මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විසින් ප්‍රමාණවත් තරමට වතුර බොර කර ඇත්ද?

මදුරංග කළුගම්පිටිය 

අන් කවරදාටත් වඩා අද වන විට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන් ප්‍රහාරයට ලක්වෙමින් තිබේ. එම විෂයන්හි ප්‍රදානය කරන උපාධි වල අදාලත්වය හා ප්‍රයෝජනවත් භාවය ද සතර අතින් ප්‍රශ්න කිරීමට ලක්වෙමින් පවතී. මෙම උපාධිධාරීන් සඳහා රජයේ සීමිත මූල්‍ය සම්පත් වැය කිරීම (‘නාස්ති කිරීම’) වටින්නේද යන්න තවත් ප්‍රශ්නයකි.මේ උපාධි පාඨමාලා වලට යම් ‘වටිනාකමක්’ එකතු කිරීම සඳහා ඒවාට මෘදු කුසලතා කොටසක් ඇතුළත් කිරීම මේ වෙනුවෙන් මේ මොහොතේ ගනිමින් පවතින පියවරකි. මෙහි පදනම් උපකල්පනය වන්නේ මෙම පාඨමාලා වලින් කිසිදු කුසලතාවයක් ලබා නොදෙන බව හෝ එසේ ලබාදෙන කුසලතා වල කිසිදු වටිනාකමක් නැති බවය. මීට අවුරුද්දකට දෙකකට ඉහත පැවති උසස් අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමේ ඉහළ මට්ටමේ රැස්වීමකදී, රාජ්‍ය විශ්ව විද්‍යාල වල මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා දෙපාර්තමේන්තු වල නියෝජිතයන් ඉදිරියේම එක් ප්‍රකට පුද්ගලයකු කියා සිටියේ මෙම පීඨ වලට පැමිණෙන්නේ ‘පමා වී සංවර්ධනය වූ’ පිරිසක් බවයි. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන් පිළිබඳ ආකල්පය විදහා පෑමට මීට වඩා හොඳ උදාහරණයක් තිබිය හැකිද?     

මෙය ගෝලීයව අධිපති තත්වයේ පවතින නව ලිබරල්වාදී චින්තන දහරාවේ ප්‍රතිඵලයක් බවත්, එම නිසා මෙම ප්‍රවණතා ගෝලීයව දක්නට ලැබෙන බවත් පිළිගන්නා අතරේම, මෙවැනි ප්‍රහාර වලට පිළිතුරු දීමට එම ක්ෂේත්‍ර වල රැකියා කරන්නන් වන අපි ප්‍රමාණවත් කාර්ය භාරයක් සිදුකොට ඇත්ද යන ප්‍රශ්නයත් නැඟීමට කැමැත්තෙමි.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන් වල විෂය පථය අවශ්‍යයෙන්ම සමාජීය වේ. ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, හා සමාජ විද්‍යාව වැනි විෂයන් වල විෂය කරුණු කතා කිරීමේදී අප අවට ලෝකය ගැන සිතීමෙන් හා ඉන් උදාහරණ උකහා ගැනීමෙන් තොරව එම සාකච්ඡාව සිදුකළ නොහැක. දෙවන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි උගෙනීමේදී මතුවන අභියෝග ගැන කතා කිරීමේදී අපේ පෞද්ගලික අත්දැකීම් මෙන්ම අන් අයගේ අත්දැකීම්ද භාවිතයෙන් විනා එම සාකච්ඡාව ගොඩනැඟිය නොහැක. විදෙස් භාෂා ඉගැන්වීමේ මාදිලියක් සාර්ථක කිරීමට නම් එම භාෂා වටා පවතින සංස්කෘතික ජීවිතය පිළිබඳ යම් දැනුමක් අත්‍යාවශ්‍ය වේ. ඕනෑම කලා කෘතියක් – නව කතාවක්, චිත්‍රපටයක්, චිත්‍රයක්, මූර්තියක්, හෝ කවියක් වේවා – අගය කිරීම, එම කලා කෘතිය බිහි වූ සන්දර්භය පිළිබඳ අවම අවබෝධයක් හෝ නොමැතිව, එමෙන්ම එම සන්දර්භය සිය පෞද්ගලික අත්දැකීම් අළලා තේරුම් ගැනීමෙන් තොරව සිදුකළ නොහැක්කකි. යම් නීතියක් එම අදාළ සමාජයට කරනු ලබන බලපෑම පිළිබඳ තක්සේරුවකින් තොරව නීති විශාරදයෙකුට නීතියක් අධ්‍යයනය කළ නොහැක. මෙහි තර්කය වන්නේ මෙම විෂයන් වල සාරය නිර්මාණය වී ඇත්තේ සමාජ ජීවීන් ලෙස අපේ අත්දැකීම් මතය යන්නයි. ස්වභාවික විද්‍යා වල අදහසක් භාවිතයට ගන්නේ නම්, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන් වල ‘විද්‍යාගාරය’ වන්නේ සමාජයයි. මෙවැනි සමාජමය පදනමක් අවශ්‍ය නොවන යම් විෂය දහරා මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන් වල පැවතුනද, ඒවා සංඛ්‍යාත්මකව ඉතා සීමිත වේ.   

