2022 වර්ෂය: ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම 

සිවමෝහන් සුමති 

“අපේ නග්න අත් වලින් අපි ඉතිහාසය නිර්මාණය කරන්නෙමු” 

සුමතිගේ “the dialectic” කාව්‍යයෙනි  

2022 වසර අවසාන වෙමින් තිබේ; එය පසුගිය වසර 10 අතරින් වඩාත්ම දුෂ්කර සහ වඩාත්ම කීර්තිමත් වසර වන්නේය. ගෑස් සිලින්ඩර පුපුරා ගිය, පොහොර තහනම් පනවන ලද, ක්ෂුද්‍ර ණය වැඩසටහන් වලට එරෙහිව කාන්තාවන් නැගී සිටි වසරකි එය. එය දිගු පෝලිම් වල වසරයි. මිලියන ගණනක සහභාගීත්වය තුළින් දැවැන්ත විරෝධතා කොළඹ සංවිධානය වූ, ජනපතිවරයකු පලා ගිය වසරයි ඒ: 2022 අරගලයේ වසරයි; porattam නැතිනම් struggle ලෙස හඳුන්වන මහජන ව්‍යාපාරයේ වසරයි. එය ලොකු-කුඩා ජයග්‍රහණ වල වසරකි. 

ජාතිකවාදය සහ නව ලිබරල්වාදය සමඟ මුසුවූ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි දිනෙන් දින වැඩිවූ කළකිරීම, අපේ පශ්චාත් යටත්විජිත ඉතිහාසය තුළ ඇතිවූ දරුණුම ආර්ථික අර්බුදය තුළදී ආණ්ඩුවට එරෙහිව නැඟී සිටීමට මහජනතාව මෙහෙයවන ලදී. මොහොතකට හෝ වේවා, මෙම මහජන නැඟිටීම් නිසා සමාජ බෙදුම් රේඛා කපා යන සහයෝගීත්වයන් ගොඩනැඟුණි.   

කොළඹ සහ සිංහල ජන සමාජය කේන්ද්‍ර කරගෙන සිදු වූවක් වුවත්, මෙම විරෝධතා ව්‍යාපාරය සැබවින්ම මහජන බලමුළු ගැන්වීමකට හේතුවිය. එම බලමුළු ගැන්වීම ජාතික මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් සඳහා, ග්‍රැම්ශි දැක්වූ ආකාරයට ‘ජාතික ජනතාවාදයකට’ යොමු වෙමින් තිබූ බව පැවසිය හැකිය. එය විවිධ බලවේග වල ඓතිහාසික හාවීමක් තුළින් විප්ලවීය මොහොතක් ජනනය වූ අවස්ථාවකි. විරෝධතා ව්‍යාපාර වලින් සැදි මෙම මොහොත ‘අරගලය’ යැයි නම් කෙරුණි. මෙම සංයෝජනයෙහි සහ ජාතික ජනතාවාදයෙහි ප්‍රීතියත්, එමඟින් අත්කර ගතහැකි දේ පිළිබඳ බලාපොරොත්තු සහගත බවකිනුත් යුතුව මේ මොහොත මම අරගලය-porattam-struggle ලෙස නැවත නම් කරමි.   

නව වසර ඇරඹෙන්නේ අසුබ පෙරනිමිති සමඟය

පරණ වසර වේගයෙන් අවසානයක් කරා ළඟා වෙමින් තිබේ. අරගලයේ කලබලය සන්සුන් වන සන්දර්භයක, ආර්ථික අර්බුදයේ දුෂ්කරතා සහ මර්දනයේ බලපෑම දැනෙන මොහොතක, විරෝධතා ව්‍යාපාරය කොතරම් අස්ථිරද යන්න පැහැදිලි වෙමින් තිබේ. එහි ලද පරාජයන් පිළිබඳව අප හොඳින් දැනුවත්ය. මෙම තීරුව තුළ හා ඉන් පිටත, ආර්ථික අවපාතය සහ සුබසාධනයේ හායනය පිළිබඳව කුප්පි සාමූහිකයේ සාමාජිකයින් කතා කොට ඇත. වෙනත් බොහෝ දෙනා මෙන්ම මෙම ලිපිය ලියන මමත් රනිල් වික්‍රමසිංහගේ 2023 අයවැය සළකන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදෙන අල්ලසක් මෙන්ම සුරංගනා කතාවක් හැටියටය. අධ්‍යාපනය සහ සෞඛ්‍යයට ලබාදෙන අරමුදල් බොහොමයක් කප්පාදු කිරීමට එමඟින් යෝජනා කෙරෙන අතර, පීඩිත ජනතාවට සහනයක් වීමට වැඩි සහයෝගයක් ලබාදෙන්නේ නැත. ටෙලිකොම් ආයතනය සහ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ යෝජනා තුළින් අනාගතය පිළිබඳ අසුබ පෙරනිමිති අඟවයි. ජනතා සුබසිද්ධිය උදෙසා රාජ්‍යය කරන මැදිහත්වීම අවමකිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මෙමඟින් හොඳින් ප්‍රකට වේ.

අප සිටින්නේ වෙනසක් අභිමුවය. එහි කාරකයන්ද අපිම වන්නෙමු. ස්ටුවර්ට් හෝල් පැවසූ පරිදි මෙම ඓතිහාසික සංයෝජනය වහා අත්පත් කරගත යුතුය. ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාමාර්ගයන් ගැනීම සඳහා මේ අපට උදා වී ඇති මොහොතයි: එම ක්‍රියාමාර්ගයන් දේශපාලනික හා න්‍යායාත්මක වශයෙන් විශ්ලේෂණය කිරීමටත්, රාජ්‍යය සහ සමාජය, රාජ්‍යය සහ පුද්ගලයා, රාජ්‍යය සහ ආර්ථිකය මෙන්ම රාජ්‍යය සහ ජනතාව අතර සම්බන්ධය පිළිබඳ නැවත සිතා බැලීමට හා ඒවා වෙනස් කිරීමටත් මේ මොහොතයි.

FUTA සහ අරගලය/porattam/struggle

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස අරගල කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය (FUTA) දියත් කළ සියක් දිනක ඓතිහාසික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ දස වැනි සංවත්සරය 2022 ට යෙදුණි. ද්වීතියික හා තෘතීයික අධ්‍යාපනයේ පහළ බැස යන ප්‍රමිතීන් පිළිබඳ කළකිරීමෙන් සිටි මහජනතාවද මෙම ව්‍යාපාරය වටා එකතු විය. පශ්චාත් යුධ සමයේ අඳුරු මුල් වසර කිහිපය තුල FUTA ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී මොහොතක් නියෝජනය කළ අතර, ඉන් වසර කිහිපයකට පසු රාජපක්ෂවරු ඉවත් කිරීමේ ගාමක බලවේගය බවටද පත්විය. යහපාලන ආණ්ඩුවේ කල්කිරියාව මත පදනම්ව මෙම අරගලයෙහි ප්‍රයෝජනවත් භාවය පිළිබඳ සාධාරණ ප්‍රශ්න නැඟිය හැකි වුවත්, මෙවැනි ක්‍රියා මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය අවකාශ විවෘත කළ බව මගේ හැඟීමයි.

2022 අප්‍රේල් මාසයේ පැන නැඟි අරගලය-porattam-struggle බොහෝ දෙනා විමතියට පත්කරන ලදී. විශ්ව විද්‍යාලයද – මඳක් ප්‍රමාදව වුවත් – ඊට ප්‍රතිචාර දැක්වීය. 2022 ජුනි 12 වැනිදා සිය ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා FUTA විසින් ඉදිරිපත් කරන ලදී. එහෙත් 2012 දී මෙන් මෙම මහජන ව්‍යාපාරයට නායකත්වය දීමට FUTA අපොහොසත් විය. මෙම ප්‍රජාතන්ත්‍රවාදී මොහොත FUTA හෝ එහි මධ්‍යම පන්තික ශාස්ත්‍රාලිකයන් සූදානම්ව සිටියාට වඩා පුළුල් වූද, මහජන විවිධත්වය වැළඳ ගත්තා වූද එකක් විය.  

ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වන බදුකරණ වැඩසටහන යටතේ සිය ආදායම මත පැටවෙන අමතර බදු වලට එරෙහිව සංකේතාත්මක වැඩ වර්ජනයක් මේ සතියේ FUTA විසින් දියත් කරන ලදී. පීඨ සාමාජිකයකු හා ඔහුගේ පවුලේ අයට එල්ල වූ ප්‍රචණ්ඩ ආක්‍රමණයකට විරෝධය පෑමක් වශයෙන් පේරාදෙණියේ මගේ පීඨය වන කලා පීඨයේ සාමාජිකයන්ද මේ සතියේදී තුන් දින ආවේගශීලී වැඩ වර්ජනයක් දියත් කළෝය. එක අතකින් FUTA වැඩ වර්ජනය සිය වරප්‍රසාද සහ සංරක්ෂණය උදෙසා, පොදු මහජනතාවගේ දුක්ගැහැට පිළිබඳ අමතක කොට ගන්නා ලද ඉතා ගතානුගතික එකක් සේ පෙනී යා හැකිය. අනිවාර්යයෙන්ම බදු ප්‍රතිපත්තියේ ගැටළු පවතී. ප්‍රගතිශීලී බදුකරණය 36% සීමාවේ නැවැත්වීම තුළින් සුපිරි ධනපති පන්තිය බදු බරින් සෑහෙන දුරට නිදහස් කොට ඇත. එසේම රාජ්‍යයේ බදු අදායමින් වැඩි කොටසක් තවමත් එන්නේ වක්‍ර බදු වලින් බවද මතක් කළ යුතුය.  

අනෙක් අතට ශාස්ත්‍ර පීඨ ක්‍රියාමාර්ගය සාධනීය එකක් ලෙස දැකිය හැකිය. එය විශ්ව විද්‍යාල ප්‍රජාව තමා දෙසම විවේචනාත්මකව බැලීමේ විරල අවස්ථා වලින් එකකි. එහෙත් මේ අවස්ථාවේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි රාජ්‍ය මර්දනය දරුණු ලෙස ක්‍රියාත්මක වන නිසා, මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී තීරණ වුවද ප්‍රතිවිරුද්ධ ආකාරයේ පීඩන වලට මුහුණ දේ. 

මෙවැනි ප්‍රතිවිරුද්ධතා නිසා නිදහස් අධ්‍යාපනයේ අභිප්‍රාය අමතක වීමේ අවදානමක් පවතී. FUTA ප්‍රමුඛ ශාස්ත්‍රීය ප්‍රජාව ඊට මුහුණ දිය යුත්තේ තමා තුළම ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමෙනි. වාණිජ අභිලාෂ වලින් යම් තරමක ස්වාධීනත්වයක් විශ්ව විද්‍යාලය භුක්ති විඳින නිසා, ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේ නායකත්ව භූමිකාවක් රඟ දැක්වීමේ හැකියාව FUTA හට තිබේ. ජනතාවගේ අවශ්‍යතා වලට පමණක් නොව, තමාගේම දේශපාලනයටද තවදුරටත් අදාළ වන ලෙස FUTA හට පැවතිය හැක්කේ එවිටය.

ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් කරා

විශ්ව විද්‍යාලය අභ්‍යන්තරයෙන් පෞද්ගලීකරණ ආක්‍රමණයකට මුහුණ දෙමින් සිටී. 2023 අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කොට ඇති ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% කි. අරමුදල් මේ ආකාරයෙන් සිඳී යනවිට ඒවා තමුන් විසින්ම සම්පාදනය කරගැනීමට විශ්ව විද්‍යාලයට සිදුවේ. එම නිසා පෞද්ගලීකරණය බාහිරින් පමණක් සිදුවන්නක් ලෙස වටහා නොගත යුතුය. ගාස්තු අය කරන පාඨමාලා, පොදු-පෞද්ගලික හවුල්කරීත්වයන් සහ ප්‍රමිති සහතිකකරණ ක්‍රියාවලීන් වලට සහභාගී වීමෙන් ශාස්ත්‍රීය ප්‍රජාවම මෙම ප්‍රශ්නයෙහි කොටසක් බවට පත්ව ඇත. රාජ්‍ය අධ්‍යාපන පද්ධතියෙහි හායනය විෂයෙහි අපේම භූමිකාව විමසා බැලීමට කාලය එළඹ ඇත.   

සාමූහික ක්‍රියා මඟින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වඩා පුළුල් ව්‍යාපාරයෙහි කොටසක් බවට පත් වීමටත්, ඒ හරහා ‘ජාතික ජනතාවාදය’ සඳහා වන සංයෝජනය හා සම්බන්ධ වීමටත් FUTA හට අවස්ථාවක් හිමිව තිබේ. ඒ ඔස්සේ එක අතකින් රාජ්‍යය, සමාජය හා පුද්ගලයා අතර අන්තර් සම්බන්ධතා සහ අනෙක් අතින් ආර්ථිකය, මහජනතාව සහ රාජ්‍යය අතර සම්බන්ධතා වල ස්වරූපය වෙනස් කිරීමට අපට හැකියාව ලැබෙනු ඇත. අරගලය-porattam-struggle අපට නැවත කළ හැකිද?