ගැඹුරු අධ්‍යයනයෙහි වැදගත්කම: අධ්‍යාපනය සහ එහි විභේදන 

සුමති සිවමෝහන්  

නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී දැන් වසර 80 කට වැඩි කාලයක් ගෙවී ඇත. එය නිදහසටත් පෙර හඳුන්වා දෙනු ලැබූවකි. එහි පැහැදිලි අරමුණක් වූයේ කොහේ සිටින කාට වුවත් සාධාරණ අවස්ථාවක් ලබා දීමයි. මුලින් අපනයන භෝග හා පසුව අපනයන ශ්‍රමය මත පදනම් වූ, පහසුවෙන් බිඳෙන සුළු ආර්ථිකයක් තුළ පන්ති අතර සමාජ විචලනය සඳහා මූලිකම මාධ්‍යයක් වී ඇත්තේ අධ්‍යාපනයයි. ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික මට්ටම් වල, මධ්‍යයෙන් සම්බන්ධීකරණය වන අධ්‍යාපනය තුළින් රටේ දහසකුත් වැඩකරන ජනතාවට බලාපොරොත්තුවක් ලබාදී තිබේ. එය ඇත්තෙන්ම සාර්ථකත්වය පිළිබඳ කතාවකි. දුෂ්කර ප්‍රදේශ දක්වා අතුපතර විහිදා පාසල් පිහිටුවීමට අධ්‍යාපන අංශය සමත් වී ඇත. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටින්නවුන්ට මෙහි ක්‍රියාත්මක වන සමානත්වය ජනනය කරන සුළු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය වඩාත් පැහැදිලිව පෙනේ. නතර වෙමින් වුවත් ප්‍රසාරණය වන දිස්ත්‍රික් කෝටා ක්‍රමය තුළින් ආබාධ සහිත මෙන්ම වෙනස් ආකාරයේ දක්ෂතා සහිත සිසුන් පද්ධතියට ඇතුළත් කරගන්නා නිසා විශ්ව විද්‍යාල තුළ විවිධත්වය වැඩි වී ඇත. අද රටේ තරුණ ප්‍රජාව ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත පිරිසකි. ඔවුන් බොහෝ අයට සාමාන්‍ය පෙළ පමණක් නොව බොහෝ විට උසස් පෙළ සුදුසුකම් පවා තිබේ. එහෙත් අසමානතා පවතී. එම අසමානතා නිසා අර්බුදයක් වර්ධනය වී තිබේ.   

නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී වසර 80 ක් ගතවන තැන අධ්‍යාපනයට සම ප්‍රවිෂ්ටය ජනතාවගේ අරගල වලින්ම ජීවමානව තැබෙන්නකි. නාගරික මධ්‍යම පන්තියේ සිට දුර ඈත ගම්මානයක ජීවත් වන තනිකඩ මව දක්වා සියළු දෙනාට සිය දරුවා සඳහා හොඳ පාසලක් – ඇත්තෙන්ම කුමන හෝ පාසලක් – සොයා ගැනීම භයජනක අත්දැකීමක් බවට පත්ව ඇත. පාසලට කිලෝමීටර් 15 ක අරයකින් ජීවත් වන්නවුන්ට එකී පාසලට ප්‍රවිෂ්ටය සහතික කිරීම තුළින් සෑහෙන තරමේ සමතාවයක් ළඟා කරගත හැකිව ඇතත්, රට පුරා නාගරික පාසල් පන්තිය, වාර්ගිකත්වය හා ස්ත්‍රී-පුරුෂ භාවීය සාධක මත බෙදී ඇත. ග්‍රාමීය ප්‍රදේශ වල පාසල් වලට බොහෝ දුරට ගුරු හා සම්පත් හිඟතාවයක් පවතී.  

අනුක්‍රමික රජයන් මඟින් නිදහස් අධ්‍යාපනය ට ඇති ප්‍රවිෂ්ටය වැඩි කිරීම, එහි තරඟකාරීත්වය අඩු කිරීම හා එමඟින් කෙරෙන සවිබල ගැන්වීම වැඩි කිරීම වැනි යෝජනා ඔස්සේ ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ දරා ඇත. එහෙත් සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය රාජ්‍ය විෂය නිර්දේශය අනුගමනය කරන රාජ්‍ය හා පෞද්ගලික පද්ධතීන් වශයෙන් කොටස් දෙකකටත්, කිසිදු නියාමනයකට යටත් නොකෙරෙන ජාත්‍යන්තර පාසල් පද්ධතියකට ත් බෙදී තිබේ. බොහෝවිට නාගරික පරිසරයන් හි පිහිටා ඇති, මධ්‍යම පන්තියට ආමන්ත්‍රණය කරන ඉංග්‍රීසි මාධ්‍ය පාසල් ද දැන් ප්‍රචලිතය. ආර්ථිකය දියුණු නොවන තත්වයක් තුළ බොහෝදෙනා රටින් එපිට අවස්ථාවන් දෙස බලති. ශ්‍රමයද එන්න එන්නටම අපනයන වෙළඳ භාණ්ඩයක් බවට පත්වන බැවින්  අධ්‍යාපනයේ පරාමිතීන්ද පරිවර්තනය වී ඇත. කන්නංගර ප්‍රතිසංස්කරණ වලින් අප ජීවත් වන ධනේශ්වර පන්ති ක්‍රමය තුළම ජනතාව සවිබල ගැන්වූ අතර, වත්මන් අධ්‍යාපනය ඊට වඩා විවිධාංගීකරණය වුවත් පන්ති අවශ්‍යතා මත පදනම් වී ඇත. මෙය හොඳින්ම විද්‍යාමාන වන්නේ ශාස්ත්‍රීය, වෘත්තීය සහ ශ්‍රම අංශ අතර සිසුන් බෙදී යන රටාවන් තුළය. අප මේ අයුරින් දිගටම ක්‍රියාත්මක වුවහොත් නුදුරු අනාගතයේදී මෙම විෂමතා තවදුරටත් තීව්‍ර වන බව අනුමාන කළ හැකිය. අධ්‍යාපනයට සම ප්‍රවේශය එන්න එන්නටම අවහිර වීමෙන් බලපෑමට ලක්වන සහ එබඳු වෙනස්කම් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව සමඟ මම සාකච්ඡා කිහිපයක් සිදුකළෙමි. 

උතුරු පලාතේ මුසලි වල ජීවත් වන සමාජ ක්‍රියාකාරිකයකුට අනුව “අපේ ප්‍රදේශයේ පාසල් වල සම්පත් ඉතා හිඟයි. අවුරුදු ගණනකින් අපි ඉංග්‍රීසි ගුරුවරයෙකු දැකලා නැහැ. උසස් පෙළට A සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථයක් ගත් සිසුවකු සිටියා. මොරටුව විශ්ව විද්‍යාලයේ නගර හා ග්‍රාම සැලසුම් උපාධිය සඳහා සුදුසුකම් ලැබුවත්, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා B සාමාර්ථයක් එහි ඇතුළත් වීමේ කොන්දේසියක් වූ බැවින් ඔවුන්ට පාඨමාලාවට බැඳීමට නොහැකි වුණා. මොකද ඔවුන්ට තිබුණේ S සාමාර්ථයක් පමණයි. තවත් සිසුවෙක්ට සාමාන්‍ය පෙළට A සාමාර්ථ 8 ක් තිබුණත් ඉංග්‍රීසි විෂයය අසමත් වෙලා තිබුණා. මුළු දිස්ත්‍රික්කයේම පාසල් 22-23 කට ඉංග්‍රීසි ගුරුවරු ඉන්නේ 2-3 ක් පමණයි. රැකියාව අවශ්‍ය නිසා බොහෝ ගුරුවරු පත්වීම බාර ගත්තත්, මාස කිහිපයක් ඇතුළත තමන් පදිංචි ප්‍රදේශයේ හෝ නාගරික ප්‍රදේශයක පාසලකට පත්වීමක් හදාගෙන ඔවුන් යනවා.” 

යාපනය නාගරික සීමාව තුළ ජීවත් වන ක්‍රියාකාරිකයකුට අනුව ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවා නිසා යාපන නගරයේ වෙසෙන ගුරුවරුන්ට උතුරු පළාතේ දුර බැහැර පෙදෙස් වෙත යා හැකිය. යාපන නගරයේ කොනක පිහිටි මුහුදුබඩ ප්‍රදේශයක් වන කරයිනගර් සිට දිනපතා බස් රථ දෙකක් පිටත් වේ. ඉන් එකක් මුලතිව් දෙසටත්, අනෙක මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු ප්‍රදේශයටත් සෑම සතියේ දිනකම ධාවනය වන්නේ ගුරුවරුන්ද ඇතුළු බොහෝ පිරිසක් රැගෙනය. කරයිනගර් සිට මඩු දක්වා ඇති දුර කාරයකින් තරණය කිරීමට පැය තුනක් ගත වේ. පෙර කී ක්‍රියාකාරිකයා විමසන්නේ මෙතරම් දීර්ඝ කාලයක් ගමන සඳහා ගත කිරීමෙන් පසු එම පිරිස් වලින් හොඳ සේවයක් බලාපොරොත්තු විය හැකිද යන්නයි.