සියලු සමාජ මැදිහත්වීම් දේශපාලනික බව අමුතුවෙන් කිවයුතු නොහේ. එම කාර්යයේදී (යථා තත්වයෙන් පැහැදිලිව පවතින බව අපට කියා ඇති) වතුර යම් බොරවීමක් සිදුවීම වැළක්විය නොහැක.මෙම විෂයන් වල රැකියාවේ නිරත වන අප කොතරම් දුරට මෙසේ වතුර බොර කිරීමේ කාර්යයට දායක වනවාද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි.

එහෙත් අවාසනාවකට මෙන් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා වල ශාස්ත්‍රාලිකයන්ගේ කාර්ය භාරය අධිපති රාමුව සසල කිරීමට එතරම් දායකත්වයක් දක්වන බව පැවසිය හැකි නොවේ. ඒ වෙනුවට පවතින ව්‍යුහයන්, පද්ධතීන්, හා චින්තන දහරා වඩා ශක්තිමත් කිරීමය ඔවුන් බොහෝ දෙනෙකු සිදු කරන්නේ. මෙයට එක් පැහැදිලි හේතුවක් වන්නේ ප්‍රමිතියෙන් යුතු ශාස්ත්‍රීය පුහුණුවක් හෝ විචාරාත්මක න්‍යාය පිළිබඳ ගුරු කුලයට නිරාවරණයක් බොහෝ දෙනෙකුට නොමැති වීමයි. එහෙත් එය එකම හේතුව නොවේ. මන්ද, එවැනි පුහුණුවක් ලද සමහර ප්‍රවීණ ශාස්ත්‍රාලිකයන් වුවද සමහර අවස්ථා වල වතුර බොර කිරීමේ කාර්යයට යුතු තරමේ දායකත්වයක් නොදක්වන හෙයිනි.  

වතුර බොර කිරීම සරල කාර්යයක් නොවේ. නිදසුනක් ලෙස, ජලය නිර්මාණය වී ඇති H2O අණු සංයුතිය ගනිමු. එහි ඔක්සිජන් අණුව වෙනස් කළහොත් ඒ තුළින් හයිඩ්‍රජන් අණුවද වෙනස් වේ. මන්ද ඒ දෙකම ඓන්ද්‍රීය සමස්තයක කොටස් බැවිනි. ඒ හා සමානව, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ශාස්ත්‍රාලිකයෙක් වතුර බොර කරන ආකාරයේ මැදිහත්වීමක් සිදුකළහොත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට හෝ ඔහුට තමා ජීවත් වන, විශ්වාස කරන, එමෙන්ම බොහෝවිට ප්‍රතිලාභ ලබන ව්‍යුහයන් හා පද්ධතීන් දෙදරා යාමේ අත්දැකීමට මුහුණ දීමට සිදුවනු ඇත. නිදසුනක් ලෙස අප වැනි සමාජයක විවාහ සංස්ථාව වටා ඇති වටිනාකම් හා භාවිතයන් තුළ ඇති ස්ත්‍රී-පුරුෂ භාවය පදනම් කරගත් වෙනස් කොට සැළකීම් ප්‍රශ්න කරන පුරුෂ ශාස්ත්‍රාලිකයකුට, එම සංස්ථාව තුළ තමා භුක්ති විඳින වරප්‍රසාද ද ප්‍රශ්න කිරීමට සිදුවනු ඇත. එවැනි අවස්ථාවකදී ඔහුට තාවකාලිකව හෝ සිය පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම එවැනි මැදිහත්වීම් නිසා සමාජයෙන් බොහෝ ආරෝපණ ලබන්නටද සිදුවනු ඇත. මෙම පීඩනය විඳ දරා ගැනීමට හොඳ පුහුණුවක් අවශ්‍ය වේ.  

එහෙත් මේ වෙනුවට බොහෝවිට අපට දකින්නට ලැබෙන්නේ සාමාන්‍ය දැනුම විශේෂිත වාග් මාලාවක සඟවා ඉදිරිපත් කෙරෙන ආකාරයේ මැදිහත්වීම්ය. මට හුරුපුරුදු නිදසුනක් වන්නේ දෙවැනි භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි උගෙනීමේ පාඨමාලාය. ඒවායෙහි දී ඉංග්‍රීසි උගෙනීමට ඇති බාධා වශයෙන් සිසුන්ගේ උනන්දුවේ මඳ භාවය හා පුහුණු ගුරුවරුන්ගේ මඳ භාවය බොහෝවිට දක්වනු ලැබේ. එකම වෙනස වන්නේ තාක්ෂණික වාග් මාලාවක සඟවා එය ඉදිරිපත් කිරීමයි. පවතින පද්ධතිය කලත්තනු වෙනුවට, ඒවායින් සිදුකරන්නේ බලරහිත පාර්ශ්වය පිට වගකීම පැටවීමය. ඉංග්‍රීසි අධ්‍යාපනයේ වර්තමාන අර්බුදය පද්ධතිමය හෝ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් ලෙස දකින්නේ අල්ප පිරිසකි. එවැනි දැක්මක් සඳහා සමාජයේ ඇති මූලික පාලන ව්‍යුහයන් පිළිබඳ ප්‍රශ්න ඇසීමට සිදුවන අතර, එනිසා වතුර බොහෝ සෙයින් මඩ වේ. මෙවැනි ක්ෂේත්‍රයක පිරිසගෙන් අප බලාපොරොත්තු වන්නේ එවැනි ආකාරයේ දායකත්වයක් වුවත්, අවාසනාවකට මෙන් එහි සම්පාදනය වන දැනුම මීට බොහෝ වෙනස්ය.  

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා වල සම්පාදනය වන්නේ තාක්ෂණික භාෂාවෙන් මුවා කරන ලද සාමාන්‍ය දැනුම නම්, එම ක්ෂේත්‍ර වලට කීමට වැදගත් යමක් නොමැති බවට වන හැඟීම වලංගුය. යම් දෙන ලද තත්වයක් පිළිබඳ සාමාන්‍ය පුද්ගලයෙකුගේ වැටහීමට එපිටින් යමක් කීමට ශාස්ත්‍රාලිකයකුට නොහැකි නම්, එවැන්නන් බිහි කිරීමේ අර්ථය ප්‍රශ්න කිරීම සාධාරණය.

මගේ දැක්මට අනුව, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ප්‍රතිව්‍යුහගත කිරීමේ අතිමූලික අවශ්‍යතාවක් පවතී. මින් අදහස් කරන්නේ එහෙන් මෙහෙන් මෘදු කුසලතා කිහිපයක් ලබා දී සමාජයේ ඔවුන්ට වෙන්කොට ඇති තැන්වලට කීකරුව අනුගත වන සිසුන් බිහි කිරීම නොවේ. මින් අදහස් කරන්නේ ශාස්ත්‍රලිකයකුට වටින ආකාරයේ විචාරාත්මක චින්තනයක් වර්ධනය කළහැකි අන්දමේ අධ්‍යාපනයකි; සමාජය තුළ අපේ පැවැත්ම පිළිබඳ දේශපාලනික කියවීමක් කළහැකි, එසේම එම පැවැත්ම පිළිබඳ අපහසුදායක ප්‍රශ්න නැඟිය හැකි, කොටින්ම වතුර බොර කළහැකි ආකාරයේ අධ්‍යාපනයකි.