හසිනි ලේකම්වසම්
ජනපතිට බලය අතහැරීමට කරන බලකිරීම එන්න එන්නටම තියුණු වන මොහොතක මසිතෙහි පැනයක් නැඟේ: කොතරම් බලසම්පන්න වුවත්, මෙවැනි ආකාරයේ සමාජ-ආර්ථික අර්බුදයකට රටක් ඇද දැමීම ආණ්ඩුවකට තනිව කළ හැකිද? මෙවැනි ප්‍රපාතයකට රට ඇද වැටෙන තුරු ආණ්ඩුකරණය තුළ හා ඉන් පරිබාහිර අනෙකුත් ආයතන, පුද්ගලයින්, යාන්ත්‍රණ කුමක් කළේද? මගේ පසුබිමට වඩා සෘජුව අදාළ පරිදි මෙම ප්රශ්නය නඟන්නේ නම්, තත්වය මෙතනට විකාශය වනතුරු විශ්ව විද්‍යාලය කුමක් කළේද? මෙම ලිපියෙන් මා අරමුණු කරන්නේ මෙම අර්බුද අවස්ථාවේ වේදනාකාරී වියහැකි වුවත් යම් අන්තරාවලෝකනයක යෙදීමට ශාස්ත්‍රීය ප්‍රජාවට ආරාධනා කිරීමයි.
දේශපාලනය තුළ ශාස්ත්රඥයාගේ භූමිකාව
සියළු පුරවැසියන්ට මෙන්ම ශාස්ත්රඥයන්ටද දේශපාලනයෙහි නියැලීමේ අයිතියක් මෙන්ම, සමහර විට අනෙක් පුරවැසියන්ට වැඩි වගකීමක්ද ඇත. නමුත් ශාස්ත්‍රඥයන් සමාජ මතයට බලපෑම් කළහැකි කණ්ඩායමක් නිසා ඔවුන්ගේ තීරණ වඩා ප්‍රවේසමෙන් ගතයුතු වේ. දේශපාලන මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලි වලට සිය විශේෂඥභාවය ලබාදීම ශාස්ත්රඥයාගේ යුතුකමකි. නමුත් එය සිදුකරන ආකාරය නැවත සළකා බැලීම වටී. නිදසුනක් ලෙස යම් ගැටලුවකට පිළිතුරු සොයන ආණ්ඩුවක් සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් මත පිහිටා සිය දායකත්වය ලබාදෙන ශාස්ත්රඥයකු ගැන සිතන්න. එවැනි අයෙකුට විරෝධය පෑම දුෂ්කරය. නමුත් පසුගිය දශක ගණනාව තුළ බොහෝකොටම සිදුවූයේ කිසිදු ප්‍රතිපත්තිමය හෝ දෘෂ්ටිවාදීමය සළකා බැලීමකින් තොරව ශාස්ත්‍රඥයන් විසින් පරස්පර විරෝධී ආකාරයේ දේශපාලන බලවේග වලට සහය දීමත්, එම බලකඳවුරු බිඳ වැටුණු විට නිහඬව නැවත විශ්ව විද්‍යාලයට පැමිණීමත්ය.
බුද්ධිමය වංකභාවය
මෙම පදය මා යොදාගන්නේ සමාජමය හා ද්‍රව්‍යාත්මක වාසි වෙනුවෙන්, සිය තීරණ සහ ක්‍රියා වල දේශපාලනික හෝ බුද්ධිමය සංගතතාව පිළිබඳ කිසිදු සැළකීමකින් තොරව, ආණ්ඩුවක ඕනෑම ආකාරයේ තීරණයකට සහය ලබාදෙන්නා වූ ශාස්ත්‍රඥයන් හැඳින්වීමටයි. ශාස්ත්‍රඥයන් දේශපාලනික මැදිහත්වීම් කළයුතු බව මමද තරයේ විශ්වාස කරමි. නිදසුනක් වශයෙන්, ප්රශස්ත යැයි තමන් විශ්වාස කළ ආකාරයේ ලෝකයක් තනාගැනීම සඳහා වියත් මඟ ගත් දේශපාලන තීරණ වලට මම ඔවුන්ට දොස් නොකියමි. එය ඔවුන්ගේ අයිතිවාසිකමකි. නමුත් එම ගමනේදී තමා හා එකඟ නොවන ආකාරයේ මතයන් හෑල්ලුවට ලක්කොට බැහැර කිරීමත්, ඒ හරහා විසම්මුතියට ඇති ඉඩ අවම කිරීමත් පිළිබඳ වගකීම ඔවුන් බාරගත යුතුය. බුද්ධිමය වංකභාවය පිළිබඳ ගැටළුව මෙතැනදී මතුවන්නේ තමාම පත්කරගැනීමට දත කෑ ආණ්ඩුව එළවා ගැනීමට ඔවුන් මහපාරේ අරගල කරන විට නොව, එසේ කරද්දී පවා රටට අවශ්‍ය ‘ශක්තිමත් නායකත්වයක්’ බවට අවධාරණය කරන විටය; එවැනිම දැඩි ධූරාවලිගත ආකාරයෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදයක් විශ්ව විද්‍යාලය තුළ පවත්වාගෙන යාමේ දෙබිඩි පිළිවෙතක් ඊට සමාන්තරව අනුගමනය කරන විටය.
දේශපාලනයේ කොලිටිය ඉහළ දැමීමට ශාස්ත්‍රඥයන්ට හැකියාව පවතීද?
මෙවැනි ප්‍රශ්නයක් ඇසීමට තත්වය නිර්මාණය වී තිබීමද ඇත්තෙන්ම අවාසනාවකි. හරිනම් එවැනි ධාරිතාවක් විශ්ව විද්‍යාල ප්‍රජාවට තිබිය යුතුය. අප සිදුකරන පර්යේෂණ වල දැනුම අදාළ කරගත යුත්තේ අපගේ ඉගැන්වීම් කටයුතු වලට පමණක් නොව, අප කරන සියළුම ආකාරයේ සමාජ-දේශපාලන මැදිහත්වීම් වලටද ය. ස්වභාවික විද්‍යාවන්ගෙන් එහිදී බලාපොරොත්තු වන්නේ නව නිමවුම්, සෞඛ්‍යමය සහ තාක්ෂණික විසඳුම් වැනි දේය; සමාජ විද්‍යාවන් වල කාර්යය අප සමාජ ජීවිතය සංවිධානය කර ඇති ආර්ථික, දේශපාලන, සහ සමාජ මූලධර්ම වඩා සමාජ හිතකාමී අයුරින් සංවිධානය කිරීමයි.
මෙම දෙයාකාරයේම කාර්යයන් සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසි වශයෙන් වඩා හොඳ සමාජයක් බිහිකිරීමට සදාචාරාත්මක සහ බුද්ධිමය කැපවීමකුත්, එය පවත්වාගෙන යෑම සඳහා අත්‍යාවශ්‍ය වන ‘ශාස්ත්‍රීය නිදහස’ නම් වටාපිටාවත් යන දෙක තිබිය යුතු වේ.
නමුත් ලංකාවේ පසුගිය දශක කිහිපය දෙස හැරී බැලූවිට පෙනෙන්නේ මීට හාත්පසින්ම වෙනස් තත්වයකි. ඉහළ මට්ටමේ පර්යේෂණ සිදුකරන ශාස්ත්‍රඥයන්ට බොහෝවිට දේශපාලනික ආරාධනා ලැබෙන්නේ නැත. එම නිසාම එවැනි ශාස්ත්‍රඥයන් සාමාන්‍යයෙන් දේශපාලනය ගැන වැඩි මනාපයක් දක්වන්නේද නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ අවස්ථා වල පර්යේෂණ පිළිබඳ හය හතර නොදත් පිරිසක් දේශපාලන තලය තුළ ‘විශේෂඥයන්’ ලෙස වැජඹීමත්, සිය ශාස්ත්‍රයෙහි ඉතා හොඳින් පිහිටි පිරිස තමාගේම ශාස්ත්‍රීය ලෝකය තුළ සංවෘත ජීවිතයක් ගතකිරීමත් දකින්නට ලැබේ. මෙය චක්රාකාරව දිගින් දිගටම සිදුවීම තුළින් ගැටළු සහගත දේශපාලනික තීරණ වලට සිය ‘විශේෂඥ’ ලේබලය තුළින් සුජාතභාවය ලබාදෙන එහෙයියන් පිරිසකුත්, අනෙක් අතට තමාගේ නියම විශේෂඥභාවය දේශපාලනික වශයෙන් එතරම් ප්‍රයෝජනයට නොගන්නා ශාස්ත්‍රඥයන් පිරිසකුත් නිර්මාණය වී තිබේ.
ඉදිරි ගමන්මඟ?
අත්තනෝමතික ආණ්ඩුවක් විවේචනය කිරීමට අවශ්‍ය බුද්ධිමය ස්වාධීනත්වය හා සදාචාරාත්මක පදනම සපයා ගැනීමට අදාළ වෘත්තීමය ආචාරධර්ම වලට අනුගත වීමට අප සූදානම්ද? එමෙන්ම දේශපාලන අධිකාරිය සමඟ ගණුදෙනු කිරීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනු වෙනුවට, එවැනි ආචාරධාර්මික පදනමක සිට ඔවුන් සමඟ කටයුතු කිරීමට අප සූදානම්ද? එසේ නම් අපේ තීරණ, ක්‍රියාවන්, සහ භාවිතයන් නැවත විමසුමට ලක්කළ යුතුවේ. එසේ කිරීමට නම් විශ්ව විද්‍යාලයට විචාරාත්මක සංස්කෘතියක් නැවත හඳුන්වා දියයුතුව ඇත. මට මේ අවස්ථාවේදී සිහියට නැඟෙන්නේ අප්‍රේල් 19 පැවති විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතා පා ගමනට සහභාගී වූ මිත්‍රයෙකු පැවසූ කතාවකි. අප භාවිතා කළ සටන් පාඨ මාලාවේ එක් තැනක අධ්‍යාපනය විනාශ කිරීම පිළිබඳවද ආණ්ඩුවට දොස්තබා තිබුණි. එහි තිබුණේ ‘අධ්‍යාපනේ වැනසූවා’ යන්නයි. ඔහු සිනාසෙමින් පැවසුවේ ඒ වෙනුවට ‘අධ්‍යාපනේ අපි කෑවා!’ යැයි ඔවුන් කියමින් ගිය බවයි. විහිළුවක් වුවත් මෙහි ගන්නට යමක් ඇතැයි මට සිතේ. බොහෝ ශාස්ත්‍රඥයින්ට වත්මන් අර්බුදයට මැදිහත්වීමක් කිරීමට නැත්තේ දේශපාලන සවිඥානික බව හෝ උනන්දුව පමණක් නොවේ; ඊට අවශ්‍ය සදාචාරාත්මක සුජතභාවයද ඔවුන්ට නැත. එම නිසා අධ්‍යාපනේ අපි කෑ කොටස හැකි තරමින් නිවැරදි කළහොත් මිස, කොතරම් අත්තනෝමතික ආණ්ඩුවක් වුවද විවේචනය කිරීමට අපට අයිතියක් නොමැති වනු ඇත.