අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවරණය කිරීම: සාකච්ඡාව ඉදිරියටම…

සුමති සිවමෝහන් 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුව මඳක් පහව ගොස් තිබුණත් එහි අපකීර්තිය තවමත් ජීවමානය. අපකීර්තිය යනුවෙන් මා අදහස් කරන්නේ 6 ශ්‍රේණි ඉංග්‍රීසි පෙළපොතේ අත්වැරදීමකින් පල වූ පෙම් සබඳතා වෙබ් පිටුවකට අදාළ සබැඳිය (link) නොවේ. මේ කරුණ පාදක කොටගෙන අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත එල්ල වූ ප්‍රහාරය පිළිකුල් සහගත එකක් වශයෙන් අනිවාර්යයෙන්ම පිටුදැකිය යුතු වුවද, අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ මතුවූ වෙනත් මූලික විරෝධතා සාකච්ඡාවට හා විමර්ශනයට ලක්කිරීම හදිසි අවශ්‍යතාවයකි. පසුගිය මාස කිහිපය තුළ කුප්පි සාමූහිකයේ සාමාජිකයන් විසින් අදාල ප්‍රතිසංස්කරණ වල වඩාත්ම ප්‍රශ්නකාරී කොටස් වෙත අවධානය යොමු කිරීම සඳහා ලිපි ප්‍රකාශයට පත්කළ අතර, එම සාමූහිකයේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව ගිය සතියේ ප්‍රකාශයක් එළිදක්වන ලද්දේ රාජ්‍ය විශ්ව විද්‍යාල ගුරුවරු 94 කගේ අත්සන් සහිතවය (https://island.lk/general-educational-reforms-to-what-purpose-a-statement-by-state-university-teachers/). මේ සියල්ල අතරේ ප්‍රතිසංස්කරණ වලට සහය දක්වන බොහෝ පිරිස්ද සිටී. පවතින අධ්‍යාපන පද්ධතිය තුළ ‘කුසලතාව’ මැන බැලෙන ආකාරය අරබයා ඇති ගැටළු මෙන්ම සමාජ පන්තිය, ස්ත්‍රී-පුරුෂ භාවය සහ විවිධාකාර කුසලතා හා අභිලාශ යන සාධක මත බෙදී සිටින ජනගහණයකට මෙම අතිශය තරඟකාරී පද්ධතියෙන් ඇති ප්‍රයෝජනය අඩු වීම වැනි සාධක යෝජිත ප්‍රතිසංස්කරණ වලින් ආමන්ත්‍රණය වන බවට වන ඔවුන්ගේ දැක්ම නිසාය ඒ. එහෙත් ප්‍රතිසංස්කරණ වල අන්තර්ගතය තුළ එවැනි ආමන්ත්‍රණය වීමක් සිදු කෙරෙනවාද මෙන්ම, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය සමාන බව සහතික කිරීමට ඒවායෙන් උදව්වක් වනවාද යන කරුණු සළකා බැලූවිට දියහැකි එකම පිළිතුර වන්නේ ‘නැත’ යන්නයි.   