ග්‍රාමීය පාසල් වල ගුරු හිඟය ගැඹුරට දිවෙන ප්‍රශ්නයකි. නමුත් මේ ප්‍රශ්නය බලපාන්නේ ග්‍රාමීය පාසල් වලට පමණක් නොවේ. කොළඹට නුදුරු අඩු ආදායම් ලාභීන් බොහෝ කොටම භාවිතා කරන පාසලකට යන 12 හැවිරිදි දරුවකු මට කියා සිටියේ ඔවුන්ටත් ඉංග්‍රීසි ගුරුවරයකු නොමැති බවයි. විෂයයක් වශයෙන් ඉංග්‍රීසි ඉගැන්වුවත්, තමා කවදාවත් පාසලේ ඉංග්‍රීසි පන්තියක් දැක නොමැති බව ඔහු කියා සිටී. සරසවි ප්‍රවේශය සහ සරසවි අධ්‍යාපනය ට දැන් වැඩි වැඩියෙන් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වී තිබීම (සමහර අවස්ථා වල උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි සමත් වී තිබීම) පූර්ව කොන්දේසියක් වන තත්වයක් තුළ මෙම ව්‍යුහාත්මක අසමානතා තවදුරටත් තීව්‍ර වනු ඇත.

අසමානතා පවතින්නේ ඉංග්‍රීසි අරබයා පමණක් නොවේ. දැන් දශක ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාල ප්‍රවිෂ්ටය සම්බන්ධයෙන් මතුව ඇති විවාදයක් වන්නේ විද්‍යා විෂයයන් පදනම් කරගත් පීඨයන් වලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩිකළ යුතු බවයි. විවිධ අවස්ථා වල පත්කරන ලද කමිටු වාර්තා ද එකකට පසු එකක් පවසන්නේ මේ කතාවය. මේවා නිසා ඇත්තෙන්ම රැකියා වියුක්ති ප්‍රශ්නය කලා විෂයයන් වගකිව යුතු ප්‍රශ්නයක් බවට පත්කොට ඇත. බොහෝවිට ඇසෙන මැසිවිල්ල වන්නේ කලා උපාධිධාරීන් ප්‍රමාණය අධික බවයි. 2019 සිට විශ්ව විද්‍යාල වලට බඳවා ගත් සිසුන් සංඛ්‍යාවන් දෙස බැලුවහොත් භාගයකට අධික ප්‍රමාණයක් විද්‍යා විෂයයන් වලින් බව පැහැදිලි වේ: 2019 සහ 2022 අතර කලා විෂයයන් වලට කෙරෙන බඳවා ගැනීම් 48.2% ක අගයක්ද, විද්‍යා විෂයයන් වලට කෙරෙන ප්‍රමාණය 51% ක අගයක ද තිබී ඇත. එහෙත් මේ ක්‍රමය තුළින් රැකියා වියුක්තිය පිළිබඳ ප්‍රශ්නය විසඳිය හැකිද යන්න සැක සහිතය. එහෙත් තරමකින් හෝ එය ආමන්ත්‍රණය වනු ඇති බව අපේ අපේක්ෂාවයි.

විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි අසමානතා සම්බන්ධ මීටත් වඩා බැරෑරුම් ප්‍රශ්නයක් පවතී. 2022 දත්ත වලට අනුව කලා මාධ්‍යයෙන් විශ්ව විද්‍යාලයට බඳවා ගෙන තිබූ සිසුන් සංඛ්‍යාව 20.1% ක ප්‍රමාණයක් විය. ඊට සාපේක්ෂව විද්‍යා විෂය දහරාවෙන් බඳවාගෙන තිබූ ප්‍රමාණය 37% කි. එනම් කලා මාධ්‍යයෙන් උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වන ප්‍රතිශතය, විද්‍යා මාධ්‍යයෙන් එසේ අහිමි වන ප්‍රතිශතයට වඩා වැඩි බවය. එසේම 2022/23 වසර සඳහා විද්‍යා විෂය දහරාවෙන් බඳවාගත් සිසුන් අතරින් වැඩිම ප්‍රතිශතයක් කොළඹ, ගම්පහ සහ ගාල්ල යන නාගරික ප්‍රදේශ වලින් වූ අතර, එහි අඩුම ප්‍රතිශතයන් වාර්තා වූයේ මොණරාගල, කිලිනොච්චිය සහ නුවරඑළිය යන ග්‍රාමීය ප්‍රදේශ වලිනි. මෙම රටාවෙන් යමක් නොකියවේද?  

