අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දැක්වෙන මහජන ප්‍රතිචාර විභාග කිරීම 

හසිනි ලේකම්වසම් 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී එකී ප්‍රතිසංස්කරණ වල අන්තර්ගතය තරමටම ඒවාට එල්ල වන ප්‍රතිචාර වලටද අවධානය යොමුවිය යුතු බව මගේ හැඟීමයි. මන්ද, අපේ සමාජය තුළ අධ්‍යාපනය වටහා ගැනෙන ආකාරය හා එම වටහා ගැනීම් වලින් නිර්මාණය වන ප්‍රමුඛතා එවැනි ප්‍රතිචාර තුළ පිළිබිඹු වන බැවිනුත්, එම අදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණයේදී අනිවාර්යයෙන්ම පදනම් කරගත යුතු බැවිනුත්ය. මේ ලිපිය තුළ මගේ අරමුණ වන්නේ මෙවැනි මහජන ප්‍රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම පමණක් නොව, ඓතිහාසික-ව්‍යුහාත්මක යථාර්ථයන් හමුවේ ගෝලීය වෙළඳපොල තුළ අපට හිමිවන අවස්ථා කෙසේ බලපෑමට ලක්වන්නේද යන්න සමඟ එම ප්‍රතිචාර එකට ගෙන සළකා බැලීමත්, එහිලා ශාස්ත්‍රාලිකයන්ගේ භූමිකාව කෙටියෙන් විමසා බැලීමත් වේ.  

ප්‍රධාන ප්‍රතිචාර දෙකක් 

මේ ප්‍රතිසංස්කරණ වලට දැක්වෙන මහජන ප්‍රතිචාර මූලිකවම ආකාර දෙකක ඒවා බව හඳුනා ගත හැකිය. එනම් පක්ෂ සහ විපක්ෂ වශයෙනි. විපක්ෂ ප්‍රතිචාර මුලින්ම සළකා බලමු. ප්‍රතිසංස්කරණ වලට එරෙහි ප්‍රතිචාර ප්‍රධාන වශයෙන්ම සංකේන්ද්‍රණය වී පවතින්නේ 6 ශ්‍රේණි ඉංග්‍රීසි මොඩියුලයට අත්වැරදීමකින් ඇතුළත් කොට තිබූ සමරිසි වෙබ් අඩවිය වටාය. මෙවැනි ක්‍රියාවලියකදී ප්‍රවේශම සහ නිරවද්‍යතාවය ඉතා වැදගත් බව මමද පිළිගනිමි. එහෙත් මේ ප්‍රතිචාර තුළ දක්නට ලැබුණු මූලිකම ස්ථාවරය නම් දැඩි සමරිසි-විරෝධයයි. සමාජයේ පොදුවේත්, විශේෂයෙන්ම එහි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයවළුන්ගේත් (වෘත්තීය සමිති ඇතුළුව) පවතින මෙවැනි අදහස් අපට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වීමට මූලිකම හේතුවකි. තොරතුරු තාක්ෂණය, කුසලතා වැනි කරුණු සම්බන්ධයෙන් ගෝලීය ප්‍රවණතා අනුගමනය කිරීමට අපේ ඇති උනන්දුවෙන් අරික්කාලක්වත් මේ සම්බන්ධයෙන් තිබුණි නම් කොතරම් වටිනවාද! 

ප්‍රතිසංස්කරණ පිළිබඳ ඇති දෙවැනි විරෝධතාව ගුරු වෘත්තීය සමිති වලින් එල්ල වන්නක් වන අතර, එහි තර්කය වන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවුණු බවය. මා ඇතුළු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු 100 කට ආසන්න ප්‍රමාණයකගේ අත්සනින් යුතුව මෑතදී පල කෙරුණු ප්‍රකාශයකින් දහැඟවෙන පරිදි, මේ කරුණ අරබයා අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර එකඟතාවක් පවතී. මගේ ඒකායන පැතුම, මේ සංවාදය ඉහත දැක්වූ සමරිසි-විරෝධී ආකල්ප සහිතවුන්ගේ ග්‍රහණයට නතු නොවනු ඇති බවය. එවැනි ප්‍රවණතාවකින් අපව බේරාගත හැක්කේද අධ්‍යාපනයටම පමණි. 

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජනතාවගෙන් වසන් කොට ගෙනගියේ ඇයිද යන්නත්, ඒවා ක්‍රියාත්මක කිරීමට මෙතරම් හදිසියක් රජයට පවතින්නේ ඇයිද යන්නත් ප්‍රශ්නාර්ථයකි. මෑත කාලීනව මතුව තිබෙන හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම හා දීර්ඝ කිරීම, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතක් යෝජනා කිරීම, මෙන්ම කඳුකර ප්‍රදේශ වල ආරක්ෂාව සඳහා නව අධිකාරියක් යෝජනා කිරීම (කවුරුත් දන්නා පරිදි සෘජුව විධායකය යටතට එන අධිකාරීන් වලින් කෙරෙන්නේ විධායක ජනපති ධූරයේ බලය වැඩිකිරීමය; පවතින ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීමෙන් මේ අරමුණ ඉටුකර ගත නොහැකිද යන්න සාධාරණ පැනයකි) වැනි තත්වයන් සහිත පසුබිමක මේ හදිසිය පිළිබඳ සැක සංකා මතුවීම වැළක්විය නොහැක. 

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ට අනුව; “අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ රාමුව දිසානායක රජය බලයට පත්වන විටත් හඳුන්වා දී හමාරයි” (https://www.wsws.org/en/articles/2025/08/12/wxua-a12.html, citing The Morning, July 29). වික්‍රමසිංහ රජයේ දෘෂ්ඨිවාදාත්මක පදනම හා එවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවෙමින් පැවති සාකච්ඡා සළකා බැලූවිට, එවනි පසුබිමක හඳුන්වා දුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක අරමුණු අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත. එය අනිවාර්යයෙන්ම සකස් කොට ඇත්තේ ගෝලීය වෙළඳපොලට ලාබදායී ශ්‍රමය ලබාදීමටත්, ඒ හරහාම (පෞද්ගලීකරණය ඔස්සේ උත්පාදනය වන ආදායමින්) රජයේ ණය නැවත ගෙවීමටත්  හැකිවන පරිදිය.

මේ ක්‍රියාවලිය තුළ “විවිධ ක්ෂේත්‍ර තුළ භාවිතය සඳහා හුවමාරු කළහැකි (transferable) සහ පැහැදිලිව ඔප්පු කළහැකි (demonstrable) කුසලතා … විශේෂයෙන්ම ශ්‍රම වෙළඳපොළවල් ගණනාවක් හරහා සැසඳිය හැකි ආකාරයේ ශ්‍රම වියුක්තිකරණයක් (labour abstraction) ගෝලීය ධනවාදී වෙළඳපොළට අවශ්‍ය මට්ටමින් ලබාදෙන” (2024 ඔක්තෝබර් 29 වන දිනැති මගේ කුප්පි ලිපිය) STEM විෂයයන්ට මූලිකත්වය හිමිවේ. එහිම ප්‍රතිඵලයක් ලෙසය මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයන් වලට ලැබෙන වැදගත්කම අඩුවන්නේ. එහෙත් තනිකරම ගෝලීය වෙළඳපොලේ සංඥා වලට ප්‍රතිචාර දීමට අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීමේ ගැටළුව මේ තීරුවේ වෙනත් ලිපි හා තවත් බොහෝ තැන් වල පෙන්වා දී ඇත. මන්ද, අපේ දේශීය අවශ්‍යතා වලට ප්‍රමුඛතාව ලබා දීමට ගෝලීය වෙළඳපොලට කිසිදු අවශ්‍යතාවයක් නැති වීමත්, ගෝලීය වෙළඳපොල ම ඉලක්ක කරගත් විට ලංකාව තුළ නේකවිධ ක්ෂේත්‍රයන්හි දියුණුව සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය අමතකව යාමත් නිසාය. රට තුළ සෞභාග්‍යයේ ඵල සියළු දෙනාටම භුක්ති විඳිය හැකි තැනකට අපව ගෙන යාමට සමත් විමුක්තිකාමී දැක්මක් අධ්‍යාපනයට පදනම් වියයුතු බව අප තර්ක කරන්නේ එබැවිනි.    

ප්‍රතිසංස්කරණ වලට ජනතාව දක්වන දෙවැනි ප්‍රධානම ප්‍රතිචාරය නම් ඒවාට සහයෝගය පල කිරීමයි. ගෝලීය වෙළඳපොලට සරිලන අන්දමින් අධ්‍යාපනය වෙනස් කිරීමේ කතිකාව තුළ මේ අදහස් ස්ථානගත වී තිබුණත් ඒවා බැරෑරුම් ලෙස සැළකිය යුතුය. මේ පිළිබඳ අදහස් දැක්වූ එක් මවකට අනුව: “නව තාක්ෂණික සොයාගැනීම් අතින් ලෝකය ඉදිරියට ගියත් ලංකාවේ අපේ දරුවන්ට තාමත් යල් පැනපු දේවල් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. විපක්ෂයේ දේශපාලනඥයින් තමන්ගේ දරුවන් පිටරට හරි ජාත්‍යන්තර පාසල් වලට හරි යවනවා. ඒත් අපේ දරුවන් නිදහස් අධ්‍යාපනයෙන් යැපෙන්නේ. මේ ප්‍රතිසංස්කරණ නැවැත්වීමට යෝජනා කිරීම අම්මා කෙනෙක් විදිහට මම දැකපු පහත්ම ක්‍රියාවක්” (https://www.newsfirst.lk/2026/01/17/pro-educational-reforms-protests-spread-across-sri-lanka). සිය දරුවන් විදේශ වලට හෝ ජාත්‍යන්තර පාසල් වලට යවන්නේ විපක්ෂයේ මන්ත්‍රීන් හෝ ඇත්තෙන්ම දේශපාලනඥයින් පමණක් නොවූවත්, මෙම තර්කය වැදගත් එකකි. වෙනස් වන සමාජයක වෙනස් වන අවශ්‍යතා වලට ප්‍රතිචාරාත්මක වීම සඳහා විෂය නිර්දේශය යාවත්කාලීන කිරීම ඔස්සේ නිදහස් අධ්‍යාපනයේ අදාළත්වය සහ වැදගත්කම ඉහළ නැංවිය හැකිය. එහෙත් කලින්ද දැක්වූ පරිදි, රටේ ප්‍රගතිය සඳහා අවශ්‍ය කරන විමුක්තිකාමී දැක්මක් සමඟ මේ ප්‍රවේශය සංයෝග නොකළහොත්, මෙවැනි වෙනස්කම් වලින් සිදුවන්නේ ලෝකයේ පැරණි හා නව යටත්විජිත බලවේග වලට ලාබදායී ශ්‍රමය ලබාදෙන ප්‍රභවයක් වශයෙන් ලංකාව ගෝලීය ආර්ථිකය තුළ තව තවත් ස්ථාවර වීම පමණි.  

ප්‍රතිසංස්කරණ නොනවත්වන ලෙසට ඉල්ලා පැවති උද්ඝෝෂණයකට සම්බන්ධ වූ තවත් දෙමාපිය යුවළකට අනුව: “බරෙන් අඩු පාසල් බෑගයක් වගේම වඩා හොඳ අනාගතයක් ගැන අපේ දරුවන් ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. දැන් ඒ බලාපොරොත්තුව නැතිවෙලා ගිහින්” (https://www.newsfirst.lk/2026/01/17/pro-educational-reforms-protests-spread-across-sri-lanka). මෙයද වැදගත් තර්කයක් නමුත්, මෙහිදී රජයේ ආඛ්‍යානය අකුරක් නෑර විශ්වාස කරන බව පෙනී යයි. මේ තීරුවේ මීට පෙර පළවූ බොහෝ ලිපි වල පෙන්වා දී තිබූ පරිදි, විභාග ක්‍රමයෙන් ඈත්ව අතරමැදි ඇගයුම් ඔස්සේ ශිෂ්‍ය කාර්ය සාධනය නීර්ණය කිරීම වැනි ඉතා සාධනීය පියවරයන් යෝජිත ප්‍රතිසංස්කරණ තුළ දක්වා තිබුණද, ඒත් සමඟම විෂයයන් ප්‍රමාණය වැඩි කිරීමටද සැලසුම් සකස් කොට ඇත. ඒ අනුව පාසල් පොත් බෑගයෙහි බර අඩු නොව වැඩි වීමක් සිදුවනු ඇත. 

කුමනාකාරයේ අධ්‍යාපනයක්ද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පක්ෂව මතුවී ඇති ඉහත දැක්වූ ප්‍රතිචාර වල පදනම සාධාරණය. ඒවා එම නිසා බැරෑරුම්ව සැළකිය යුතු වේ. එසේම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මහජන අදහස් වලට විවෘත කළ පමණින් අප සමහරුන් – විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයයන් උගන්වන සරසවි ආචාර්ය මණ්ඩල සාමාජිකයන් – බලාපොරොත්තු වන ආකාරයේ වෙනසක්, එනම් නව විෂය නිර්දේශය තුළ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයයන් ප්‍රමාණය වැඩි කිරීම, එම විෂයයන්ට තබා ඇති බර වැඩි කිරීම හා අනිවාර්ය විෂයයන් අතරට ඒවා ඇතුළත් කිරීම වැනි කරුණු, ඇති නොවිය හැකි බවද අප සිහිතබා ගත යුතුය. වඩා හොඳ ආදායම් මාර්ගයක් සහතික කරගැනීමේ මාර්ගයක් වශයෙන් STEM විෂයයන් වලට ඇති ආකර්ෂණය වැඩිවීම මීට ප්‍රධානම හේතුවකි. 

එහෙත් ශාස්ත්‍රාලිකයන්ට මෙහිදී ඉටු කිරීමට භූමිකාවක් ඇත: 1) සමාජයේ විවිධ කොටස් වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඇති ප්‍රතිචාර සහ එම ප්‍රතිචාර වලට හේතු හඳුනා ගැනීමට උත්සුක වීම; 2) විවිධ විෂයයන් සම්බන්ධයෙන් එම කණ්ඩායම් වල රුචි-අරුචිකම් නිර්මාණය වී ඇති ආකාරයත්, එම රුචි-අරුචිකම් වලින් ප්‍රතිනිෂ්පාදනය කරන ගෝලීය සහ දේශීය ධූරාවලීන් හා පීඩාවන් පිළිබඳ ආවර්ජනය කිරීම; 3) එම ආවර්ජනා අදාළ කණ්ඩායම් සමඟ නැවත නැවත සිදුකරන සාකච්ඡා වලදී බෙදාහදා ගැනීම ඔස්සේ අන්‍යොන්‍ය ඉගෙනුම් ක්‍රියාවලියකට මඟ පාදා ගැනීම; 4) කලක් තිස්සේ කෙරෙන මෙවැනි සාකච්ඡා ක්‍රියාවලියක් මත පදනම්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම. මෙහිදී රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සංශෝධනයට මෙම ක්‍රියාවලිය බද්ධ කළහැකි සෘජු මාර්ගයක් පැවතීම වඩාත් වටී. අධ්‍යාපනයේ මූලික හරය රැකගනිමින් වෙනස් වන අවශ්‍යතාවන්ට ද ප්‍රතිචාරාත්මක වියහැකි ආකාරයේ පද්ධතියක් නිර්මාණය කරගත හැකි වන්නේ මෙවැනි සංවාදයක් තුළින් පමණි.  

එබඳු ව්‍යායාමයක් සාර්ථක වීමට කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතුය. ඉන් පළමුවැන්න, පවතින රජයට ප්‍රසිද්ධියේ සහයෝගය පල කළ හෝ නොකළ සියළු ශාස්ත්‍රාලිකයන් ඊට ක්‍රියාශීලීව සහභාගී වියයුතු වීමය. දෙවැන්න, රජය එවැනි ක්‍රියාවලියකට නිහතමානීව සහ වගවීමෙන් යුතුව, තනි තනි පුද්ගලයන් වෙත වරද පැටවීමෙන් තොරව ප්‍රතිචාර දැක්විය යුතු වීමය. මේ දෙවැනි කොන්දේසිය අපේ පාර්ශ්වයෙන් සම්පූර්ණ කළ හැක්කක් නොවුනත්, පළමුවැන්න අපට ආරම්භ කළ හැකිය. 

සමාලෝචනය 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නිවැරදි හේතු වලට මෙන්ම නිවැරදි ක්‍රියාවලීන් අනුගමනය කිරීම තුළින් සිදුවන බවට වගබලා ගැනීම ‘පද්ධතිමය වෙනසක්’ පොරොන්දු වෙමින් බලයට පැමිණි මේ රජයට වෙනත් කිසිදු රජයකට වඩා වැදගත් වේ. නිදසුනක් ලෙස මෘදු කුසලතා (soft skills) සංවර්ධනය කිරීම හෝ විෂය නිර්දේශයට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීම සළකා බලමු. මේවා එක්කෝ ගෝලීය ආර්ථිකය තුළ ලංකාවේ පර්යන්ත පිහිටීම ප්‍රතිනිෂ්පාදනය වන අයුරින් කළ හැකිය (එනම් පවතින පද්ධතියම දිගටම පවත්වාගෙන යාම); නැතිනම් දේශීය අවශ්‍යතා වලට සුදුසු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට (අධ්‍යාපනය සම්බන්ධ මේ මෙවලම්වාදී දැක්මේ පවතින අඩුපාඩු මොහොතකට අමතක කළහොත්) භාවිතා කළ හැකිය. ඊටම බද්ධ තවත් කරුණක් වන්නේ ‘දේශීය’ යන්න අප නිර්වචනය කරන ආකාරයයි: ඉන් හැඟවෙන්නේ ධනවත්, කුඩා කණ්ඩායමක්ද? නැතිනම් වාර්ගික-ආගමික බහුතර කණ්ඩායමක්ද? එසේත් නැතිනම් මේ රටේ ජීවත් වන සියළු දෙනාද? අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ නිර්වචනය මත තීරණය වනවාක් මෙන්ම, එම නිර්වචනය අධ්‍යාපනයේ ප්‍රමිතිය මත තීරණය වන්නකි. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයට වෙනත් කිසිදු ක්ෂේත්‍රයකට වඩා කල්පනාකාරී අවධානයක් ලබාදිය යුතු බව වුවද කිව හැක්කේ එනිසාය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *