විප්ලවීය ක්‍රියා: PowerPoint හි මරණය 

සිවමෝහන් සුමති

MIT විශ්ව විද්‍යාලය සහ ජෙෆ් බේසෝස් විසින් පන්ති කාමරය තුළ PowerPoint තහනම් කිරීමට බොහෝ කලකට පෙරය මගේ පන්ති කාමරය තුළ මා එම තහනම පැනවූයේ. මගේ අරමුණ වූයේ ජීවිතයේ එක් මොහොතක් නිර්මාණය කිරීම හා විඳීම මිස, PowerPoint තුළින් මරණයට අත වැනීම නොවේ. PowerPoint හි වීරයා, ප්‍රධාන චරිතය මෙන්ම දුෂ්ටයාද වන්නේ මරණීය කම්මැලිකමයි. ආගන්තුක සංඥා සහ හැඩතල වලින් සැදි එය, අණ මත පත්තු වන වර්ණ වලින් යුත්තකි. මනස ආක්‍රමණය කොට අපව සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගෙන ඇති එය විසින් ශරීරය අංශ භාග තත්වයට පත් කරයි. ඉදිරිපත් කිරීම අතරතුරදීම නින්ද ඔස්සේ කෙනෙකු තවත් ලෝකයකට කැඳවාගෙන යනු ලැබේ. ඊට ප්‍රතිරෝධය දක්වමින් ඇස් ඇරගෙන සිටීමේ වධකාගාරය ය ඉන් අනතුරුව විවර වන්නේ. පසුදින වනවිට එම ඉදිරිපත් කිරීමේ එකදු අදහසක් වත් කිසිවකුට මතක නොතිබෙනු ඇත. ලියාගත් සටහන්ද නොමැති නිසා මතකය අළුත් කරගැනීමේ ක්‍රමයකුත් නැත; PowerPoint සටහන ඊමේල් මාර්ගයෙන් ලැබුණු පසු එය විද්‍යුත් ලිපි ගොනුවේම හිරවී තිබෙනු ඇත. කාලයක් යනවිට මකා දැමිය යුතු ලිපි වලින් එකක් බවට පත්වන්නේ, එය එතැන ඇත්තේ ඇයිද යන්නවත් මතක් නොවන නිසාය.   

පාක්ෂිකයෙක්: ලෙ බැක් 

PowerPoint වලට එරෙහි මේ වීර කාව්‍යයේදී ‘ශාස්ත්‍රාලිකයා’ යන පදය තුළ අප හැඟවුම් කරන ප්‍රසංගාත්මක භූමිකාව දෙස බැලීමට මම පටන්ගෙන ඇත්තෙමි. ෆ්‍රේරියානු රාමුවක සිට ලියන ලද ලෙ බැක් ගේ ‘ශාස්ත්‍රීය දිනපොත’ (ලන්ඩනයේ ගෝල්ඩ්ස්මිත් විශ්ව විද්‍යාල මුද්‍රණාලයෙන් 2016 දී ප්‍රකාශිත) නම් කෘතිය මට හමුවූයේ මේ ගමනේදීය. පන්ති කාමරය හා අධ්‍යාපනය මෙන්ම ‘ශාස්ත්‍රාලිකයා’ පදයේ විවිධ හැඟවුම්කාරක දෙසද බලන මෙම කෘතිය කල්පනාවෙන් ලියන ලද, ලබ්ධික නොවන, ප්‍රයෝගික එහෙත් ගැඹුරින් දේශපාලනික එකකි. කතෘ මෙහිදී පන්නරය ලබා ඇත්තේ සංස්කෘතික භෞතිකවාදී සම්ප්‍රදායෙන් සහ එහි ප්‍රධාන පෙලේ චින්තකයන් වන හොගාර්ට්, බොදියු, ස්ටුවර්ට් හෝල් සහ බර්ගර් වැන්නන්ගෙනි. මේ සියළුම දෙනා යම්කිසි ග්‍රාම්ස්කියානු පන්නරයක් ලද, අධ්‍යාපනය පිළිබඳ විශ්ලේෂණයේදී සමාජ පන්තිය ඉතා වැදගත් කොට සළකන්නවුන්ය. 

බැක් උගන්වන එක් පාඨමාලාවක මාතෘකාව ‘PowerPoint තුළින් මරණය’ (Death by PowerPoint) යන්නය. අධ්‍යාපනයට මගේ ප්‍රවේශය යුධගාමියකුගේ එකකි (එනම් බංකර වල සැඟවී සිට, කල්යල් බලා, PowerPoint නම් ප්‍රතිවාදියාට නියම වෙලාවේ පහර ගසන එකකි). බැක් කරන්නේ ඒ පිළිබඳ ආවර්ජනයක යෙදීමය. මගේ ප්‍රවේශයට වඩා එය තරමක් සාමකාමී, වඩාත් අධ්‍යාපනික එකකි. ඒ පිළිබඳව ඔහු දක්වන අදහස්ද න්‍යාය හා අත්දැකීම් මත පදනම් වූ ඒවාය. එහෙත් PowerPoint හි සෘණාත්මක බලපෑම අරබයා ඔහුගේ මතය ඉතා පැහැදිලිය: “එය මරණයම වේ; එහෙම නොවේද?” පහත එන්නේ ඔහුගේ උධෘතයකි.  

“එන්න එන්නටම ඩිජිටල්කරණය වන ශාස්ත්‍රීය කාර්ය සාධනයේ අවාසිසහගත පැතිකඩක් තිබේ. මේ සම්බන්ධ නරකම අත්දැකීම මා ලැබුවේ ඇමෙරිකාවේ පැවති සමාජ විද්‍යා සම්මන්ත්‍රණයකදීය. ඊට පැමිණ සිටි එක් අයකු කළේ සිය PowerPoint පිටු හඬ නඟා කියවීම පමණි. ඔහු සභාවට පිටුපා සිටියේය; හරියට PowerPoint නමැති දෙවියාට වන්දනා කරන අයුරිනි.” තවත් තැනක බැක් පවසන අන්දමට, “PowerPoint හිදී බොහෝවිට භාවිතා වන ප්‍රධාන කාරණා පමණක් දැක්වීමේ ක්‍රමය (bullet points) නිසා හිතෙන්නේ සමස්ත ලිපියම ලැයිස්තුවක් බවයි. වැඩි පැහැදිලි කිරීමක් එතුළ නොවේ. නමුත් සියුම් තර්කයක් එසේ ඉදිරිපත් කළ නොහැක.” එහෙත් ඔහුගේ පහත ප්‍රකාශය හා එකඟ විය නොහැක: “වචන, ශබ්දය සහ රූප යන මාදිලි තුන එකට එකතු කළහැකි නිසා PowerPoint ඉතා වැදගත් සම්පතක් වේ.”

PowerPoint තුළින් මරණය: NASA සිද්ධිය 

PowerPoint තුළින් මරණය යනු ඇත්තෙන්ම සිදුව ඇති සිද්ධියකි. 2016 වසරේදී NASA ආයතනයේ ඉංජිනේරුවරුන් විසින් සකස් කරන ලද PowerPoint ඉදිරිපත් කිරීමකින් අරමුණු කළේ, දින 16 ක් කක්ෂගතව තිබූ කොලොම්බියා ෂටලය නැවත පෘථුවිය වෙත ගෙන්වා ගැනීමේ ඇති අවදානමත්, එය මඟහරවා ගන්නා අයුරුත් කියා සිටීමටය. එහෙත් සම්පූර්ණ වාර්තාවක් වෙනුවට ප්‍රධාන කරුණු පමණක් අඩංගු කොට කළ PowerPoint ඉදිරිපත් කිරීම නිසා තත්වයේ බරපතලකම අදාළ කළමනාකරුවන්ට නියමාකාරයෙන් සන්නිවේදනය නොවුණි. නැවත පැමිණීමේදී ෂටලය විනාශ වීමේ ඛේදවාචකය සම්බන්ධයෙන් NASA ආයතනයේ විමර්ශනයකින් පසු පල කරන ලද වාර්තාවක පහත වැකිය අඩංගු විය: “සම්පූර්ණ වාර්තා වෙනුවට කෙටියෙන් කරුණු දක්වන PowerPoint මාදිලිය තෝරාගැනීම NASA ආයතනයේ තාක්ෂණික සන්නිවේදන දුර්වලතා වලින් එකක් ලෙස හඳුනා ගැනේ.” මෙය විහිළුවක් සේ පෙනුනද, ෂටලය විනාශ වීමට පෙර යම් අවස්ථාවක එහි ගගනගාමීන් විසින් ගන්නා ලද සමූහ ඡායාරූපය දුටුවිට මෙහි කිසිදු විහිළුවක් නොමැති බව මතක් වේ.  

PowerPoint තුළින් අපට අහිමි කරන අපේ මානවීයත්වය, හා ඒ නිසාම සිදුවන මරණය, නමැති දෛවයෙන් ගැලවීමට නම් මිනිසුන් ලෙස අප සතු බිඳෙන සුළු බව හා වටිනාකම අවධාරණය කළ යුතුය.  

PowerPoint, තාක්ෂණය සහ අපේ බිඳෙනසුළු බව 

කොවිඩ් වසංගත සමයේ එක් අවස්ථාවක අප අළුත් වසරක් සහ අළුත් වාරයක් ඇරඹුයේ නුහුරු සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීමට හුරුවන ගමන්ය. මා ඒ වනවිට හඳුනාගෙන නොසිටි සිසුන් කණ්ඩායමකට මාර්ගගත ක්‍රමය ඔස්සේ ෆ්‍රෙරේ ගේ විචාරාත්මක න්‍යාය උගන්වන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය. එම පාඨමාලාවේ එක් අංගයක් වශයෙන් ‘ෆ්‍රෙරේ සහ [සභාග] වචනය’ (Freire and the [shared] word) යන මැයෙන් රචනයක් ලිවීමට මම ඔවුන්ට අභ්‍යාසයක් දුන්නෙමි. ඊට පින්තූරයක් අඩංගු වියයුතු බවද මගේ උපදෙස් වල සඳහන් විය. මෙය එම පන්තිය ලියූ පළමු න්‍යායාත්මක රචනයයි. ඉන් එක් සිසුවකු ලියූ රචනයේ කොටසකුත්, ඒ හා එවන ලද ඊමේල් පණිවුඩයත් මෙතැන මම ඔවුන්ගේ අවසරය ඇතිව උපුටා දක්වන්නෙමි:

“මේ ඇගයීම් වල තේරුම මොකද්ද? පවුලේ කෙනෙක් ලෙඩ උනොත් හරි මොනවහරි දෙයක් උනොත් මේවයින් වැඩක් නැහැ, කියල අවුරුදු විසි තුනේ පුද්ගලය හිතුව. මේ තරම් බලරහිත වෙන එකට මම වෛර කරනව. ඇය තාත්තත්, අක්කත් එක්ක වැඩට යනව, ඊමේල් දිගටම එනව. සිසුන් දිගටම ඒවට උත්තර දෙනව, ඇගයීම් බාර දෙනව. කවුරුත් තමන් ගැන කරදර වේවි කියන බය නිසා සතුටින් ඉන්න බව පෙන්වන්න වීම, ඇයට ලෝකය ගැනත් එහි ඉන්න අය ගැනත් තරහ යන්න එක හේතුවක්. විශ්ව විද්‍යාලයට එන්න තමන් ගත්ත තීරණය ගැන අවුරුදු විසි තුනේ පුද්ගලය දුක්වෙනව. ඇයට හොඳ පඩියක් එක්ක රස්සාවක් හොයාගන්නයි තිබුණෙ. එහෙම උනා නං මගේ දෙමව්පියන්ට ආරක්ෂිතව ගෙදර ඉන්න තිබුනා වැඩට යන්නැතුව. මානසික පීඩනය එන්න එන්නම වැඩි වෙනවා. අනේ තව වතාවක් සංචරණ සීමා පනවන්න; එතකොට අඩු තරමේ මගේ පවුල ආරක්ෂිතව ඉඳීවි. නැත්තං මුළු රටේම සන්නිවේදන ජාල කඩන්න. මේ කරදර හංගාගෙන ඇය සිනාසෙමින් මෙහෙම කිව්වා: “කවුද ඇගයීම් ගැන කරදර වෙන්නෙ? මට වැඩකුත් නැති ඔය මොකක් හරි දෙයක් යවනව.” 

“මේ රචනාව මම වැඩිය වෙනස් නොකළේ කොවිඩ් කාලය තුළ මට දැනිච්ච දේ ඉන් හොඳින් කියවෙන නිසා. සභාග වචනය ගැන ෆ්‍රෙරේ ගේ න්‍යාය පාවිච්චි කරන්න උපදෙස් ලැබුනා; ඒ ඇර න්‍යායන් මම යොදා නොගත්තේ මම කියන්න හදන කතාව ඉන් වෙනස් වේවි කියන බය නිසා. ඒ වෙනුවට මේ රචනාව ආරම්භයක් හැටියට අරගෙන, න්‍යායන්ගේ විකාශය ගැන මගේ අවබෝධය වෙනස් උනේ කොහොමද කියන්නයි මට ඕන කළේ. මේ එක්ක තිබෙන රූපය යම් විදියකින් මේ දේවල් වලට සම්බන්ධයි; ඉන් මම පෙන්වන්න උත්සහ කළේ ඒ වෙලාවෙ මට දැනුණු අසරණකම. දෙපැත්තෙන් බිත්ති පටු වේගෙන මාව හිර කරනව වගේ දැනුනු දේ තමයි මම ඉන් පෙන්නන්න උත්සහ කරන්නෙ.” 

පොදු පරිමණ්ඩලය 

ටික දිනකට පසුව මේ සිසුවිය මට ඈ කැමති යූ ටියුබ් ගීතයක් සමඟ පහත ඊමේල් පණිවුඩය එව්වාය:

“තෑන්ක් යූ මැඩම්. ඇත්තටම මේ ඇගයීමට හරියන පින්තූරයක් හොයාගන්න හරි අමාරුයි. ඒ වෙනුවට මං එවන මේ සින්දුව ගන්න පුළුවන් නම්, ඉන් කියවෙනවා මට ඇත්තටම දැනෙන දේ. ඒකෙ නම ‘කරුප්පු වෙල්ලයි’. ඒකෙ සංගීතය ටිකක් බරයි, ඒ වගේම හුරු වුණේ නැතිනම් විඳින්න ටිකක් අමාරු සින්දුවක් කියල උනත් කියන්න පුළුවන්. ඒත් තේරුම හරි රසවත්. පින්තූරයකට වඩා මේකෙන් හැඟීම් හොඳින් එළියට එනව කියලයි මට හිතෙන්නෙ.” 

මෙහි ගුරුවරයාත්, සිසුවාත් දෙදෙනාම ශිෂ්ඨාචාරයට එල්ල වූ තර්ජනයක් හමුවේ පැවතීමට උත්සහ කරති; අප බිඳෙනසුළු බව හා වටිනා බවට වන හැඟීමත් සමඟ ඊට එළඹෙති. PowerPoint වලින් සිදුවන්නා වූ මරණයද ඇතුළුව මරණයට එරෙහි ක්‍රමෝපායන් සෙවීමේදී “වචනය, ශබ්දය, රූපය” එකිනෙක කේතාංකනය කරන බව ලෙ බැක් පැවසුවේය.