බෙදුම් පැරදීම: මහජන විශ්ව විද්‍යාල සහයෝගිතාව පිළිබඳ අවකාශයන් බවට පරිවර්තනය කිරීම 

මහේන්ද්‍රන් තිරුවරන්ගන්

අප සාමාන්‍යයෙන් මහජන විශ්ව විද්‍යාල සළකන්නේ ඥාන උත්පාදනය හා බුද්ධිමය විමර්ශන පිළිබඳ වූ අවකාශයන් හැටියටය. මේ සම්බන්ධයෙන් අප බොහෝ සාකච්ඡා කළත්, එහි සේවය කරන සියළුදෙනාගේ ශ්‍රමය එය පැවැත්වීමට අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන අවකාශයක් හැටියට ඒ පිළිබඳ අප කතා කරන්නේ කලාතුරකිනි. අවාසනාවකට මෙන් අප විශ්ව විද්‍යාල තුළ බොහෝ බෙදුම් හා ධූරාවලීන් ඇත. මෙය ප්‍රකට වන අවස්ථාවකට උදාහරණයකි ‘අධ්‍යයන කාර්ය මණ්ඩලය’ සිය ‘අනධ්‍යයන’ සගයින් තමන්ට වඩා තත්වයෙන් පහත් සේ සැළකීම; එසේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරු දරන්නන් විසින් අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩල ද්විත්වයේම පවතින වැඩ කොටස සැළකිල්ලට නොගනිමින් තවත් වැඩ පැවරීමද නිදසුනක් වේ. අද ලිපියේ අරමුණ වන්නේ විශ්ව විද්‍යාලය සහයෝගිතාව පිළිබඳ අවකාශයන් බවට පරිවර්තනය කිරීමෙහිලා ඇති අවශ්‍යතාව පිළිබඳව ආවර්ජනය කිරීමයි. ඒ සඳහා මෑතදී ක්‍රියාත්මක වූ අනධ්‍යයන වැඩවර්ජනය හා ඊට අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සෑහීමට පත්විය හැකි ආකාරයේ සහයෝගයක් නොදැක්වීම විෂය වස්තුව කර ගැනෙනු ඇත.  

අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රභූවාදය 

පසුගියදා නිමාවට පැමිණි අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනය මාස දෙකක කාලයක් පැවතියේ, වැඩිවන ජීවන වියදම හමුවේ වැටුප් වර්ධකයක් ලබාගැනීමේ අවශ්‍යතාව මතය. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු මෙය සාධාරණ ඉල්ලීමක් ලෙස දුටුවද, ඊට පැවති විවෘත සහය අවමය. සමහර අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අනුව මේ අරගලය අනවශ්‍ය, ඕනෑවට වඩා දිග්ගැස්සුණු සහ බාධාකාරී එකක් විය. තවත් සමහරුන්ට අනුව එය ඔවුන්ගේ වැඩ කිරීමේ අයිතිය පවා උල්ලංඝණය කිරීමක් විය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මාධ්‍ය හමුවකදී කියා සිටියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් වර්ධක සඳහා වූ ඉල්ලීම්, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් වර්ධක සමඟ ගැටගැසීම පිළිගත නොහැකි බවයි. මෙවැනි අදහස් වලින් පෙනී යන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය තුළ පවතින ප්‍රභූවාදී මානසිකත්වයයි. මේ මොහොතේ IMF ප්‍රතිසංස්කරණ නිසා රටේ පොදු මහජනතාව මත පැටවී ඇති ජීවන බර පමණක් නොව, විශ්ව විද්‍යාලය සාර්ථකව පවත්වා ගැනීමෙහිලා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අමිල දායකත්වය යන දෙකෙන් එකක්වත් වටහා ගැනීමේ සූදානමක් ඔවුන් තුළ නොපවතින බවය මින් පැහැදිලි වන්නේ.  

පන්ති කාමර පිරිසිදුව තබාගැනීමේ පටන් ජලය හා විදුලිය වැනි යටිතල පහසුකම් අඛණ්ඩව විශ්ව විද්‍යාලයට ලැබෙන බව තහවුරු කිරීම දක්වා, විද්‍යාගාර පැවැත්වීමේ සිට විභාග ක්‍රියාවලිය සුමට ලෙස පැවැත්වීම දක්වා, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් සැකසීමේ සිට උපාධි ප්‍රදානෝත්සව සංවිධානය කිරීම දක්වා, අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙහි දායකත්වය මිණිය නොහැක. දෙමසක ඔවුන්ගේ වැඩවර්ජනය තුළින් විශ්ව විද්‍යාල අකර්මණ්‍ය වූයේද ඒ නිසාය. ඒ පිළිබඳ අධ්‍යයන කාර්ය මණ්ඩලය වශයෙන් අගය කිරීමක් අප තුළ තිබුණේ නම්, මෙවැනි අදහස් දැක්වීම් සිදුනොවීමට තිබුණි. මහජන විශ්ව විද්‍යාලය පොදු අවකාශයක් වශයෙන් වටහා ගැනීමේ අපේ නොහැකියාවය මෙයින් පිළිබිඹු වන්නේ.

සටකපට රාජ්‍යය

විශ්ව විද්‍යාලය තුළ මෙන්ම ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා වෘත්තීය සමිති අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම නවලිබරල්වාදය පැතිර යන සහ ඊට සාපේක්ෂව රාජ්‍ය මර්දනය වැඩිවන අවස්ථාවක, සිය සාමාජිකයින්ගේ පැවැත්ම මෙන්ම සාමූහික පැවැත්මද ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම වෘත්තීය සමිති හමුවේ ඇති අභියෝගයකි. විවිධ වෘත්තීය සමිති අතර සහයෝගිතාවය, සම්බන්ධීකරණය සහ සංවාදය අන් කවරදාටත් වඩා මෙවැනි මොහොතක අවශ්‍ය වේ. එවන් සන්දර්භයක් තුළ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සාමාන්‍යයෙන් සපයනු ලබන සේවාවන් ඔවුන් හා කිසිදු සාකච්ඡාවකින් තොරව තමන්ම සැපයීමට පටන් ගැනීම අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් නොකළ යුතුව තිබුණි. මෙවැනි පූර්වාදර්ශ නිසා විශ්ව විද්‍යාල වලට අනධ්‍යයන කාර්ය මණ්ඩලයකින් තොරව හෝ එහි අවම සාමාජිකයින් ප්‍රමාණයක් යොදාගෙන වැඩකළ හැකි බවට මතයක් රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සමාජගත කළ හැකිය.

පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස වියදම් කපා හැරීමේ පිළිවෙතක් රජය විසින් ප්‍රවර්ධනය කරමින් සිටින අවස්ථාවක, හදිසි තත්වයකට අනුවර්තනය වීමක් වශයෙන් සද්භාවයෙන් අප ගන්නා යම් යම් ක්‍රියාමාර්ග, රාජ්‍යයේ වෙනත් න්‍යාය පත්‍ර වලට උඩගෙඩි දීමක් බවට පත්විය හැකිය: රැකියා අහිමි කිරීම්, නව බඳවා ගැනීම් ප්‍රමාද කිරීම, කොන්ත්‍රාත් පදනම් මත කරනා බඳවා ගැනීම් වැඩි කිරීම මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය අඩු කිරීමද ඒ අතර පවතින ප්‍රවණතා කිහිපයකි. මෙයින් පහර වදින්නේ එක් කණ්ඩායමක ජීවනෝපායට පමණක් නොව, අධ්‍යාපනයේ ප්‍රමිතියටත්ය. මන්ද, අඩුවන කාර්ය මණ්ඩලයේ සේවා ඉටු කිරීම සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩි වේලාවක් වැය වීම නිසා අධ්‍යයන කටයුතු වලට ලබාදිය හැකි අවධානය අඩුවන බැවිනි. ඒ ඔස්සේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය අඩු බවට රජය සමාජගත කිරීමට උත්සහ දරන ආඛ්‍යානයටද තවත් සුජාත බවක් හිමිවනු ඇත. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කෙරෙහි අපේ එළඹුම, වටහාගැනීම මෙන්ම ප්‍රවේසම්කාරී බවද පිරි එකක් විය යුත්තේ එබැවිනි. 

සටකපට රාජ්‍යය විසින් ජනතා විරෝධතා මැඩ පැවැත්වීම සඳහා භාවිතා කරන එක් ඉතා සාර්ථක උපක්‍රමයක් වන්නේ වෘත්තීය සමිති එකිනෙක හා ගැටෙන්නට සැලැස්වීමයි. මෙහිදී හොඳ, අවංක, රටට වැඩ කරන වෘත්තිකයන් සහ කඩාකප්පල්කාරී, රටට වින කරන වෘත්තිකයන් වශයෙන් ප්‍රවර්ග දෙකක් රාජ්‍යය විසින් නිර්මාණය කරයි. වැඩකරන ජනතාව අතරද යම්තාක් දුරකට මේ විබේධනය අන්තරීකරණය වූ විට සිදුවන්නේ රාජ්‍යය ජය ගැනීමකි. එම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී විවිධ වෘත්තීය සමිති අතර සහයෝගය වර්ධනය කරන ආකාරයන් පිළිබඳව සිතා බැලිය යුතුය. අනධ්‍යයන වැඩවර්ජනයට විරෝධය දැක්වීම සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලය යොදාගත්තාක් මෙන්, අනාගතයේදී අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩවර්ජන වලට විරෝධය දැක්වීම සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලයද යොදාගත හැකිබව අප සිහිතබා ගතයුතුය.  

අනාගත දිශානතීන් 

අධ්‍යයන හෝ අනධ්‍යයන ඕනෑම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මඟින් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ අපේ සිසුන් බොහෝ දෙනෙකුගේ අරමුණ හැකි ඉක්මණින් උපාධිය ලබාගෙන සිය පවුල් නඩත්තු කිරීමට උදව් වීමය. එවැනි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඒවායෙහි ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් සිතාබැලිය යුතුය. රජය සමඟ සාකච්ඡා වල යම් ශක්තිමත් තැනකට පැමිණි විට අදාළ ක්‍රියාමාර්ග නැවැත්විය හැකි ආකාර පිළිබඳවද සිතාබැලීම අවශ්‍ය වේ. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩවර්ජන වලදීද මෙවැනි බොහෝ අත්වැරදීම් වූ බව සිහිතබා ගැනීම වටී. 

මෙම කාර්ය මණ්ඩල දෙක අතර සහයෝගය වර්ධනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග කවරේද? අනාගත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේදී අප සිතාබැලිය යුතු පැතිමාන මොනවාද? සංවාදය වැදගත් වන්නේ මෙතැනදීය. විශ්ව විද්‍යාලය තුළ අප පොදුවේත්, වෙන වෙනමත් මුහුණ දෙන ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමද, එකිනෙකාගේ අරගල වලට සහය දීමේ ක්‍රියාමාර්ග පිළිබඳවද අප එක්ව සිතාබැලිය යුතුය. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වගකීම් අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සියතට ගන්නේ නම්, ඒ පිළිබඳ සාකච්ඡා කළයුතුවාක් මෙන්ම, එහි අරමුණ විනිවිදභාවයෙන් යුතුව පැහැදිලි කළයුතු වේ. 

මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳ නිරන්තරයෙන් සිසුන් හා ඔවුන්ගේ පවුල් දැනුවත් කිරීමටද වගබලා ගත යුතුය. පැවති වැඩවර්ජනයේ ලොකුම ගැටළුවක් වූයේ එහි මූලික අරමුණු හා ඉල්ලීම් පිළිබඳ මහජන දැනුවත්භාවයක් නොතිබීමයි. පශ්චාත්-අරගල සන්දර්භය තුළ වැඩවර්ජන යනු අනවශ්‍ය සහ කඩාකප්පල්කාරී දෙයක් වන බවට රාජ්‍යයෙන් සමාජගත කොට ඇති අදහස මෙහිදී අවාසියක් විය. අනාගත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී මෙවැනි දුර්මත දුරලීමට විශ්ව විද්‍යාලය ඇතුළත සියළු වෘත්තීය සමිති එක්ව ක්‍රියා කළයුතු වේ. ප්‍රවේශමින් කල්පනා කොට සම්බන්ධීකරණය කරන ලද සැලසුමක් මෙහිදී අවශ්‍ය වේ.  

කොහොමටත් පොදුවේ විශ්ව විද්‍යාල අවකාශය වඩා ප්‍රජාතන්ත්‍රීය එකක් කළහැක්කේ කෙසේද යන්න පිළිබඳ වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංගම් එකතුව කල්පනා කළයුතුය. රාජ්‍ය මර්දනයට වඩා හොඳින් මුහුණදිය හැක්කේ මෙවැනි සංවාද නිතර පැවැත්වීම තුළින් අපේ දේශපාලන විචාරය මුවහත් කරගැනීමෙන් විනා, හදිසියේ යම් යම් ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමෙන් නොවේ. දශක ගණනක් පුරා අප නිර්මාණය කොටගෙන සාමාන්‍යකරණය කොට ඇති ධූරාවලීන් නිසා මෙවැනි සංවාද පැවැත්වීම අපහසුදායක වියහැකිය. නමුත් නිදහස් අධ්‍යාපන පද්ධතියේ පැවැත්ම වෙනුවෙන් අප ඒ සඳහා කැපවිය යුතුය.