විශ්වවිද්‍යාලය තුළ එදිනෙදා සිදුවන ප්‍රචණ්ඩත්වය සහ බහිෂ්කරණය

රම්‍යා කුමාර්

අපගේ විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, සංවාදය සැමවිටම නවකවදය වෙත යොමු වේ. උපකුලපතිවරයෙකු හෝ නියමයන්ට අනුගත නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කිරීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ද අපෙන් සමහරෙක් සාකච්ඡා කරති. නමුත් පන්තිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ජනවාර්ගිකත්වය මත පදනම්ව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අප එදිනෙදා අත්විඳින හිංසනය අදෘෂ්‍යමානව පවතී. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලිංගික හිංසනය අපගේ එදිනෙදා ජීවිතය පුරා පැතිරී පවතින ආකාරයත්, බහිෂ්කරණය සහ අයුක්තිය එමඟින් අඛණ්ඩව පවත්වාගෙන යන අයුරුත් පිළිබඳව විවිධ රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිසුන් සහ ගුරුවරුන් සමඟ සිදුකරන ලද සාකච්ඡා කිහිපයක් ඇසුරින් මෙම ලිපිය ගොඩනැඟේ.    

ධූරාවලිගත පද්ධතීන්

අපගේ අධ්‍යාපන ක්‍රමය – ප්‍රාථමික, ද්විතීයික හෝ තෘතීයික වේවා – සිසුන්ට පුහුණු කරන්නේ අධිකාරිය පිළිබඳ ප්‍රශ්න නොකර එයට අනුගත වීමටය. අධිකාරියට අනුකූල නොවන අයට දඬුවම් නියම කෙරෙන අතර, විකල්ප චින්තන ක්‍රම අධෛර්යමත් කරනු ලබයි. පුරාණ සිංහල රජු, සාරියකින් සැරසුණු ගුණවත් මව හෝ මසට ගිජු මුස්ලිම් ජාතිකයා වැනි මිථ්‍යාවන් හෝ ආඛ්‍යාන භාවිතා කිරීමෙන් පාසල් විෂය නිර්දේශ තුළින් පවතින සමාජ ධූරාවලිය සහ වෙනස්කම් තවදුරටත් ශක්තිමත් කරයි.

සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ අධ්‍යාපන ක්‍රමයෙන් මෙසේ ලබාදෙන්නා වූ විවිධ පූර්ව මත හා විනිශ්චයන් කර පින්නාගෙනය. බොහෝ දෙනෙක් තම චින්තන/ඥාන රාමුවෙන් පිටත සිටින මිනිසුන් සමඟ එතෙක් සන්නිවේදනය නොකළ අය වේ. නොදැනුවත්කම, (නවකවදය හරහා හඳුන්වා දෙන) සාවද්‍ය තොරතුරු සහ විශ්වවිද්‍යාලයේ නුහුරු පරිසරය විසින් මෙසේ බෙදී යාමට තවදුරටත් කොන්දේසි නිර්මාණය කරනු ලබයි. තමන් විශ්වවිද්‍යාලයේ පළමු සතිය තුළ මුහුණ දුන් පීඩාකාරී පරිසරය ගැන උපාධි අපේක්ෂිකාවක් මෙසේ පවසන ලදී:

“අපි “අශෝභන ලෙ” ඇඳුම් ඇඳීම හෝ “වැරදි ලෙස” හැසිරීම වැනි “වැරදි” දෙයක් කළාම අපේ වයසේ පිරිමි ළමයින්ට ජ්‍යෙෂ්ඨයෝ හිරිහැර කළා. අපි අඳින පළඳින ආකාරය සහ අපේ ඇති වැරැද්ද පිළිබඳව ජ්‍යෙෂ්ඨ පිරිමි සිසුන් කතා කළේ අපේ වයසේ පිරිමි ළමයින් සමඟ … ඔවුන්ට කියා තිබුණේ ගැහැණු ළමයින් ඔවුන්ගේ වගකීම බවයි …”

නවක වදයට පිළියම් යෙදීමට විශ්වවිද්‍යාල බලධාරීන්ට නොහැකි වී ඇත්තේ විශ්වවිද්‍යාලයම ධූරාවලිගත පද්ධතියක් මත ගොඩ නැගී ඇති බැවින් සහ එකී ධූරාවලිය බොහෝ විට එවැනි හිංසනයන්ට හවුල් වන බැවිනි. හිජාබයෙන් සිටි මුස්ලිම් උපාධි අපේක්ෂිකාවක් පාස්කු ප්‍රහාරයෙන් පසු තමන්ව කොන් කරන ලද හැඟීමක් ඇතිවීම පිළිබඳව කතා කළාය. එහිදී ආරක්ෂක භටයින් ඇය “සහරාන්ගේ සහෝදරිය” මෙන් පෙනුන බව පවසමින් අනෙක් අයට යාමට ඉඩ හැර ඇගේ බෑගය පරීක්ෂා කර බැලීමට ඇයව වෙන් කර තිබුණි.

දෙවන පන්තියේ සිසුන්ගේ සිට …

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ වෙනත් “සම්මතයන්” ශිෂ්‍යයින් විසින් අභ්‍යන්තරීකරණය කරගන්නේ ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඉතා සුළු අවස්ථා ඇති පසුබිමකය. යම් උත්සවයක් සංවිධානය කරන විට සිසුවියයෝ බොහෝවිට ලිපිකාර, ගිණුම් වැඩ සහ තේ පිරිනැමීම වැනි කාර්යයන් භාර ගැනීමට නැඹුරු වෙති. සමහර පීඨ වල, සිසුවියන් දේශන වලට සහභාගී වී පිරිමි සිසුන් වෙනුවෙන් ඉතා කීකරුව සටහන් ලබා ගැනීම කරද්දී පිරිමි සිසුන් ඊට වඩා උසස් යැයි සම්මත කටයුතු වල නිරත වේ. මෙම “උප සංස්කෘතියට” අනුකූල නොවන අය ආත්මාර්ථකාමී, සමාජ විරෝධී හෝ ප්‍රභූ ලෙස හංවඩු ගැසේ.

බොහෝ විශ්වවිද්‍යාල වල, පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් සිටින පීඨ වල පවා, ශිෂ්‍ය සංගමයක සභාපතීත්වය වැනි නායකත්ව තනතුරු සඳහා කාන්තාවන් (ශිෂ්‍යාවන්) සළකා බැලෙන්නේ නැත. උපාධි අපේක්ෂකයෙකු පැවසුවේ “නායකයෙකු පිළිබඳ මානසික චිත්‍රය සැමවිටම පිරිමි” බවයි. මෙම “සම්මතය” බොහෝ විට සාධාරණීකරණය කරන්නේ රැස්වීම් වලින් පසු සිසුවියන්ට ආපසු තම නිවසට/නේවාසිකාගාරයට තනිව යාමට නොහැකි වීම යන කරුණ මතය. නමුත් තනිවම සංචාරය කරන බොහෝ සිසුවියන්ට මෙය අරුම පුදුම පරිකල්පනයකි.

කාන්තා ඇඳුම් දැඩි ලෙස නිරීක්ෂණයට භාජනය වේ. මුස්ලිම් උපාධි අපේක්ෂිකාවක් පැවසුවේ, ඇගේ සාය පාදයේ ඇඟිලි තෙක් දිගු නොවීම මත ඇයට පීඨයේ යාඥා කාමරය තහනම් කළ බවය. දකුණේ අධ්‍යාපනය ලැබූ ද්‍රවිඩ උපාධි අපේක්‍ෂිකාවකට අනුව, වෙනත් පීඨයක ඇගේ (දෙමළ) මිතුරියන්ට සිය “සංස්කෘතිය” පවත්වා ගැනීම සඳහා සල්වාර් හැඳ, තනි කරලට කොණ්ඩය ගොතා, පොට්ටු සහ විභූති පැළඳීමට සිදු විය. එසේම උතුරේ ඉගෙනුම ලබන සිංහල සිසුවියන්ට කෙටි සායවල් හෝ තද ඇඳුම් ඇඳ දෙමළ සම්මතයන් කඩ නොකරන ලෙස ඔවුන්ගේ පිරිමි සගයන් විසින් ආරක්ෂාවේ නාමයෙන් අනතුරු අඟවා ඇත. 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ බලධාරීන් විසින්ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මෙම සම්මත

යන් ශක්තිමත් කොට පවත්වාගෙන යනු ලබයි. පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ හොඳින් සිතා බලන ලෙස සායනික වෛද්‍යවරයෙක් තම කණ්ඩායමේ කාන්තාවන්ට උපදෙස් දුන් විට වෛද්‍ය උපාධි අපේක්ෂිකාවක් අධෛර්යයට පත් වූවාය: “විවාහය ප්‍රමාද වන බවත්, සමහර විට ස්වාමිපුරුෂයෙකු සොයා ගැනීමටද නොහැකි වනු ඇති බවත් වෛද්‍යවරයා අපට කීවා.” ශරීරයේ හැඩය සහ ප්‍රමාණය අනුව තමා ඇතුළු සිසුවියන්ට හැඟවුම් කළ වෛද්‍යවරයෙක් පිළිබඳ තවත් සිසුවියක් කතා කළාය. සමහර කාන්තාවන් මෙම සීමා මායිම් සමඟ නිරන්තරයෙන් පොර බදන අතර, දිනපතාම මෙවැනි හිංසනයන්ට මුහුණ පෑමට සිදුවීම තුළ කාන්තාවන්ට තමන් පිළිබඳව සුළු හා නොවැදගත් බවක් දැනෙන්නට ගන්නා බවද අමතක නොකළ යුතුය.

දෙවන පන්තියේ ගුරුවරුන් දක්වා

තාවකාලික හා පරිවාස කථිකාචාර්යවරු විශ්වවිද්‍යාල ධූරාවලිය තුළ සිටින්නේ යටම මට්ටමේය. මහාචාර්යවරියක් තම පීඨයේ රැස්වීම් වලදී තරුණ කථිකාචාර්යවරුන්, විශේෂයෙන් කාන්තාවන් නිහඬ කරන ආකාරය විස්තර කළාය: “එක්කෝ ඔවුන්ගේ දායකත්වය නොසලකා හරිනවා, නැතිනම් ඔවුන්ට ඉහළින් කතා කිරීම මඟින් යටපත් කර දමනවා.” සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ අළුත සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු විසින් ඇයට සිදුකළ හිරිහැර පිළිබඳව තාවකාලික කථිකාචාර්යවරියක් කතා කළාය. ඔහු කාන්තාවන්ට අගෞරවයෙන් සැලකීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන නමුත්, ඇය මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි අදාළ බලධාරීන් විසින් නොසළකා හැරි බව ඇය පැවසුවාය. එසේම අභ්‍යන්තර බඳවා ගැනීම් වලට වැඩි තැනක් දෙන පද්ධතිය විසින් ධූරාවලිය පවත්වා ගන්නා අතර, එවැනි පද්ධතියක් තුළ කිසිදු ආකාර අගය කිරීමකින් තොරව අතිරේක වැඩ කිරීමටද කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට සිදුවේ.

ශාස්ත්‍රාලිකයන් වශයෙන්, තීරණ ගැනීමේ ක්‍රියාවලීන් තුළ කාන්තාවන් බොහෝ විට බැහැර කෙරෙන අතර, සාමාන්‍යයෙන් මෙකී ක්‍රියාවලීන් දිග හැරෙන්නේ පරිපාලනය වටා රොක් වන සහ පරිපාලනයට හිස නමන (ප්‍රධාන වශයෙන්) පුරුෂ කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පවත්වන අවිධිමත් රැස්වීම් වලදීය. මෙම තීරණ ගැනීමේ සංස්කෘතිය විශ්වවිද්‍යාලයේ සෑම තලයකම පවතින අතර, එහි ස්වභාවය අනුවම “මචන්” කතාවට සහභාගී විය නොහැකි කාන්තාවන් සහ සුළු ජාතීන් බැහැර කරයි. හඬක් නඟන හෝ ප්‍රශ්න අසන පුද්ගලයින් අතාර්කික හෝ කරදරකාරීන් ලෙස සළකා ගණන් නොගන්නා තත්වයට පත්කරනු ලැබේ. සෙනෙට් රැස්වීමේදී සාමාන්‍යයෙන් ප්‍රශ්න ඇසීම අධෛර්යමත් කළ විට දැනෙන්නා වූ දැඩි අපහසුතාවය පිළිබඳව එක් මහාචාර්යවරියක් කතා කළාය: “ක්‍රියා පටිපාටියේ පවතින උල්ලංඝනයක් පිළිබඳ මම පෙන්වා දුන් විට මේ ආකාර සුළු කාරණා මතු කිරීම නවත්වන්නැයි උපකුලපතිවරයා කියා සිටියා.”

විශ්වවිද්‍යාලයේ උසස් තලයන්හිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය ධූරාවලිය වඩාත් පැහැදිලිව දැකගත හැකිය. පීඨාධිපතිවරුන් ලෙස සහ ඊට සාපේක්ෂව අඩු වාර ගණනකදී උප කුලපතිවරුන් වශයෙන් කාන්තාවන් විශ්වවිද්‍යාල තුළ තනතුරු හොබවා ඇති නමුත්, අධ්‍යයන වැඩ කටයුතු ස්ත්‍රී පුරුෂ භාවය අනුව බෙදී යාම දිගින් දිගටම සිදුවේ. විවිධ කමිටුවලදී, කාන්තාවන් බොහෝ විට සම්බන්ධීකරණ කටයුතු සහ ලිපි ලේඛන පවත්වා ගැනීමේ කටයුතු වලට තල්ලු වන අතර, ඔවුන්ගේ දායකත්වයන් අගය කිරීමක්ද සිදු නොවේ. ඇත්තෙන්ම බොහෝ කාන්තාවන් ඔවුන්ගේ “පවුල් කැපවීම්” සහ ස්ත්‍රීත්වය කෙරෙහි ආරෝපණය කරන වෙනත් එවැනි නිෂේධාත්මක ගති ලක්ෂණ සඳහා වරදකරුවන් වී ඇත. එසේ වුවද, පුරුෂ සාමාජිකයන්ගේ අවිශිෂ්ටතාවය කිසි විටෙකත් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ආරෝපණය නොවේ.

මේ සියල්ලටම හේතු වන මූලික කරුණ නම් කාන්තාවන් භාණ්ඩයක තත්වයට ලඝු කොට ලිංගිකකරණය කරන්නා වූ ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස්කොට සැළකීමේ භාවිතයයි. සිය කොණ්ඩා මෝස්තරය හෝ ඇඳුම පිළිබඳව කාන්තා ශාස්ත්‍රාලිකයින්ට විවිධ මත වලට සවන් දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ලිංගික හිංසනය වැනි බරපතළ සිදුවීම් වලදී වූවත් ඔවුනට ඒ වෙනුවෙන් යාමට තැනක් නැත. එක් මහාචාර්යවරියකට අනුව, “ලිංගික හිංසනයට පිළියම් යෙදීම සඳහා ස්ථාපිත විශ්වවිද්‍යාල ක්‍රියා පටිපාටි භාවිතා කිරීමෙන් බොහෝ කාන්තාවන් ගැනීමට අකමැති අවදානම් ඇතිවේ.”

ප්‍රතිවිපාක

මෙමඟින් විශ්වවිද්‍යාල සහ සමාජය පිළිබඳව කුමක් හැඟවේද? මූලිකම කරුණ නම් මෙම භාවිතයන් නිසා  විශ්වවිද්‍යාල පරිපාලකයින්ට බලයේ ගැත්තන්ව සිටීමට තවදුරටත් ඉඩකඩ සැලසීමයි. දෙවනුව, ඔවුන්ගේ භූමිකාව අනුව සිදුකළ යුතු පරිදි දැනුමේ හා පොදු කතිකාවේ සීමාවන් වඩා පුළුල් කරනු වෙනුවට, අපගේ විශ්වවිද්‍යාල විසින් තවදුරටත් සමාජ ධූරාවලිය ශක්තිමත් කෙරේ. තෙවනුව, විචාරාත්මක සංවාද අධෛර්යමත් කිරීමෙන්, අයුක්තිය හමුවේ අංශභාග තත්වයට පත්වන සහ අධිකාරියට පහසුවෙන් නතුවන විසන්ධි වූ විශ්වවිද්‍යාල ප්‍රජාවක් බිහිකොට පවත්වාගෙන යාම සිදුවේ. 

මෙම අවුල නිරාකරණය කිරීම අපගේ ආයතන තුළ සිට ආරම්භ කළ යුතුය. නිදහස් අධ්‍යාපනයේ සමානාත්මතාවාදි මූලධර්මය මත පදනම්ව, උසස් අධ්‍යාපනයේ ගමන් පථය පිළිබඳ සංවාදයකට සිසුන් හා ගුරුවරුන් එක්රැස් කිරීම සඳහා සහ මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙන් අප විසින් සියල්ලන්ට ප්‍රවේශය සහිත නිර්මාණශීලී අවකාශයන් ඇති කර ගත යුතු ය.