රම්‍යා කුමාර්
මීට වසර හතකට පෙර සිය පර්යේෂණ අධීක්ෂකට එරෙහිව ලිංගික හිංසන පැමිණිල්ලක් යොමු කළ, එවක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තාවකාලික කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි සහ දැන් එහිම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වශයෙන් සේවය කරන උදාරි අබේසිංහ ට අවසානයේ යුක්තිය ඉටුවී තිබේ. 2026 මැයි 8 වෙනිදා උදාරිගේ මූලික අයිතිවාසිකම් නඩුව අරබයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත තීන්දු ලබාදෙන ලදී: 1) “පළමු වගඋත්තරකරු ට (ඇගේ පර්යේෂණ අධීක්ෂක) රටේ කිසිදු විශ්ව විද්‍යාලයක, අධ්‍යාපන ආයතනයක හෝ වෙනත් ශාස්ත්‍රීය ආයතනයක කිසිදු ආකාර වැටුපක් සහිත හෝ ගරු තනතුරක් හෙබවීම තහනම් ය; 2) පළමු වගඋත්තරකරු ට මෙයාකාර කිසිදු වැටුපක් සහිත හෝ ගරු තනතුරක් විශ්ව විද්‍යාලයක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක ලබාදීම වළක්වාලමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විධානයක් නිකුත් කළ යුතුය; 3) එහි මණ්ඩලය (council) ද ඇතුළු පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් එකී විශ්ව විද්‍යාලයේ ලිංගික හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිරිහැර සහ ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ ප්‍රතිපත්තිය (SGBV policy) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් එහි කාර්ය මණ්ඩලය හා සිසුන් සඳහා පැවැත්විය යුතුය. සියළු කථිකාචාර්යවරුන්, කාර්ය මණ්ඩලය හා සිසුන් සඳහා අනිවාර්ය වාර්ෂික සම්මන්ත්රණ පැවැත්වීමද මීට අදාළ වේ.” විශ්ව විද්‍යාලයේ SGBV පටිපාටීන් සමඟ කළ සටන පිළිබඳ ඇගේ අත්දැකීම් දැන ගැනීම උදෙසා උදාරි සමඟ මම මෑතදී සාකච්ඡාවක් කළෙමි.
ප්රචණ්ඩත්වය හා අයුක්තිය
සිය ශාස්ත්‍රවේදී උපාධිය අරඹන විට උදාරි තාවකාලික කථිකාචාර්යවරියකි. ඇගේ පර්යේෂණ අධීක්ෂක ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු මෙන්ම එවක පීඨාධිපති ද විය. හිරිහැර කිරීම ආරම්භ වූයේ 2017 වසරේ දීය.
සිය පැමිණිල්ල යොමු කිරීමට උදාරි SGBV කමිටුව වෙත ගිය අවස්ථාවේ එහි සභාපති විසින් අදාළ පටිපාටීන් ඇයට පැහැදිලි කොට, පැමිණිල්ල යොමු කිරීම තුන්වන පාර්ශ්වයකට වුවද කළහැකි බව මතක් කරදෙන ලදී. ඒ අනුව 2018 ජූලි මාසයේදී උදාරිගේ මව විසින් උපකුලපතිවරයාට ලිඛිතව පැමිණිල්ල යොමුකරන ලදී. “ඊළඟ දවසේ මගේ අධීක්ෂක මට කියා සිටියේ පැමිණිල්ල අස්කර නොගත්තොත් එය මට හොඳ නැති බවයි. පැමිණිලිකරු සහ චූදිතයා දුරස්කර තබන්නට විශ්ව විද්‍යාල පියවර ගත යුතුව තිබුණා. ඒත් එවැනි දෙයක් සිදුවුණේ නැහැ.”
නිල වශයෙන් පැමිණිල්ල යොමු කිරීමට පෙර උදාරි පීඨයේ තමන්ට සමීප කථිකාචාරයවරුන් කිහිප දෙනෙක් සමඟ සිය අත්දැකීම බෙදා ගත්තාය. ඉන් බොහෝ දෙනා ඇයට උපදෙස් දුන්නේ සේවය හැරයන ලෙසයි. “පීඨයේ කිසිම කෙනෙක් මට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වූයේ නෑ. සමහරු පෞද්ගලිකව කණගාටුව දැක්වූවා, නමුත් එපමණයි. මම තාවකාලික කථිකාචාර්යවරියක් නිසා මගේ අත්දැකීම කවුරුත් බැරෑරුම්ව ගත්තේ නෑ.” පීඨයේ සිටි, ඇගේ අත්දැකීම පිළිබඳ දැනුමක් තිබූ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සමහරු තමන් මේ ප්‍රශ්නයෙන් ඈත්කොට තබන ලෙස ඇගෙන් ඉල්ලා සිටියේ ඉහළින් පළිගැනීමට ලක්වේවි යැයි ඔවුන් තුළ තිබූ බිය නිසාය.
