මානව ශාස්ත්‍ර තුළ විචාරාත්මක ශාස්ත්‍රාලිකයා වීමේ බර සහ ශක්තිය 

මධුරංග කළුගම්පිටිය

මානව ශාස්ත්‍ර තුළ විචාරාත්මක ශාස්ත්‍රාලිකයා වීමේ ලොකුම අභියෝගය වන්නේ සිය සමාජ ජීවිතය නිර්වචනය කරන යථාර්ථයන් වෙත විචාරාත්මකව එළඹීමට සිදුවීමයි. තමාවම කම්පනයට ලක් කරන, ආත්මය වෙත බලපෑමක් එල්ල කරන ආකාරයෙන් විනා සිය අධ්‍යයනයට බඳුන් වන විෂය කරුණු පිළිබඳ අදහස් දැක්වීමක් හෝ එම ශාස්ත්‍රාලිකයාට සිදුකළ නොහැක. මානව ශාස්ත්‍ර ශාස්ත්‍රාලිකයන් හැමවිටම තමා අධ්‍යයනය කරන දෙයෙහි කොටසක් බව වුවද කෙනෙකුට තර්ක කළ හැකිය. එවැනි ක්ෂේත්‍රයක විචාරාත්මක වීම යනු තමන් සිටගෙන සිටින පොළොව අස්ථාවර කිරීම වැනි දෙයකි.      

විශාරද/විද්‍යාත්මක විග්‍රහයෙහි අත්‍යාවශ්‍ය කොටසක් වන්නේ තමන් හදාරන දෙය ඉතා පරිපූර්ණව, එහෙත් යම් දුරක සිට හැදෑරීමය. එහි මූලික අරමුණ හදාරන්නාගේ පෞද්ගලික පක්ෂපාතීත්වයන් ගෙන් අවසාන විනිශ්චය බලපෑමට ලක් නොකිරීමයි. මේ කොන්දේසිය උල්ලංඝණය කරන අධ්‍යයනයන් අවිද්‍යාත්මක සේ ගැනේ. නිදසුනක් ආශ්‍රයෙන් මෙය තේරුම් ගතහොත්, විද්‍යාගාරයක් තුළ සෝඩියම් හා ක්ලෝරීන් පිළිබඳ සිය පර්යේෂණය සිදුකරන විද්‍යාඥවරියකට, එම එකදු අණුවකට හෝ පෞද්ගලික බැඳීමක් නොමැතිව ඒවා අධ්‍යයනය කිරීමටත්, එම අධ්‍යයනය තුළින් සිය පැවැත්ම පිළිබඳ අර්බුදයකට නොයාමටත්, පුද්ගලයකු වශයෙන් තමා පිළිබඳ විභාග කිරීමට සිදුවීමෙන් තොරව අත්හදා බැලීමක ප්‍රතිඵලයට අවධානය යොමු කිරීමටත් හැකි බව මම විශ්වාස කරමි. එවැනි අත්හදා බැලීම් තුළින් එම විද්‍යාඥවරියගේ ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම දියුණු වුවත්, එමඟින් සමාජ සත්වයකු ලෙස ඇගේ පැවැත්ම පරිවර්තනය වේ යැයි සිතිය නොහැක.  

එහෙත් (විචාරාත්මක) මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයින්ට මේ වරප්‍රසාදය හිමි නොවේ. රසායනික සංඝටක ස්වභාවික විද්‍යාඥයාට යම් සේද, සමාජ, දේශපාලන, සංස්කෘතික, ස්ත්‍රී-පුරුෂමය, වාර්ගික හා ආගමික අනන්‍යතා මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයින්ට එසේය. විද්‍යාගාරය තුළ ඇති පාලනය කරන ලද, බොහෝ කොටම ස්ථාවර පරිසරය ස්වභාවික විද්‍යාඥයාට යම් සේද, අස්ථාවර, අනාවැකි පලකළ නොහැකි සමාජය මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයින්ට එසේය. රසායනික සංඝටක වල අන්තර්ක්‍රියා නිරීක්ෂණය කෙරෙන විද්‍යාත්මක අත්හදා බැලීම ස්වභාවික විද්‍යාඥයාට යම් සේද, සමාජ, දේශපාලන, සංස්කෘතික, ස්ත්‍රී-පුරුෂමය, වාර්ගික හා ආගමික ක්ෂේත්‍ර හරහා යන සංසිද්ධි මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයින්ට එසේය.       

විද්‍යාගාරය හා පෞද්ගලිකත්වය අතර ස්වභාවික විද්‍යාඥයා පවත්වාගන්නා දුරස්ථ භාවය මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයින්ට සිය පර්යේෂණ විෂය වස්තුව සමඟ පවත්වා ගත නොහැක. මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයාගේ විද්‍යාගාරය වන සමාජය තුළ ඇය ආරම්භයේ පටන්ම කාවැදී සිටී. මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයා සමාජයෙන් හුදෙකලාව කාමරයක සිට සිය පර්යේෂණය සිදුකළත් ඇයගේ පර්යේෂණයේ වස්තු විෂය හා ඒ කෙරෙහි ඇයගේ එළඹීම යන දෙකම සමාජමය සහ දේශපාලනික යථාර්ථයන්ගෙන් නිර්වචනයට ලක්වේ. ස්වභාවික විද්‍යාඥයාගේ සාර්ථකත්වය මැනෙන්නේ ඇයගේ පර්යේෂණ මත නිසා සමාජ, දේශපාලනික, සංස්කෘතික හා ආගමික සාධක වලින් හැඩ ගැන්වුණු සිය දිවිය පසෙක තබා ඇයට ඒ ගැන සිතිය හැකි වුවත්, මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයා නිතරම සිය පෞද්ගලික ජීවිතය හා පර්යේෂණ විෂය කරුණ අතර ඇති සම්බන්ධය පිළිගත යුතුය; එමෙන්ම ඒ පිළිබඳ කතා කළ යුතුය. එවැනි පර්යේෂණයක නොවැළක්විය හැකි කොටසක් ලෙස සිය පැවැත්ම පිළිබඳවම නැවත නැවත සිතා බැලීමට මානව ශාස්ත්‍ර ශාස්ත්‍රඥයාට සිදුවේ. 

මගේ ක්ෂේත්‍රය වන භාෂා අධ්‍යයනයෙන් (language studies) උදාහරණයක් ගතහොත්, දැනට ටික කලක සිට මගේ අවධානය යොමුවන මාතෘකාවක් වන්නේ ‘ඉංග්‍රීසි භාෂාවේ නව ප්‍රභේද’ යන්නයි. ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි යන්න එතුළ මගේ වඩා නිශ්චිත උනන්දුවය. විචාරාත්මකව ගතහොත් මෙතැන ඇත්තේ භාෂාමය ප්‍රවර්ගයකට වඩා දේශපාලනික ප්‍රවර්ගයකි. එවැනි ප්‍රවර්ගයක් නිර්මාණය කිරීම තුළින්ම ඉංග්‍රීසි භාෂාව තනි ඒකකයක් ලෙස දැකීම ප්‍රශ්න කොට තිබේ. එසේම වඩා පුළුල් සමාජය තුළ ඉංග්‍රීසි, දෙමළ හා සිංහල භාෂා වලට ලබාදී ඇති තැන අස්ථාවර කොට ප්‍රතිනිර්වචනය කිරීමද එමඟින් සිදුකොට ඇත. සිංහල හා ඉංග්‍රීසි පිළිවෙලින් ප්‍රථම හා දෙවන භාෂා ලෙස කතා කරන්නෙකු වශයෙන් වශයෙන් මෙන්ම, දේශීය සමාජය තුළ එම භාෂා ද්විත්වය කතා කිරීම නිසා මගේ අනන්‍යතාවය හැඩගැහෙන සංකීර්ණ ආකාරය පිළිබඳ අත්දැකීම් ඇත්තකු වශයෙන්, මගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න වලට නොයා ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි පිළිබඳ සිතීම වත් මට කළ නොහැකිය. එසේ කිරීම තුළින් මගේ පැවැත්ම නිර්වචනය කරන සංස්කෘතිය යම් තාක් දුරකට හෝ හෙල්ලෙන බවද මම සිතමි.   

ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි වලට පක්ෂව කතා කරන අවස්ථා වලදී වුවත් එම තර්කය මා වචනයට නගන්නේ ඉතා පරිස්සමිනි. මේ පරිස්සම එක් අතකින් ශාස්ත්‍රීය වශයෙන් හොඳ දෙයක් කීමේ උවමනාව තුළින් උත්පන්න වන්නකි; අනෙක් අතින් ඉංග්‍රීසි භාෂාවට බූදල් උරුමයක් ඇති බව සිතන පන්තියට පිටින් මා පැමිණීමද ඊට හේතුවක් වේ. ඒ අර්ථයෙන් ගත් කළ මා වාස්තවිකව මාතෘකාවට එළඹෙන ශාස්ත්‍රඥයකුට වඩා ‘ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි’ යන මාතෘකාව නිර්වචනය කරන වාර්ගික හා පන්ති සබඳතා තුළ ගිලී ගිය උපාය මාර්ගිකයෙකි. අනෙක් අතින් සමාජයේ කෙනෙකු සාර්ථක වන ප්‍රමාණය ඔවුන් ‘සම්භාව්‍ය’ ඉංග්‍රීසි භාවිතා කරන ප්‍රමාණය හා සමපාත වන තත්වයක් තුළ ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි ප්‍රවර්ධනය කිරීම තරමක් ප්‍රවේසමෙන් කළයුතු බවද මට හැඟී ගොස් තිබේ.

රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි ගෞරව උපාධියක් ප්‍රදානය කරන දෙපාර්තමේන්තුවක සේවය කරන්නකු වශයෙන් මා එකට පාහා ගතයුතු එකිනෙකට ප්‍රතිවිරුද්ධ තවත් කරුණු දෙකක්ද තිබේ. ඉන් එකක් නම් ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි කතා කිරීම යනු ඉංග්‍රීසි භාෂාවේ සම්මත රීති යම්තාක් දුරකට උල්ලංඝණය කිරීමක් වීමයි. අනෙක වන්නේ උපාධි පාඨමාලාව ඉංග්‍රීසි එකක් නිසා ජාත්‍යන්තර මට්ටමින් පිළිගන්නා අයුරකින් එය කිරීමට අපට ඇති වගකීමයි. මේ ප්‍රතිවිරුද්ධතා දෙක ඉංග්‍රීසි දෙපාර්තමේන්තු වල සේවය කරන අපේ හුදු කුහක බව නොවේ. වඩා සමීපව බැලුවහොත්, අප වැනි ලෝකයේ පරිධියේ රටවල සිටින්නන් පශ්චාත් යටත්විජිත පසුබිමක ඉංග්‍රීසි නමැති මාතෘකාව හා සම්මුඛ වීමේදී නොවැළක්විය හැකි ලෙස ඇතිවන ගනුදෙනුවක් ලෙස එය පෙනෙනු ඇත. මීට අදාළ තර්ක කිරීමේදී ශාස්ත්‍රඥයන් ඒවා පදනම් කරගන්නේ අදාළ භාෂාමය සාක්ෂි මත පමණක් නොව, තමාගේ අනන්‍යතාවයට අදාළ දේශපාලනය මතද පදනම්වය. ඒ හැරෙන්නට එවැනි තර්ක කළහැකි වෙන මාර්ගයක්ද නැත.   

මානව ශාස්ත්‍ර විචාරාත්මකව හැදෑරීමේදී තමාගේම අනන්‍යතාවය යම් ආකාරයකට ප්‍රශ්න කිරීමට සිදුවන බව මා මුලදී දැක්වූ අදහසෙහි අරුත මෙයයි. ක්ෂේත්‍රයේ අප බොහෝ දෙනාට එය එතරම් පහසු හෝ ප්‍රසන්න අත්දැකීමක් නොවේ. ඉතිහාසය පිළිබඳ බොහෝ ගනුදෙනු වලදී ප්‍රධාන දහරාවේ ඓතිහාසික ආඛ්‍යාන ම උත්කර්ෂයට පමුණුවන ආකාරයේ ශාස්ත්‍රීය කටයුතු සිදුවන්නේ සමහර විට මේ නිසා විය හැකිය. සාහිත්‍යය සහ භාෂාව පිළිබඳ ශාස්ත්‍රීය එළඹුම් වලදී ප්‍රධාන දහරාවේ සම්ප්‍රදායන් සහ අධිපති භාෂාවන් උඩින් ඔසවා තබන්නේත්, සංස්කෘතිය පිළිබඳ සමහර අදහස් තුළ සංස්කෘතිය යනු හැම විටම රැකිය යුතු සහ සැමරිය යුතු දෙයක් ලෙස සැළකෙන්නේත් මෙනිසාම විය හැකිය. මෙවැනි පිවිසුම් නිසා පවතින පද්ධතිය ප්‍රශ්න කෙරෙන්නේ අවමයෙනි. ශාස්ත්‍රඥයාට පෞද්ගලිකව මුහුණ දීමට සිදුවන අපහසුවද එනිසා අවමය. එහෙත් පවතින ඥාන සම්භාරයට එවැනි ශාස්ත්‍රඥයින්ගෙන් ලැබෙන දායකත්වය නම් ප්‍රශ්නාර්ථයකි.     

විචාරාත්මකව මානව ශාස්ත්‍ර හැදෑරීමේදී ශාස්ත්‍රඥයා අවශ්‍යයෙන්ම සිය පෞද්ගලික පැවැත්ම පිළිබඳ අර්බුදයකට ඇද දමනු ලබයි. එහි ප්‍රසන්න හා සුව පහසු බව කෙසේ වෙතත් ක්ෂේත්‍රයට වටිනා දායකත්වයක් කළහැකි වන්නේ එවිට පමණි. මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ශාස්ත්‍රඥයින් මුහුණ දෙන මේ උභතෝකෝටිකය හා එහි වටිනාකම හඳුනා ගැනීම වැදගත්ය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *