බුද්ධි ගලනය සහ සෞඛ්‍ය අධ්‍යාපනයෙහි අනාගතය 

රම්‍යා කුමාර් 

සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක වැටී තිබේ. වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් රට හැර දමා යති. ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ජාත්‍යන්තර සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ රීති සංග්‍රහය (2010) මඟින් දියුණු වන ලෝකයේ රටවල සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම අධෛර්‍යමත් කරන අතරම (පිටුව 7), දියුණු වන රටවලින් ඉල්ලා සිටින්නේ සිය රට තුළ සෞඛ්‍ය නිලධාරීන්ගේ භූගෝලීය බෙදී යාමෙහි විෂමතා අවම කර, අඩු පහසුකම් සහිත ප්‍රදේශ වල හැකි තරම් ඔවුන් රඳවා ගන්නා ලෙසයි (පිටුව 8). රටේ බුද්ධි ගලනය, විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ මහා පරිමාණයෙන් රට හැර දමා යාම අඩු කිරීමට ආණ්ඩුව කුමක් කරන්නේද? මෙම ලිපිය මඟින් සෞඛ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංක්‍රමණය වැඩි කිරීමට හේතු විය හැකි ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ යෝජනා පිළිබඳව අවධානය කැඳවීමක් සිදු කරයි.  

නාගරික-ග්‍රාමීය අසමානතා 

රටේ භූමි ප්‍රදේශයෙන් 13.3% ක් සහ ජනගහණයෙන් 5% ක් වාසය කරන උතුරු පළාත සඳහා රාජ්‍ය අංශයෙන් අනුයුක්ත කර ඇති විශේෂඥ වෛද්‍යවරු සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ ප්‍රමාණය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් 5% කි. ජනගහණයට අනුපාතයක් වශයෙන් මෙය සාධාරණ බව පෙනුනත්, පළාතේ දැවැන්ත භූමි ප්‍රමාණය නිසා ඔවුන් පදිංචි වී සිටින්නේ එකිනෙකාගෙන් ඉතා දුර බැහැරව වන අතර, සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට ඔවුන්ට සිදුවේ. අනෙක් අතට, රටේ ජනගහණයෙන්11.2% ක් වාසය කරන කොළඹට සාධාරණව ලැබිය යුතු ප්‍රමාණයට වඩා දෙගුණයක් පමණ වෛද්‍යවරුන්  අනුයුක්ත කොට ඇත. එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් හතරෙන් පංගුවකට වැඩි ප්‍රමාණයකි. ඔවුන් සේවය කරන්නේ රටේ භූමියෙන් 1.08% ක වපසරියකය. මෙම විෂමතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙක් නිලධාරීන් සම්බන්ධයෙන්ද පවතින අතර, එම හේතුවෙන් බුද්ධි ගලනයේ වැඩි බලපෑම ග්‍රාමීය ප්‍රදේශ වලට දැනෙනු ඇති බව තර්ක කළ හැකිය. 

අර්බුද අවස්ථා වල අනෙක් රටවල් කුමනාකාරයේ පියවර ගෙන ඇත්ද? ග්‍රාමීය ප්‍රදේශ වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් රඳවා ගැනීම සඳහා ප්‍රතිපත්ති ගණනාවක් තායිලන්තය ක්‍රියාත්මක කරයි: රජයේ බැඳුම්කර වැඩසටහන් මඟින් වෛද්‍ය උපාධිය ලබාගන්නා සියළු දෙනා යම් දෙනලද කාලයක් සඳහා ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කළයුතු බවත්, නැතිනම් අදාළ බැඳුම්කරය රජයට නැවත ගෙවිය යුතු බවත් කොන්දේසියක් පනවා තිබේ; මීට අමතරව ග්‍රාමීය ප්‍රදේශ වලින් ජාතික මට්ටමේ වෛද්‍ය විභාග වලට මුහුණ දෙන සිසුන් සඳහා සාපේක්ෂ වශයෙන් අඩු කඩඉම් ලකුණු තීන්දු කරන අතර, ඊට හිලව්වක් වශයෙන්  යම් දෙනලද කාලයක් සඳහා ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කළයුතු බවට කොන්දේසියක් පනවා තිබේ (තායිලන්තයේ වෛද්‍ය සිසුන්ගෙන් 30% ක පමණ ප්‍රමාණයක්  මෙසේ නිර්මාණය වන අතර, ඔවුහු සාමාන්‍යයෙන් පනවන ලද කාල සීමාවට ඔබ්බෙන් ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කරති); සෞඛ්‍ය සේවයේ අනෙකුත් නිලධාරීන් සඳහාද මෙවැනි වැඩසටහන් පවතී; ඊට අමතරව වෛද්‍ය පුහුණුවේ සැළකිය යුතු කොටසක්  ග්‍රාමීය ප්‍රදේශ වල සේවය කිරීම පිළිබඳ අවධානය යොමුකරන අතර, ප්‍රථමාධාර සහ පොදු සෞඛ්‍ය සේවා වලට වැඩි බරක් තබනු ලැබේ; ප්‍රායෝගික පුහුණු සැසි වලින්ද වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශ වල පැවැත්වේ (මේවා බොහොමයක් සිදුකරන්නේ තායි බසිනි); එසේම ග්‍රාමීය ප්‍රදේශ වල සෞඛ්‍ය සේවා දිරිමත් කිරීම සඳහා දුෂ්කරතා සහ අතිකාල දීමනා මෙන්ම, රැකියාවේ ඉදිරියට යාම සඳහා අවස්ථා ගණනාවක්ද තායිලන්ත රජය මඟින් සෞඛ්‍ය නිලධාරීන්ට සලසා දෙනු ලබයි. මෙම ප්‍රතිපත්ති වලින් අරමුණු කරන්නේ ග්‍රාමීය ප්‍රදේශ වල සෞඛ්‍ය සේවා වලට ඇති ප්‍රවේශය පුළුල් කිරීම මිස, සෞඛ්‍ය නිලධාරීන් සීමාවට ලක්කිරීම නොවේ. ඊට පටහැනිව ලංකා ආණ්ඩුව විසින් සෞඛ්‍ය නිලධාරීන් සංක්‍රමණය කිරීමට යොමුකරවන ආකාරයේ  ප්‍රතිපත්ති තීරණ ගන්නා බව පෙනී යයි. ඇත්තෙන්ම මෑතදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා ක්‍රියාත්මක කළහොත් ග්‍රාමීය ප්‍රදේශ සඳහා දැනට සපයා තිබෙන පහසුකම්ද අඩුවීමේ ප්‍රවණතාවක් පවතී. 

සෞඛ්‍ය බුද්ධි ගලනය ප්‍රවර්ධනය කිරීම

පළමු කරුණ නම්, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලැබූවන් සඳහා පෙර සඳහන් කළ ආකාරයේ බැඳුම්කර පද්ධතියක් ලංකාව තුළ ක්‍රියාත්මක නොවීමය. ඉන් සිදුවන්නේ අලුතින් බිහිවන වෛද්‍යවරුන් වඩා හොඳ විකල්ප සොයා යාමටත්, විශේෂයෙන්ම අදාළ තරඟ විභාග වලට මුහුණ දී විදෙස් රට වලට සංක්‍රමණය වීමටත් දෙවරක් නොසිතීමය. දෙවැන්න, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය (PGIM) තවමත් ඉතා යටත්විජිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින්, විශේෂඥ වෛද්‍යවරුන්ට අනුමැතිය ලබාගැනීම සඳහා ඉහළ ආදායම් ලබන රටවල පුහුණුවක් ලැබීම අනිවාර්ය කිරීමයි. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දරන වියදම නැගෙනහිර ආසියානු රටක එම පුහුණුව ලබාගැනීම සඳහා යොදවන්නේ නම්, වියදම අඩු වනවා පමණක් නොව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංක්‍රමණ සඳහා එතරම් ප්‍රචලිත කලාපයක් නොවන බැවින් එවැනි සංක්‍රමණ අඩු කරගැනීමේ ක්‍රමයක්ද වනු ඇත.    

තෙවනුව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය (Accreditation Unit), වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ලෝක සම්මේලනයේ (World Federation of Medical Education) ජාතික නියෝජිත වශයෙන් ලියාපදිංචි වීමට ප්‍රයත්න දරයි. එහි වෙබ් පිටුවට අනුව මෙවැනි ප්‍රවණතාවක මූලිකම වාසිය වන්නේ අපේ වෛද්‍ය උපාධිධාරීන් හට සම්මේලනයේ ප්‍රතීතනය සහිත ඕනෑම රටක උසස් අධ්‍යාපනය ලැබීමටත්, එම රටවල් වල රැකියා සොයා ගැනීමටත් හැකියාව ලැබීමයි. නමුත් මෙසේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෛද්‍ය අධ්‍යාපනය සකස් කිරීමේදී ප්‍රාදේශීය අවශ්‍යතා නොසළකා හැරීමට ලක්විය හැකිය. නිදසුනක් ලෙස 2018 දී සම්මේලනය විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් පිළිබඳ ප්‍රකාශය තුළ ග්‍රාමීය ප්‍රදේශ වල පුහුණු වීම් පිළිබඳ කිසිදු කොන්දේසියක් අඩංගු නොවේ. බොහෝ වෛද්‍යවරුන්ගේ පළමු පත්වීම ග්‍රාමීය ප්‍රදේශයකට සිදුවීමේ සන්දර්භයක් තුළ මෙය සැළකිය යුතු කරුණකි.     

රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් තාවකාලිකව නවතා දමා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි විය හැකිය. මෙමඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල කරන බලපෑම තවමත් තක්සේරු කළ නොහැකි වුවත්, සෞඛ්‍ය සේවකයින් සඳහා රාජ්‍ය සේවා පත්වීම් යන්න ආණ්ඩුව සහතික කළ යුතු දෙයකි. එමඟිනි පොදු සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය විශේෂඥයින් සහ නිලධාරීන් නිර්මාණය කොට පවත්වාගෙන යා හැක්කේ. අත්‍යන්ත දේශපාලනීකරණය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනවශ්‍ය මැදිහත්වීම් කොතරම් තිබුණද, මෙම පද්ධතියේ පැවැත්ම නිසා ග්‍රාමීය ප්‍රදේශ වලට දිගින් දිගටම සෞඛ්‍ය සේවා ලැබීම සහතික වී ඇත. සෞඛ්‍ය සේවකයින් සඳහා රජයේ පත්වීම් නවතා දැමුවහොත්, එමඟින් ඇතිකරන අවිනිශ්චිතභාවය නිසා මහා පරිමාණයෙන් ඔවුන් විදෙස් රට වලට සංක්‍රමණය වීම වැළැක්විය නොහැකි වනු ඇත. 

පෞද්ගලීකරණය සහ ග්‍රාමීය ප්‍රදේශ වල සෞඛ්‍ය සේවකයින් රඳවා ගැනීම

වත්මන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය රාජ්‍යයේ විෂය පථය තුළ පවතින්නකි. වෛද්‍ය පීඨ 12 කින් එම අධ්‍යාපනය ලබාදෙන අතර, ඉන් 11 ක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේත්, එකක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේත් ක්‍රියාත්මක වේ. දශක ගණනාවක් තිස්සේ අනුක්‍රමික ආණ්ඩු විසින් වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට උත්සහ දරා ඇත. බොහෝ දෙමව්පියන් සිය දරුවා වෛද්‍යවරයෙකු වනු දැකීමට රුචි කරන දකුණු ආසියානු සම්ප්‍රදාය තුළ වෛද්‍ය අධ්‍යාපනය හොඳ මුදලක් ඉපයීමේ සාර්ථක මාර්ගයකි. එසේ වුවත් වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ලංකාවේ ලොකු ප්‍රතිරෝධයක් ඇත. 

එහෙත් තවමත් ආණ්ඩුව උත්සහ ගන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමටයි. 

ශිෂ්‍ය නායකයින් කෙරෙහි එල්ල කරන අතොරක් නොමැති විවේචන වලට අමතරව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැන් වනවිට රටේ සියලුම වෛද්‍ය විද්‍යාල වලින් ප්‍රතීතන අයදුම්පත්‍ර කැඳවනු ලබයි. ප්‍රතීතන ප්‍රතිපත්තියේ කිසිදු තැනක රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳව සඳහනක් නොමැත. ‘ස්වාධීන’ ඒකකයකට ප්‍රතීතන බලය ලබාදීම තුළින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වේදනාකාරී පරිපාලන රෙගුලාසි මඟහැර වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදෙස් ආයෝජන වලට දොරගුළු හැරීමට ආණ්ඩුව මඟක් සොයාගෙන තිබේ. 

වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය හරහා වෛද්‍ය වෘත්තිය ප්‍රභූකරණය කිරීමක් සිදුවන අතර, ප්‍රභූ කණ්ඩායම රටෙහි රැඳී සිටීමේ ඉඩකඩ සීමා සහිතය. මෙය තවදුරටත් තීව්‍ර කරමින් වර්තමානයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් විදෙස් සුදුසුකම් ලත් සිසුන් (වෛද්‍ය උපාධියද ඇතුළු) උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනීම දිරිමත් කිරීමට කටයුතු යොදා ඇත. මෙනිසා කාලයක් යනවිට විදෙස් සිසුන්ගේ වැඩිවීමට සාපේක්ෂව දේශීය සිසුන්ගේ අඩුවක් අපේක්ෂා කළ හැකිය (ගාස්තු නොගෙවන නිසා). එබැවින් විදෙස් සිසුන් බුද්ධි ගලනය පිළිබඳ ගැටලුව තවත් තීව්‍ර කරයි.  

2023 අයවැය යෝජනා වලට අනුව උසස් පෙළ වාණිජ, තාක්ෂණික, විද්‍යා හා ගණිත විෂයන් වලට දක්ෂතාවය මත පදනම්ව බඳවා ගන්නා සිසුන්ගේ ප්‍රමාණය 40% සිට 50% දක්වා ප්‍රමාණයකින් වැඩිවනු ඇත. එනම් අඩු පහසුකම් පදනම මත වන්නිය සහ ඌව වැනි ප්‍රදේශ වලින් බඳවා ගන්නා සිසුන්ගේ ප්‍රමාණය අඩුවනු ඇති බවයි. සෞඛ්‍ය අධ්‍යාපනය අතින් ගත්විට මෙහි තේරුම වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වලින් ක්ෂේත්‍රයට ඇතුල් වන සිසුන් (එනම් එවැනි ප්‍රදේශ වල දීර්ඝ කාලීනව සේවය කිරීමේ වැඩිම ප්‍රවණතාවක් ඇති සිසුන්) ප්‍රමාණයෙන් පහළ යනු ඇති බවය.  

අපේක්ෂා භංග අනාගතයක්

මෙම අර්බුදය පිළිබඳ කිසිදු සංවේදීතාවකින් තොරව ආණ්ඩුවේ යෝජිත හා ක්‍රියාත්මක ප්‍රතිපත්ති සෞඛ්‍ය අංශයේ බුද්ධි ගලනය වැඩි කිරීමට දායක වේ. ලෝක බැංකු සහ IMF මඟ පෙන්වීම යටතේ, උග්‍ර දක්ෂිණාංශික ආණ්ඩුවක් විසින් දැවැන්ත වෙනස්කම් හඳුන්වාදීමට සැරසෙන්නේ දැනටමත් දරුණු සම්පත් හිඟතා මධ්‍යයේ කඩා වැටෙමින් ඇති පොදු සෞඛ්‍ය සේවාවකටය. වෙනත් රටවලින් උගත හැකි පාඩම් භාවිතා කරමින් මේ මොහොතේ සිදුවන බුද්ධි ගලනය නවත්වා ගැනීමටත්, දුෂ්කර ප්‍රදේශ වල සෞඛ්‍ය සේවකයන් තවදුරටත් රඳවා ගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අප ආණ්ඩුවට බලපෑම් කළ යුතුය.