාදය වසර ගණනක් පුරා ඉතා සියුම්ව ගොඩනංවන ලද ආකාරය පිළිබඳ අවබෝධයක් වර්ධනය වීම එමඟින් වළක්වාලයි.