විෂය බාහිර ක්‍රියාකාරකම් වල අරුත නැතිව යනවාද?

මහේන්ද්‍රන් තිරුවරන්ගන් 

පන්ති කාමරයේ දිගහැරෙන විධිමත් ඉගෙනුමට සීමා වූ තැනක් නොවේ පාසල. එය ක්‍රීඩාව, සාහිත්‍යය හා ලලිත කලා ආශ්‍රිත සිය හැකියා සිසුන් උරගා බලන, දියුණු කරගන්නා තැනක්ද වේ. විනෝදාස්වාදය සඳහා අත්‍යාවශ්‍ය වන මෙම ක්‍රියාකාරකම් වලට සහභාගී වීම ඔස්සේ නිර්මාණශීලීත්වය හා අන්‍යයන් සමඟ එකතු වී වැඩ කිරීම පිළිබඳ දිවිය පුරා පවතින ආශාවක් සිසුන් වර්ධනය කරගනී. මේ සියළු ප්‍රතිලාභ තිබුණද, පාසල් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් (විශේෂයෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ) වර්තමානයේ  විෂය බාහිර ක්‍රියාකාරකම් පවත්වන ආකාරය ප්‍රශ්නකාරී හා කළකිරවන සුළු බව මගේ හැඟීමයි. මේ ලිපිය තුළින් මා උත්සාහ ගන්නේ මෙම ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය හා ඒවාට වැඩිපුර වැයකරන කාලය මඟින් අපේක්ෂිත අරමුණු ඉටුවන්නේද යන්න පිළිබඳ පැනයක් නැඟීමටයි. විෂය බාහිර ක්‍රියාකාරකම් දැන් වනවිට වටහා ගැනෙන්නේ තරඟ ආශ්‍රිතව වන පටු අර්ථයෙන් වන අතර, එම ප්‍රවේශය පිටුපස ඇති සමහර යටත්විජිතවාදී දෘෂ්ටිවාදයන් සහ ඒ වෙනුවට නිර්මාණශීලීත්වය හා අන්‍යයන් සමඟ එකතු වී වැඩ කිරීම පිළිබඳ විකල්ප දෘෂ්ටියක් මත පදනම් වූ ප්‍රවේශයක් ගැනීමෙහි වැදගත්කම මම මෙහිදී අවධාරණය කරමි.    

පන්ති කාමරය තුළ කෙරෙන ඉගෙනීම් ප්‍රමාණය අඩු කිරීම

පසුගිය දශක දෙක තුළ යාපනයේ පාසල් වල විෂය බාහිර ක්‍රියාකාරකම් කෙරෙන අයුරෙහි පැහැදිලි වෙනසක් මම අත්දකින්නෙමි. මගේ ශිෂ්‍ය සමයේ ක්‍රිකට් වැනි ක්‍රීඩාවන් අවුරුද්දේ යම් කාලයකට පමණක් සීමා වූ ඒවා විය. පළමු වාරයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අපි අන්තිම වාරයේ පාපන්දු ක්‍රීඩා කළෙමු. පාසල් අතර මේ ක්‍රීඩාවන් අරබයා පැවැත්වෙන මිත්‍රශීලී තරඟාවලි වල ප්‍රමාණය එදා සිට අද දක්වා එන්න එන්නටම වැඩිවී තිබේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කරන ඉංග්‍රීසි දින තරඟද එසේමය. මේ බොහෝ තරඟ සංවිධානය කිරීමට ලොකු කාලයක් වැය වේ. පාසල් මට්ටමින් පටන්ගෙන ජාතික මට්ටම දක්වා වසර පුරා ඒවා දිවේ. මෙතරම් තරඟ ප්‍රමාණයක් අපට ඇත්තටම අවශ්‍යද? සියළු තරඟ ජාතික මට්ටම දක්වා යා යුතුද? සමහර ඒවා පලාත් සහ කලාප මට්ටමින් නතර කළහොත් එකම දෙයක් ගැන දිගටම අවධානය යොමු කරනු වෙනුවට, සිසුන්ට වඩා පුළුල් ක්‍රියාකාරකම් මාලාවක යෙදිය හැකිවනු ඇති නේද?

යාපනයේ පාසල් වල සිසුන් මේ තරඟ හා ඒවායෙහි පුහුණු සැසි වලට සහභාගී වන්නේ සතියේ දින වලය. ඔවුන් පන්ති කාමරයේ කටයුතු වලට සහභාගී වන්නේ කලාතුරකින් බවට ගුරුවරු මැසිවිලි නඟති. එසේම මේ සිසුන් පුහුණු කිරීමට හෝ තරඟ පැවැත්වෙන ස්ථාන වලට රැගෙන යාමට ගුරුවරුන්ගේ කාලය වැයවන විට, විෂය නිර්දේශය ආවරණය කිරීමට ඇති හැකියාව අඩුවේ. එවැනි අවස්ථා වල පන්ති කාමරයේ නිකරුණේ ගැවසෙන සිසුන් බලාකියා ගැනීම පාසල් පරිපාලනයට අසීරු වී තිබේ.

අඩු වශයෙන් යාපනය තුළ තත්වය වන්නේ මේවා කඩින් කඩ සිදුවන දේ නොව, නිතරම සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීමයි. මේ තත්වය සමනය කිරීමට නම් එක්කෝ විෂය බාහිර ක්‍රියාකාරකම් වල ප්‍රමාණය අඩුකළ යුතුය; නැතිනම් ඉන් සමහරක් ඒවා විෂය නිර්දේශය තුළට ගෙන ආ යුතුය. මින් දෙවැනි යෝජනාව ක්‍රියාත්මක කිරීම හරහා විධිමත් අධ්‍යාපනය අප තේරුම් ගන්නා ආකාරය වුවත් වෙනස් කොට, සිසුන්ගේ විවිධාකාර ආශා හා හැකියා වලට ඉඩක් ලබාදිය හැකිය.

සිසුන්ට විෂය නිර්දේශය ආවරණය කරගැනීමට පවතින කාලය අඩුවන විට, එය මඟහරවා ගැනීම සඳහා ඔවුන් පෞද්ගලික පන්ති වෙත යොමුවේ. පෞද්ගලික පන්ති වෙත යොමු වූ විට, පාසල් වේලාවෙන් පසු පවත්වන පුහුණු සැසි වලට සහභාගී වීමට ඔවුන් මැලිකමක් දක්වන අතර, ඒ වෙනුවට එම සැසි පාසල් වේලාව තුළ පැවැත්වීමට යෝජනා කෙරේ. පාසල්ද සිය කාල සටහන් නිර්මාණය කරන්නේ මේ ඉල්ලීම් අනුවය. මේ නිසා යාපනය තුළ උපකාරක පන්ති සරු කර්මාන්තයක් බවට පත්ව ඇත.

යටත්විජිතවාදී අන්තර්ගතය 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ඉංග්‍රීසි දින තරඟ වල බොහෝ ප්‍රතිලාභ තිබේ. නිර්මාණශීලී සහ ප්‍රයෝගික ආකාර වලින් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට, ලිවීමට හා භාවිතයට එමඟින් අවස්ථා උදාකර දෙයි. එහෙත් මේ තරඟ පිටුපස ඇති උපකල්පන සහ දෘෂ්ටිවාදයන් යටත්විජිත හා ප්‍රභූවාදී ඒවාය. මෙම තරඟ වලදී සිසුන් කරන දේ සහ ඔවුන් පැමිණෙන සමාජ-සංස්කෘතික පසුබිම් අතර ලොකු පරතරයක් ඇත. එම ක්‍රියාකාරකම් වලින් ඉංග්‍රීසි යනු අපට ආගන්තුක, ප්‍රභූමය දෙයක් බවටද, එම නිසා එමඟින් සන්නිවේදනය වන දේද ආගන්තුක හා ප්‍රභූමය දේවල් බවට පත් කෙරේ. නිදසුනක් ලෙස එක්තරා අධ්‍යාපන කලාපයක නිලධාරියකු එහි සිසුන්ට උපදෙස් දී තිබුණේ දේශීය අන්තර්ගත සහිත නාට්‍ය වේදිකාගත නොකරන ලෙසයි. එමෙන්ම දේශීය ඇඳුම් පැළඳුම් භාවිතා නොකරන ලෙසටද ඔවුන්ට උපදෙස් ලැබී තිබුණි. අරගලය සහ ආර්ථික අර්බුදය තේමා කොටගෙන ගිය වසරේ නිර්මාණය කළ නාට්‍යයක් තීරකයින් විසින් ඉවත් කොට තිබුණේ එය පමණට වඩා ‘දේශපාලනික’ වීමේ පදනම මතය.    

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ අරබයා ඉදිරිපත් කොට ඇති චක්‍රලේඛයට අනුව ඉංග්‍රීසි නාට්‍ය වල දමිළ හෝ සිංහල වචන ඇතුළත් කළ නොහැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් සිය මව් භාෂාවෙන් නෑකම් පද (නැන්දා, මාමා යනාදී) භාවිතයේ නිදහසද සිසුන්ට ඇහිරී තිබේ. ඉංග්‍රීසි භාෂාව දේශීයකරණය කිරීම සහ භාෂාවන් අතර පරාගණයේ වැදගත්කම අධ්‍යාපනඥයින් විසින් අවධාරණය කරන මොහොතක, ඉහළින් එන මේ උපදෙස් තුළ තවමත් කැටිව ඇත්තේ නිර්මාණශීලීත්වය හිරකර දමන භාෂා පාරිශුද්ධත්වය පිළිබඳ දැක්මක් වීම කණගාටුදායකය.

2024 වනතෙක්ම 12 සහ 13 වසර වල සිසුන්ට ඉංග්‍රීසි කථික තරඟ සඳහා ජෝන් F. කෙනඩි සහ රොනල්ඩ් රේගන් යන ඇමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනාගේ කථා දෙකක් කටපාඩම් කිරීමට තිබුණි. ඒවායෙහි අන්තර්ගතය අධිරාජ්‍යවාදී, ගෝලීය දකුණේ සංස්කෘතීන් හා ප්‍රජාවන් පහතට දමන්නක් වන අතර, ඒවා කටපාඩමින් කියන සිසුන්ගේ ජීවිත වලට කිසිදු ආකාරයක අදාළත්වයක් නොමැති කතාය. අපේ පිනකට දැන් ඒවා චක්‍රලේඛයෙන් ඉවත් කොට, ඒ වෙනුවට විවිධ කණ්ඩායම් පිළිබඳ ඇති ඒකාකෘති (stereotypes) හානිකර වියහැකි අයුරු, පරිසරය සුරැකීම වැනි මාතෘකා ඇතුළත් කොට තිබේ.

අහිතකර තරඟය 

විෂය බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ සිසුන් තුළ වර්ධනය කළහැකි යහපත් ගති පැවතුම් අමතක කොට, පාසල් සහ අධ්‍යාපන බලධාරීන් ඒවායෙහි තරඟකාරී පැත්ත පමණක් සිතීම බෙහෙවින් කණගාටුදායකය. නාට්‍ය තරඟ නැරඹිය හැක්කේ විනිසුරු මඬුල්ල හැරුණු කොට එම නාට්‍ය පුහුණුවීම් කළ ගුරුවරයාට පමණි (එහිදීද ඔවුන්ට නැරඹිය හැක්කේ සිය කණ්ඩායමේ නාට්‍යය පමණි). සංවිධායකයන් මේ තීරණය සාධාරණීකරණය කරන්නේ එමඟින් ජයග්‍රාහකයා තෝරාගත් ආකාරය සම්බන්ධ අනවශ්‍ය මත ඉදිරිපත් වීම වැළක්වීමට යයි කියමිනි. නමුත් අනෙකාගෙන් ඉගෙන ගැනීමට සහ අනෙකාගේ දක්ෂතා අගය කිරීමට සිසුන්ට එනිසා අවස්ථාව ඇහිරේ. සිසුන්, ගුරුවරුන් හා පාසල් වලට මෙමඟින් සන්නිවේදනය වන පණිවුඩය වන්නේ සහභාගී වීමේ එකම අරමුණ තෑග්ගක් දිනාගැනීම යන්නය. එසේම ප්‍රතිඵල නිකුත් වූ විට අදාළ ක්‍රියාවලියෙහි විනිවිද බව පිළිබඳ ප්‍රශ්න මතුවේ. ජයග්‍රාහකයින්ගේ නාට්‍යය නැරඹීමට අවස්ථාව නොලැබුණු අයට එම ප්‍රතිඵල පිළිගැනීම අසීරු විය හැකිය. විවෘත භාවයේ මේ මඳකම නිසා එකිනෙකා නොඉවසීම සහ ප්‍රතිවිරෝධය ඇතිවේ. 

බොහෝ පාසල් වලට මෙම තරඟ නමක් දිනාගැනීමටත්, අනෙක් පාසල් වලට වඩා තමන් ඉදිරියෙන් සිටින බව සන්නිවේදනය කිරීමටත් අවස්ථාවකි. එම නිසා පාසල් පරිපාලනය සහ ආදි ශිෂ්‍ය සංගම් විසින් සහභාගී වන සිසුන් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කෙරේ. සෞන්දර්යාත්මක රසවින්දනය සහ සහයෝගය සඳහා ඇති අවස්ථා වශයෙන් මෙම තරඟ දැකීම විරලය. එසේ දැකීම තුළින් පසුකාලීනව ජීවිතයේ සිදුවිය හැකි පසුබෑම් වලට මුහුණ දීමට සිසුන් පුහුණු කරන බවට වන වැටහීමද එම නිසා ඒ මානසිකත්වය තුළ නොවේ.

නිර්මාණශීලීත්වය, සබැඳියාවේ මාධ්‍යයක් ලෙස

නිර්මාණශීලීත්වය තුළින් සම්බන්ධතා ඇතිවිය යුතුය. ඒවා පාසල් කිහිපයක් අතර පමණක් නොව, එම පාසල් හා ඒවා පිහිටා තිබෙන ප්‍රජාවන් අතරද විය යුතුය. තරඟ සඳහා නිර්මාණය කෙරෙන නාට්‍ය හා නර්තන වැනි දේ බොහෝවිට බාහිර සමාජයට විවෘත නොවේ. වාර්ෂික ඉංග්‍රීසි හා දමිළ දින වැනි ඒවා අදාළ පාසලේ සිසුන්ගේ දෙමාපියන්ටවත් විවෘත නැත. සෞන්දර්යාත්මක රසාස්වාදනයෙන් තොරව මෙවැනි උත්සව පැවැත්වීමේ තේරුමක් තිබේද? බාහිර සමාජයට විවෘත නොවන විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් සිසුන් සහ ගුරුවරුන් මෙතරම් කාලයක් වැයකළ යුත්තේ ඇයි?

ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් තැන් වලත් ලලිත කලා ක්ෂේත්‍ර වල නිපුණයින් පසුකාලීනව තරු බවට පත්විය. මානසිකව සෞඛ්‍යමත් වීමට සහ සාකල්‍යමය දැක්මක් සඳහා විෂය බාහිර ක්‍රියාකාරකම් අත්‍යාවශ්‍ය බවට විවාදයක් නැත. නමුත් ඒවා සිසුවාට, පාසලට සහ ප්‍රජාවට වඩා ප්‍රජාතාන්ත්‍රීය, අර්ථාන්විත මෙන්ම අඩු බරක් වන දේ බවට පත්කිරීමට යම් වෑයමක් තිබිය යුතුය. අපේක්ෂිත විධිමත් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන පරිදි, සිසුන් හා ගුරුවරුන්ගේ බර වැඩි නොකරන පරිදි, හා අන්තර්-පාසල් සම්බන්ධතා පළුදු නොවන පරිදි ඒවා කෙරෙන බවට රජය වගබලා ගත යුතුය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය දිගහැරෙන මේ මොහොතේ මේ කරුණු වලට අවධානය යොමුකළ යුත්තේ එමඟින් අධ්‍යාපනයේ සමස්ත ප්‍රමිතිය තීරණය කිරීමට විශාල බලපෑමක් එල්ල කරන බැවිනි.