උදාරිගේ පැමිණිල්ල සම්බන්ධව ප්‍රථමයෙන් මූලික විමර්ශනයක් හා ඉන්පසුව විධිමත් විමර්ශනයක් පැවැත්වුණි. මූලික විමර්ශනය ඇගේ පැමිණිල්ලෙන් මාස හතරකට පමණ පසුව කෙරුණු අතර, එහි සොයාගැනීම් මත පදනම්ව විමර්ශන කමිටුව විසින් විධිමත් විමර්ශනයක් නිර්දේශ කරන්නට යෙදුණි. එම දෙවැනි විමර්ශනය පැවැත්වුණේ පැමිණිල්ලෙන් අවුරුද්දකට පමණ පසුවය. “අවිධිමත් ආරංචි මාර්ග වලින් මට කියූ අන්දමට මගේ අධීක්ෂකවරයා මූලික විමර්ශනයේදී ලබාදුන් ප්‍රකාශ සොයාගෙන, ඉන් සමහරක් ලබාදුන් අයවළුන්ට විධිමත් විමර්ශනයට පෙර සිය ප්‍රකාශ වෙනස් කරගන්නා ලෙස පීඩනය එල්ල කොට තිබෙනවා.” එසේම විධිමත් විමර්ශනය අවධියේදී කාර්ය මණ්ඩලය අතර ‘කැලෑ පත්තරයක්’ ද සංසරණය වී තිබේ. “ඒක චරිත ඝාතනයක් … ඒ කැලෑ පත්තරය විටින් විට කීප වතාවක් සංසරණය වුණා.” විධිමත් විමර්ශන කමිටුව සිය වාර්තාව සහ නිර්දේශ විශ්ව විද්‍යාලයට භාරදුන් පසුව, උදාරිට ලිඛිතව නිල වශයෙන් දන්වා තිබුණේ විශ්ව විද්‍යාල මණ්ඩලය විසින් එය නිෂ්ප්‍රභ කොට ඉවත ලූ බවයි.
“මූලික හෝ විධිමත් විමර්ශන වාර්තා දෙකෙන් එකක්වත් මට ලැබුණේ නැහැ. උපකුලපතිවරයාට ලිඛිත ඉල්ලීමක් කළ පසු තමයි මූලික විමර්ශන වාර්තාව හරි බලන්න ලැබුණේ. විධිමත් විමර්ශන වාර්තාව ලබා ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කිරීමට මට සිදුවුණා. මම තේරුම් ගන්නා හැටියට මගේ අධීක්ෂකවරයා විශ්ව විද්‍යාල මණ්ඩලයට බලපෑම් කළා. ඔවුන් වාර්තාව ප්‍රතික්ෂේප කළේ ඒ නිසයි. හේතුව හැටියට ඔවුන් දැක්වූයේ පැමිණිල්ලක් කිරීමට මාස හයක් ප්‍රමාද වූවාය යන කරුණයි.” (වෙනත් සමහරරාජ්ය විශ්ව විද්‍යාල වල මෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ SGBV අතුරු නීති වලට අනුව පැමිණිල්ලක් යොමු කිරීමට කාල සීමාවක් පනවා නොමැති බව සිහිතබා ගත යුතුය).
ඉන්පසු 2020 අගෝස්තු මාසයේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත්, එම වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් නිල පැමිණිලි යොමුකළ උදාරි, අවසානයේ 2021 මාර්තු මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළාය. පස් වසරකට පසු 2026 මැයි 8 වැනිදා උදාරිට යුක්තිය ඉටුවුණි.
විශ්ව විද්‍යාල පටිපාටීන් සහ විමර්ශන
සිය මව විසින් අධීක්ෂකවරයාට එරෙහි පැමිණිල්ල ගොනු කරන විට උදාරි තාවකාලික කථිකාචාර්යවරියකි. පීඨයේ නිත්‍ය සේවයේ නියුතු සාමාජිකයකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීමෙන් පසු නිත්‍ය තනතුරකට තමා බඳවා ගනු නැති බව උපකල්පනය කළ නිසා උදාරි ශාස්ත්‍රීය ගමනක් යෑමේ සිහිනය සිතින් අත්හැර දමා තිබුණාය. ඒ අතින් බලන විට උදාරිව නිත්‍ය පදනමක් මත සේවයට බඳවා ගැනීම සාධනීය පියවරකි. එහෙත් බොහෝ අවස්ථා වල සිසුන්ට සහ කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ට සිය ශාස්ත්‍රීය ජීවිත කඩාකප්පල් වේවි යැයි යන බිය නිසා නිහඬව සිටීමට සිදුවේ. වින්දිතයින්ව හා සක්ෂිකරුවන්ව තර්ජන වලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් අපේ විශ්ව විද්‍යාල වල අදටත් නැත.
උදාරි පැවසූ ආකාරයට SGBV කමිටුවේ එවක සභාපති සහ මූලික විමර්ශනය භාරව සිටි කණ්ඩායම විසින් දැවැන්ත භූමිකාවක් ඉටු කරන ලදී: “ඔවුන්ව බලපෑමට ලක්කළ හැකි පුද්ගලයින් නොවෙයි.” එහෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල SGBV අතුරු නීතීන් වලට අනුව විශ්ව විද්‍යාල මණ්ඩලයට හා උපකුලපතිට අසීමාන්තික බලයක් පවරා ඇත. පේරාදෙණියේ එම නීතීන් වලට අනුව SGBV කමිටුවේ සාමාජිකයින් 15 දෙනා විශ්ව විද්‍යාල මණ්ඩලය මඟින් පහත අයුරින් පත්කෙරේ: “මණ්ඩල සාමාජිකයින් අතරින් දෙදෙනෙක් (2); නිත්‍ය හා ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයින් අතරින් දස දෙනෙක් (10); විශ්ව විද්‍යාලයේ විශ්‍රාම ගිය ශාස්ත්‍රීය හෝ අනධ්යයයන කාර්ය මණ්ඩල සේවකයින් අතරින් තුන් දෙනෙක් (3)” (2.1 පරිඡේදය). අතුරු නීතීන් වලට අනුව මේ තනතුරු සඳහා පත් කෙරෙන්නන් “ස්ත්‍රී-පුරුෂ ගැටළු පිළිබඳ සංවේදී භාවයක් සහිත, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව හා සමතාව සම්බන්ධයෙන් ප්රත්යක්ෂ ආකාරයෙන් දායකත්වයක් ලබාදී ඇති, ලිංගික හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිරිහැර සහ ලිංගික ප්රචණ්ඩත්වය පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුහුණුව ලබා ඇති” (2.1 පරිඡේදය) අයවළුන් වීම නිර්දේශ කොට තිබුණද, භාවිතයේදී මේ නිර්දේශ බොහෝ දුරට ක්‍රියාත්මක නොවන බව අපි දනිමු. බොහෝ විශ්ව විද්‍යාල වල මේ අරබයා යොමුවන පැමිණිලි වලින් කුමන ඒවා විමර්ශනයක් දක්වා යොමු වන්නේද යන්න උපකුලපතිගේ තීරණය මත රඳා පවතින්නකි. පවතින SGBV යාන්ත්‍රණය සම්බන්ධයෙන් බොහෝ සිසුන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට එතරම් විශ්වාසයක් නැත.
උදාරිගේ අත්දැකීමෙන්ද සනාථ වන පරිදි විමර්ශන කමිටුවක තීරණයක් විශ්ව විද්‍යාල මණ්ඩලයට ප්‍රතික්ෂේප කළ හැකිය. මණ්ඩල වලට සුදුසු සාමාජිකයින් පත්කිරීමේ වැදගත්කම එම නිසා අවධාරණය කළ යුතුය. නිලබලයෙන් මණ්ඩල සාමාජිකත්වය දරන පීඨාධිපතිවරුන් මෙවැනි කරුණු වලදී වැඩිමනක්ම උත්සුක වන්නේ සිය අභිලාශ සහ බල ප්‍රදේශ රැකගැනීම සඳහා ය; බාහිර සාමාජිකයින් පත්කිරීමද ඉතා දේශපාලනීකරණය වූ ක්‍රියාවලියක් වේ. දැනට පවතින ක්‍රමයට අනුව මෙම තනතුරු වලට අයදුම් කළහැකි ක්‍රමයක් හෝ ඒවාට යෝජනා වන පිරිස් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැත. සාමාන්‍යයෙන් මෙම පත්වීම් ලැබෙන්නේ පවතින රජයට පක්ෂපාතී අයවළුන්ටය. එසේම යම් ගැටළුවක් මණ්ඩලය වෙත යොමු වූ විට ඊට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා බාහිර සාමාජිකයන්ට ඇති මූලාශ්‍රය වන්නේ විශ්ව විද්‍යාල අභ්‍යන්තර ධූරාවලියයි; එම තොරතුරු ඔවුන්ගෙන් වසන් කිරීමද සමහර අවස්ථා වල සිදුවේ. මේ සියල්ල සළකා බැලූ විට විශ්ව විද්‍යාල මණ්ඩල විසින් බලය දරන පාර්ශ්ව වලට පක්ෂ ලෙස තීරණ ගැනීම පිළිබඳ පුදුම වියයුතු නැත.
අවසාන නිර්දේශය
උදාරිගේ හිටපු අධීක්ෂකවරයාට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තනතුරු දැරීම තහනම් කිරීමට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට SGBV ගැටළු පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සිය කාර්ය මණ්ඩලය හා සිසුන් වෙනුවෙන් පවත්වන ලෙස නියෝගයක් ද ලබාදෙන ලදී. පළමු වසර සිසුන්ට ආරම්භයේදීත්, කාර්ය මණ්ඩලයට අනිවාර්ය ගුරු පුහුණු සැසි වලදීත් SGBV සාකච්ඡා වලට ප්‍රවේශයක් ලැබුණද, පැමිණිලි ක්‍රියා පටිපාටීන් වල සවිස්තර අන්තර්ගතය – විශේෂයෙන්ම උදාරිගේ ප්රශ්නයේදී ඉතා වැදගත් වූ කාල සීමා පිළිබඳ ගැටළුව වැනි කරුණු – පිළිබඳ දැනුම ලබාදීම සිදුවිය යුතුය. එහෙත් දැනුම්වත් කිරීම ප්‍රමාණවත්ද? අත්තනෝමතික හා අගතිගාමී තීරණ ගැනීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල බලාධිකාරීන් වගවීමට සැලැස්වීම සඳහා අපට ක්‍රම තිබේද?
සිය ක්‍රියාකාරකම් පිළිබඳ නිරන්තරව යොමුවන විමසිලි ඇස නිසා උදාරිගේ ජීවිතය තවදුරටත් දුෂ්කර ය.
“2024 නොවැම්බර් මාසයේදී මම මගේ නඩුව ගැන පුවත්පතක පළවූ ලිපියක් සමාජ මාධ්‍ය ජාලයක නැවත පල කළා. එහි සඳහන් වුණේ මගේ නඩුව ඉදිරියට යෑම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය ලැබුණු බවයි. මම කළේ එහි ඡායාරූපයක් ගෙන එය පලකිරීම පමණයි. ඉන් දින කිහිපයකට පසු ඉහළ අධිකාරීන් විසින් මා කැඳවූවා. එහිදී මට කියා සිටියේ වෙනත් කථිකාචාර්යවරු ගණනාවක් මගේ ක්‍රියා නිසා පීඨයට සහ විශ්ව විද්‍යාලයට අපකීර්තියක් වන බව වාචිකව පැමිණිලි කළ බවයි. එය එසේ නම්, ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට විශ්ව විද්‍යාල මණ්ඩලයට බලය පවතින බවද එහිදී මතක් කෙරුණා. නඩුවට පාදක වූ සිදුවීම පිළිබඳවද ඉන්පසු සාකච්ඡා වූ අතර, එහිදී මට හැඟවුම් කළේ මට මෙවැනි අත්දැකීමක් සිදුවීමට මගෙන්ද යම් ආකාරයක ධෛර්යමත් කිරීමක් අනෙක් පාර්ශ්වයට සිදුවී ඇති බව දැනගත් බවයි.”
SGBV අත්දැකීම් වලට බඳුන් වන්නන් නැවත නැවත වින්දිත භාවයට ලක් කිරීම විශ්ව විද්‍යාල අධිකාරීන් විසින් ඉදිරියේදී හෝ නවත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. ප්‍රජාවක් වශයෙන් විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වන ධූරාවලිගත ස්වභාවය ගැන අප නැවත සිතා බැලිය යුතුය. එසේම එවැනි පරිසරයක, ප්‍රතිවිපාක පිළිබඳ බියකින් තොරව මෙම ගැටළු පිළිබඳ පැමිණිලි යොමු කිරීමට සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හැකියාව ලබාදෙන අර්ථාන්විත යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට ද අපේ අවධානය යොමුවිය යුතුය.
උදාරි, මේ පියවර ඉදිරියට තැබීම ගැන ඔබට අපේ ස්තූතිය හිමිවේ. දැන් විශ්ව විද්‍යාල පරිපාලනයන්ට නතර වී කන් දීමට සහ තමන් වැඩකරන ආකාරය වෙනස් කර ගැනීමට සිදුවනු ඇත.



