නිකොලා පෙරේරා
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මට්ටමේ කොතරම් ප්‍රතිපත්තිමය මැදිහත්වීම් තිබුණද, විශ්ව විද්‍යාල තුළ ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක්වන්නන්ට හිමිවන සහයෝගයට වඩා මුහුණ පෑමට සිදුවන ප්‍රතිරෝධය වැඩිය. සාමාන්‍යයෙන් වරදකාරී පාර්ශ්වයේ හිතමිතුරන් සහ නෑදෑයන්, සිය හිතවතාගේ නම පමණක් නොව ආයතනයේ ප්‍රතිරූපයද රැකීමේ මුවාවෙන් එකට රොක් වෙති. පන්තිය, වාර්ගිකත්වය, ප්‍රාදේශීයත්වය වැනි තවත් අනන්‍යතාවන්ගෙන්ද බලපෑමට ලක්වන මෙම ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන වලට ලක්වන්නේ ස්ත්‍රීන් පමණක් නොවන බවද සිහිතබා ගත යුතුය.
ගෘහස්ථ හිංසනය මෙන්ම විශ්ව විද්‍යාල තුළ සිදුවන මෙවැනි හිංසන ක්‍රියාද වාර්තා වන්නේ ඉතා කලාතුරකිනි. එම අවකාශය තුළ ක්‍රියාත්මක විවිධාකාර ධූරාවලීන් (කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර, ශාස්ත්‍රීය සහ පරිපාලන කාර්ය මණ්ඩලය අතර, ජ්‍යෙෂ්ඨයන් සහ කනිෂ්ඨයන් අතර වැනි) තුළින් ඇතිකරන බිය නිසාත් වරදට ලක්වන පාර්ශ්වය විසින් සිද්ධිය වාර්තා කිරීමෙන් වැළකී සිටී. 2015 වසරේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා එක්ව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයත්, CARE International ආයතනයත් කරන ලද පර්යේෂණයකින්ද, 2021 UNICEF ආයතනය විසින් කරන ලද ඒ හා සමාන පර්යේෂණයකින්ද මේ පිළිබඳ අපහසුකාරී තතු හෙළි වුණි. සිද්ධිය වාර්තා කිරීම තුළින් වරදට ලක්වන පාර්ශ්වය පද්ධතියට (ඇත්තෙන්ම එහි සිටින සමහර අයවළුන්ට) තර්ජනයක් වන බව බොහෝවිට වටහා ගැනේ.
අනෙක් අතට වරදකාරී පාර්ශ්වයට දඬුවම් පැනවෙන්නේ විශ්ව විද්‍යාලයෙන් පමණක් නොව, රාජ්‍යයේ දණ්ඩ දණ්ඩ නීති සංග්‍රහයෙන්ද ය. 2005 ගෘහස්ථ හිංසන වැළක්වීමේ පනත වැනි නීති වලට අනුව ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන පොදු හා පෞද්ගලික පරිමණ්ඩල දෙකේම විවිධ අවකාශයන් තුළ දිග හැරෙන, දඬුවම් ලැබිය හැකි වරදක් සේ පිළිගැනේ. (එසේම රාජ්‍යය අන්තර්ජාතික වශයෙන් එළැඹී ඇති යම් යම් ගිවිසුම් වලටද එය අනුකූලය). විශ්ව විද්‍යාලයට සුවිශේෂී නීති පද්ධතිය සැළකූ විට 1998 අධ්‍යාපන ආයතන තුළ නවක වධය වැළක්වීමේ පනත හා 2010 අංක 919 දරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා චක්‍ර ලේඛයට අනුවද ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන දඬුවම් ලැබිය හැකි වරදකි. නවක වධය ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා සිදුවුණත්, ප්‍රශ්නය ඇත්තේ එතැන පමණක් නොවේ; මෙය අපේ සිසුන් අතර පමණක් පවතින ප්‍රශ්නයක් නොවේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මේ සම්බන්ධයෙන් තනිකරම අසංවේදී බව කිව නොහැක: ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමතාව/සමානාත්මතාව පිළිබඳ කමිටු කොමිසන් සභා මට්ටමේ ක්‍රියාත්මක වන අතරම, තනි තනි විශ්ව විද්‍යාල මට්ටම් වල ඊට අනුබද්ධිත කමිටුද ක්‍රියාත්මක වේ. එසේම විශ්ව විද්‍යාල මට්ටම් වල මේ සම්බන්ධයෙන් අතුරු නීති රැසක්ද හඳුන්වා දී ඇත. විවිධාකාරයෙන් වචනයට නඟා ඇති මේ සියළු ක්‍රියාමාර්ග වලින් කතා කෙරෙන්නේ අනුමතිය (consent) පිළිබඳවය: ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම්ව පුද්ගලයකුට වෙනස් කොට සැළකීම, තර්ජනාත්මක පරිසරයක් නිර්මාණය කිරීම; හිංසනය සේ සැළකිය හැකි චර්යා වර්ග (තාක්ෂණය භාවිතා කිරීම්ද ඇතුළුව); ශාස්ත්‍රීය සහ වෘත්තීය වාසි ලබාදීම සඳහා ලිංගික අල්ලස් බලහත්කාරයෙන් හෝ අනුමතියෙන් ලබාගැනීම; මෙම කරුණු වලට අදාළ පැමිණිලි විභාග කිරීම සම්බන්ධ ක්‍රියා පටිපාටීන්; සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම; සහ වරදට ලක්වූ පාර්ශ්වයේ ලිංගික ඉතිහාසය සිද්ධිය විභාග කිරීමේදී අදාළ කර නොගැනීම ඒවායින් ආවරණය කෙරෙන කරුණු අතරින් කිහිපයකි. නමුත් ප්‍රතිපත්ති, භාවිතය සහ ඒවායෙහි බලපෑම අතර කවදත් තිබූ පරතරය කරළියට එන්නට පටන් ගන්නේ මෙතැනය.
වාර්ෂිකව නව සිසුන් ඇතුළත් කරගැනීමේදී ලබාදෙන පුහුණුව (orientation) තුළ මෙවැනි සාකච්ඡා ඇතුළත් කරනවාද නැතිද යන්න පිළිබඳ තීරණය පීඨයෙන් පීඨයට වෙනස් වේ. එසේම බ්‍රේල් මාධ්‍යයෙන් මුද්‍රණය වන පීඨ අත්පොත් වලද මෙම කරුණු ඇතුළත් වන බවට සහතික විය නොහැක. කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථාන වල ලබාදෙන පුහුණු කිරීම් තුළ අධ්‍යාපනයේ දේශපාලනය ගැන කොහොමත් කතාවක් නැත; ඒවායෙහි මානව සම්පතට අදාළ පාඨමාලා වල මේ පිළිබඳ කරුණු සඳහන් නොවේ. මේ සම්බන්ධ පුහුණු කිරීම් සඳහා විවිධ විශ්ව විද්‍යාල වලින් වෙන් කෙරෙන සම්පත් ප්‍රමාණය විවිධය; එසේම විශ්ව විද්‍යාල අවකාශය තුළ සිටින සියල්ලන් එවැනි පුහුණුව ලබන බවටද සහතික විය නොහැක.
මේ සම්බන්ධ වැඩමුළු වලටද බොහෝවිට සහභාගී වන්නේ එකම කණ්ඩායමකි; ඔවුන්ගෙන් බොහෝ අය තරුණ කාන්තාවන්ය. පුරුෂ ශාස්ත්‍රාලිකයන් මෙවැනි කරුණු අරබයා හඳුන්වා දෙන ප්‍රතිපත්ති දකින්නේ සිය වෘත්තීය ප්‍රතිරූපයට පෞද්ගලිකව ගසන පහරක් ලෙසය. මේ සම්බන්ධයෙන් විවෘතව කතා කරන ස්ත්‍රී ශාස්ත්‍රාලිකයන් කරදර ඇති කරන්නන් සේ සළකනු ලබයි. පවතින ප්‍රතිපත්ති වලින් මෙවැනි ආඛ්‍යාන හා ඒවා ඔස්සේ ඇතිකරන ‘වැඩ කිරීමට අපහසු/තර්ජනාත්මක පරිසරය’ සම්බන්ධ පියවරක් ගැනීම අපහසුය. අදාළ ඉහළ තනතුරකට ස්ත්‍රියක් පත්වූ විට පමණි මෙවැනි කරුණු සම්බන්ධ ප්‍රතිපත්ති යම් අයුරකින් හෝ ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ.
මේ සියල්ලෙහි ප්‍රතිඵලය වී ඇත්තේ විශ්ව විද්‍යාල අවකාශය ඉතා පීතෘ මූලික, විෂම ලිංගිකත්වයට පමණක් තැන ලබාදෙන එකක් බවට පත් වීමයි. එවැනි අවකාශයක ආන්තික කණ්ඩායම් කෙරෙහි ප්‍රචණ්ඩත්වයේ තර්ජනය ඉතා සැබෑ එකකි. මේ තීරුවේ කලින් පල කළ ලිපියක රම්‍යා කුමාර් විසින් පෙන්වා දුන් පරිදි, මේ නිසා වෙනත් ලිංගික අනන්‍යතා සහිත අයවළුන්ට සිය විශ්වාසී හිතමිත්‍රයින් කිහිප දෙනෙකු සමඟ හැරෙන්නට විවෘතව ජීවත් විය නොහැක. මෙවැනි කරුණු සම්බන්ධ පැමිණිලි නොලැබීමෙහි අරුත ප්‍රශ්නය අවසන් බව නොවේ; එම නිසා එවැනි පැමිණිලි ලැබෙන්නට පටන් ගැනීමම ලොකු දියුණුවක් හඟවන්නකි. පවතින තත්වය වෙනස් නොකරන තාක් මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් සළකන්නේ වැඩි ලකුණු වලට හෝ රැකියාවේ උසස් වීමක් සඳහා කෙනෙකු සමඟ ගනුදෙනුවක ආකාරයෙන් යහන්ගත වීමට එකඟ වූ අයකු ලෙසය. ගෝලීයව #MeToo ව්‍යාපාරයට මේ වනවිට එල්ල වන විවේචන පිළිබඳ පරිසරයක් තුළ, සාවද්‍ය චෝදනා ගැන ලොකු කැක්කුමක් පවතී. මෙබඳු ආඛ්‍යාන නිසා සිදුවන්නේ වරද සිදුවූ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමෙහි බර වරදට ලක්වූ පාර්ශ්වය මත පතිත වීම පමණක් නොව, එම සාක්ෂි ‘අපක්ෂපාතී’ තීරකයකුට ‘පිළිගත හැකි’ ගණයේ ඒවා බව තහවුරු කිරීමටද සිදුවීමයි.
ලිංගික හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන පිළිබඳ සොයාබැලීමට පවතින කමිටු වලට බොහෝවිට පත් කරන්නේ ‘බෝට්ටුව ගැස්සීමට’ නොසලස්වන, පද්ධතිය සමඟ මිත්‍රශීලී අයවළුන්ය. එමෙන්ම සුළු තාක්ෂණික කරුණු මත චෝදනා ඔප්පු වූ පැමිණිලි පවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මඟින් බැහැර කරන අවස්ථාද තිබේ. මෙවැනි තත්වයක් තුළ කොතරම් ශක්ති සම්පන්න ප්‍රතිපත්ති, යාන්ත්‍රණ සහ ක්‍රියාපටිපාටි තිබුණත්, විශ්ව විද්‍යාලය තුළ ශිෂ්‍යයන් හා ධූරාවලියෙහි පහළින් සිටින්නන් කෙරෙහි බලය දරන කණ්ඩායම් වෙනස් නොවන තාක් වෙනසක් ඇති නොවනු ඇත.