පන්තිය සහ වාර්ගිකත්වය සම්බන්ධ දේශපාලන ආර්ථිකය භූගෝලීයව කෙසේ සිතියම්ගත වන්නේද යන්න මෙම සංඛ්‍යා දත්ත මඟින් පෙන්වා දේ. රටේ 2911 ක් වූ පාසල් අතරින් උසස් පෙළට කලා හා විද්‍යා විෂය දහරාවන් දෙකෙන්ම මුහුණ දීමේ පහසුකම් සහිත (එනම් 1AB ශ්‍රේණියේ පාසල්) ඇත්තේ 1012 ක් පමණි. 1899 ක් පාසල් 1C ශ්‍රේණියේ ඒවා, එනම් කලා මාධ්‍යයෙන් පමණක් උසස් පෙළට මුහුණ දීමේ පහසුකම් සහිත පාසල් ය. අවාසනාවකට මෙන් මෙම 1AB ශ්‍රේණියේ පාසල් දිස්ත්‍රික්කයක කොහේ පිහිටා ඇතිද යන්න පිළිබඳ දත්ත නොමැත. 

සමතාව පිළිබඳ ගැටලුවේදී මෙම සංඛ්‍යා දත්ත වල තේරුම අප විශේෂයෙන් විභග කළ යුතුය. සමස්ත තත්වය සළකා බැලීමේදී ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී සිසුන් අත්‍යන්ත අවාසි සහගත තත්වයක සිටින බව පෙනී යයි. පාසල් පද්ධතිය තුළ බොහෝ සිසුන්ට සමාන අධ්‍යාපන අවස්ථා ඇහිරී ඇත. සමාන අධ්‍යාපන අවස්ථා යන්නෙන් මා අදහස් කරන්නේ විද්‍යා විෂය දහරාව හෝ ඉංග්‍රීසි පමණක් නොවේ. මෙම බහිෂ්කරණයන් මඟින් අපේ පද්ධතියේ පවතින වඩා බැරෑරුම් නපුරක් පෙන්වා දෙයි: එනම් පාසල් වලට අරමුදල් හා සම්පත් වෙන්කිරීමේ අඩුකම සහ නියමාකාර ජාතික සැලසුමක් නොමැති වීමය. යාපන දිස්ත්‍රික්කයේ මගේ ක්‍රියාකාරී මිතුරා කියන පරිදි “ප්‍රාථමික සහ ද්වීතියික මට්ටම් වල අඩු තරමේ සමහර විෂයයන් වලටවත් එම ප්‍රදේශයෙන්ම ගුරුවරුන් බඳවා ගන්නවා නම් හොඳයි. ඔවුන් කැපවීමෙන් යුතුව රාජකාරිය කරනු ඇතුවාක් මෙන්ම දිගු කාලීනව රැඳී සිටීමට යම් අයුරකින් උනන්දු වනු ඇති. තමුන්ගේ නිවස, පවුලක් ඒ ප්‍රදේශයේම ඔවුන්ට තියෙනවානේ.” එහෙත් මෙය කිසිදු ආකාර විසඳුමක් දැයි මට සැකයක් පවතී. 12 හැවිරිදි මගේ කොළඹ මිතුරාට සිය පාසලේ ඉංග්‍රීසි ගුරුවරයකු සිටිනවාද නැතිද යන්න ලොකු වෙනසක් නැත. ඔහුගේ දෙමව්පියෝ කොළඹ අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරති; සොයුරියන් මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙති. ඔහුගේ හීන මොනවාද යන්න පිළිබඳ මට අවබෝධයක් නැත. ඔහුගේ මව මට කියූ අන්දමට “මෙයා හොඳට අඳිනවා කියලා එයාගේ ටීචර් කියනවා.” දිනයක වැටුප කැපකොට ඉන්පසු ඇය නික්මෙන්නේ ඔහුගේ පාසලේ ශ්‍රම දානය වෙනුවෙනි; නව වාරය සඳහා පාසල සූදානම් කරන්නේ එම ශ්‍රම දානයයි.  

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *