වෙනත් දෝෂ වසා ගැනීම සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා බිල්ලට දීම?

මදුරංග කළුගම්පිටිය 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග COPE කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරයි. ඉන් කියවෙන්නේ ශාස්ත්‍ර පීඨ වලින් පිටවන උපාධිධාරීන් 70% ක් තරම් ප්‍රමාණයකට රැකියා අවස්ථා නොමැති බවත්, සමස්ත රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය කෙරෙහි මේ වනවිට එල්ල වන විවේචනයට වගකිව යුත්තේ කලා උපාධිධාරීන්ගේ ඌන සේවා නියුක්තිය (under-employability) බවත්ය.  

සමාජීය විද්‍යා පරිසරයකින් පැමිණෙන සභාපතිවරයාගේ මෙම කතාව මේ වනවිට සමාජයේ වඩා පුළුල්ව පවතින ආකල්පයක ප්‍රතිබිම්බයකි. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා වලින් බිහිවන උපාධිධාරීන් ශ්‍රම බලකායට සහ ජාතික සංවර්ධනයට ප්‍රයෝජනවත් ආකාරයේ බලපෑමක් කළ නොහැකි අයවලුන් බව ඉන් කියවේ. 

සභාපතිවරයාගේ මෙම කතාවෙන් ඇඟවෙන තවත් දෙයක් ඇත. එනම් විශ්ව විද්‍යාල වල මූලිකම කාර්යය වන්නේ රටේ පවතිනවා යැයි කියවෙන රැකියා හෙබවීම සඳහා සුදුසු දක්ෂතා සහිත අයවලුන් බිහි කිරීමය යන්නයි. මෙම දැක්මට අනුව ප්‍රශ්නය ඇත්තේ සරසවිය තුළ (විශේෂයෙන්ම කලා පීඨ තුළ) මිස ආර්ථිකය තුළ නොවේ. නමුත් මෙතැන ඇති අර්බුදය මීට වඩා වෙනස් ස්වභාවයේ එකක් බව මෙම තීරුවේ ලිපි තුළින් දැනටමත් පෙන්වා දී ඇත.

පෙර දැක්වූ ප්‍රකාශයට පදනම් වන මූලික උපකල්පන දෙස වඩා සමීපව බලමු. මිනිසුන්ට රැකියා අවශ්‍ය බවට විවාදයක් නැත. ඒවා ආර්ථිකය තුළ පවතින බව තහවුරු කිරීමේ මූලික වගකීම රජයේ බව මම විශ්වාස කරමි. එසේම තමන් සම්බන්ධ වන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව හා ඵලදායීත්වය වැඩි කිරීමත්, ඒ හරහා සමාජ ප්‍රගමනයට දායක වීමත් සිදුකළ හැකි උපාධිධාරීන් බිහි කිරීම විශ්ව විද්‍යාලයේ වගකීම බවද මම විශ්වාස කරමි. එහෙත් විශ්ව විද්‍යාල යනු පූර්වයෙන් තීරණය කරන ලද රැකියා සඳහා ශ්‍රමිකයන් නිෂ්පාදනය කරන්නා වූ කර්මාන්ත ශාලාවක් නොවේ. එම කාර්යය සිදුකරන වෘත්තීය උපාධි පාඨමාලා පැවතියද, එය විශ්ව විද්‍යාලයේ මූලික භූමිකාව නොවේ. විශ්ව විද්‍යාලය ඓතිහාසිකව ඉටුකොට ඇති භූමිකාවත්, උසස් අධ්‍යාපනයේ වඩා පුළුල් අරමුණත් යන ඒවා මෙම දැක්ම තුළ නොසළකා හරිනු ලැබ තිබේ.

ආදර්ශ තත්වයක් තුළ නම් විශ්ව විද්‍යාලයේ භූමිකාව වන්නේ සම්මතයෙන් එපිටට සිතිය හැකි පුද්ගලයන් බිහි කිරීමයි. නමුත් ඔවුන්ට දායක වියහැකි රැකියා සමාජයේ නොමැති නම් එම හැකියාවෙන් ඇති ප්‍රයෝජනය කුමක් දැයි යන්නත් කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. උද්ධමනය ඇතිවීමට බලපාන හේතු පාලනය කළහැකි ගනයේ ඒවා නොවන නිසා උද්ධමනයත් ආණ්ඩුවට පාලනය කළහැකි තත්ත්වයක් ය යන තර්කයත්, මේ තර්කයත් පිටුපස ඇත්තේ එකම චින්තනයකි. උද්ධමනය පාලනය කළ නොහැකි බව කීමට ආණ්ඩුවක් අවශ්‍ය නොවන්නා සේම, ආර්ථිකය තුළ රැකියා නොමැති බව කීමටද ආණ්ඩුවක් අවශ්‍ය නොවේ. සමාජයක රැකියා නොමැති කම වඩා ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රශ්නයකි. එමඟින් ප්‍රකට වන්නේ ආණ්ඩුවේ අසමත්කමයි. එහි වගකීම විශ්ව විද්‍යාල පිටට දැමීම තුළින් විශ්ව විද්‍යාලයේ භූමිකාව පිළිබඳ කතිකාව යට යනවා පමණක් නොව, ආණ්ඩුවේ ගැටළු වලින් මහජන අවධානය වෙනතක යොමු කරවීමද සිදු කරයි. 

කලා උපාධි පාඨමාලා මගින් රැකියා සඳහා සුදුසු පුද්ගලයින් (employable) නිර්මාණය නොවන බවට වන අදහස තීව්‍ර කිරීම සඳහා යොදාගන්නේ වඩා තාක්ෂණික උපාධි පාඨමාලා වල සිසුන් වැඩියෙන් රැකියා ලබාගන්නා බවට වන තර්කයයි. නමුත් වත්මන් ආර්ථික අර්බුද තත්වය තුළ එම තාක්ෂණික උපාධි පාඨමාලා වල සිසුන්ට කිරීමට ඇති රැකියා වල ප්‍රමාණයද අඩුවේගෙන යන බව අප හොඳින් දන්නා කරුණකි. ප්‍රශ්නය වන්නේ එසේ අඩුවීම නිසා එම උපාධි පාඨමාලා වල ප්‍රයෝජනවත් භාවය අඩු වූවා සේ සැළකෙන්නේද යන්නයි. එසේ නොසැළකෙන්නේ නම්, කලා උපාධි වලට පමණක් එවැනි තර්කයක් අදාළ කිරීම ප්‍රශ්න සහගතය.   

කලා උපාධිධාරීන්ගේ රැකියා නියුක්තිය වැඩිකිරීම සඳහා විසඳුමක් ලෙස එම පාඨමාලා වලට හැකි තරම් තාක්ෂණික කොටස් ඇතුළත් කරගැනීම යෝජනා කොට ඇත. එහිදී අදාළ පාඨමාලාවේ අන්තර්ගතයට එවැනි තාක්ෂණික කොටස් වල ගැළපීමක් ඇද්ද යන්න සළකා බැලෙන්නේ නැත. මෙමඟින් නොකියා කියන්නේ මෙම පාඨමාලා වල අන්තර්ගතය ‘වැඩකට නැති’ බවත්, එම උපාධිධාරීන් ‘බේරාගැනීම’ සඳහා හැකි තරමින් තොරතුරු තාක්ෂණය සහ භාවිත ඉංග්‍රීසි වැනි තාක්ෂණික කුසලතා ලබාදිය යුතු බවත්ය. මෙමඟින් මෙම විෂයන් පහත හෙලනවා පමණක් නොව, සමාජයට එවන් විෂයයන්ගෙන් ලැබෙන විශේෂිත දායකත්වය තවදුරටත් නොලැබෙන තැනකටද පත් කරයි.    

රැකියා පිළිබඳ ප්‍රශ්නය සමාජයේ වඩා පුළුල් ව්‍යුහාත්මක ප්‍රශ්නයක් බවත්, එහි වගකීම (හෝ එහි තනි වගකීම) විශ්ව විද්‍යාලය මත පැටවිය නොහැකි බවත් අප පිළිගත යුතුය. ඓතිහාසිකව විශ්ව විද්‍යාලය විසින් ඉටුකොට ඇති, තවදුරටත් ඉටුකළ යුතු භූමිකාව අප අමතක නොකළ යුතු වේ.