රාජ්‍ය විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් අත්සන් කරන්නට යෙදුනු ඉහත දැක්වූ ප්‍රකාශය තුළ, මහජන අදහස් විමසීමකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදනය කළ බලහත්කාරී ක්‍රමවේදය විවේචනයට ලක්කොට තිබේ. එමෙන්ම ප්‍රතිසංස්කරණ වල යෝජනා කොට ඇති අධ්‍යාපනයේ ව්‍යුහයට මෙන්ම සමහර පෙලපොත් වල අන්තර්ගතයටද එමඟින් අවධානය කැඳවා ඇත. මෙම ප්‍රතිසංස්කරණ වලට පාදක වූ සංකල්පීමය රාමුවෙහිම ගැටළුවක් පවතී. බැලූ බැල්මට එය ඉතා ප්‍රජාතන්ත්‍රවාදී, අන්තර්ග්‍රහණීය, යථාර්ථය පාදක කොටගත්, සංවේදී රාමුවක් බව පෙනුනද, යෝජිත ප්‍රතිසංස්කරණ වල ව්‍යුහය හා ඒ අතර ඇති විසන්ධිය දරුණු එකකි. විශේෂයෙන්ම කනිෂ්ඨ මට්ටම හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික පළමු මට්ටම සංවිධානය කොට ඇති ආකාරය තුළ මෙය පැහැදිලිව පෙනී යයි. පෙලපොත් වල අන්තර්ගතය මේ විසන්ධිය පෙන්නුම් කරන තවත් තැනකි. අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මහජන සහය ලබාගැනීම සඳහා එහි සම්පාදකයින් විසින් ‘ ශිෂ්‍ය-මූලික අධ්‍යාපනය’, ‘ඩිජිටල් අධ්‍යාපන පද්ධතීන්’, ‘විභාග සහ පෙලපොත් අවධාරණය කරන අධ්‍යාපනයෙන් ඈත්වීම’ වැනි ජනතාව අතර ප්‍රචලිත යෙදුම් කිහිපයක් භාවිතා කරන බවක් පෙනෙන්නට තිබේ. Daily News පුවත්පතේ වාර්තා කොට තිබූ අන්දමට, ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම ප්‍රතිසංස්කරණ මුල් වතාවට ජනතාවට හඳුන්වා දුන් පාසල් උත්සවයකදී ද පවසා තිබුණේ “දැනට පවතින විභාග-කේන්ද්‍රීය ක්‍රමය වෙනුවට ශිෂ්‍ය-මූලික, ප්‍රායෝගික ප්‍රවේශයක් 2026 සිට පළවන ශ්‍රේණියෙන් ආරම්භ කරන” බවයි (https://www.facebook.com/reel/1866339250940490). 2025 සැප්තැම්බර් 29 වන දින කළ කතාවකදී ද ඇය විසින් ඩිජිටල් පරිවර්තනය සහ අධ්‍යාපනයට පහසුකම් සැලසීම සඳහා කෘතිම බුද්ධි භාවිතය පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කරන්නට යෙදුනු අතර (https://www.facebook.com/share/v/14UvTrkbkwW/), වඩාත් මෑත දිනයකදී එය තරමක් වෙනස් අයුරකින් සිදුකොට තිබුණි (https://www.dailymirror.lk/breaking-news/PM-pledges-safe-tech-driven-digital-education-for-Sri-Lankan-children/108-331699).   

ශිෂ්‍ය-මූලික අධ්‍යාපනය බොහෝ කාලයක් තිස්සේ පැවති අදහසකි. ගෝලීය වශයෙන් එය පවුලෝ ෆ්‍රෙරේ සහ ඉවාන් ඉලියෙච් වැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදීන් ගෙන් පන්නරය ලබා ඇත. ‘ශිෂ්‍ය-මූලික අධ්‍යාපනය’ යන පදය භාවිතා නොකරන නමුදු එම මාදිලියේ අධ්‍යාපනය ෆ්‍රෙරේ ට අනුව ඉගෙන ගන්නා සහ උගන්වන්නා යන දෙදෙනාගේම පරිවර්තනයට හේතු වන්නකි. ක්‍රියාකාරී සහ අදාළ සන්දර්භයේ පිහිටි ඉගෙනුම් ක්‍රියාවලියක් වන එය, එම තත්වය තුළ හටගන්නා සම්බන්ධතාවයන්ගේ ස්වරූපය වෙනස් කරයි. ප්‍රසිද්ධ වාග්වේදියකු සහ අධ්‍යාපනඥයකු වන ලෙව් විගොට්ස්කි ද අධ්‍යාපනය සහයෝගී (collaborative) ක්‍රියාවලියක් ලෙස දුටු අයෙකි. එහෙත් ඔහුගේ දැක්ම තුළ මුල්තැන දෙන්නේ ක්‍රියාවලියට මිස, අපේ වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ මෙන් එමඟින් මුදුන් පමුණුවා ගතහැකි ලකුණු, පැවරුම් සහ ව්‍යාපෘති වැනි අරමුණු වලට නොවේ. එමෙන්ම මේ ප්‍රවේශය තුළ අදාළ විෂයය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති, හොඳින් පුහුණුව ලැබූ ගුරුවරයකු යනු අත්‍යාවශ්‍ය රැඟුම්කරුවෙකි. හොඳ පෙලපොත් තිබීමද ඉතා වැදගත් වේ. එහෙත් කණ්ඩායම් වැඩ පිළිබඳ විගොට්ස්කි ගේ මේ අදහස භාවිතා කොට, කලින් තීරණය කරන ලද හා ප්‍රමාණාත්මකව නිර්වචනය කරන ලද අරමුණු සාධනය සඳහා සිසුන් මෙහෙයවන අවස්ථා බොහොමයක් මම දැක ඇත්තෙමි. විගොට්ස්කි ගේ දැක්මට අනුව පන්ති කාමරය යනු පරිවර්තනීය, සහයෝගීමය අවකාශයක් බව සිහිතබා ගත යුතුය.      

එහෙත් අප ජීවත් වන මේ නවලිබරල් යුගය තුළ, ඉතා ධූරාවලිගත පන්ති කාමරයක දුර්වලතා මඟහරවා ගැනීම සඳහා ක්ෂණික විසඳුමක් ලෙසය ශිෂ්‍ය-මූලික අධ්‍යාපනය යෝජනා වන්නේ. එහෙත් එමඟින් ඇත්තෙන්ම සිදුවන්නේ වෙනත් තැනක සම්පාදනය කරන ලද යන්ත්‍රයක හුදු කොටසක් තත්වයට ගුරුවරයා හෑල්ලු කිරීමය. ගුරුවරුන්ගෙන් එහිදී බලාපොරොත්තු වන්නේ හිස් වචන සහ උපදෙස් අන්ධානුකරණය පමණි. වසර ගණනාවක් තිස්සේ අනුගමනය කරන මේ ක්‍රමය නිසා ගුරුවරුන්ගේ ස්වාධීනත්වය නැතිව ගොස් ඇති අතර, එම නිසා තමාට සහ සිය පන්ති කාමරයට සුදුසුම ඉගැන්වීම් ක්‍රියාවලි තීරණය කිරීම, විෂය නිර්දේශය සකස් කිරීමේදී සිය අදහස් ලබා දීම සහ පන්ති කාමරය තුළ විචාරාත්මක චින්තනය සඳහා අවශ්‍ය අවකාශය සැකසීම වැනි භාවිතයන් ඔවුන් කෙරෙන් ගිලිහී ගොස් තිබේ. 

එබැවින් පෙලපොත් මත පමණට වඩා රඳා නොපැවතිය යුතු බවට ආචාර්ය හරිනි අමරසූරිය කරන ප්‍රකාශය (https://www.newsfirst.lk/2026/01/29/education-reform-to-end-textbook-tyranny) හා එකඟ නොවීමට මට සිදුවේ. ප්‍රශ්නය ඇත්තේ පෙලපොත මත රඳා පැවතීමේ නොව, නියමාකාර පෙලපොත් නොමැති වීම තුළය. පෙලපොත් වල වැදගත්කම මෙසේ බැහැර කිරීම නිසා අද වනවිට අපට ඉතිරි වී ඇත්තේ නියමාකාරයෙන් සංකල්පීකරණය නොකරන ලද, සමහර අවස්ථා වල වැරදි තොරතුරු පවා අඩංගු වන පෙලපොත් සමූහයකි. මගේ තර්කය ඔප්පු කිරීම සඳහා පෙර සඳහන් කළ ප්‍රකාශයේ කොටසක් පහත උපුටා දක්වන්නෙමි:

“ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියේ 6 ශ්‍රේණියේ මොඩියුල සඳහා වන පෙළපොත් … වල මුද්‍රණ දෝෂ බහුල අතර, කෘතීම බුද්ධියෙන් නිර්මාණය කරන ලද (ඒ බව දක්වා නොමැත) අන්තර්ගතයන්ගෙන් සමන්විතය. මේවා සිසුන්ගේ එදිනෙදා අත්දැකීම් වලින් දුරස්ථ බව පෙනී යයි. සමහර පෙළපොත්වල සදොස් හෝ නොමඟ යවන තොරතුරු අඩංගු වේ. ගෝලීය අධ්‍යයන පෙළපොත තුළ සමහර මුහුණේ ලක්ෂණ, හිස කෙස් වර්ණ සහ සමේ පැහැයන් යම් යම් රටවල් සහ කලාප සමඟ සම්බන්ධ කරන අතර, ආදිවාසී ජන කණ්ඩායම් හැඳින්වීමේදී, ඔවුන් විසින් බොහෝ කලකට පෙර විරෝධය දැක්වූ භාෂා භාවිත දැකිය හැකිය (උදා: “පිග්මි,”‍ “එස්කිමෝ”‍). නයිජීරියානුවන් දුප්පත්/කෘෂිකාර්මික සහ විදුලිය නොමැති ප්‍රජාවක් ලෙස නිරුපණය කොට ඇත. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතා පෙළපොත සිසුන්ට හඳුන්වා දෙන “ලෝක ප්‍රසිද්ධ ව්‍යවසායකයින්”‍ අතර බොහෝ කොටම සිටින්නේ පුරුෂයින්ය. එමෙන්ම මේ පාඩම්, සාර්ථකවීම සහ ව්‍යාපාරික ඥානය එකක් ලෙස අරුත් ගන්වයි. මෙම අන්තර්ගතය තුළින් සමානතාව, සියලු‍ දෙනා නියෝජනය කිරීම සහ සමාජ සාධාරණත්වය (9 පිටුව) වෙනුවෙන් කැපවන බවට වන ප්‍රතිපත්තිය උල්ලංඝණය වෙයි. අපේ පෙළ පොත්වලින් අප බලාපොරොත්තු වන්නේ මෙවන්නක්ද?”

අධ්‍යාපනයේ ව්‍යුහයට සිදුකොට ඇති වෙනස්කම් අතින් ගත්කළ ඉතාම විමතියට තුඩුදෙන කාරණය වන්නේ සිසුවකු විසින් හැදෑරිය යුතු විෂයයන් සංඛ්‍යාව එක් අතකින් ඉහළ යද්දී, අනෙක් අතින් එක් විෂයයකට වෙන් කෙරෙන කාලය සැළකිය යුතු මට්ටමකින් පහළ බැස තිබීමයි. කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී එක් වාරයක් තුළ ගණිතය සහ පළමු බස ඉගෙනීම සඳහා වෙනකොට ඇති පැය ගණන 30 ක් පමණක් වීම මීට හොඳම නිදසුනකි. එසේම මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයයන් වලට ලබාදී ඇති අඩු වැදගත්කමද දැඩි අවධානයට ලක්විය යුතුය. නිසි පුහුණුව ලැබූ ගුරුවරුන් විසින් මෙම විෂයයන් විධිමත්ව ඉගැන්වීම සිදුනොවන තත්වයක් තුළ සිසුන්ට සිදුවන්නේ ඒ සඳහා පවතින මාර්ගගත මූලාශ්‍ර වලට යොමු වීමය. ඒවා ඉතා ප්‍රශ්නකාරී ප්‍රමිතියකින් යුතුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමාජ හා වෙනත් මාධ්‍ය වලින් මහජන මතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන මෙවැනි යුගයක එමඟින් ජනගත වියහැකි සාවද්‍ය තොරතුරු වලට විරුද්ධව ක්‍රියාත්මක වීම සඳහා විධිමත් පර්යේෂණ හා විචාරාත්මක චින්තනය මත පදනම් වූ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයයන් තිබීමේ වැදගත්කම අප වටහාගත යුතුය. ප්‍රතිසංස්කරණ වල තවත් ගැටළුකාරී කොටසක් වන්නේ ඉතා ලාබාල වයසින් සිය අනාගත වෘත්තීය දිශානතිය තීරණය කිරීමට සිසුන් කෙරෙහි පීඩනය එල්ල කිරීමයි.

විවාදාපන්න 6 ශ්‍රේණි ඉංග්‍රීසි මොඩියුලය නිසා ජාතික අධ්‍යාපන ආයතනයට මේ මොහොතේ බොහෝ දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී. විශ්ව විද්‍යාල සාමාජිකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එකතුව මෑතදී ඉදිරිපත් කළ ප්‍රකාශයක් තුළ (කලින් සඳහන් කළ ප්‍රකාශය නොවේ) ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධ තියුණු විවේචනයක් අඩංගු වුවත්, ඒ අතරම නව ප්‍රතිසංස්කරණ සාදරයෙන් පිළිගන්නා බවද කියැවේ (https://ceylontoday.lk/2026/01/16/academics-urge-govt-safeguard-integrity-of-education-reforms). සිදුවූ වරදට පසුව රජය විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ යම් පිරිසක් සේවයෙන් පහ කරන්නටද යෙදුනි. ජාතික අධ්‍යාපන ආයතනය පිළිබඳ විශ්ව විද්‍යාල ප්‍රජාව අතර අප සම්බන්ධ වූ සාකච්ඡා වලද මේ විවේචනය තිබූ අතර, ඉහත ප්‍රකාශ දෙක තුළම එම ආයතනයෙහි වැඩකටයුතු පිළිබඳ සමාලෝචනයක් හා ඒවාට මඟ පෙන්වීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ වැදගත්කම පෙන්වා දේ. ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපන කටයුතු පිළිබඳ රජයේ හස්තයයි. සුදුසුකම් සහිත කාර්ය මණ්ඩලයක් හා විෂය නිර්දේශ සැකසීම සම්බන්ධ උපදේශාත්මක යාන්ත්‍රණ හඳුන්වා දීමේ බලතල සහිතව එය පවත්වාගෙන යෑම රජයේ වගකීම වේ.     

අවසාන වශයෙන් රජයෙන් මා ඉල්ලා සිටින්නේ යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලික කරුණු සම්බන්ධයෙන් නැවත සිතාබැලීම ට අවශ්‍ය ධෛර්යය හා ඉවසීම උපදවා ගන්නා ලෙසයි. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කල්දැමීමට කෙරෙන ඉල්ලීම් අතරට මගේ හඬද එක් කරන අතරම, ප්‍රකාශයේද දක්වා ඇති පරිදි “ප්‍රාථමික මට්ටම ඇතුළු නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම කල් දමා සමස්තයක් ලෙස විෂය නිර්දේශ විමර්ශනය කිරීම” ට ප්‍රමුඛතාව ලබාදෙන මෙන් අවධාරණය කරමි. 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *